අපේ සමූහයේ මවක් අද මුහුණ දුන් අත්දැකීමක් ඇය විසින්ම ලියලා යොමු කරලා තිබ්බා. මේ වගේ අත්දැකීම් ඔටිසම් දරුවන් ඉන්න දෙමාපියන්ට කොයිතරම් ලස්සන අත්දැකීම් ද කියන එක මේක කියවලාම දැනගන්න පුලුවන් 
ශ්‍රී ලන්කා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවට මල් මිටක් 


දිනය : 03 සැප්තැම්බර් 2025
ස්ථානය : වීසා අන්ශය, 4 වෙනි මහල, පාස්පෝර්ට් කන්තෝරුව, බත්තරමුල්ල
උදෑසන 10 වනවිට මමත් මගේ ස්වාමිපුරුෂයාත් ඉහත ස්ථානයට පැමිණියේ අපගේ Visa කටයුත්තක් සදහාය. මගේ දරු දෙදෙනා ද කැටුව පැමිණියේ ඔවුන් නිවසේ රදවා තබා ඒමට නොහැකි නිසාය. මගේ එක් දරුවෙකු ඔටිසම් අනන්‍යතාව සහිත පුතෙකි. ඔහු තවම අවම වශයෙන් සන්නිවේදනය කරන (Minimally speaking) දරුවෙකි. අම්මා හෝ තාත්තා හැර වෙන කිසිවෙකු සමග දීර්ඝ වෙලාවක් සිටීමට තරම් ඔහු තවම සන්වර්ධනය වී නොමැත. අපගේ රාජකාරිය සදහා අපි අදාල ලිය කියවිලි සමග පාස්පෝර්ට් කන්තෝරුවේ 4 වෙනි මහලේ B අංශයට ගියෙමු.
අදාල ටෝකනය ලබා ගත්පසු අපට ලියකියවිලි බාර දීමට B අංශයට යෑමට උපදෙස් ලැබුණි. එම ස්ථානයට ගොස් අප දෙවෙනි පේලියේ ඇලුමිනියම් පැහැති ලෝහ පුටු මත සැහැල්ලුවෙන් වාඩි වී සිටියේ අපේ වාරය එනතුරුය. අපේ ඔටිසම් අනන්‍යතාව සහිත පුතාද අප සමග සන්සුන්ව අසුන් ගෙන සිටියේය. ඒ කාමරය වායුසමීකරණය කර ඇති නිසා ගතට දැනෙන සිසිලසක් තිබුණි. ලෝහ පුටු ද ඒ නිසා තරමක් සීතල විය. විනාඩි 3 ක් පමණ අපි එතැන සිටි අනෙකුත් මිනිසුන් මෙන්ම සන්සුන්ව සිටියෙමු. වාඩි වී සිටි පුටුවල සීතල මා පුතු හට සතුටක් ගෙනදුනි. ක්‍රම ක්‍රමයෙන් ඔහු ශබ්ද කරන්නට (Vocal stimming) පටන් ගත්තේය . වටයක් දෙකක් කැරකුණි. ඉදිරිපස පුටුවලට කකුල් දික් කරමින් තව තව පුටුවල සිසිල විදීම ඔහුට සිත්විය. ඔටිසම් දරුවන් ඇස, කන, නාසය, ශරීරය යන ඉන්ද්‍රීන්ගෙන් බාහිර පරිසරයේ වෙනස් වීම් ග්‍රහණය කර ගන්නෙ වෙනස් ආකාරයටය. සමහරවිට ඒ වෙනස ඔවුන්ට පීඩාවක් සේ දැනේ. සමහර අවස්ථාවන්හීදී ඒ වෙනස සන්වේදන උත්තේජනයක් (Sensory stimulation) සේ දැනේ. ඒ ආකාර දෙකෙන් ඕනෑම දෙයක් සිදු වූ විට අප එය හදුන්වන්නෙ සන්වේදන අසමතුලිතතාවය (Sensory imbalance) යනුවෙනි. neurotypical අපට බාහිර පරිසරයේ වෙනස් වීම් නිසා ඇතිවන පීඩාවන් හෝ උත්තේජන ඉක්මනින් ස්වභාවිකවම සමතුලිත කර ගැනීමට හැකිවන පරිදි ස්නායු පද්ධතියක් ඇත. මගේ පුතා වැනි Neurodivergent පිරිසට උපතේ සිටම ඇති මොළයේ වෙනස් ස්නායු සැකැස්ම නිසා පහසුවෙන් මේ සමතුලිතතාවය ඇති කර ගැනීම සිදු කල නොහැක. ඒ සදහා යම් කාලයක් ගතවේ. එක් එක් දරුවාට ගතවන කාලය වෙනස් ය. අපේ දරුවා ද ක්‍රමයෙන් ඔහුටම අනන්‍ය වූ වේගයකින් තෙරපි හරහා සන්වර්ධනය වෙමින් යයි.
