ඔබගේ කතා නොකරන හෝ කතාව අපැහැදිලි ඔටිසම් දරුවා වෙනුවෙන් මෙය කියවන්න…

සාමාන්‍යයෙන් සරළවම දරුවෙක්ගේ භාශාව ( Speech ) දියුණු කරන්න ස්පීච් තෙරපිවරයෙක් සරළවම යම් යම් Method පාවිච්චි කරනවා. ඒ තමයි දරුවා සමඟ සෙල්ලම් කරන අතර වාරයේ ඒ සෙල්ලමට අදාළ යම් යම් ශබ්ධයන් හඳුන්වාදීම. (Animal sounds ).ඒ වගේම තමයි තමයි Visual method පාවිච්චි කරනවා.රූප,පොත් සහ යම් භාණ්ඩ.මේ දේවල් වලින් බබාට වචන හඳුන්වා දෙන ගමන් ඒ වචන හරියට උච්චාරණය කරන විදිය කියලා දෙනවා.ඒ වගේම තමයි Facial exercises මාර්ගයෙන් මුඛයේ මාංශ පේශීන් ලිහිල් කරන එක.මේ ලිහිල් කියන එක හරි වචනය නොවෙන්න පුලුවන්. මෙතනිදි සරළවම කරන්නේ දිව,හනුව සහ තොල් හරියට ක්‍රියා කරන්න සහය දෙන එක.

කිසියම් වූ තෙරපිවරයෙක් දරුවාව සංගීතයෙන් ඈත් කරවන්න හෝ සිංදු අහන්න ,බලන්න දෙන්න එපා ඒකට හුරු වෙයි කියලා කියනවා නං කරුණාකරලා ඒ පුද්ගලයාගෙන් දරුවාව ගලවා ගන්න.

උදාහරණයක් විදියට මම එමලිට පුලුවන් තරම් ළමා ගීත අහන්න දුන්නා,බලන්න දුන්නා.එයා මේ සිංදු කියන එක මට සෑහෙන්න වැදගත් උනා එයාගේ Facial exercises දියුණු කරන්න.සිංදුවක වචන උච්චාරණය කරනකොට දිව,හනුව සහ තොල් වලට ලැබෙන්නේ හොද එක්සර්සයිස් එකක්. කුඩාම දරුවන්ට old MacDonald had a farm කියන ළමා ගීතය කියලා දෙන එකේ වැදගත්කම තමයි ඒක ඇතුලේ තියනවා සත්තුන්ගේ ශබ්ධ. මේ ශබ්ධ දරුවන් රිපීට් කරන එකෙන් කට හොදට විවිර වෙනවා.නිකන් හිතන්න ඔයා බබාට සෙල්ලමක් ආකාරයට සිංහයා,කුකුළා,අශ්වයා කෑ ගහන සද්දේ කියලා දීලා ඒක දරුවා අනුකරණය කරලා එයා ඒ ශබ්ධ කටින් පිටකරනකොට දරුවාගේ Facial expression වගේම මුඛයට,හනු වලට සහ දිවට ඒක සෑහෙන්න හොද ව්‍යායාමයක්.

එතකොට මේ දේවල් එක්ක දරුවාගේ සන්නිවේදනය දියුණු කරන්න අපි පටන් ගන්නකොට අපිට අනිවාර්යයෙන් වැදගත් වෙනවා Gestalt language processing සහ Analytic language processing කියන තියරි එක. මේක දන්නේ නැතුව අපිට ඉස්සරහට යන්න බෑ.යනවා නං අදුරේ අතපත ගෑමක් තමයි.

මම පේජ් එකේ Gestalt language processing ගැන සහ analytic language processing ගැන ලියලා තියන පෝස්ට් එක කියවන්න. ඒකේ ලින්ක් එක පහළින් දානවා. එතකොට ආයේ මට ඒ ගැන මෙතන ලියන්න ඕනේ නෑ. මම මෙතනිදි අවධානය දෙන්නේ Gestalt language process එක ගැන විතරයි. හේතුව ඔටිසම් බබාලගෙන් 80% ක් වගේ සන්නිවේදනය කරන්නේ මේ විදියට.

උදාහරණයක් විදියට මේ දරුවන් සම්පූර්ණ පිටපතම තමා ඔලුවේ කොපි කරගන්නේ. ඒක නිසා තමයි අවශ්‍ය දේ කියාගන්න බැරි උනත් සිංදු, හැඩතල, පාට, අංක කියන්නේ.ඒ වගේම තමයි වහිනකොට දරුවෙක් වහිනවා ,වැස්ස, වතුර එනවා වගෙ දේවල් කියනකොට Gestalt language process එකත් එක්ක මනසේ භාශාව හැදෙන දරුවන් මේ වගේ අවස්ථාවකට එයාලගේ ඔලුවේ කොපි වෙලා තියන සිංදු කෑල්ලක් පාවිච්චි කරන්න පුලුවන්.’ Rain Rain go away “. කියලා.

