Screen එක කියන්නේ Digital devices එකක්.එතකොට කොහොමද මේ Digital devices එකෙන් දරුවන් ඔටිසම් වෙන්නේ?

Autism Spectrum Disorder කියන්නෙ ස්ක්‍රීන් එක හරහා ඇති වෙන තත්ත්වයක් නෙමේ. එතකොට අපි මේ කතා කරන්නේ Neurotypical දරුවන් ගැන නෙමේ. අපි මේ කතා කරන්නේ Neurodivergent දරුවන් ගැන.ඒ කියන්නේ ඔටිසම් දරුවන් ගැන. එතකොට ඔටිසම් දරුවෙක්ව ස්ක්‍රීන් එකෙන් ඈත් කරනවා කියන්නේ ඒ දරුවාගේ Self regulation ක්‍රමය එහෙමත් නැත්තම් ඔටිසම් දරුවා එයාගේ මනස සන්සුන් කරගන්න ( Self soothing ) පාවිච්චි කරන ක්‍රමය ,දැනුම ලබා ගන්නා ප්‍රධාන මාධ්‍ය ඒ දරුවාට අහිමි කරන එක. ඔටිසම් දරුවාව ස්ක්‍රීන් එකෙන් ඈත් කරන්න කියලා කියන ලංකාවේ බුද්ධිමතුන්ට අමතක වෙලා තියනවා ඔටිසම් තත්ත්වය කියන්නේ මොකක්ද කියන එක. Self regulation කියන්නේ මොකක්ද කියන එක. visual tools කියන්නේ මොනවාද කියන එක. කරුණාකරලා ඔටිසම් කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. ඔටිසම් තත්ත්වයත් එක්ක Depression , Anxiety කියන ඒවත් සම්පූර්ණ පැකේජ් එක විදියට දරුවන්ට එනවා. ඔටිසම් දරුවා ලෝකය දිහා බලන්නේ වෙනස්ම විදියකට. ඒ දරුවන්ට පිටත ලෝකය පීඩාවක්. දරාගන්න බෑ. Sensory overload වෙනවා. අන්න ඒකයි ඔටිසම් දරුවන්ට ස්ක්‍රීන් එක අවශ්‍ය කාරණයක් වෙන්නේ.

මේ ඇකඩමික් බුද්ධිමතුන්ට ස්ක්‍රීන් එක නිසා දරුවන් ඔටිසම් තත්ත්වයට පත් වෙනවා කියලා කිසිම විද්‍යාත්මක පදනමක් නැති හිතළු ප්‍රකාශ කරන්න බැහැ. එහෙම නෛතික වපසරියක් නැහැ. කිසිම දියුණු රටක වෛද්‍යවරයෙක්ට හෝ තෙරපිවරයෙක්ට හිතු මනාපේ කතන්දර කියන්න බෑ ඔටිසම් දරුවන් ඉන්න දෙමාපියන්ට. ඔවුන්ට සිද්ධ වෙනවා යම් නියාමනයක් යටතේ දත්ත පදනම් කරගෙන ඔටිසම් සම්බන්ධව මේ මොහොතේ තියන විද්‍යාත්මක පදනම මත ඉදන් කරුණු ප්‍රකාශ කරන්න. එහෙම නොවුනොත් නීතී ගැටළු ඔවුන්ට ඇති වෙන්න පුළුවන්. නොමඟ යැවීම හෝ misleading යටතේ නඩු පවරන්න පුළුවන්. ලංකාව කියන රටේ ජීවත් වන ඔබ මම ඇතුළු සෑම පුරවැසියෙක්ම සුරක්ෂිත නැහැ. විශේශයෙන්ම ඔටිසම් දරුවන් සුරක්ශිත නැහැ.

