මේක ලියන්නේ ලංකාවේ සියලුම විවිධත්වයන් සහිත ප්‍රජාව ඇතුළු සියලුම ආබාධිත ප්‍රජාව වෙනුවෙන්. ඒ වගේම විශේෂයෙන් මේක මම ලියන්නේ සියන්සාගේ අම්මා Sanji Gamage වෙනුවෙන් සහ සියන්සා වෙනුවෙන්. සියන්සාගේ අම්මා තමන්ගේ දරුවා වෙනුවෙන් සමාජයක් දැනුවත් කරන්න ඉදිරියට ආවේ ලංකාවේ සමාජීය හැඩය ගැන ඉතාමත් දැනුවත්ව. ඒ දැනුවත් කිරීමේ ගමනේ සියන්සාගේ අම්මාව නොයෙක් ආකාරයෙන් Bully කිරීම එදා ඉඳන් අද දක්වාම නොකඩවා සිද්ධ වෙනවා. ඒවා අපි පුද්ගලිකව කතා බහ කරලා මනසට ලොකු පීඩාවක් නොගෙන ඉන්නවා මිසක් එළි පිට මේ Bully කිරීම් ගැන කතා කරේම නැහැ.

සමහර කමෙන්ට් තියනවා මට ඒවා පේජ් එකේ දාන්න පවා බැරි. ඒ තරමට ඉතාමත් අමානුෂික විදියට සියන්සාට බැනලා දාපු කමෙන්ට්. ඒ හැම එකම මම සියන්සාගේ අම්මා දකින්න කලින් ඩිලීට් කරනවා.ඒත් ගොඩක් අවස්ථා වල එයා ඒවා මට කලින් දැකලා මට එවලා අහන්නේ ” ඇයි නංගි මේ ? ” කියලා.

ඊයේ සියන්සාගේ අම්මාගේ පේජ් එකට දාලා තිබ්බ කමෙන්ට් කීපයක්ම නිසා තමයි මම මේක ලියන්නේ.මේක ලියන්නමයි කියලා හිතුනෙම ඒ කමෙන්ට් කරපු කෙනාම මට එයාගේ Voice එකෙන් Voice message කීපයක් දාලා තිබ්බා. ඒක තමයි ඔය පහළින් තියෙන්නෙ. කමෙන්ට් වල ස්ක්‍රීන් ශොට්ස් මම කමෙන්ට් විදියටම යටින් දාන්නම්. ඉතිං තවදුරටත් ලංකාවේ ඉන්න මේ වගේ මිනිස්සු පව් පින් කරුම වගේ වචන අල්ලන් අපිව සහ අපේ දරුවන්ව Bully කිරීම ගැන නිහඬව ඉන්න බැහැ. විශේෂයෙන් බුද්ධ දර්ශනයේ අඩංගු වන යම් යම් තියරි අයථා විදියට පාවිච්චි කරලා අපිව Bully කරන්න යන එක නං කරන්න ඒ තරම්ම හොඳ සෙල්ලමක් නෙමේ.

මම ඉගෙන ගෙන තියන සහ දන්න බුද්ධ ධර්මයේ සදහන් වෙන ” කර්මය” කියන්නේ නම් “චේතනාවට”. අපි හිතන, අපි කියන , අපි කරන දේ කර්මය වෙන්නේ මේ හැමදේමට එකම Condition එකක් අදාළ වෙනකොට.ඒක තමයි “චේතනාව”. තවත් සරලව කිව්වොත් කර්මය කියන්නේ ඔයා තෝරාගන්නා ප්‍රතිචාරය. ඒ දේවල් ඔයාට පාලනය කරන්න බැරි දේවල් වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට ඔලුවට පොල් ගෙඩියක් වැටෙනවා. ඒක කර්මය නෙමේ. ඔයාට තරහා ගිහින් කෙනෙක්ට ගහනවා. අන්න ඒක කර්මය. ඔයා දේකට දක්වන ප්‍රතිචාරය සහ ඔයා තෝරාගන්නා හැසිරීම තමයි කර්මය. ඒත් මෙහේ නිවන් යන්න බලන් ඉන්න සමහර උපාසකයො හිතන් ඉන්නේ කර්මය කියන්නේ නිකන් දඬුවම් සිස්ටම් එකක් කියලා සහ කර්මය කියන්නේ අනෙකාගේ හැඩය හෝ ජිවිතය විනිශ්චය කරන්න පාවිච්චි කරන්න පුලුවන් Tool එකක් කියලා.