එතනින් එහාට අහසේ තරුවක් පෙන්නුවාම මේ දරුවන් ‘Twinkle twinkle little star ‘ කියන්න පුලුවන්. මෙන්න මෙහෙමයි මේ දරුවන්ගේ ඔලුවේ භාශාව කියන එක හැදෙන්නේ.

එතකොට ගෙදර අය කතා කරන වාක්‍ය එහෙම් පිටින්ම කොපි කරන් කියනවා. තේරුමක් ඇතුව හෝ නැතුව.අවස්ථාවට ගැළපෙන්න හෝ නොගැළපෙන්න.

‘ අම්මා ගියා, තත්තා නෑවා,බබා වැටුනා, බස් එක ගියා,’ මේ වගේ නිකන් වාක්‍ය හෝ වචන බබා කියන්න පුලුවන්. ටීවී එකේ දකින කතා වලින් කෑලි අහුලගෙන ,සිංදු කෑළී,කතන්දර පොත් වල වාක්‍ය තමයි ගොඩක් වෙලාවට කොපි කරන් කියන්නේ.

මෙන්න මේකට කියනවා Delayed echolalia කියලා. Echolalia කියන්නේ අපි කියන එක අනික් පැත්තට බබා පෙරලා කියන එක. ඒ කියන්නේ අපි ඇහුවම ” බබාට බඩගිනීද? ” කියලා එයා ඒකම අපිට කියනවා.දැන් මේ Delayed echolalia ටිකක් වෙනස්. මෙතනිදි වෙන්නේ බබා උදේ අහපු බලපු දෙයක් හවස් වරුවේ කියන එක.නැත්තන් කලින්,පරණ අහපු වාක්‍යක් පස්සේ වෙලාවක රිපීට් කරන එක.Gestalt language processing එකේ ආරම්භය තමයි මේ.

මම දැක්කා මේ ගැන ලියපු ආර්ටිකල් එකක ලියලා තිබුනා එක ඔටිසම් දරුවෙක් එයාගේ අත්තම්මා ලෙඩ ඇඳේ ඉන්න කොට සිංදුවක් කියපු විස්තරයක්.මේ ඔටිසම් දරුවා තමන්ගේ අත්තම්මට Disney’s Coco කියන ෆිල්ම් එකේ Remember Me කියන සිංදුව කියනවා. මේ සිංදුව ඒ ෆිල්ම් එකේ කියන්නේ තාත්තා තමන්ගේ දුවට.මේ සිංදුව කියන්නේ අතීත පරම්පරාව ගෞරවයෙන් සිහිපත් කරන්න.එතකොට ඔටිසම් දරුවා මේ ෆිල්ම් එක බලලා ඇති.එතකොට එයාගේ ඔලුවේ මේ අවස්ථාව කොපි වෙනවා.තමන්ගේ අත්තම්මා ලෙඩ ඇඳේ ඉන්න කොට දරුවා මේ ගීතය ගායනා කරනවා.බලන්න ඔටිසම් දරුවෙකුගේ මනස ඇතුල කොයිතරම් අපූර්වත්වයක් තියනවද කියලා.එයා සන්නිවේදනය කරගන්න විදිය බලන්න.එයාගේ හැඟීම් ප්‍රකාශ කරන විදිය බලන්න.

ඒකයි මම නිතරම කියන්නේ සම්පූර්ණ අවධානය දෙන්න දරුවට. එයාගේ මනස ක්‍රියා කරන විදිය අවබෝධ කරගන්න.දේදුන්නක් වගේ වර්ණවත් ඔටිසම් දරුවන්ගේ මනස කොයිතරම් විශේෂද කියන දේ මේ සමාජේ මිනිස්සු තේරුම් ගත්තා නං දෙමව්පියන් විදියට අපි පුලුවන් සතුටු වෙන්න..

එතකොට අපි තේරුම් ගන්න ඕනේ අවුල් උන නූල් බෝලයක් වගේ තියන අපේ බබාලගේ වචන,වාක්‍ය,සම්පූර්ණ පිටපත් හරි විදියට හෙමින් ලිහාගන්න එයාලට උදව් කරන්න.

ඔබගේ දරුවා Gestalt language processor කෙනෙක්ද කියන එක දැනගන්නේ කොහොමද ?

