ඔටිසම් දරුවන්ගේ skills (කුසලතා) සහ skill development (කුසලතා සංවර්ධනය)

“වයසට සරිලන කුසලතා (age appropriate skills)” කියන එක ඔටිසම් දරුවෙක්ගෙ සංවර්ධනය මනින නිර්ණායකයක් නොවේ. හේතුව ඒ නිර්ණායක ගොඩ නගල තියෙන්නෙ ඔටිසම් නොවන දරුවන්ට (neurotypical) අදාලව. ඔටිසම් දරුවන්ගේ එක් එක් skills ඒ neurotypical නිර්ණායක වලට වඩා සෑහෙන ඉදිරියෙන් හෝ සෑහෙන පිටුපසින් තියෙන්න පුලුවන්. ඒ කුමන ස්ථානයක සිටියත් මනුෂ්‍ය ජීවිතයකට ලැබෙන වටිනාකම කිසිදු අඩුවකින් තොරව විවිධත්වයෙන් යුතු සෑම දරුවෙකුටම ලැබිය යුතුයි.

අපි අපේ දරුවන්ගේ සංවර්ධනය මනින්නෙ ඔහුට හෝ ඇයටම සාපේක්ෂව මිස වෙන දරුවෙකුට සාපේක්ෂව නොවේ. ඒ ඔවුන්ගේ ස්නායු හැඩය මේ ලෝකෙ තව කෙනෙකුගේ ස්නායු හැඩයට සමාන නොවන නිසා.

මම ඇතුලු අපේ පවුලේ සැවොම දැනට මාස කීපයකට පෙර මහත් ප්‍රීතියට පත් වුනු අවස්ථාවක් තමයි මේ. මගේ පුතා (අවුරුදු 8,) මාපට ඇගිල්ලෙන් හිරකරල දාගෙන යන රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ජීවිතේ ප්‍රථම වතාවට ඇවිදිනව. ඔව් ඒක අපිට ලොකු දෙයක් . කෑගහල උඩ පැනල සමරන්න තරම් ලොකු දෙයක් 🎉️.

 ඔබගේ දරුවා රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ගිය මුල්ම දවසෙ ඔයාල මේ තරම් සතුටු වෙන්න නැතුව ඇති. ඒ දවස ජීවිතේට අමතක නොවන දවස් ලිස්ට් එකේ නැතුවත් ඇති. ඒ ලිස්ට් එකේ වැඩිපුර ඇත්තෙ දරුවා පාසලේ විභාග වලදී, තරග වලදි ජයග්‍රහණ ලබපු ඒව වෙන්න ඇති. ඔයාල විශ්වාස කරන්න ඒ ඔයාල ලබන සතුට කොයි තරම් ද ඒ වගේම සතුටක් මේ වගේ පුංචි ජයග්‍රහණ දැකල අපි ලබනවා. රසට කෑමක් හදන් කාලා, නැත්තම් කොහේ හරි ගමනක් ගිහින් අපි ඒව සමරනව. ඒ වගේම අපි, අපේ දරුවන් neurotypical milestones සමග සංසන්දනය නොකරනතාක් අපට දුකක් දැනෙන්නෙ නෑ.

✍️ Nayana Hewage 

 

මුල් සබැඳිය : වයසට සරිලන කුසලතා