විලියම් යනු ඇමරිකාවේ ජීවත් වන ඔටිසම් සම්බන්ධයෙන් මිනිසුන් දැනුවත් කරනා මෙන්ම ඔටිසම් පිළිබඳව පොත් ලියූ ඔටිසම් පුද්ගලයෙකි. ඔහුද කුඩා කළ ඉතා ප්‍රමාදව කතා බහ කිරීම ආරම්භ කළ කෙනෙකි. තමන් කුඩා කළ අවශ්‍ය හැඟීම් වචනයෙන් ප්‍රකාශ කිරීමට නොහැකියාව ඔහුට දැනුන විදිය පවසන්නේ මෙසේය

” වචන සහ උත්තර ඉතා විශාල ප්‍රමාණයක් මගේ ඔලුවේ එකතු වෙලා තෙරපිලා තිබුනා.ඒත් මට තේරුනේ නෑ ඒවා මොන වෙලාවට කොහොමද එලියට දාන්නේ කියලා.බඩගිනීද කියලා අහනකොට මගේ ඔලුවේ අර එකිනෙකට මිශ්‍ර වෙලා තිබ්බ උත්තර වලින් හරි උත්තරේ හොයාගන්න මට පුලුවන් උනේ නෑ.සෑහෙන්න කාලයක් මෙහෙම ගත උනා.ඊට පස්සේ හෙමින් මම ඉගෙන ගත්තා මගේ ඔලුවේ මිශ්‍ර වෙලා තියන වචන සහ උත්තර වෙන් කර ගන්න .ඒත් මම දැනගෙන හිටියේ නෑ මොන අවස්ථාවට මොන උත්තරෙ පාවිච්චි කරන්නද කියලා.මේ විදියට තවත් කාලයක් ගත වුනා.ඊට පස්සේ මම ඉගෙන ගත්තා මොන උත්තරය මොන ප්‍රශ්ණෙට පාවිච්චි කරනවද කියන එක.ඔටිසම් පුද්ගලයෙක් විදියට මගේ වාචික සන්නිවේදනය දියුණුවෙන්න කාලයක් ගත උනා.ගොඩක් ඉවසීම මම ඒකෙන් පුරුදු උනා.”

ඒ ඔටිසම් පුද්ගලයෙකු වන විලියම් ගේ වචනයි.

දරුවෙක් භාශාව කතා කරන්න ගන්න ( බහ තෝරන) විධි දෙකක් තියනවා.එකක් තමයි ඇනලටික් ක්‍රමය ( Analytic ). ඒක තමයි පොඩි වචනය ගාණේ කතා කරන්න පටන් ගන්න එක.එක වෙලාවකට එක වචනය ගානේ තමයි ඉගෙන ගන්නෙ. උදාහරණයක් විදියට ” බෝලය “. එයාලා මුලින්ම ඉගෙන ගන්නවා බෝලය කියන තනි වචනය.ඊට පස්සේ ඒකම එයාලා ඉගෙන ගන්නවා වචන දෙකක් විදියට.” ලොකු බෝලය”. ඊට පස්සේ මේක තවත් දික් කරනවා.” රතු ලොකු බෝලය”කියලා. ඇනලටික් විදිය කියන්නේ මෙන්න මෙහෙම තනි වචනයක් ඉගෙන ගෙන ඒ වචනයත් එක්ක තව කැළී එකතු කරන් කතා කරන්න ඉගෙන ගන්න එක.ගොඩක් ළමයි මම හිතන්නෙ කතා කරන්න පටන් ගන්නේ මෙහෙම.ඒ කියන්නේ පහළ ඉදන් උඩට.පොඩි වචනෙ ඉදන් ටික ටික වාක්‍යක් වෙනකල්.

උදාහරණයක් අරගෙන මේ ඇනලටික් සන්නිවේදන ක්‍රමය (Analytic ) තවත් පැහැදිලි කරගමු. 

බබාලා මුලින්ම අම්මා කියන වචනේ අඳුරගන්නවා.එයාලා අම්මා කියලා කියන්න ගන්නවා.ඊට පස්සේ බඩගිනී කියන වචනේ අඳුරගෙන බඩගිනි උනාම කියන්න ගන්නවා “අම්මා බඩගිනී කියලා”.මේ වචන දෙකට එයා තවත් වචනයක් එකතු කරනවා.ඒ තමයි ” මට ” කියන වචනේ.දැන් බබා මේ වචන ටික සම්පූර්ණයෙන් එකතු කරන් වාක්‍ය කියනවා ” අම්මා මට බඩගිනි ” කියලා.මෙහෙම තමයි දරුවන්ගේ භාශාව වර්ධනය වෙන්නේ.අපි කියන්නේ සරළවම දරුවා බහ තෝරන්න අරගෙන කියලා තනි වචන කෑළී කියනකොට.

