2020 දී Documentary එකක් නිර්මාණය වුනා ” The Reason I Jump ” කියලා. මේක Naoki Higashida ගේ පොතකින් කරපු නිර්මාණයක්. හරි ලස්සන ජිවීත කතාවක් තියන Writer කෙනෙක් තමයි Naoki Higashida කියන්නේ. Naoki ඔටිසම් Non- Speaking තරුණයෙක්. ඒ කියන්නේ වාචිකව සන්නිවේදනය නොකරන තරුණයෙක්. දරුවෙක් වාචිකව සන්නිවේදනය කරගන්නේ නෑ කියන්නේ ඒ දරුවාට හිතන්න බෑ කියන එකවත්, බුද්ධි මට්ටම අවමයි කියන එකවත්, වැඩිහිටියන් කියන දේ වැටහෙන්නේ නෑ කියන එකවත් නෙමේ. ඉතිං Naoki ගේ දෙමව්පියන් තමන්ගේ දරුවාට වාචිකව සන්නිවේදනය කරගන්න තියෙන අසීරූතාවය දැකලා වෙනත් ක්‍රම හරහා සන්නිවේදනය කරගන්න සහය දුන්නා. මේ හරහා අපි ආයේ නිතරම කතා කරන දෙයක් ආයේ මතක් කරන්න ඕනේ. “දරුවෙක්ගේ සෑම සන්නිවේදන ක්‍රමයක්ම පිළිගන්න සහ ගෞරව කරන්න”  කියන එක.

Naoki Higashida අවුරුදු 13 දී තමයි ” The Reason I Jump” කියන පොත ලිව්වේ.එයා ඒක ලියන්න පාවිච්චි කරේ letterboard /Alphabet grid එක. මේකත් අපිට ගොඩක් වැදගත් තොරතුරක්. latter board එක කියන්නේ සාමාන්‍යෙන් ලැමිනේට් කරපු ශීට් එකක්.දැන් නං එක එක විදියට හදපු ඒවා තියනවා. එතකොට Non – speaking සහ අකුරු ලියන්න , Type කරන්න අපහසු දරුවෙක්ට සන්නිවේදනය කරන්න පුළුවන් මෙන්න මේ Letter Board එකේ තියන අකුරු වලට Point කරලා තමන්ට අවශ්‍ය වචනය Spell කරලා.මේක කෙටියෙන් Spelling to Communicate (S2C) කියලා හඳුන්වනවා.

Naoki Higashida

Naoki තමන්ගේ මනසේ තියන දහසක් සිතුවිලි, හැඟීම් පොතකට එකතු කරේ S2C ක්‍රමය පාවිච්චි කරලා. එයාගේ අම්මා සහ ගුරුවරිය දෙන්නා තමයි ඒකට සහය දුන්නේ. Naoki ගේ අත්දැකීම්, දැනීම් , සිතුවිලි අපිට වැදගත්. හේතුව අපිට එතකොට වඩ වඩාත් තේරුම් ගන්න පුළුවන් අපේ දරුවන් අත් විදින ලෝකය ගැන.

තමන්ගේ සංවේදන සංවේදීතාවයේ විවිධත්වය ගැන Naoki මෙහෙම පැහැදිලි කරනවා.

” මගේ සංවේදන සංවේදීතාවය ක්‍රියාත්මක වෙන්නෙ හැම පැත්තෙන්ම බෝම්බ ,මිසයිල ,රොකට් ප්‍රහාර නොනවත්වා ප්‍රහාර එල්ල කරනවා වගේ “. 

ඔහු ඇයි අත්ල එකට ගසන්නේ සහ උඩ පනින්නේ කියන එකට උත්තර දෙන්නෙ

” මම උඩ පනිනකොට මට දැනෙන්නේ මම හරියට අහසට ඇදීගෙන යනවා සන්සුන් හැඟීමක්” 

ඒ වගේම තමන්ට අවශ්‍ය දේ මොකක්ද කියලා දන්නවා උනත් ඒක ප්‍රකාශ කරගන්න, ක්‍රියාත්මක කරගන්න ශරීරය උදව් වෙන්නේ නෑ කියලා Naoki කියන්නේ Body-Mind Disconnect එක ගැන පැහැදිලි කරනකොට. හරියට මගේ ශරීරය ගැටළුකාරී රොබෝ කෙනෙක් වගේ මට ඒ වෙලාවට දැනෙනවා කියලා ඔහු කියනවා.

Empathy සහ Deep Emotions ගැන ඔහු කියන්නේ ඔහුට තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරගන්න අපහසු වීම මිසක් ඔහුට හැඟීම් , දැනීම් නොදැනෙනවා කියන එක නෙමේ කියලා.

තමන්ගේ විවිධත්වය මිනිසුන් වැරදියට වටහා ගැනීම ගැන තමන්ට දැනෙන වේදනාව ගැන Naoki Higashida කතා කරනවා. ඔහු කියනවා

” මට කතා කරන්න බෑ.ඒත් කරුණාකරලා හිතන්න එපා මට කතා කරන්න දෙයක් නෑ කියන එක.”

Naoki Higashida පොත Documentary එකක් උනා.එයාගේ හඬ ඔටිසම් දරුවන්ට අලුත් බලාපොරොතුවක් ගෙනාවා. මේ Documentary එකේ තියන විශේශත්වය තමයි ඔටිසම් පුද්ගලයින් ඒකට දායකත්වය දුන්න එක .ඒ Individuals ලා ගැන මම වෙන වෙනම විස්තර කියන්නම්

  • Ben McGann (USA)

Ben ඔටිසම් තරුණයෙක්.Non- Speaking.ඔහු සන්නිවේදනය කරන්නේ Letterboard එකක් හරහා. Ben බෙදාගන්නවා තමන්ගේ ශරීරය තමන්ට අවශ්‍ය විදියට ප්‍රතිචාර දැක්වීමේදී මුහුණ දෙන අසීරුතාවයන් ගැන.