Screen එක සහ ඔටිසම් අතර සම්බන්ධයක් හදන්න උත්සාහා කරන එකම ඉතා බරපතළ වරදක්. කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ මේ කතා වලට. ඔටිසම් දරුවන් හා ඔටිසම් නොවන දරුවන් වෙනස්. මේ වෙනස තියෙන්නෙ ඔටිසම් දරුවන් ලෝකය දෙස බලන ආකාරයේ සහ ඔවුන්ගේ අවශ්‍යතා වල. පුස්කොළ පොත් , ගල් ලෑලී ඔටිසම් දරුවට අවශ්‍ය නැහැ.ඔ ටිසම් දරුවන් 90%ක් තමන්ගේ භාශාව සකස් කරගන්නේ Gestalt language ක්‍රමයට. එතකොට දරුවා මූලිකවම කරන්නේ එයා බලන සහ අහන දේවල් ඔක්කොම ඔලුවේ රූප සමඟ කොපි කරගන්නවා. ඒ වගේම රිදම් එක ඉතා වැදගත්. ඒකයි ඔටිසම් දරුවන් ඉතා අඩු වයසින් අංක, හැඩතල, පාට, අකුරු මතකේ තියාගන්නේ. ඒ වගේම තමයි ඔටිසම් දරුවන් සංගීතයට, සිංදු වලට වැඩි කැමැත්තක් දක්වන්නේ. එතකොට ඇයි ඔටිසම් දරුවාගේ සන්නිවේදනය දියුණු කරගන්න අපහසු වෙන්නේ. හේතුව ඒ දරුවාට වචන, වාක්‍ය, කතා කොපි කරගන්න තියන පහසුම ක්‍රමය වන Screen එක එහෙම නැත්තන් visual tool එක උදේ පාන්දරම වෛද්‍යවරුන් සහ තෙරපිවරුන් විසින් ඉවත් කරලා.

1) Autism spectrum disorder ස්ක්‍රීන් එක හරහා ඇති වෙන තත්ත්වයක් නෙමේ.

2) ඔටිසම් දරුවා ඔටිසම් නොවන දරුවාට වඩා වෙනස් ය

3) ඔටිසම් දරුවාට ස්ක්‍රීන් එක දිය යුත්තේ ඇයි?

• Self regulations

• speech

• learning tool

• Reduce meltdown and Anxiety

• Hand and eye coordination

• imitate and learning

• Special interests

• Safe space

ඔටිසම් දරුවන්ට ස්ක්‍රීන් එක හරහා ලැබෙන ප්‍රතිලාභ ලිස්ට් එක මීට වඩා දිගයි. හරි දැන් එකින් එක විද්‍යානුකූලව විස්තර කරගමු.

Self regulations

දැන් අපි දන්නවා ඔටිසම් දරුවන්ගේ සංවේදන සමබර නෑ කියන එක. ශබ්ධ / රසය / රූප / ස්පර්ශය/ගඳ,සුවඳ /සමබරතාවය / ශරීර ඉරියව් කියන මෙන්න මේ සංවේදන සමබර නැහැ.එතකොට ඔටිසම් දරුවා නිතරම ඉන්නේ එක්කෝ සංවේදන මදිකම නිසා ඒවා පිටතින් සොයාගන්න උත්සාහා කරන ගමන්. එහෙම නැත්තන් සංවේදන වැඩි කම දරාගන්න උත්සාහා කරන ගමන්. ඉතිං පිටත ලෝකය එයාලට දරාගන්න බෑ. එයාලා නිතරම ඉන්නේ නිකන් පිටකොටුවේ මැනිං මාර්කට් එක අස්සේ එයාලව ගෙනිහින් අතහැරියා වගේ. එයාලට වට පිටාව දරාගන්න බෑ. එතකොට මොකක්ද මේ දරුවා කරන්නේ. මොළයෙන්ම මේකට උපක්‍රමයක් යෝජනා කරනවා. ඒක තමයි මනස සන්සුන් කරගන්න විවිධ ක්‍රම. මෙන්න මේකට තමයි Self regulation කියලා කියන්නේ. එතකොට ඔටිසම් දරුවන් ටෝයිස් පේලියට තියනවා. එක්කෝ කැරකෙන ෆෑන් එක දිහා බලන් ඉන්නවා. එහෙම නැත්තන් එක තැන කැරකෙනවා, උඩ පනිනවා, ඇඟිලි එකිනෙකට අතුල්ලනවා. නැත්තන් කටින් ශබ්ධ කරනවා. මෙන්න මේ වගේ දේවල් වලට තමයි Stimming කරනවා කියන්නේ. කිසිම වෙලාවක ඔටිසම් දරුවෙගේ Stimming අපි වළක්වන්නේ නැහැ. ඒ වගේම ස්ක්‍රීන් එක හරහා ඔටිසම් දරුවන් වැඩියෙන් උත්සාහා ගන්නේ එයාලගෙ මනස සන්සුන් කරගැනීම.

