මේක ඔටිසම් දරුවන් ඉන්න දෙමාපියන්ට වගේම සහ සමාජයටත් ඉතාමත් වැදගත් කාරණාවක්.

හේතුව මට සෑහෙන්න පැහැදිලිව වැටහෙනවා ඔටිසම් දරුවන් ඔක්කොම එක වගේ කියලා බහුතරයක් හිතනවා කියන එක.එතකොට එයාලා එක ඔටිසම් දරුවෙක් දැක්කොත් හිතනවා මේක තමයි ඔටිසම් කියන්නෙ කියන එක. Autism spectrum disorder කියන්නේ එකිනෙකට වෙනස් වූ ලක්ශණ සහිතව ඇති වන තත්ත්වයක්. එතකොට කෙනෙක් එමලි දිහා බලලා මේක තමයි ඔටිසම් තත්ත්වයේ හැඩය කියලා හඳුනාගන්නවා නම් හෝ වෙනත් ඔටිසම් දරුවෙකු හඳුනන නිසා එයින් එමලිත් ඒ වගේ යැයි තීරණය කරනවා නම් ඒක සම්පුර්ණයෙන්ම වැරදි නිගමනයක්.අපිට ඔටිසම් තත්ත්වයට හරි හැඩයක් දෙන්න බෑ.අපි මේ කතා කරන පොදු ලක්ශණ හැරුනු කොට ඉතා හොදින් කතා බහ කරන,අයි කන්ටැක් තිබෙන අනෙකා සමඟ ඉතා සමීපව සම්බන්ධතා පැවැත්විය හැකි දරුවන් ඉන්නවා ඔටිසම් තත්ත්වය ඇති.එතකොට ඔටිසම් දරුවන් දහදෙනෙක් ගත්තොත් ඒ දහදෙනා විධි දහයක්.මේ අතර යම් යම් පොදු ලක්ශණ තියෙන්න පුළුවන්.

එතකොට මේ ඔටිසම් දරුවන්ව හරියට වටහා නොගත් පුද්ගලයින් හෝ යම් මධ්‍යස්ථවල ඔටිසම් දරුවන් තැබීමෙන් සිදු විය හැකි හානිය වචනයෙන් කියන්න බැහැ.අපි උදාහරණයකට ගමු Epilepsy කියන තත්ත්වය. මේක අපි දන්නා ෆිට් එක එහෙමත් නැත්තන් මීමැස් මොරය නෙමේ. නින්දෙන් පවා පිටතට නොපෙනෙන ආකාරයට ඇති විය හැකි තත්ත්වයක්.දරුවා ඉතා හොදින් සෙල්ලම් කරමින් ඉන්න අවස්ථාවලදී හෝ පාසලේ පන්ති කාමරයේ ඉන්න අවස්ථාවලදී හෝ ඕනෑම අවස්ථාවක ඇති විය හැකි ස්නායු තත්ත්වයක් තමයි Epilepsy කියන්නේ. විශේශයෙන් ඔටිසම් දරුවන්ට මෙම තත්ත්වය ඇති වීමේ ප්‍රතිශතය ඉතා ඉහළයි.මේ තත්ත්වය ඇති වන සෑම වාරයකදීම යම් හානියක් ස්නායු වලට ඇති වෙනවා.මම මගේ දරුවා ආරක්ශා කරන හේතු දහසක් අතරින් මේක ප්‍රධානම හේතුව.එතකොට හිතන්න පෙර පාසළේ හෝ පාසලේ ඔටිසම් දරුවෙක්ට Epilepsy තත්ත්වය ඇති උනා කියලා.මේ ගැන නොදන්න ගුරුවරුන් හිටියොත් දරුවාට කොයිතරම් හානියක් ඒ වේලාවේ ඇති විය හැකිද? අන්න ඒකයි දෙමාපියන් විදියට අපි අපේ දරුවන්ට සුදුසුම හා වටහා ගත් පුද්ගලයින් හා තැන් වලට විතරක් අපේ අධීක්ෂණය නොමැතිව දරුවා යොමු කරනවා නම් යොමු කර යුත්තේ.