කර්ම විපාකය ගැන කතා කරොත් ඒක අචින්ත්‍ය යයි කියලා කියන්නේ කෙනෙක්ට ඒ දේ ඇයි එහෙම උනේ කියන එක සම්පූර්ණයෙන් ම පැහැදිලිව කියන්න සහ වටහා ගන්න එක කරන්න බැරි නිසා. අපි ඒක හොයනවා වෙනුවට බුදු දහමේ කියන්නේ මොකක්ද මේ මොහොතේ සිද්ධ වෙන්නේ සහ අපි කොහොමද විදවීම අවම කරගන්නේ කියන එක ගැන හිතන්න කියලා. මෙතනින් එහාට බුද්ධ දර්ශනයේ නැති ජනප්‍රවාද වලින් ආව වැදි බණ කෑලි අල්ලන් පව් පින් ගැන කියලා අපේ දරුවන්ව Bully කරන එක නතර කරන්න.

දැන් මේ අපේ දරුවන් පෙර කරුමයක් නිසා උපන්නාය කියන මිනිස්සු ඉන්නේ එක්තරා බලයක් එයාලට තියනවා කියන මනෝ භාවයක් එක්ක. psycho analysis වලදී අපිට හම්බෙනවා තියරි එකක් ” මහ අනෙකා” එහෙම නැත්තන් Big other කියලා. අන්න ඒකත් එක්ක මට මේ පව් පින් ගැන කතා කරන අයව කියවනකොට මට මෙහෙම දෙයක් හිතෙනවා. ඒක තමයි අපිට පිටින් තියන ඒත් අපේ හිත ඇතුළේ පාලනය වෙන සමාජ හඩක් තියනවා. හැම දේකටම අන්න ඒ හඬ අපිට රිපිට් වෙනවා. ඒ කියන්නෙ

• මිනිස්සු මොනවා කියයිද ?.

• මේක තමයි හරි 

• අපේ රටේ මෙහෙමයි 

• ආගම කියන්නේ මේකයි 

මේවා තනි පුද්ගලයෙක්ගේ සිතුවිලි නෙමේ. ඒක collective system එකක්. දැන් ඔටිසම් දරුවෙක් ගැන කතා කරොත් කියනවා මේක සාමාන්‍ය නෑ, Fix කරන්න ඕනේ, කර්මය තමයි හේතුව කියලා.අන්න ඒ අදහස් මේ පවතින සිස්ටම් එක හරහා ආයේ ආයේ මිනිස්සුන්ගේ කටින් රිපීට් වෙන පිටපතක්. එතකොට හරිම සූක්ශමව මෙතන්ට කර්මය කියන එක tool එකක් විදියට ගේනවා.එහෙම ගෙනල්ලා දෙමාපියන් සිස්ටම් එක ප්‍රශ්න කරන එක නතර කරනවා.සහය ඉල්ලා සිටීම නිහඩ කරවනවා.අපේ දරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් සටන් කිරීම නතර කරවනවා. මේක තමයි කර්මය කියලා ඉවසගෙන ඉන්න කියන්නෙම උඹලා කට වහන් ලබා උපන් හැටියට ළමයින්ව බලන් ඉඳපල්ලා කියන එක.

අන්න ඒක තමයි මහ අනෙකාගේ භාශාව. මේක තමයි ඉතිහාසයේ ඉඳන්ම මේ සමාජයේ නැවත නැවත දෝංකාර දෙන පිටපත.

ඇයි මේ ඔටිසම් දරුවන්ව සහ පුද්ගලයින්ට පෙර කර්මය කියන Tool එක මිනිස්සු සම්බන්ධ කරන්නේ ? ඒකට හේතුව ඔටිසම් වේවා ආබාධිත තත්ත්වයන් , වෙනත් ස්නායු විවිධත්වයන් වගේ දේවල් ගැන සිතීම මිනිස්සුන්ට සංකීර්ණ දෙයක්.ඒවා පැහැදිලි කරගන්න සහ වටහා ගන්න අපහසු Complex එකක්. අන්න ඒ නිසා මොළය හදාගන්නවා සරල උත්තරයක්. ඒක තමයි කර්මය.