ඔටිසම් බබාලගෙ සන්නිවේදනය මීට ටිකක් වෙනස් වෙන්න පුලුවන් .මේක හැම ඔටිසම් බබෙක්ටම අදාළ වෙන්නේ නෑ. ඔටිසම් දරුවන්ගෙන් බහුතරයකගේ භාෂාව හැදෙන ක්‍රමයට අපි කියනවා ගෙශ්ටාල්ට් ( Gestalt ) ක්‍රමය එහෙමත් නැත්තන් Gestalt language processing කියලා. මේක ඇනලටික් ක්‍රමයට වඩා හාත්පසින්ම වෙනස්.

Gestalt භාශා ක්‍රමයට අනුව උඩ ඉදන් පහළට තමයි වචන එකතු වෙන්නේ. මේක පරිස්සමට තේරුම් ගන්න ඕනේ. GLP බබාලා කතා කරන්න පටන් ගන්නේ එක පාරට වචන ගොඩක් එකට පටලවන්,නිකන් පිටපතක් බලන් කතා කරනවා වගේ.සිංදුවක් වගේ.තාලෙට. ඒක හරියටම සිංදු කෑලි වලින් අදහස් හුවමාරු කරගන්නවා වගේ.මෙහෙම හැඩයක් තියෙන්න පුලුවන් වෙන්නේ එයාලා අහන ළමා ගීත,ඇහෙන කතා ඔක්කොම ඒ විදියටම ඔලුවේ කම්පියුටර් එකක වගේ තැන්පත් කරගන්න නිසා. දැන් මේ කොපි වීම ෆෘට් සැලඩ් එකක් වගේ මිශ්‍ර වෙලා තියෙන්න පුලුවන් .

ගොඩක් වචන කොටස්,වාක්‍ය කැළි අපේ දරුවන් ඉගෙන ගන්නේ ෆිල්ම්ස් වලින්, ටීවී එකේ කාර්ටූන් වලින්,නිතරම ඇහෙන දකින දේකින් තමයි.එතකොට අනික් බබාලා වගේ තනි වචන විදියට නෙමේ ඔටිසම් බබාලගේ ඔලුවේ භාශාව කියන එක හැදෙන්නේ. වාක්‍ය කොටස්.කතන්දර කෑළී.සිංදු විදියට.

නිකන් හිතන්න තරුවක් දැක්කම ඔටිසම් නොවන බබෙක් ඒක පෙන්නලා කියනවා “තරුව” කියලා.ඒත් ඔටිසම් බබෙක් තරුවක් දැක්කම කියනව ට්වින්කල් ටුවින්කල් ලිට්ල් ස්ටාර් කියන සිංදු කෑල්ල. මෙන්න මෙහෙමයි අපේ ඔටිසම් බබාලා බහ තෝරන්න පටන් ගන්නේ. එතකොට අපි අපේ දරුවන්ට ළමා ගීත,කතන්දර,ෆෑශ් කාර්ඩ් එහෙම ගොඩක් දෙන්න ඕනේ එයාලගේ ඔලුවේ කොපි වෙන්න.. මෙහේ සමහර තෙරපිස්ට්ලා ,වෛද්‍යවරු කියනවා සිංදු අහන්න දෙන්න එපා.ටීවී එක බලන්න දෙන්න එපා වගේ දේවල්.අපේ දරුවෝ මේ දේවල් වලින් තමයි රූප එක්ක භාශාව එයාලගෙ මනස ඇතුලට කොපි කරගන්නෙ. ලංකාවේ gestalt ( ගෙශ්ටාල්ට් ) භාශාව ගැන හදාරපු ගෙශ්ටාල්ට් භාශා තෙරපිවරුන් නැත. එය මම ඉතා වගකීමෙන් කියනවා. අපිට බහුතරයක් ඉන්නේ රූප කාර්ඩ් ,සෙල්ලම් බඩු පෙන්නලා ඉන්දවලා වචන කියලා දෙන අය විතරයි.

ඔටිසම් බබාලට වචන කතා කරන්න පටන් ගන්න කලින් මුළු හෝඩියම කඩපාඩමින් කියන්න පුලුවන්.එහෙම නැත්තන් සම්පූර්ණයෙන් කාටුන් එකක දෙබස් ඒ විදියටම කියන්න පුළුවන්.එතකොට මෙන්න මේ විදියට භාශාව වර්ධනය කර ගන්න දරුවෙක්ට ස්පීච් තෙරපි කරනවා නං ඒ තෙරපි කරන කෙනා GLP ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ.එතකොට තමයි අපිට මේ ක්‍රමේට හරියන්න බබාලට වාචික සන්නිවේදනයට සපෝට් එකක් දෙන්න පුලුවන් වෙන්නෙ.මොකද ඔටිසම් බබාලගෙන් 75%කට වඩා ගෙශ්ටාල්ට් භාශා ක්‍රමයත් එක්ක තමයි කතා කරන්න පටන් ගන්නේ කියලා හොයාගෙන තියෙන්නෙ.