එතකොට ඔටිසම් Freezing හෝ Shutdown කියන්නෙත් අපි සැළකිලිමත් විය යුතු තත්ත්වයක්. මීට මාස කිහිපයකට කලින් එමලි මේ වගේ තත්ත්වයකට මූණ දුන්නා.විනාඩියකට ආසන්න වෙලාවක් එයාගේ Freezing තත්ත්වය තිබ්බා. ඒක උනේ කොහොමද කියලා මම විස්තර කරන්නං.

එමලි සාමාන්‍යයෙන් පොත් වලට ගොඩක් කැමතියි.එයාගේ අක්කට ගෙනල්ලා දුන්න පොතක් තිබ්බා.ඒකේ තියෙන්නෙ මනුස්ස ශරීරයේ අවයව රූප සටහන් මඟින් විස්තර කරලා.එමලි මේ පොත මට ගෙනල්ලා දුන්නා.ඒයා ආසයි මම පොත් වල පිටුවෙන් පිටුව පෙරළලා ඒ ගැන කියවන එකට.එයාව ලඟින් ඉන්දගෙන මම මේ පොතේ මුල ඉදන් පිටුවෙන් පිටුව පෙරළලා එයාට තේරෙන විදියට සරළව කියලා දෙන්න ගත්තා.පොතේ අවසානයේ එක්තරා පිටුවක් පෙරළපු ගමන් ඒක දිහා බලපු එමලි එක පාරටම ඇස් දෙක ලොකු කරලා සිවිලිම දිහා බැලුවා. එයා හෙළවුනේ වත් නෑ.නිකන් ගල් ගැහිලා වගේ කිසිම අංග චලනයක් කරේ නෑ. මම එමලි එමලි කියලා කතා කරත් එයා ඒකට ප්‍රතිචාර දැක්කුවේ නැහැ.එයාගේ ශරීරය ගල් වෙලා වගේ ඇස් දෙක සිවිලිම දිහා එක එල්ලේ බලාගෙන හිටියා.විනාඩියකට ආසන්න වෙලාවක් එයා එහෙම හිටියා.ඊට පස්සේ එයා සාමාන්‍ය අතට පත් උනා. අම්මා කෙනෙක් විදියට ඒ මොහොතේ මට දැනුන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැහැ. එයාට එහෙම උනේ අර පොතේ එක්තරා පිටුවක් නිසා.ඒ පිටුව පුරා ලොකුවට ඇඳලා තිබුනේ මනුශ්‍ය උඩු කය සැකිල්ලක් සමඟ පෙණහලු. ඒ පොත අදටත් මම හංඟලා තියෙන්නෙ.

මේ සිදුවීම සිදුවූ පසුව මම වහාම කරේ මගේ මිත්‍ර වෛද්‍යවරියකට කතා කරපු එක.ඇයි එමලිට එහෙම උනේ කියලා කියන්න ඒ මොහොතේ ඇය දැනන් හිටියේ නැහැ.ඊට පස්සේ අපි දෙන්නා වෙනදා කරනවා වගේම ගූගල් එකේ සෑම අස්සක් මුල්ලක්ම පීරා මේ ගැන හොයන්න ගත්තා. එතනිදි අපි හොයාගත්තා මේක තමයි Autism Freezing කියන්නේ කියලා.

මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් මනසට දරාගැනීමට නොහැකි සංවේදනයකට දරුවා ආවරණය වීම තුළින් වගේම අධික පීඩාකාරී වාතාවරණයකදී. එතකොට දරුවා එයින් ගැළවීමට කරන්නේ අර වගේ Freez වෙන එක. එහෙමත් නැත්තන් මනස තුළින්ම දරුවාව Shutdown තත්ත්වයකට ගෙන යනවා.

අපි Withdrawal කියන්නෙත් දරුවා විසින් දරුවාට පීඩාවක් ගෙනදෙන වාතාවරණයදී එයින් ගැළවීමට භාවිතා කරන ක්‍රමයට. උදාහරණයක් විදියට දරුවාට යමක් දිගින් දිගටම කියා දෙන්න උත්සාහ කරනවා නම් හෝ දිගින් දිගටම යමක් පුහුණු කරන්න උත්සාහ ගන්නවා නම් දරුවා ඒ කිසිම දේකට ප්‍රතිචාර නොදක්වා ඉන්නවා.එතනින් එහාට ඔබ කොයිතරම් උත්සාහ කරත් දරුවා ප්‍රතිචාර දක්වන්නේ නැහැ.

