ඔටිසම් දරුවන් බහුතරයක් Sensory ගැටළු එහෙමත් නැත්නම් සංවේදන අසමබරතාවයන් නිසා මුහුණ දෙන අභියෝග රැසක් තියනවා. එතකොට දරුවෙක්ට පෙර පාසළ, පාසළ, ඇඳුම්, කෑම බීම, පොත්, Visual tools තෝරා ගැනීමේදී සහ ඒ දරුවාව නිවසින් පිටතට අරගෙන යන තැන ගැන පවා සිය වතාවකට වඩා දෙමාපියන්ට හිතන්න වෙනවා මේ ගැටළු නිසා. අපි අද සම්පූර්ණයෙන්ම මේ සංවේදන 8 ගැන කතා කරමු.

1) Auditory – ශ්‍රව්‍ය 

2) visual  – දෘශ්‍ය 

3) vestibular- සමබරතාවය 

4) Tactile (Touch) – ස්පර්ශය

5) Gustatory (Taste) – රසය

6) Smell  – ගඳ/සුවඳ

7) Interoception – ශරීරය පිළිබඳව ඇති දැනීම 

8) proprioceptive- ශරීරය චලනය සහ ක්‍රියාවන් පිලිබදව ඇති දැනුම.

මේ Sensory system එක නිසා තමයි සරළවම අපිට පහසුවෙන් ජීවත් වීමේ හැකියාව තියෙන්නෙ. එතකොට ඕනෑ තරම් පුද්ගලයින් ඉන්නවා යම් යම් සංවේදන වලට අධික හෝ අවම සංවේදනයක් දක්වන.එතකොට ඔටිසම් දරුවන් හැමෝටම මේ සංවේදන අසමබරතාවය නැහැ. ඒත් බහුතරයකට තියනවා. එතකොට මේ සංවේදන අසමබරතාවය නිසා තමයි Repetitive behavior සහ Stimming කියන එක ඇති වෙන්නේ. මේ ගැන පේජ් එකේ සම්පූර්ණයෙන් විස්තර ඇතුව ලියලා තියනවා.

ඔටිසම් දරුවන්ගේ සංවේදන පිටත සමාජයට වටහා ගන්න බැරි නිසා බොහෝ ගැටළු වලට සහ අපහසුතා වලට ඔටිසම් දරුවන් මෙන්ම දෙමාපියන්ද පත් වෙනවා. සරළ උදාහරණයක් ගමු. ඔබ දකිනවා පොදු ස්ථානය දරුවෙක් බිම පෙරළිලා කෑ ගහලා අඩනවා. දෙමාපියන්ට පාලනය කරගන්න බැරි විදියට කළබල  වෙලා. එතකොට ඔබට හිතෙන පළවෙනිම සිතුවිල්ල තමයි ඒ දරුවාගේ දෙමාපියන් හරියට දරුවව හදලා නැහැ; ඒ නරක ළමයෙක් කියන එක. ඒත් ඇත්තටම ඒ දරුවා ඔටිසම් දරුවෙක් නං ඒ කෑ ගහන්නේ ඒ වටපිටාවේ ඇති යම් ශබ්ධයක්, ගඳ සුවඳක්, රූපයක් හෝ වෙනත් ඕනෑම දෙයක් දරාගන්නට ඒ දරුවාට නොහැකි වීම නිසා වෙන්න පුළුවන්. ඒක හරියටම කියනවා නම් දූරියන් කන්න හෝ ඒ Smell එක දැනෙන්නවටත් ආස නැති මනුස්සයෙක්ව දූරියන් ගෙඩි පුරවපු පොඩි කාමරයක් අස්සට දාලා වැහුම දැනෙන හැඟීම වගේ. එතකොට Neurotypical මිනිස්සු මේක වටහා නොගන්නා තෙක් ඔටිසම් දරුවන්ට හා පුද්ගලයින්ට ඇති වෙන්නේ තදබළ අපහසුතාවයක් පමණයි.

Visual sensory (දෘශ්‍ය සංවේදන) කියන්නේ මොකක්ද? ඒ කියන්නේ තමන් දකින දේ කොහොමද ස්නායු සංවේදනයන්‍ට දැනෙන්නේ කියන එක. එතකොට මෙන්න මේ දෘශ්‍ය සංවේදනයේ සංවේදී කම අධික ඔටිසම් දරුවන් වගේම මේ සංවේදනයේ සංවේදී කම අවම දරුවන් ඉන්නවා. ඒ වගේම මේ දෙකම එකට තිබෙන දරුවන් ඉන්නවා. එතකොට සමහර දරුවන්ට Meltdown එකක් උනාම ඒක ඇති වෙන්න හේතුව එයා දැකපු යම් පාටක් නිසා එයාගේ දෘශ්‍ය සංවේදනය දරාගන්න බැරි වීමක් වෙන්න පුළුවන්. අපි මේකට කියනවා Over Stimulate වෙනවා කියලා. සමහර දරුවන් කළු පැහැයට අධික ඇල්මක් දක්වනවා.එයාලා තෝරාගන්නා ඇඳුමේ, පොතේ, පෑනේ සිට සෑම දෙයක්ම කළු පාටයි. ඒකට හේතුව ඒ පැහැය දරුවාගේ මනස සන්සුන් කරන්න හේතුවක් වෙන්න පුළුවන් නිසා. සමහර දරුවන්ට කහ පාට සහ තද රතු පාට දැකීම මනස ඉතා කළබලයට පත් වෙන්න හේතුවක් වෙනවා. සමහර වෙලාවට Neurotypical මිනිස්සු පවා කියන්නේ යම් පාටක් දැක්කම මගේ ඇස් දෙක කඩන් ගියා; බලන්න හරි අමාරුයි කියලා. අන්න ඒ වගේ තමයි. පොතක කුඩා රූපයක්, ඇඳුමක කුඩා ඩිසයින් එකක් පවා Over Stimulate වෙන්න බලපානවා. මේ දෘශ්‍ය සංවේදනයේ සංවේදීතාවය අවම දරුවන් හරි ආසයි දේවල් උඩ දාලා බිමට වැටෙන හැටි බලන් ඉන්න. නැත්තන් ඇහැට ළං කරලා රූප දිහා බලන් ඉන්න.

