දැන් ” ඔටිසම් ” පුද්ගලයින්ගේ අසාමාන්‍ය හැසිරීම් කියලා ඉතාමත් වැරදිසහගත විදියට බහුතරයක් පුදගලයින් හඳුනාගන්නා මේ Pattern සහ Routine ගැන අපි පැහැදිලි කරගමු.
ඔටිසම් පුද්ගලයින්ගේ Patterns කියන්නේ මොකක්ද ? නැවත නැවතත් එකම ආකාරයේ සිතීම,ක්‍රියා කිරීම, සහ හැසිරීම. එතකොට මේ patterns කොටස් කීපයකට බෙදෙනවා.
- Behavioral Patterns (හැසිරීමේ විවිධාකාර හැඩයන්)
නැවත නැවත එකම ආකාරයේ ක්‍රියාවන් කිරීම සහ එකම ආකාරයේ චර්‍යාවන්. උදාහරණ විදියට සෙල්ලම් බඩු පේලියට තැබීම, එකම මාර්ගයක පාසලට යෑම, එකම ආකාරයකට හෝ ක්‍රමයකට ආහාර වේල් ගැනීම.
- Cognitive Patterns – එකම හැඩයකට දැනුම ලබා ගැනීම, සිතීම සහ වටහා ගැනීම. උදාහරණ විදියට අංක, රූප එකම ආකාරයක හැඩතලයන් හරහා වටහා ගැනීම. දරුවෙක් පොත්, සෙල්ලම් බඩු, රූප වලින් එයාට ඕනේ හැඩ, පාට, සයිස් එක මත හදාගන්න පුලුවන් ඕනේම Pattern එකක් හදනවා නම් ඒවා සාලේ පේළියට තියනවා නම් අපි මේකට systematic thinking කියලත් කියනවා.
ඒ වගේම ගණිත සමීකරණ තමන්ගේම එක්තරා හැඩයකට විසඳීමත් Cognitive Patterns වලට අයිති වෙනවා. ඒ වගේම යම් සිදුවීමකට තමන් මුහුණ දෙන ආකාරය සංවාද සහිතව මනසින් ආයේ ආයේ හිතලා පුරුදු වෙනවා. ඒ වගේම ඕනේම Puzzle එකක් දැක්ක ගමන් ඒකේ හැඩය වටහා ගන්න එකත් මේකට අයිතියි. දැන් සමහර දරුවන් ඉන්නවා ඩයිනෝසරයන් ට අධික කැමැත්තක් දක්වනවා.එයාලට පුලුවන් ඕනේම ඩයිනෝසරයෙක්ගේ රූපයක් දැක්ක ගමන් ඒ කවුද කියලා නාමිකව හදුනාගන්න. එයාගේ මනසේ මේ හැම දේම හරිම පිළිවෙලට ලස්සනට Pattern එකක් විදියට කොපි වෙලා තියනවා.
- Communication Patterns – යම් වාක්‍යක්, දෙබසක් හෝ වචනයක් නැවත නැවත මනසින් කීම හෝ වාචිකව කීම. මේකට Echolalia කියලා කියනවා. ඒ වගේම එකම හැඩයකට සන්නිවේදනය කිරීමත් මේකට අයිති වෙනවා.
- Sensory Patterns – නිරන්තරයෙන් එකම ආකාරයට යම් යම් සංවේදන සොයා යෑම සහ යම් සංවේදනයන් මඟ හැරීම. උදාහරණයක් විදියට සිනිඳු වස්තූන් ස්පර්ශ කිරීම සහ අධික ශබ්ද මඟ හැරීම.
- Emotional Patterns – තමන්ට දැනෙන හැඟීම් / දැනීම් සමබර කරගැනීමට සහ මනසේ පීඩාකාරී තත්ත්වයන් අවම කිරීමට එකම ආකාරයේ පුරුදු නිර්මාණය කර ගැනීම.
- සමහර වෙලාවට ඔයාගේ බබා හේතුවක් නැතුව එක පාරට අඩන්න ගන්නවා නම් ඒකට එක හේතුවක් තමයි එයාගේ Routine, Pattern වලට යම් බාධාවක් වීම.
දැන් ඇයි ඔටිසම් දරුවන්/ පුද්ගලයින් මේ වගේ Pattern හදාගන්නේ සහ ඒවා ජීවිත කාලය පුරාම ඔවුන් පවත්වාගෙන යනවද?
මේ එකම ආකාරයේ හුරු පුරුදු, චර්‍යාවන් පවත්වාගෙන යන්න හේතූ මොනවද?