මේකේ සැඟවිලා තියන භයානක කම තමයි මේ හරහා සහකම්පනය අවම වෙලා යනවා. විවිධත්වය ගැන දැනුවත් වෙන්න ඕනේය කියන කුතුහලය නැති වෙලා යනවා.විද්‍යාව ප්‍රතික්ෂේප වෙනවා. ආබාධිත දරුවන් ඉන්න පවුල් හුදකලා වෙනවා.අපේ දරුවන්ට තව දුරටත් මේ රටේ ජීවත් වීමේ සියලුම අයිතිවාසිකම තියන පුරවැසියන් විදියට වටිනා කම අහිමි වෙලා යනවා.

උඹලගේ දරුවන් ඉපදුනේ පෙර කරපු කරුම නිසා කියලා අපිව Bully කිරීමෙන් කරන්න හදන්නේ අන්න ඒක.

අන්න ඒ “Big other ” ව කෑලී වලට කඩලා උඹලගේ පව් පින් කතාව උඹලටම ගිල්ලවන්න තමයි මම සහ සියන්සගේ අම්මා වගේ මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ. අපි තමයි කර්මය කියන මන්තරේ මතුර මතුර සැරිසරන උඹලව මේ Awareness එක හරහා කඩල බිඳලා දාන්නේ. ඇත්තටම මෙතන කිසිම ධර්මයක් නෑ..මේ කර්මය කියලා අපේ දරුවන්ව bully කරන්නේ මිනිස්සුගේ අදහස්.

දරුවෙක් කියන්නේ කර්මයක් නෙමේ ජීවිතයක්. ඒ ජීවිතයට අපි දෙන ප්‍රතිචාරය තමයි කර්මය. ඒ නිසා ලංකාවේ ඉන්න ඔටිසම් ප්‍රජාව සහ ආබාධිත ප්‍රජාව Bully කරලා නං පින් කාර්ඩ් එක පුරවගන්න අමාරු වෙයි. තව ටිකක් උත්සාහ ගන්න.

imaginary authority එකක් මවාගෙන හැමදේම කර්මයට අනුව සිද්ධ වෙනවාය කියලා ඒකට බය කරන්න , යටත් වෙන්න කියන අදහස තවදුරටත් වලංගු නෑ.කෙනෙක් හෝ යම් පිරිසක් ආබාධිත ප්‍රජාව දිහා බලලා මේ පෙර කර්මය කියලා කර්ම Tool එක පාවිච්චි කරනවා කියන්නේම මනුශ්‍ය සහකම්පනය මඟ හැරලා යනවා කියන එක. උදාහරණයක් විදියට තාත්තා තමන්ගේ දරුවාගේ විවිධත්වයට මේක පෙර කරුමයක් කියලා කියනවා නම් ඒ කරන්නේ තමන්ට දරුවා සම්බන්ධයෙන් තියන වගකීම් මඟ හැරලා යන්න කර්ම Tool එක පාවිච්චි කිරීමක්. ඒ නිසා මේ කර්ම Tool එක කියන්නේ empathy shutdown කරන mechanism එකක් මිසක් බුද්ධ දර්ශනයෙන් කියන දෙයක් නෙමේ.

ඒ නිසා තව දුරටත් අපිට වැඩියෙන් පින් කරන්න කියන්න කලින් තමන්ගේ ඇතුලාන්තයෙන් ප්‍රශ්න කරන්න මොකක්ද මම මඟ හරින්න හදන්නේ කියන එක. එහෙම කියන අයගෙන් මම පෙරළා ආයේ අහනවා ඔය ප්‍රතිචාරය හරහා ඔයාලා නිර්මාණය කරගන්නා කර්මයට උත්තර දෙන්නේ කොහොමද?

මුල් සබැඳිය : දරුවෙක් කියන්නේ කර්මයක් නෙමේ ජීවිතයක්