මේ තත්ත්වය හරියටම මම තේරුම් කරන්නම්.

අපි ගොළු බෙල්ලෙක්ට හරි ඉබ්බෙක්ට හරි ලං උනාම එහෙම නැත්තන් ස්පර්ශ කරන්න යනකොට එයාලා ඉක්මනට ඔලුව එයාලගේ කටුව අස්සේ හංඟගන්නවා.ඒක කරන්නේ ආරක්ශාවීමට. තමාගේ ආරක්ශිත ස්ථානය වන කටුව අස්සේ සැඟවීම එයාලා දන්න එකම උපක්‍රමය නිසා.මේ වගේ තමයි ඔටිසම් shutdown /Freezing / withdrawal කියන්නේ. තමන් පරිස්සම් කියලා හිතුනම දරුවා හෙමින් ඒ තත්ත්වයෙන් එලියට එනවා.

Social withdrawal කියලා එකක් තියනවා.මීට කාලෙකට පෙර ජපානේ මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වුවා.මේ තත්ත්වය එයාලා හඳුනවන්නෙ Hikikomori ( හිකිකමෝරි) කියලා.සමාජයෙන් එල්ලවන අධික පීඩාවන් නිසා හෝ සමාජය දරාගැනීමට නොහැකි වීම නිසා දවස් ගණන් ,මාස ගණන් හෝ අවුරුදු කීපයක් නිවසෙහි හුදකලා වීම තමයි මේ නමින් හඳුන්වන තත්ත්වය

එතකොට ඔටිසම් දරුවන්ට සහ ඔටිසම් වැඩිහිටියන්ට මේ තත්ත්වය තියෙන්න පුළුවන්. දරුවා මුහුණ දෙන පීඩාකාරී අත්දැකීමක් හේතුවෙන් දරුවා විසින් සමාජය ප්‍රතික්ශේප කර හුදකලා වීමක් වීමට පුළුවන්. එමලි එක්තරා ස්පීච් තෙරපිවරයෙක් ලඟට අරන් ගියාට පසුව ඇය විසින් මුහුණ දුන්න ඉතා පීඩාකාරී අත්දැකීම නිසා සමස්ත සමාජයම ප්‍රතික්ශේප කරා.එයා සම්පූර්ණ මාසයක් ගේ ඇතුලට වෙලා හිටියා.එතකොට ඒක තමයි අපි Withdrawal එහෙම නැත්තන් ජපන් භාශාවෙන් Hikikomori කියලා කියන්නේ.

අපේ ශරීරය පවා යම් අවස්ථාවලදී මේ withdrawal ලක්ශණ පෙන්නුම් කරන අවස්ථා තියනවා.සමහර රෝගීන්ට ලබා දෙන ඖෂධ ඒ රෝගියාගේ ශරීරය ප්‍රතික්ශේප කරනකොට ඒකේ ලක්ශණ පෙනෙන්න පටන් ගන්නවා.එතකොට තමයි වෛද්‍යවරුන් කියන්නේ මේ Withdrawal symptoms කියලා. ඒ වගේ තමයි අපේ ඔටිසම් දරුවන් එක පාරට ඉගෙන ගන්න එක,නිවසින් පිටතට යන එක,වෙනදා ආසාවෙන් කළ යම් යම් ක්‍රියාකාරකම් නොකර සිටීම,සන්නිවේදනය කරමින් සිට එය නතර කිරීම යනාදිය කරන්නේ Withdraw එහෙම නැත්නම් යම් ප්‍රතික්ශේප කිරීමක් ලෙසින් තමයි.

එතකොට පංති කාමරය තුළ හෝ පෙරපාසළ තුළදී දරුවෙකුට ඇති විය හැකි ඕනෑම පීඩාකාරී තත්ත්වයක් නිසා දරුවා ඉගෙන ගැනීමට, ක්‍රියාකාරකම් කිරීම හා අනෙක් දරුවන් සමඟ එකට සෙල්ලම් කිරීම ප්‍රතික්ශේප කරන්න පුළුවන්.