උදාහරණයක් විදියට එමලිගේ සන්නිවේදනය ගැන කතා කරමු. එමලි අම්මා තාත්තා කියලා කිව්වේ නෑ.කිසිම වාචික සන්නිවේදනයක් එයා කරේ නෑ.ඇඟිල්ලෙන් තමයි කිරි බෝතලේ පෙන්නලා මට කියන්නේ එයාට බඩගිනී කිරි එක දෙන්න කියලා.එමලිට බඩ රිදෙන්න ගත්තත්,ඇඟට අමාරු කමක් දැනුනත් ඒක කියන්න බෑ.හැම එකක්ම එයා එලියට පෙන්නුවේ කෑ ගහලා බිම පෙරලිලා අඩලා ඔලුව බිත්තියේ හප්පන්.මම ගොඩක් උත්සාහා ගත්තා එක එක ක්‍රම වලට බබාව කතා කරවගන්න.මෙතනිදි මානසිකව ඉතා පීඩාවට පත් උනේ මිනිස්සුන්ගේ කතා වලදි.” අම්මා බබා එක්ක කතා කරන්න.බබා එතකොට කතා කරයි”. යන වාක්‍ය මම නිරන්තරයෙන් අහපු දෙයක්. කිසිම අම්මා කෙනෙක් තමන්ගේ දරුවා එක්ක කතා නොකර ඉන්නේ නැහැ. ඒ නිසා මේ වගේ කතා අම්මා කෙනෙක්ට අමතර පීඩාවක් ගේනවා කියන එක සමහර අය හිතන්නේ නැහැ.

උදාහරණයක් විදියට අපි ගෙශ්ටාල්ට් ක්‍රමේට බහ තෝරන ඔටිසම් බබාලට පිටපත් හදාගෙන තමයි වාචික සන්නිවේදනයට සහය දෙන්න ඕනේ.ඒ වගේම එක වචනයක් හරහා එක හා සමාන වාක්‍ය හදලා ඒ වාක්‍ය නොවෙනස් වෙන විදියට අපිට අවස්ථාවන් වලට පාවිච්චි කරන්න පුලුවන්.

අපි ” වෙලාව “ කියන වචනේ ගමු.අපි මෙන්න මේ වචනේ දාලා හදපු වාක්‍ය දරුවට කියන්න ඕනේ.

  • දැන් කෑම කන වෙලාව
  • නාන වෙලාව
  • සෙල්ලම් කරන වෙලාව
  • එලියට යන වෙලාව
  • දත් මදින වෙලාව
  • දැන් නිදාගන්න වෙලාව

මෙන්න මෙහෙම ඒ වචනේ දාලා පිටපතක් වගේ තමයි අපි බබාට ඒක හඳුන්වලා දෙන්නේ. බබාට බත් පිඟාන අරගෙන කෑම කවන්න යනකොට කියන්න දැන් කෑම කන වෙලාව කියලා.එහෙක අවශ්‍ය වචන දාලා එකතු කරලා මෙහෙම වාක්‍ය විදියට ඒ ඒ වෙලාවලට බබාට කියන්න . එතකොට කාලයක් යනකොට බබාට බඩගිනි උනාම බබා කියන්න පෙළඹෙනවා ” දැන් කෑම කන වෙලාව ” කියලා.නිදි මත උනාම එයා කියයි ” දැන් නිදා ගන්න වෙලාව කියලා “. මෙන්න මේ විදියට තමයි එයාලා පිටපත් කරගන්න වාක්‍ය අවශ්‍ය වෙලාවට එලියට දාන්නේ.එතකොට මොකක්ද අපි කරන්න ඕනේ.එහෙම එයාලගෙ ඔලුවේ පිටපත් වෙන්න අපි වාක්‍ය දෙන්න ඕනේ.

ඔබගේ ඔටිසම් දරුවා යමක් නැවත නැවත ඔබ පවසනා වාක්‍ය කියන්නේ නම්( රිපීට් කරන්නේ නම්) එයට කළබල නොවන්න.එය Echolalia ( ඉකොලේලියා) නමින් හඳුන්වයි.එයද ගෙශ්ටාල්ට් ලැන්වේජ් ප්‍රොසෙස්  (Gestalt language) එකෙහිම කොටසක් ලෙස දැන් හඳුන්වා දෙයි.එය ඔබගේ ඔටිසම් දරුවා සන්නිවේදනය කිරීම ආරම්භ කිරීමේ එක්තරා පියවරකි. මේ දිනවල එමලි මා පවසන සෑම වාක්‍යයක්ම නැවත කියයි.එය Echolalia බව මා දනිමි. එහෙත් මා කළබල නොවන්නේ එය ඇයගේ වාචික සන්නිවේදනය වර්ධනය කරගන්නා එක් පියවරක් නිසා ය.

* Echolalia ( ඉකලේලියා )

මෙහි වර්ග දෙකක් ඇත. එකක් Immediate echolalia වන අතර අනෙක Delayed echolalia වේ.

අනෙක් පෝස්ට් එකෙන් මේ පිළිබඳව වඩාත් සරළ පැහැදිලි කිරීමක් මා කරන්නෙමි. ඔබ ඔබගේ දරුවාගේ මනසෙහි සිදු වන සෑම දෙයක් පිළිබඳව දැනුවත් වීමෙන් ඔබට ඉතා පහසුවෙන් දරුවාගේ වර්ධනයට සහය විය හැකිය.

 

මුල් සබැඳිය : ඔටිසම් දරුවන් සහ සන්නිවේදනය