අපි මතු පිටින් දකින දේවල් වලට වඩා ඔටිසම් කියන විෂය සම්බන්ධයෙන් ලංකාවේ තියෙන්නේ ලස්සන සහය ක්‍රමවේදයක් නෙමේ. බහුතරයක් කරන්නේ දරුවන්ගේ විවිධත්වය ව්‍යාපාර කරගෙන මුදල් උපයන එක. ලංකාවේ පවතින සාම්ප්‍රදායික තෙරපි ක්‍රමවේදය වෙනස් වෙන්න ඕනේ වගේම තෙරපි මධ්‍යස්ථාන නියාමනය වෙන්නම ඕනේ. අවුරුදු ගාණක් පුරා ලංකාවේ ලොකු තෙරපි මධ්‍යස්තාන පවත්වාගෙන යන පුද්ගලයින් ඉන්නවා ප්‍රසිද්ධ චරිත.මේ තෙරපි මධ්‍යස්ථාන තුළ ඔටිසම් දරුවන්ට ලබා දෙන පීඩාකාරී දඩුවම් ගැන අනෙක් වෛද්‍යවරුන් වගේම තෙරපිවරුන් දන්නවා. ඒත් ඔවුන් හිතනවා අපේ ළමයි නෙමේ.අපිට අදාළ ප්‍රශ්න නෙමේ සහ දෙමාපියන් කැමැත්තෙන් මේවට ළමයි දාන්නේ කියලා.ඒ නිසා නිහඬව ඉන්නවා..අවුරුදු ගාණක් පුරා ඔටිසම් දරුවන්ට සිද්ධ වෙන දඬුවම් වෙනස් නොවුනේ දෙමාපියන්ට ඔටිසම් ගැන නිවැරිදි අප්ඩේට් දැනුමක් නොලැබුන නිසා. ඒත් දැන් දෙමාපියන් දන්නවා දරුවෙක් අඩවලා, බලහත්කාරකමින් ක්‍රියාකාරකම් කරවලා ඒ දරුවගේ විවිධත්වය බලෙන් වෙනස් කරන්න හදන එක නෙමේ තෙරපි කියන්නේ කියලා. Thank you ශලනි මේ වේදනාත්මක අතීත අත්දැකීම් බෙදාගත්තට.
ජිත්ම පුංචි කාලේ අපි ගියපු තෙරපි මධ්‍යස්තාන වල අත්දැකීම් හරිම කටුකයි. ජිත්ම මේ සෙන්ටර්ස් වලදි ගොඩක් පීඩාවට පත් වුනා. ඒවට මාත් යම් තාක් දුරකට වග කියන්න ඕනේ කියන Guilty feeling එක අදටත් මට තියනවා.මීට අවුරුදු ගාණකට කලින් මුළු කොළඹ පුරාම පීරලා Speech therapist ලා කීප දෙනෙක්ගෙන් විමසලා මම මහරගම සෙන්ටර් එකකට ජිත්මව දාන්න තීරණය කළා.මේ සෙන්ටර් / පාසළ පවත්වාගෙන යන පුද්ගලයාගේ පුතත් ඔටිසම් වීම සහ ඒ පුද්ගලයා Medical field එකේ කෙනෙකු වීමත් එතන්ට ඉතාම විශ්වාසයෙන් පුතාව ඇතුළත් කරන්න හේතුවක් උනා. ජිත්ම ඒ වෙනකොට අපි ලබා දුන් සහය එක්ක කිසිම Autistic burnout එකකට මුහුණ දුන්නේ නැතුව ගොඩක් සතුටින් හිටපු දරුවෙක්.