එතකොට ඔටිසම් Shutdown ගැන කතා කරොත් එය තත්ත්පර ගාණක තත්ත්වයක් නෙමේ. මේක තත්ත්පර ගාණක ඉදන් සම්පූර්ණ දවසක් දෙකක් හෝ සති කිහිපයක් දක්වා දිගු වෙන්න පුළුවන්. මම මෑතකදී වීඩියෝ එකක් දැක්කා.විදේශිය ඔටිසම් දරුවෙකුගේ මේ shutdown තත්ත්වය සම්පූර්ණ දවසක් දක්වා තිබුනු.ඒ දරුවා කරේ ඇඳ උඩ ඉදන් බිත්තිය දිහා බලන් හිටපු එක.ඒ දරුවාම එක්තරා කාලයදී එයාගෙම දත් ඉතා තදින් හොල්ලා ගලවන්න පටන් ගත්තා.කටින් ලේ වැගිරෙනකල් ඒ දරුවා මේක කරා.ඒ අම්මාට තිබුනේ එක විසඳුමයි.ඒක තමයි දන්ත වෛද්‍යවරයෙක් ලඟට ගොස් දරුවාගේ දත් සියල්ල උගුලා දැමීම. දැන් පිටත සමාජය නොදකින ඔටිසම් දරුවන් සිටිම දෙමාපියන් මුහුණ දෙන අඳුරු පැතිකඩ තමයි ඒ.සමහර පුද්ගලයින් උත්සාහා ගන්නවා ඔටිසම් දරුවන්ගේ ඔටිසම් තත්ත්වය ඉතා සරළව දකින්න.නිකන් එයාලා කියන්න උත්සාහ ගන්නවා ” නර්සරි දැම්මහම ඕක හරියයි,ඉස්කෝලේ ගිහින් අනික් ළමයි එක්ක ඉන්නකොට ඕක හරියයි” වගේ කතා. ඔටිසම් දරුවන් මුහුණ දෙන සංවේදන ගැටළු කිසිසේත්ම ඒ දරුවා නර්සරි හෝ පාසළට යොමු කිරීමෙන් විසඳාගන්න බැහැ.අනිවාර්යයෙන් අපි දරුවාව පීඩාවට පත් කරන දේවල් වලින් දරුවා ඈත් කළ යුතු අතරම සංවේදන සමබර කරගැනීමට ක්‍රියාකාරකම් කළ යුතුයි.ඒ වගේම තමයි දරුවා එක පාරට සමාජගත කරන්නට උත්සාහ ගැනීමෙන් එය අර ඉබ්බා කටුව අස්සේ සඟවා ගැනීමේ හැසිරීමට සමාන හැසිරීමක් දරුවා පෙන්නුම් කරන්න පුළුවන්.

විශේශයෙන් එමලිගේ ඇති සංවේදන ගැටළු හා ඇයගේ චරිත ස්වාභාවය එක්ක අපි අවුරුද්දක කාලයක් පුරා සිටම මෙතෙක් කරමින් ඉන්නේ ක්‍රමක් ක්‍රමයෙන් දරුවාව පිටත සමාජයට හුරු කිරීමක්.ආලෝකය,ශබ්ධ,රූප,හැඩතල,ගඳ/සුවඳ,මිනිස්සුන්ගේ අංගචලනයන් පවා පියවරෙන් පියවර ඇයට හුරු කළ යුතුයි.එයට යම් කාල සීමාවක් ගත වෙන අතරම ඒ කාල සීමාව තීරණය කරන්නේ දරුවා මිසක අප හෝ සමාජය නොවේ.