ඔටිසම් දරුවෙක්ගේ යම් සංවේදනයක සවේදීතාවය අවම නම් ඒ දරුවා සංවේදන හොයාගෙන යනවා. මේකට අපි කියනවා Sensory seeking කියලා. උදාහරණයක් විදියට Touch /Tactile Sensory අවම දරුවන් හරී කැමතියි නිතරම නොයෙක් දේවල් අත පත ගාන්න. නන්නාඳුනන කෙනෙක් දැක්කත් ඒ බබාලා ලඟට ගිහින් ඒ මනුස්සයව ස්පර්ශ කරන්න. ඒ වගේම බිත්තියේ ඇඟ අතුල්ල ගන්න, අම්මගේ කොණ්ඩේ අල්ලන්න, බෙඩ්ශීට් එක අල්ලන් ඉන්න වගේ නිතරම දේවල් ස්පර්ශ කරන්න හදනවා. මේ හැසිරීම සමහර අයට වටහා ගන්න බැරි නිසා දරුවා පහර කෑමට ළක් වෙනවා. එතකොට මේ Touch sensory සංවේදනයේ සංවේදීතාවය අධික දරුවන් නොයෙක් ස්පර්ශයන් මඟ හරිනවා. දත් මදින්න, කොණ්ඩේ පීරන්න, ඇඳුම් අදින්න දැඩි අකමැත්තක් පෙන්නුම් කරනවා. ඒකට හේතුව ඒවා හරහා ශරීරියට දැනෙන දැනීම දරාගන්න අපහසු නිසා.

එතකොට Sounds කියන සංවේදනයට සංවේදී වැඩ් දරුවන් සියුම් ශබ්ධයක් පවා කන ආසන්නයේ ඇහෙන ශබ්ධයක් වගේ ඇහෙන්න පුළුවන්. එතකොට මේ ශබ්ධ කියන්නේ Sounds waves. ශබ්ධ සංවේදනයේ දැනීම අවම දරුවන් කැමතියි සද්ද නිතරම ඇහෙනවට. සිංදු උනත් උපරිම සද්දේ වැඩිම කරලා අහන්න.

Proprioceptive කියන සංවේදනයෙන් සිද්ධ වෙන්නේ තමන්ගේ ශරීරය පිළිබඳව දැනීමක් තමාට ඇති වීම. ශරීරයේ අංග ක්‍රියාකිරීම පිළිබඳව තිබෙන සංවේදීතාවය. මේ සංවේදනයෙන් තමයි අපිට අපේ ශරීරයේ සමබරතාවය තබාගෙන යමක් උස්සන්න, අදින්න, හිල් කරන්න, පඩි පේළියක් නගින්න පුළුවන් කම තියෙන්නෙ. එතකොට Occupational Therapy වලින් කරන්නෙත් දරුවාගේ මේ සම්බන්ධ යම් ගැටළු තියනවා නම් ඒවා අවම කරගන්න දරුවාට සහය ලබා දෙන එක.

Interoception කියන සංවේදනයෙන් කරන්නේ අපේ ශරීරයේ අභ්‍යන්තයේ දැනීම ගැන අපිට දන්වන එක. අපේ හෘද වස්තුවේ ස්පන්දන වේගය වැඩි වීම, බඩ රිදීමක් හෝ ඕනෑම දෙයක් ගැන අපිට දැනෙන්නෙත් මෙන්න මේ සංවේදනය නිසා.

ඔටිසම් දරුවෙක්ට පන්ති කාමරේ ඇතුලේ අවධානය දෙන්න නොහැකියාවක් තියනවා නම් ඒකට හේතුවත් මේ සංවේදන අසමබරතාවය. ඒ වගේම ADHD දරුවන්ටත් අවධානය දෙන්න බැරි වෙන්න හේතුව වෙන්නේ ඒ දරුවන්ගේ සිතුවිලි ඉතා වේගයෙන් එහා මෙහා යෑම. එතකොට මේ දරුවන්ට පහර දීලා, සැර කරලා, දඩුවම් කරලා මේවා හදන්න බැහැ. දරුවන්ට සහය දෙන්න පුළුවන් එකම ක්‍රමය එයාලගේ මනස ක්‍රියාත්මක වෙන විදිය වටහා ගැනීමෙන් පමණයි.