Speech / Communication

මේ ගැන අපි ගොඩක් කතා කරා.ඔටිසම් දරුවන්ගෙන් බහුතරයක්ගේ භාශාව මොළයේ හැදෙන්නේ ඇනලටික් ක්‍රමයට නෙමේ. gestalt ( ගෙශ්ටාල්ට් ) ක්‍රමයට. එතකොට දරුවා සම්පූර්ණයෙන් වාක්‍ය, කතන්දර ගෙඩි පිටින් ඔලුවේ කොපි කරගන්නේ Visuals හරහා. ප්‍රධාන වශයෙන් ස්ක්‍රීන් එක හරහා. ලංකාවේ කිසිම Gestalt language processing therapists ( GLP) කෙනෙක් නැහැ

ඒ වගේම තමයි ඔටිසම් දරුවා ඉගෙන ගන්නේ රූප හරහා.අපි දරුවා පුටුවක ඉන්දවලා පොතක් පෙන්නලා කියලා දෙනවට වඩා චලනය වන රූප, රිදම් එකකට ඇහෙන වචන හරහා දරුවා ඉගෙන ගන්නවා. දැන් නිකමට හිතන්න බහුතරයක් ඔටිසම් දරුවන් එයාලා බලන වීඩියෝ වලින් අංක,අකුරු,හැඩතල,පාට,ළමා ගීත කොහොමද මතකයේ තියන් ඉන්නේ කියලා.ඒ වේගයට අපිට පුළුවන් ද පොතක් අරන් පුටුවේ ඉන්දවලා උගන්වන්න. ඔටිසම් දරුවන්ගේ Memory එක වැඩ කරන්නේ වෙනම විදියකට. එතකොට දරුවා ස්ක්‍රීන් හරහා කොයිතරම් දේවල් ඉගෙන ගන්නවාද? අපිට කොයිතරම් දැනුමක් ඔටිසම් දරුවන්ට ලබා දෙන්න පුළුවන් ද?

බිල් ගේට්ස් කියන්නේ Microsoft ආයතනයේ නිර්මාතෘ.එයාගේ වත්කම USD ඩොලර් බිලියන 116.7යි. එතකොට බිල් ගේට්ස් පොඩි කාලේ ඒ කියන්නේ අවුරුදු 13ක වගේ කාලේ එයාගේ ඉස්කෝලේට ලැබුනා කම්පියුටර් එකක්. මේ කාලේ තියන කම්පියුටර් වගේ ඒවා නෙමේ ඒ කාලේ තිබ්බේ. මහ විශාල වෙනම හැඩයක ඒවා. එතකොට ඒකට කිව්වේ Teletype Model 3 කියලා. බිල් ගේට්ස් පුදුමාකාර විදියට මේ කම්පියුටර් එකට ආස උනා සහ එයා අධිකව කාලය වැය කරේ මේ කම්පියුටර් එකත් එක්ක. එතකොට ඉස්කෝලේ ගණිතය පන්තියේ ගුරුවරයා එයාට ඉඩ ලබා දුන්නා පන්තියේ ඉන්නේ නැතුව ඒ වෙලාවේ කම්පියුටර් එකත් එක්ක ඉගෙන ගන්න. මේ කතා කරන්නේ 1970 වගේ කාලය ගැන.