නැවත shutdown තත්ත්වය ගැන කතා කරොත් ඔටිසම් දරුවන් යම් පාටක්,හැඩයක්,ශබ්ධයක් වගේම යම් සිදුවීමක් තුළින් පවා තමන් තුළම හුදකලා වෙන්න පුළුවන්. දැන් අපි අපේ දරුවාට යම් ක්‍රියාකාරකමක් හෝ වැඩක් දෙනවා සම්පූර්ණ කරන්න.එය සම්පූර්ණ කිරීමට ඇති අසීරුතාවය නිසා දරුවා Shutdown තත්ත්වයට පත් වෙන්න පුළුවන්.ඒ නිසා තමයි කිසිම මොහොතක දරුවා කිරීමට අකමැති යමක් කරන්න අපි බල නොකර සිටිය යුත්තේ.දැන් පංති කාමරයේ මේ දේ උනොත් අපිට හඳුනාගන්න පුළුවන් වෙන්නේ දරුවා ප්‍රතිචාර නොදක්වා සිටීම වගේම පුටුව මතම නින්ද යාම වගේ හැසිරීම් වලින්.

කිසියම් කෙනෙකු ඔටිසම් දරුවන් ගැන කතා කිරීමට පෙර හෝ ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් වෙත තමන්ගේ පුද්ගලික විනිශ්චයන් ලබා දීමට පෙර අනිවාර්යයෙන් ඔටිසම් තත්ත්වය තුළ තිබෙන සංකීර්ණ තත්ත්වයන් පිළිබඳව දැනුවත් විය යුතුයි. 

අද උදේ මට TikTok එකට එක්තරා කමෙන්ට් එකක් ඇවිල්ලා තිබ්බා.ඒකෙන් කියවුනේ ” ළමයව ගේන්න.මම උගන්වලා ගන්නං.මම මේ වගේ ළමයෙක්ට උගන්වලා තියනවා.මම පෙර පාසලක් කරන කෙනෙක්” කියලා.

මුලින්ම ගුරුවරයෙක් හෝ ඕනෑම පුද්ගලයෙක් හිතන්න අවශ්‍යයි ඔටිසම් දරුවෙකුගේ මනස වටහා ගැනීම වගේම ඒ දරුවාට ඇති විය හැකි සංකීර්ණ ගැටළු වලදී අවශ්‍ය සහය තමාට ලබා දිය හැකිද කියන එක. තමා මේ සම්බන්ධයෙන් අප්ඩේට් ද කියන එක.කිසියම් කෙනෙකු විශේශ අධ්‍යාපනය පිළිබඳව උපාධියක් හෝ ඩිප්ලෝමා එකක් ගත් පමණින් ඒ පුද්ගලයා විශේශ දරුවෙකු වටහා ගැනීමට බලයලත් සුදුස්සෙක් වෙන්නේ නැහැ. මෙන්න මේක ලංකාවේ බහුතරයක් හිතන් ඉන්න විදියක්.කාට උනත් පුළුවන් ඩිප්ලෝමා එකක් කරලා කොහේ හරි පුහුණු වෙලා විශේශ දරුවන්ට උගන්වන්න හෝ තෙරපි කරන්න පටන් ගන්න.ඒත් ඒකෙන් ඒ පුද්ගලයා ඔටිසම් දරුවන් ගැන දන්නා හා හොදින් වටහා ගත් කෙනෙක් වෙන්නේ නැහැ. හේතුව ඩිප්ලෝමා එකක හෝ උපාධියක අඩංගු වෙලා තියන විශය කොටසට වඩා විශාල පරාසයකට එහා ගියපු විශයක් තමයි Neurodivergent දරුවන්ගේ මනසෙහි ක්‍රියාකාරීත්වය හා ඔවුන් මුහුණ දෙන ගැටළු කියන්නේ.ඒ නිසා කෙනෙක්ට අවංකවම උවමනාවක් තියනවා නම් මේ දරුවන් වටහා ගන්න හෝ සේවය කරන්න, ඔහු හෝ ඇය අනිවාර්යයෙන් සෑම පරීක්ශණයක්ම , මූලාශ්‍රයක්ම කියවිය යුතුයි.දිනපතා අප්ඩේට් විය යුතුයි. ස්වයං අධ්‍යනය කියන්නේ විශය නෙමේ.එතනින් එහාට ගිය එකක්.