- Predictability / Emotional Regulation – ඔටිසම් පුද්ගලයන් අනපේක්ෂිත සිදුවීම් වලට ඒ තරම් කැමති නැහැ. උදාහරණයක් විදියට අපි අපේ දරුවන්ව අලුත්ම තැනකට අරන් යන්න කලින් ඒ ගැන වාචිකව හෝ රූප මාධ්‍ය හරහා කල් තියා කියලා සූදානම් කරලා තියනවා. එහෙම නැති උනොත් බොහෝ දුරට එයාලට ඒක දරාගන්න අපහසු වෙන්න පුලුවන්. මෙන්න මේ නිසා තමයි තමන්ගේ මනස සන්සුන්ව තියාගන්න ඔටිසම් දරුවන්/ පුද්ගලයින් නිතරම Pattern / Routine හදාගන්නේ. එදිනෙදා දවස එයාලට අවශ්‍ය පහසු විදියට ගෙවන්න තමයි මේ වගේ පුරුදු නිර්මාණය කරගන්නේ. ඒ නිසා මේ දේවල් බලහත්කාරයෙන් නතර කරන එකවත් බාධා කරන එකවත් ඒ තරම් සුදුසු දෙයක් නෙමේ.
- Control Over Sensory Environment:
සංවේදන සංවේදීතාවය ඉතා අධිකව දැනීම පාලනය කරගන්න මේ වගේ Pattern /Routine පවත්වාගෙන යනවා. උදාහරණයක් විදියට එකම ආහාර රටාවක් පවත්වාගෙන යාම, තමන්ට හුරු පුරුදු ඇඳුම් කට්ටල කීපයම ඇඳීම, නිදාගන්න යන රටාව වගේ දේවල්.
මේ හරහා එයාලා මුහුණ දෙන sensory discomfort/ සංවේදන අසමබරතාවය යම් මට්ටමකට පාලනය කරගැනීමක් කරනවා.
- Sensory-Related Rituals- සමහර හුරු පුරුදු කෙලින්ම සංවේදන අවශ්‍යතාවයන්ට සම්බන්ධයි. උදාහරණයක් විදියට එකම ක්‍රියාව නැවත නැවත කිරීම( Stimming). තමන්ගේ මනස සන්සුන් කරගන්න එකම ආකාරයේ ක්‍රියාවන් ආයේ ආයේ කරන එක හරහා ඔවුන්ගේ මනසට ලැබෙන අසීමිත පහසුවක් ලැබෙනවා; සන්සුන්කමක් ලැබෙනවා.
තව වැදගත් කාරණයක් තමයි ” Coping mechanism ” කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ හැඟීම් සහ දැනීම් දරාගැනීමේ හැඩය. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. උදාහරණයක් විදියට යම් අහිමිවීමකදී හැමෝම ඒක දරාගන්න විදිය අඩා වැළපීමම වෙන්නේ නැහැ. කෙනෙක් ඉතා නිහඩව ඒ හැඟීම දරාගන්නවා වෙන්න පුලුවන්. මේ වගේම ඔටිසම් ප්‍රජාවත් තමන්ගේ සංවේදන දරාගන්නා ක්‍රමයන් වෙනස් වෙන්න පුලුවන්. ඒ එක ක්‍රමයක් තමයි මේ වගේ එකම හුරු පුරුදු, රටා නිර්මාණය කරගැනීම.
දරුවන් ලොකු වෙනකොට එයාලගේ ස්නායු විවිධත්වය මත තමයි මේ Pattern සහ Routine වෙනස් වීම, අවම වීම තීරණය කරන්නේ. වඩා හොඳ Emotions Regulations (හැඟීම් දරා ගැනීමේ) ක්‍රම දරුවන්ට සොයා දීම හරහා ඔවුන්ට මානසික සහ ශාරීරික සෞඛ්‍ය සම්පන්න ආකාරයට තමන්ගේ මනස සන්සුන් කරගැනීමේ හැකියාව ලැබෙනවා.
මේ Pattern සහ Routine ගැන ගොඩක් අය පර්‍යේශණ කරලා තියනවා. ඒ මත තමයි අද මේ වෙන විට අපිට මේ පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තියෙන්නේ.
Dr. Uta Frith (1980–1990) හඳුන්වා දුන්නා “Weak Central Coherence” Theory එක. ඒකෙන් පෙන්වා දුන්නා ඔටිසම් ප්‍රජාව ඕනෑම දෙයක සමස්තයට වඩා ඒකේ ඉතා කුඩා සියුම් විස්තර (Details) වලට තමයි අවධානය යොමු කරන්නේ කියලා.
Dr. Simon Baron-Cohen 2009 දී ඉදිරිපත් කරා “Mind and Empathizing-Systemizin” තියරි එක. Dr. Olga Bogdashina කතා කර මේ සංවේදන කොහොමද ඔටිසම් පුද්ගලයින් එකිනෙකට වෙනස් විදියට දරාගන්නේ කියන එක ගැන සහ සංවේදන සංවේදීතාවය අත් දකින විදිය Pattern / Routine වලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා.
2007 දී Markram ඉදිරිපත් කරපු The Intense World Theory එක ගැන හරහාත් මේ ගැන කතා කරනවා.
ඔටිසම් පුද්ගලයින්ගේ සහ දරුවන්ගේ Patterns/ Routines වලට ගරු කිරීම සහ පිළිගැනීම හරහා අප ඔවුන්ට පහසුවෙන් ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කරයි.එයට දායක වීමට නම් ඔටිසම් යන ස්නායු විවිධත්වයේ සෑම පරාසයක්ම අපි වටහා ගත යුතුය.