පුතාව Safe Zone එකක් ඇතුළේ තියාගෙන එයාගේ Behavior කිසිම දෙයක් Address කරන්නෙ නැතුව Sitting වත් හදන්නේ නැතුව තියන් හිටියා කියලා එතනින් මට මුලින්ම චෝදනා කරා. ජිතමට අපි එතෙක් ලබා දෙමින් තිබූ තෙරපි සහය හරහා ජිත්ම එයාගේ අභියෝග කොයිතරම් සාර්ථකව කළමනාකරණය කරගෙන ආවද කියන එක සම්පූර්ණයෙන්ම මට අමතක වෙලා මේ සෙන්ටර් එකෙන් මටයි පුතාටයි එල්ල වුන චෝදනා වලින් දුක් වුනා. දරුවට මීට වඩා සහයක් ලබා දෙන්න ඕනේ කියලා මම ඒ සෙන්ටර් එකට ජිත්ම ව ඇතුළත් කරලා Individual therapy සහයක් දෙන්න කැමති උනා.දවස් 6 ක් දවසට පැය හතර ගානේ තෙරපි වෙලාවන් වෙන් කරගත්තා.ඇතුළත් වීමේ ගාස්තුවත් වෙන වෙනම තෙරපි පැය වලට මුදලුත් විශාල මුදල් ප්‍රමාණයක් වැය කරා. ඊට අමතරව දවස් තුනක් හෝ පහක් Parent training වලට කියලා වෙනම මුදල් ගෙවලා සහභාගී වුනා.
එතනින් මට මුලින්ම ලැබුන උපදෙස තමයි පුතා සන්නිවේදනය කරන්න පාවිච්චි කරපු PECS cards ටික පුතාගෙන් අයින් කරන්න කියලා. මගේ පුතා වාචිකව සන්නිවේදනය නොකරන දරුවෙක්. එයාගේ සන්නිවේදනයට සහය වුනේ PECS cards. ඒත් මම ඒක කරේ නෑ.හේතුව මගේ පුතාට ඒක අත්‍යවශ දෙයක් නිසා. සාමාන්‍ය Bedroom කාමරයක් කොටස් 4 කට වෙන් කරලා ඒ එක පොඩි කෑල්ලක දරුවව තියලා තමයි Individual therapy කරේ.අම්මට බලන්න මේ කූඩුව වගේ පොඩි කොටසේ ඉඩක් වෙන් කරලා තිබ්බා. පළවෙනි දවසේ දරුවා මේක දැකලා අකමැත්තෙන් කෑ ගහද්දී එයාලා බලෙන් දරුවව ඇතුලට දාලා වහගත්තා.දරුවා දොර ඇරන් එළියට දුවනවට දොර ළඟ තව තෙරපිට්ස් කෙනෙක් හිටියා. මුල් දවස් ටිකේ මට එතන බලන් ඉන්න එපා කිව්වා දරුවව පාලනය කරන්න බැරි වෙයි කියලා මම ඉන්න නිසා. පුතා ඝන ,රළු මතුපිටවල් වල ඉදගන්න බැහැ සංවේදන සංවේදීතා දැනීම නිසා. ඒත් පුතා එතන එහෙම ඉන්දවලා තියන එක මම බලන් හිටියේ කොහොමද කියලා අදටත් මට හිතා ගන්න බෑ. මට ඒ පුද්ගලයගේ ඔටිසම් පුතාටත් පාවිච්චි කරා කියපු ක්‍රමවේද ඇතුළත් පොඩි පොතක් විකුණුවා. ඒ පොත ලොකු ගාණක් වුනාට ඇතුළේ ලොකු වැදගත් දෙයක් තිබ්බේ නෑ.