ඒ නිසා තමයි මම මගේ දරුවාව එයාට හරියන නර්සරි එකක් හෝ පාසළක් මට ලැබෙනකල් එයාට ගෙදර උගන්වන්නේ.කෙනෙක් කී පළියට ගේන්න මම උගන්වන්නං හෝ මෙතන පෙර පාසළක් තියනවා,අතන ඉස්කෝළයක් තියනවා,මේකට කතා කරන්න,අරකට කතා කරන්න කියලා එහෙම තැන් තැන් වලට අත් හරින්න මගේ ඔටිසම් දරුවා නිකම්ම නිකන් ශරීරයක් නෙමේ.මේ දරුවාගේ මානසික සෞඛ්‍ය පිළිබඳව මා වග කිව යුතුයි.මේ දරුවාව වටහා නොගන්නා තැනකින් හෝ පුද්ගලයෙකුගෙන් දරුවාට යම් පීඩනයක් ඇති වුවහොත් එය දරුවාගේ හැසිරීම හා සිතීම සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න හේතුවක් වෙන්න පුළුවන්.ඒ නිසා මගේ ඔටිසම් දරුවා යොමු කරන ඕනෑම පිටස්තර ස්ථානයක් ගැන මුලින්ම මම පරික්ශා කළ යුතුයි.ඒ පුද්ගලයින්ගේ වටහා ගැනීම ගැන මා දැනගත යුතුයි.

2019 දී ඉන්දියාවේ ඔටිසම් දරුවෙකු මිය යනවා.හේතුව පාසලේ Swimming Pool එකට වැටිලා.මේ pool එක නිකම්ම නිකන් Pool එකක් නෙමේ.Hydrotherapy Pool එකක්. ඒ කියන්නේ නොයෙක් තෙරපි ක්‍රියාකාරකම් සඳහාම නිර්මාණය කරන ලද තටාකයක්.මේ Hydrotherapy කියන තෙරපි ක්‍රමය යුරෝපයේ නොයෙක් රටවල් වල 1930 සිට 1950 දක්වා කාලය වන තුරු ඔටිසම් දරුවන්ට කළ ප්‍රතිකාරයක් වෙනවා.මෙය ඉතා අමානුශික තෙරපි ක්‍රමයක්.ඉතා සීතල හෝ ඉතා උණුසුම් වතුර දැමූ නාන තටාකයකට දරුවා බස්වා නාන තටාකය කැන්වස් රෙදි වලින් වහලා තමයි මේ තෙරපි ක්‍රියාකාරකම කරලා තියෙන්නෙ.පසු කාලීනව සියලුම ඒ ආකාරයේ තෙරපි ක්‍රම තහනම් වෙලා දරුවාගේ මනසට පීඩාවක් නොවන තෙරපි ක්‍රම හඳුන්වා දුන්නා.මේ වගේ නැතත් තෙරපි අවශ්‍යතාවයන් මත තමයි Hydrotherapy pool එකක් විශේශ දරුවන් වෙනුවෙන් ඇති පාසල් වල නිර්මාණය කරන්නේ.කොහොම හරි ඉන්දියාවේ මේ විදියට මිය ගිය දරුවා වයස අවුරුදු පහක ඔටිසම් දරුවෙක්. එතකොට මේ දරුවා Pool එකේ වැටිලා මිය ගොස් යම් වෙලාවක් යන තුරු ඒ පාසළේ කිසිවෙකුත් එය දකින්නේ නැහැ.ඒ වගේම ඒක නිකම්ම නිකන් පාසළක් නෙමේ.1992 වසරේ විශේශ දරුවන් වෙනුවෙන් ගොඩනඟපු පාසලක්.ඒ නිසා කිසිම වෙලාවක ඔටිසම් දරුවන්ගේ ආරක්ශාව ගැන අපිට සුළුවෙන් තකන්න බැහැ.බහුතරයක් ඔටිසම් දරුවන් හරියට සන්නිවේදන කරගැනීමට නොහැකි අනතුරු පිළිබඳව දැනීමක් නැති දරුවන්.එමලිව කිසිම වෙලාවක පාරේ අතින් අල්ලන්නේ නැතුව අරන් යන්න බැහැ.එයාට තාම අනතුර කියන එක ගැන දැනීමක් නැහැ. එවැනි දරුවෙකු අතන්ට යොමු කරන්න හෝ මෙතන්ට යොමු කරන්න කියලා සමාජයේ නොයෙක් පුද්ගලයින් මට යෝජනා කළ පමණින් එය කිරිමට මා සූදානම් නැහැ.කිසිම වෙලාවක මොන පීඩාව මට සමාජයෙන් එල්ල උනත් එයින් ගැලවෙන්න දරුවාගේ ජීවිතය විහිළුවකට ගන්න මම සූදානම් නැහැ.

