( මම කතා නොකරන , සංකීර්ණ අවශ්‍යතා ඇති ඔටිසම් සහිත පුතුන් දෙදෙනෙකු හදන මවක් වෙමි )

ගමනේ උදාව..!

මම හිතුවේ මම වෙනත් තැනකට යනවා කියලා.

මම සැලසුම් කළ, සූදානම් වූ, මෘදු පාටවලින් සහ හුරු පුරුදු මාර්ගවලින් සිතුවම් කළ තැනකට.

ඒත් මම පැමිණියේ මම කිසිදා සූදානම් නොවූ තැනකට.

“ඔටිසම්” කියන තැනකට.

මුලදී මේ ගමනේ සිතියම මට තේරුණේ නැහැ.

කිසිවක් මම බලාපොරොත්තු වූ දේවල් වගේ තිබුණේ නැහැ.

මට මාවම නැතිවුණා වගේ දැනුණා.

මම දැනගෙන හිටපු හැමදේම මගේ අත්වලින් බිඳ වැටුණා වගේ.

නිහඬවම බිඳ වැටුණු දවස් තිබුණා.

ජීවිතය ගැන මම සිතාගෙන හිටපු හැමදේම ප්‍රශ්න කළ දවස් තිබුණා.

ඒත්… ටිකෙන් ටික…

මේ තැනේ වෙනස් ආලෝකයක් මට පෙනෙන්න පටන් ගත්තා.

වෙනස් රිද්මයක්.

වෙනස් ආදර භාෂාවක්.

මම ඉගෙන ගන්න පටන් ගත්තා මේ අලුත් සිතියම —

මම සැලසුම් කළ එක නොව,

ජීවිතය මට ලබාදුන් එක.

මේක පහසු නැහැ.

ඒත් මේක සැබෑයි.

මේක මගේ ජීවිතය.

කාලයත් එක්ක,

මම නොපැමිණි තැන ගැන පමණක් ශෝක වීම නවත්තලා…

මම ඉන්න තැනේ ජීවත් වෙන්න ඉගෙන ගත්තා.

මම ඉගෙන ගත්තේ එක දෙයක් —

ඔබ ඉන්න යථාර්ථය පිළිගෙන, ඒ තත්ත්වයට හැඩ ගැසීම ඉතා වැදගත්.

හැඩ ගැසෙන්න ඉගෙන ගන්න අය හැමවිටම ජීවිතයේ ඉදිරියට යයි.

 

-නිසංසලා අබේසේන-

මුල් සබැඳිය : ගමනේ උදාව..!