සමාජයේ පවතින ගැටලුවක් ගැන දිගින් දිගටම කතා කරනකොට , සමාජය දැනුවත් කරනකොට සහ හිමිවිය යුතු අයිතිවාසිකම් ගැන කතා කරනකොට ඒ කතා කරන පුද්ගලයාව හෝ පුද්ගල කොට්ඨාසය Dishonest හෝ manipulative කරන්න උත්සාහ ගන්න එක ඉතාම සාමාන්‍ය දෙයක්. උදාහරණයක් විදියට මනුස්සයෙක් අසාධාරණයක් ගැන කතා කරනකොට ඒ අසාධාරණය වහන්න ඒ මනුස්සයාගේ මානසික මට්ටම අයහපත් එහෙම නැත්තන් එයා මානසික පීඩාවෙන් ඉන්නේ කියලා ඒ මනුස්සයාව වැරදිකාරයෙක් කරන්න හදන එක. මේක ඉතාම කුඩා තැන ඉඳන් ඉහළට වෙනකල් සිද්ධ වෙන දෙයක්. කාර්‍යාල වල ඕක සිද්ධ වෙනවා.පාසල් වල සිද්ධ වෙනවා.පවුල් ඇතුළේ සිද්ධ වෙනවා.දේශපාලනිකව සහ සමාජ පන්තිමය වශයෙන් සිද්ධ වෙනවා. ඕක මමත් මේ පේජ් එක පටන් ගත්ත දවසේ ඉඳන් අද දක්වා මුහුණ දෙන දෙයක්.මේක මට විතරක්ම නෙමේ.ලෝකයේ ඔටිසම් දරුවන් සහ ප්‍රජාව වෙනුවෙන් අරගල කරන ගොඩක් අය මුහුණ දෙන දෙයක්.විශේශයෙන් දෙමාපියන්.
මේ පේජ් එක පටන් ගත්ත මුල් කාලයේ ඉඳන්ම මම පැරණි තෙරපි ක්‍රමවේදයන් වෙනස් වෙන්න ඕනේය කියන අදහස සමාජගත කරා. ඔටිසම් දරුවන්ගේ දෙමාපියන්ව ඉතාමත් නරුම විදියට රවට්ටලා මුදල් උපයන ව්‍යාපාර ගැන කතා කරා. ඔටිසම් සුව කරන්න දරුවන්ගේ කොඳු ඇට පෙළට පොලු වලින් ගහන,ඇස් වලට තිප්පිලි ,ගම්මිරිස් කුඩු පිඹින වෙද්දු ගැන කතා කරා, ඇමරිකාවේ ඉස්කෝලවලත් තමන්ගේ අධ්‍යාපන ක්‍රමයක් උගන්නනවා කියලා අම්මලව රවට්ටන ස්පෙශල් සෙන්ටර් එකක් ගැන කතා කරා. විශේෂයෙන්ම රජයේ හා පෞදගලික ආයතන වල පාවිච්චි කරන පීඩාකාරී තෙරපි ක්‍රමවේදයන් සහ ඔටිසම් දරුවන් Fix කරන්න ඕනේය කියන අදහස මත ලබා දෙන නිවැරිදි නොවන උපදෙස් ගැන කතා කරා. මෙන්න මේ ප්‍රශ්න කිරීම වෙනස් කරන්න, සඟවන්න හෝ නොසලකා හරින්න යම් යම් පුද්ගලයින්,පුද්ගල කොට්ඨාසයන් උත්සාහ කරා කියන්න මේ අම්මට Depression කියලා. මේකට තමයි අපි කියන්නේ Pathologize කරනවාය කියලා. Advocate කරන එක ලේබල් කරනවා Mental health ගැටලුවක් විදියට. මේකම තමයි Discredit කරනවා කියන්නේ. සිස්ටම් එකේ ගැටලුව Fix කරන්න වටහාගන්න උත්සාහ කරන්නේ නැතුව දෙමව්පියන්ව අපකීර්තිමත් කරන්න උත්සාහ ගන්න එක. මේක ලංකාවේ විතරක්ම වෙන දෙයක් නෙමේ.ඉතාමත් දියුණු රටවල් වල ඔටිසම් දෙමාපියන්ට සහ ඔටිසම් ගැන Advocate කරන ,සිස්ටම් එකේ දුර්වලතා ගැන ප්‍රශ්න කරන දෙමව්පියන් මුහුන දෙන පොදු අත්දැකීමක්.