මගේ දරුවාට සුදුසු පාසළ හෝ පෙර පාසළේ හැඩය හා සැකැස්ම තීරණය කරන්නේ මම.එතනින් එහාට මගේ ඔටිසම් දරුවාට අවශ්‍ය තෙරපි ක්‍රියාකාරකම් මොනවාද කියලා තීරණය කරන්නේ මම.මගේ දරුවාට ලබා දිය යුතු අධ්‍යාපනයේ ඇති නිදහසේ සීමාව තීරණය කරන්නේ මම,සරළවම කියනවා නම් මගේ දරුවා අඳින ඇඳුමේ සිට ගන්නා ආහාර දක්වා තීරණය කරන්නේ මම.ඒ පුද්ගලික අවකාශය කිසිවෙකුට ප්‍රශ්ණ කිරීමේ සදාචාරාත්මක අයිතියක් නැහැ.මේක ඔටිසම් දරුවන් ඉන්න පවුල් වලට හිතවත් නෑදෑයින්, අසල්වැසියන්,යහළු මිත්‍රාදීන් හා සමාජය වටහා ගත යුතු සත්‍යයි. ඒ අම්මාට තමන්ගේ දරුවා හදන්න නිදහසේ ඉඩ දෙන්න.පිටතින් එල්ල වන අමතර පීඩාවන් දරාගැනීමට ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් සූදානම් නැහැ.

ඒ වගේම තමයි බහුතරයක් දෙනා වටහා ගන්න ඕනේ ඔටිසම් දරුවන් ඉක්මනට යමකට හුරු කරනවා කියලා එකක් නැහැ කියන එක.අපිට කොයිතරම් අවශ්‍යතාවය තිබුනත් දරුවා ඒ පියවරට සූදානම් නැත්නම් අපිට සිද්ධ වෙනවා අඩියක් පිටිපස්සට ගන්න.ඒකට හොදම උදාහරණයක් දෙන්නම්. තව කමෙන්ට් එකක් තිබ්බා ටික් ටොක් එකට ආපු.ඒකෙන් කියලා තිබ්බේ එමලිට ප්‍රශ්න සහ උත්තර උගන්වන්න කියලා.පිටත ඉදලා බලන ගොඩක් අයට කිසිම අදහසක් නැහැ දරුවන් වඳුරන් නෙමේ කියන කාරණය. අපි හැමෝම කැමතියි අපේ දරුවො ඉතා හොදින් ඉක්මනට කතා බහ කරනවා නම්.ඒක අපේ හීනයක්. ඒත් අපි යන්න ඕනේ පියවරෙන් පියවර.දරුවාගේ භාශාව හැදෙන්නේ ක්‍රමක් ක්‍රමයෙන්.එතකොට පළවෙනි දෙවනි පියවර පහු කරලා අපිට එක පාරට දහවෙනි පියවරට යන්න බැහැ.එහෙම උනොත් වෙන්නේ අර මම මුලින් කිව්ව දේ. දරුවා විසින් සන්නිවේදන කරන එක Withdraw ( ප්‍රතික්ශේප ) කරනවා.

ඔටිසම් දරුවාට එක සිදුවීමක් හෝ අත්දැකීමක් ඇති එයා සමස්ත සමාජයම ප්‍රතික්ශේප කරලා හුදකලා වෙන්න. ඒ නිසයි අපි නිතරම අවධානයෙන් ඉන්න ඕනේ දරුවාට පීඩාවන් ඇති විය හැකි දේවල් ගැන.දරුවාගේ Shutdown කාලය මාස ගණනක් පුරාවට දික් වෙන්න පුළුවන්. එතකොට ඇත්තටම වෙන්නේ අපි විසින් ඉතා අසීරුවෙන් ඉදිරියට යොමු කළ දරුවා නැවත අඩි දහයක් ආපස්සට යෑමයි.