  • නැරඹූ කාර්ටූන් එකක,රූපවාහිනී වැඩසටහනක,කතාවක කොටස් නැවත කීම
  • කතා කරන්නේ හඩ උස් පහත් කරමින් තාලයකය
  • ඉකලේලියා තත්ත්වය ඇති නම්
  • තමන්ව ‘ මම’ කියා හඳුන්වා නොදෙන්නේ නම්. උදා- එමලිට බඩගිනි/ බබාට කෑම දෙන්න/ බබා යනවා,
  • ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න අපහසු නම්
  • කතා නොකරන නමුත් ගීත කෑළී හෝ තාල මිමිණීම

එතකොට Gestalt ක්‍රමයට භාශාව හඳුනාගන්න කතා කරන්න උත්සාහා කරන දරුවෙක්ගේ සන්නිවේදන වර්ධනය කොටස් වලට බෙදනවා

1) මුලින්ම බබාලා කරන්නේ වාක්‍ය කෑලී ,වචන කොපි කරගන්න එක.පිටපත් කරගන්න එක. මේකත් එක්ක තමයි ඉකලේලියා තත්ත්වය එන්නේ. එතකොට කියන දෙයක් එවෙලෙම නැවත රිපීට් කරන්නත් පුලුවන් වගේම අහපු දෙයක් වෙනත් වෙලාවක රිපීට් කරන්නත් පුලුවන්. එතකොට මේ වගේ කොටස්,වාක්‍ය කෑළි කියන එකේ තේරුමක් අපිට පේන්නේ නැති උනාට මේ හැම එකක් පිටිපස්සෙම තේරුමක් තියනවා කියන එක වටහා ගන්න

2) දෙවනි ලෙවල් එකට එනකොට බබාලා කරන්නේ මේ ඇහෙන ,දකින දේවල් වලින් කොපි කරගත්ත සිංදු කෑළී,වාක්‍ය කෑලී එකට එකතු කරලා මිශ්‍ර කරලා කියන එක.එතකොට මේ පිටපත් කරන් ඉන්න වාක්‍ය හෝ වචන කොටස් වෙනස් කරන්නත් මේ ලෙවල් එකේදි පුලුවන්.

3) ලෙවල් තුන තමයි මැජික් ලෙවල් එක කියලා කියන්නේ. මෙතනිදි වෙන්නේ බබාලා එයාලගේ ඔලුවෙ පිටපත් කරන් ඉන්න වාක්‍ය කොටස් වලින් වචන ගලවලා ගන්න එක. ඒ කියන්නේ එයාලට පුලුවන් අවස්ථාවට හරියන්න වාක්‍ය හෝ වචන කියන්න

  • උදාහරණයක් විදියට බෝලයක් එක්ක සෙල්ලම් කරනකොට එයාලට කියන්න පුලුවන් ‘ බෝලය දෙන්න,රතු බෝලය කෝ,.බෝලය එපා, බෝලයට ගහන්න’ වගේ වාක්‍ය

4) මේ ලෙවල් එකේදී බබාලා උත්සාහය ගන්නේ එයාට අවශ්‍ය විදියට වචන එකතු කරලා කතා කරන්න. ” බබාට දෙන්න ,බබා ගියාද? ,එයාට එපා.” මෙන්න මේ වගේ වචන කෑළී එකතු කරලා කියනවා

5) මේ ලෙවල් එකේ වෙන්නේ හෙමීහිට බබා ව්‍යාකරණ හඳුනාගෙන ඒ විදියට කතා කරන්න උත්සාහ ගන්න එක.

6) මේක තමයි අවසාන ලෙවල් එක. දරුවා කතා කරන්න පටන් ගන්න තැන

එතකොට දරුවන් කාලයක් මේ විදියට එක එක ලෙවල් වලට ඇවිල්ලා අපේ සහයත් එක්ක අවසානයේදී Gestalt හැඩයෙන් එලියට ඇවිල්ලා නිදහසේ සන්නිවේදනය කරනවා. මේකට දරුවාගෙන් දරුවාට ගත වෙන කාලය වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේමයි දරුවාට අනිවාර්යයෙන් සහය අවශ්‍යයි.

ඒ නිසා සාමාජිකයින් වැඩි ප්‍රමාණයක් නිවසෙහි ඉන්නවා නම් සිද්ධ වෙනවා ඒ හැමෝම මේ ගැන දැනුවත් කරන්න. හේතුව දෙමව්පියන් එක විදියකට දරුවට කතා කරනවා, ආච්චි සීයා තව විදියකට, තෙරපිස්ට් තව විදියකට,ඉස්කෝළේ ගුරුවරුන් තව විදියකට.එතකොට දරුවා තව තවත් නූල් බෝලයක් වගේ පැටලෙනවා.ඒ නිසා එක ක්‍රමයකට දරුවාගේ ලෙවල් එකට අනුව සන්නිවේදනය කරන්න සහය දෙන්න..

 

මුල් සබැඳිය : Gestalt Language Processing (ලිපි අංක 2)