මෙහෙම මාසයක් දෙකක් වගේ තෙරපි session කරා. මේ කාලය ඇතුළත පුතාගේ ලස්සන හිනාව අතුරදහන් වුනා. එයා එයාවම හපාගන්න ,ගහගන්න සහ මගේ කොණ්ඩෙන් අදින්න, මට ගහන්න, බඩු විසික් කරන්න පටන් ගත්තා. තනියම නිදාගත්ත පුතාට මාව නැතුව නිදාගන්න බැරුව ගියා.PECS Cards විසික් කරා. අපි ආයෙත් මුලටම ආවා කියලා මට දැනුනා.මේ ගැන ආයතන ප්‍රධානියට පැමිණිලි කරත් ඒ ගැන ලොකු අවධානයක් ඔහු ලබා දුන්නේ නෑ. මේ හැසිරීම තාවකාලිකයි කියලා ඔහු මඟ හැරියා. දවසක් පුතා තෙරපි ඉවර වෙලා එතනින් එළියට ආවේ කකුලේ ඇඟිලි ලඟ ලොකු රතු/ නිල් තැලීමේ පාරවල් එක්ක. එයාලා කිව්වා දරුවා පැනලා යන්න හදනකොට කකුල වැදිලා කියලා. දරුවට කතා කරන්න අපහසු නිසා ඒ ගැන එයාගෙන් දැනගන්න මට විදියක් තිබ්බේ නෑ. ඒත් එතන හිටපු තෙරපිට්ස් කෙනෙක් මට පහු කාලීනව කිව්වා පුතා දුවන්න හදන නිසා තව තෙරපිට්ස් කෙනෙක් පුතාගේ කකුල තදින් පාගගෙන ඉඳලා කියලා. කොහොම උනත් එදත් මට ඒ ගැන එයාලා කිව්ව දේ විශ්වාස කරන්න බැරි උන නිසා මම ඊළඟ දවසෙ එතන්ට ගියා. එළියේ හිටපු මට ඇතුළේ පුතා අඬන සද්දේ ඇහුනා. පුතා ටික වෙලාවක් යනකල් අඩන එක නතර කරේ නැති නිසා මම සද්ද නැතුව හෙමින් ඇතුළට ගියා. ගිහින් තෙරපි කරන තැනට එබිලා බලනකොට Therapist ” අපිටත් රිදෙනවා” කියලා හයියෙන් පුතාගේ කම්බුල හරහා පාරක් දුන්නා මම මගේ ඇස් දෙකටම දැක්කා. මම ඒ මොහොතේ මට දැනුණ හැඟීම , වේදනාව,තරහා කොහොම පාලනය කරගත්තද කියලා හිතාගන්න බෑ අදටත්.පුතාව එතනින් අරන් මම කෙළින්ම ප්‍රධානියා ළඟට ගිහින් ඒ ගැන පැමිණිලි කරා. ප්‍රධානියා මාව සන්සුන් කරලා දිග දේශනයක් දීලා පුතාව එයාලගෙම වෙන තැනකට මාරු කරලා තෙරපි කරන්න යොමු කරා. ඒක එයාලගෙම Group therapy කරන තවත් තැනක්. එතන දූවීලි පිරිනු Ball pool එකක් සහ අපිරිසිදු වැසිකිළි තියන සතෙක්ටවත් සුදුසු තැනක් නෙමේ.මම මගේ දරුවව එතනින් ඉවත් කරගත්තා. දරුවා වෙනුවෙන්ම හෙම්බත් වෙලා හිටපු මට ආයේ ආයේ උන සිදුවීම් ගැන දුරදිග ගෙනියන්න තරම් නිරවුල් මානසික මට්ටමක් තිබ්බේ නෑ. මේක වුනේ 2011 දී. ඒත් එදාට වඩා මට අභියෝග වලට මූණ දෙන්න හයිය තියනවා. අද මේ වගේ දෙයක් මගේ දරුවට උනා නං මගේ ප්‍රතිචාරය ගොඩක් වෙනස් වෙයි.
පුතාගේ හිනාව ආයේ ලබාගන්න, එයගේ Burnout වලට මූණ දෙන්න අපිට කාලයක් ගත උනා. මම මේ පේජ් එකට මේ ගැන ලියන්න ඕනේ කියලා හිතුවේ මම වගේ ඒ වැරැද්ද වෙන අම්මා කෙනෙක් කරන එක වළක්වන්න. ඒ වගේම තෙරපි සෙන්ටර්ස් සහ ඒවල රැකියා කරන අයට කියන්න කරුණාකරලා අපේ දරුවන්ගේ විවිධත්වය පිළිගන්න සහ දරාගන්න අපහසු නං මේ රැකියාව තෝරගන්න එපා කියන්න. ඔබට ඉවසීම සහ නිවැරිදි දැනුම නැත්තන් ඒකෙන් දරුවෙක්ට වෙන හානිය ඉතා භයානකයි. බලහත්කාරකමින් දරුවෙක්ගේ විවිධත්වය වෙනස් කරන්න හදන තැන් වලින් දරුවන් පරිස්සම් කරගන්න.

Shalani Weerawardana