Ben McGann

  • Emma Budway (USA)

Emma Non- speaking තරුණියක්. එයා Ben ගේ සමීපතම යහළුවෙක්.Letterboard එක හරහා තමයි සන්නිවේදනය කරගන්නේ.මේ දෙන්නම එකතු වෙලා කතා කරනවා ඔටිසම් පුද්ගලයින්ට කොයිතරම් ගැඹුරු යහළුකම් පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක ගැන.

Ben McGann & Emma Budway

  • Amrit Khurana (India)

Amrit කියන්නේ ඉන්දියාවේ ඉන්න Non- speaking ඔටිසම් තරුණියක්.එයා එයාගේ සිතුවිලි ප්‍රකාශ කරන්නේ abstract paintings හරහා.ඒක තමයි Amrit ගේ සන්නිවේදන මාධ්‍ය.

Amrit Khurana

  • Joss Dear (UK)

Non-speaking autistic දරුවෙක් තමයි Joss. ඔහු තමගේ Sensory overload වීම ගැන සහ හැඟීම් දරාගැනීමට තමන්ට තියන අහියෝග ගැන කතා කරනවා.

Joss Dear

  • Jestina Penn-Timity (Sierra Leone)

Non-speaking autistic තරුණියක්.එයා කතා කරනවා තමන්ගේ රටේ තියන විශ්වාසයන් සහ සංස්කෘතික හැඩය ඇතුළේ ඔටිසම් පුද්ගලයින්ට මුහුණ දෙන්න සිද්ධ වෙන විනිශ්චයන් ගැන.

ලංකාවේ අප්ඩේට් දැනුම බෙදාහැරීමේ ගැටලු නිසා තියන ලොකුම ප්‍රශ්නය තමයි වාචිකව සන්නිවේදනය කරගන්න අපහසු ඔටිසම් දරුවන්‍ට තමන්ගේ සිතුවිලි ප්‍රකාශ කරගන්න මාධ්‍යක් නොලැබීම. ලංකාවේ සැලකිය යුතු ඔටිසම් තරුණ තරුණියන් සහ පුද්ගලයින් ඉන්නවා වාචිකව සන්නිවේදනය කරගන්න බැරි ඒත් කිසිම සන්නිවේදන මාධ්‍යක් හඳුන්වා දීලා නැති නිසා තමන්ගේ අන්නත අප්‍රමාණ සිතුවිලි, හැඟීම් තමන් තුළ හිර කරගෙන ඉන්න. ඒ වගේම ගොඩක් අය හිතනවා කතා කරන්න බෑ කියන්නේ බුද්ධියක් නෑ.හිතන්න බෑ.කියන එක තේරෙන්නේ නෑ කියලා. ඉතිං ඒ වටින පුද්ගල ජිවිත අවශ්‍ය සහය නොලබාම මේ රටේ ඉපදිලා නිහඩවම මේ මහ පොලොවේ අවසන් හුස්ම හෙළනවා. අපි අප්ඩේට් දැනුම සමාජගත කරන්න ඕනේ ඒකයි. දෙමව්පියන්ගේ ආර්ථික පසුබිම කිසිසේත්ම අදාළ නෑ තමන්ගේ ඔටිසම් දරුවාට අවශ්‍ය සහය දෙන්න. ඔටිසම් ගැන වටහා ගන්න, දරුවාගේ විවිධත්වය වටහාගෙන සහය දෙන්න ඕනේම කෙනෙක්ට අවශ්‍ය දැනුම පන්ති භේදයකින් තොරව බෙදිලා යන්න ඕනේ.

මේ රටේ නිර්මාණය වෙන්න ඕනේ විවිධත්වයෙන් යුතු ප්‍රජාවට තමන්ගේ හඬට සවන් දෙන්න පුළුවන් ඉඩක්. වඩා පහසුවෙන් අධ්‍යාපනය ලබා ගන්න පාසල්, ඒ පාසල් වලට විවිධත්වය වටහා ගත් ගුරුවරුන් ඉන්න ඕනේ. එතනින් එහාට ඒ පාසල් වල නිර්මාණය වෙන්න ඕනේ තමන්ගෙ සංවේදන සංවේදීතාවයට ගැළපෙන පරිසරයක්. අපි නිර්මාණය කරන්න ඕනේ අපේ දරුවන්ට තමන්ගේ කුසලතා සංවර්ධනය කරගන්න අවශ්‍ය වටපිටාවක්. එහෙම නැතුව පවතින Environment එක අස්සට අත හැරලා මේක තමයි අපිට දෙන්න පුළුවන් Inclusive support එක , පුළුවන් අය ඉස්සරහට යන්න බැරි අය ගැන අපිට කරන්න දෙයක් නෑ කියන එක නෙමේ විවිධත්වයව වටහාගෙන සහය දෙනවා කියන්නේ.

තමන්ගේ දරුවාගේ අභියෝග සහ කුසලතා වටහා ගන්න. හැම ඔටිසම් දරුවෙක්ටම, පුද්ගලයෙක්ටම හඩක් තියනවා. ඒ හඬ සමාජගත කරන්න අවශ්‍ය සන්නිවේදන මාධ්‍යයක් දරුවාට ලබා දෙන්න.

 

මුල් සබැඳිය : The Reason I Jump