ඔය මම පහළ දාලා තියෙන්නෙ Fiona ඔය ගැන විස්තර කරපු එකක්. Fiona කියන්නෙ තමන්ගේ ඔටිසම් දරුවා වෙනුවෙන් Advocate කරන අම්මා කෙනෙක්. විශේශයෙන් මේ අම්මා කතා කරන්නේ පාසල් වල සහ අධ්‍යාපන ක්‍රමවේදය තුළ ඔටිසම් දරුවන්ට ලැබිය යුතු අයිතිවාසිකම් ගැන. ඒ අම්මා කියන්නේ ඔටිසම් දරුවන් කොටසක් පවතින පාසල් අධ්‍යාපන ක්‍රමවේදයෙන් අධ්‍යාපනය ලබා ගන්නකොට තවත් කොටසක් ඒ ක්‍රමය හරහා ප්‍රතික්ශේප වෙනවා කියලා.ඒක ඇත්තක්. ලංකාවෙත් ඒක වෙනවා. ලංකාවේ විශේෂ අධ්‍යාපන ඒකකය වැසිකිළි පේළිය ළඟ හෝ පාසලේ කොනක හදලා තියන පාසල් කීයක් නං තියනවද. කොටින්ම මම පොඩි කාලේ ඉගෙන ගත්ත පාසලෙත් විශේෂ අධ්‍යාපන ඒකකය තිබ්බේ වැසිකිළි ආසන්නයේ හරිම අඳුරු මුල්ලක.වටේටම පොඩි කොටු තියන ඝන දැල් ගහලා තිබ්බේ.එතකොට මම හතරේ පන්තියේ හෝ පහේ පන්තියේ. පන්තියේ ළමයි විවේක කාලයට සමහර වෙලාවට ගිහින් ඔය දැල් වල එල්ලිලා ඇතුළේ ඉන්න ළමයි දිහා බලන් ඉන්නවා නිකන් Zoo එකේ වගේ. අපේ ඔළුවට ආවේම මේ ඉන්නේ අපි වගේ නෙමේ වෙනම කොටසක් කියලා. ඒ කාමරය තිබ්බ පැත්තම නිතරම මුත්‍රා ගඳකින් වැහිලා තිබ්බා.හේතුව වැසිකිළි පේළිය ඉතාම ආසන්නයේ තිබ්බ නිසා. විශේශ ඒකකය පාසලේ මුල්ලේම හදලා තියන පාසල් අදටත් නොවෙනස්ව තියනවා. මේවා වෙනස් වෙන්න ඕනේ.
මෙන්න මේ ගැටළු ගැන කතා කිරීම නිසා ඇත්ත ප්‍රශ්න වහන්න ” Problem parent “ කියලා දෙමාපියන්ව ලේබල් කරනවා. එහෙම කරලා උත්සාහ කරනව ඒ දෙමව්පියන්ව හුදකලා කරන්න. ඒක කරන්නෙම මේ සිස්ටම් එක පෝෂණය කරන කොටස. එයාලා පිළිගන්න අකමැතී මෙතන ගැටලුවක් තියනවාය කියන එක.ඔටිසම් දරුවන් පීඩාවට පත් වෙනවාය මීට වඩා මේ ක්‍රමය ගුණාත්මක සහ ඔටිසම් දරුවන්ගේ අයිතිවාසිකම් රැකෙන එකක් වෙන්න ඕනේ කියන සත්‍ය ඔවුන් පිළිගන්න කැමති නෑ. අන්න ඒ නිසාම ඉතාම නරුම විදියට ඒ ගැන කතා කරන දෙමාපියන්ව Defamation/ Pathologize /Dishonest කරන්න උත්සාහ ගන්නවා.
ඉතිං මම දැන් වසර කීපයක් පුරාම මේවට හුරු වෙලා ඉන්නේ. ඇත්ත ප්‍රශ්නය තාම එකම තැන තියනවා. මේ සිස්ටම් එක වෙනස් විය යුතුයි. කොයිතරම් උත්සාහ ගත්තත් මේ ප්‍රශ්නය සඟවන්න, වෙනස් කරන්න හෝ නොසළකා හරින්න මේක දිගින් දිගටම මම කතා කරනවා. ” problem parent” ලේබල් එකට වඩා වෙනස් වෙනස් ලේබල් ගෙනාවත් මේ ඇත්ත ගැටලු වහන්න බැරි තරම් විශාලයි සහ දරුණුයි.