එතකොට Elon Musk කියන්නේ ලෝකේ ඉන්න අංක එකේ ධනපතියා. ඔහු ඔටිසම් පුද්ගලයෙක්.

ඔහුගේ වත්කම US ඩොලර් බිලියන 222ක්. ඔහු සහ ඔහුගේ එක් පුතෙක් ඔටිසම. තාක්ශණය හෝ ස්ක්‍රීන් එක මොවුන්ගෙන් කුඩා කාලයේ ඉවත් කරා නම් ඔබ හිතනවාද අද අපිට මොවුන්ගේ නමක් වත් දැනගන්න පුළුවන් වෙයි කියලා. Elon Musk ගේ ඔටිසම් දරුවා ඉතා බුද්ධිමත්.ඔහු සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ තාක්ශණය එක්ක. වටහා ගන්න දරුවාට තාක්ශණය කොයිතරම් වැදගත් ද කියන එක හා විශේශයෙන් ඔටිසම් දරුවාට තාක්ශණය හරහා කොයිතරම් දුරක් යා හැකිද කියන එක.

ගොඩක් දියුණු රටවල් වල අධ්‍යාපන ක්‍රමවේදය සකස් වෙලා තියන්නේ Phenomenology කියන තියරි එක මත. ඒ කියන්නේ දරුවාව විශයක් හෝ පෙළ පොතක් අස්සේ හිර කරන එකට එහා ගියපු ක්‍රමයක්. පෙළ පොතක් ඇතුලේ තියෙන්නෙ යම් විශයක එක්තරා කොටසක් විතරයි. ඒක සම්පූර්ණ දැනුම නෙමේ. එතකොට කොහොමද දරුවන් දැනුම සොයා යන්නන් බවට පත් කරන්නේ? ඔවුන්ට ඉඩ ලබා දිය යුතුයි technology , පරිසරය හරහා ප්‍රශ්න වලට පිළිතුරු සොයා යන්න. එතකොට Homeschooling කරන දෙමාපියන්ට ලංකාවේ ගොඩක් චෝදනා එල්ල උනත් ඒ ක්‍රමය ඇතුලේ දරුවාට නිදහස තියනවා දැනුම සොයා ස්වයං අධ්‍යනය ලබා ගන්න.

අපි දෙමාපියන්ව දැනුවත් කරන්න ඕනේ කොහොමද දරුවාට ස්ක්‍රීන් එක හරහා එයාගේ කුසළතාවයන් වර්ධනය කරගන්න හා දැනුම ලබා ගන්න සහය වෙන්නේ කියලා.අපි දැනුවත් කරන්න ඕනෙ දරුවන්ට බලන්න සහ ඉගෙන ගන්න තියන videos සහ App මොනවද කියන එක.

ඔටිසම් දරුවන්‍ට උගන්වන්න ඉංග්‍රීසි ටික youtube එකේ Educational videos හරහා.අකුරු ලියන්න කැමති නැත්තන් දරුවාට ටයිප් කරන්න කියලා දෙන්න. Google හරහා අවශ්‍ය දැනුම සොයාගෙන යන්න දරුවාට ඉඩ දෙන්න. දරුවාට ලෝකයේ නව දැනුම ස්ක්‍රීන් එක හරහා ලබා ගන්න ඉඩ කඩ සළසලා දෙන්න. දරුවාට තමාගෙ සන්නිවේදනය දියුණු කරගන්න පැහැදිලි දෙබස් තියන වීඩියෝ බලන්න දෙන්න. ඔටිසම් දරුවාගෙ මනස සන්සුන් කරගන්න ඒ දරුවාට ස්ක්‍රීන් එක ලබා දෙන්න.