ඉතින් සන්සුන්ව වාඩි වී සිටි දරුවාට මොකක්ද එක පාරටම වුනේ? අප වාඩි වී සිටි කාමරයේ සීතල, ත්‍රීව ආලෝකය, දිලිසෙන ලෝහ පුටු, එහාට මෙහාට ගමන් කරන මිනිස්සු, මිනිසුන්ගේ කතා බහ වැනි ඕනෑම දෙයක් නිසා ඔහුට Sensory imbalance එක ඇතිවන්නට ඇත. ඔහු තත්පර කීපයක් ඇතුල නොසන්සුන් විය. Vocal stimming වැඩි විය. මෙවැනි තත්ත්වයන්ට අප අවුරුදු ගානක් තිස්සෙ මුහුණ දෙමින් සිටින නිසා අපට ඒ අත්දැකීම ආගන්තුක නැත. මා කිසිවක් කීමටත් පෙර තත්වය ක්ෂනිකව තේරුම් ගත් මාගෙ වැඩිමහල් දියණිය ඉක්මනින් මල්ලිව උකුලට ගෙන හෙමින් සින්දුවක් මුමුනන්නට පටන් ගත්තාය. මම හෙමින් සීරුවේ මගේ මුහුණ දරුවාගෙ මුහුණට ලන්කර හාදුවක් දී හෙමින් ඔහුගේ ශරීරයට තෙරපුමක් දුන්නෙමි. මගේ මහත්තයා දරුවාගේ අතේ ඇගිලි හෙමින් පිරිමදින්න පටන් ගත්‍තේය. මේ අප දරුවා සන්සුන් කිරීම සදහා අනුගමනය කිරීමට පුරුදු ක්‍රමයන් ය. මේ සියල්ලක්ම අපි තුන්දෙනා එක් වචනයක් හෝ නොදොඩා කලබලයකින් තොරව කලෙමු. දරුවා Verbal stimming කිරීමට පටන් ගත් නිසා ඒ ස්ථානයේ වාඩි වී සිටි මිනිසුන්ට අප ගැන අවබෝධයක් ලැබුනි. සුළු වෙලාවකින් අප අසලට නිලධාරී මහතෙක් පැමිණියේය. ඔහු මගේ ස්වාමිපුරුෂයා ලග ඇති ලියකියවිලි ටික අතට ගෙන පරීක්ෂා කර බලා “ඉන්න මම Priority submission arrange කරන්න බලන්නම් බබත් එක්ක නිසා ඕගොල්ලන්ට අමාරුයි මෙතන wait කරන්න” යැයි පැවසීය. අප එකිනෙකාගෙ මුහුණ බලා ගත්තෙමු . අප වගේම හැමෝම මෙවැනි ස්ථාන වලට පැමිණෙන්නෙ ඉක්මනින් කාර්ය කරගෙන යෑමටය. එබැවින් , “එහෙම කමක් නැද්ද අනිත් මින්ස්සුන්ට තරහ යාවිද” වගේ හැගීමක් අප තුල විය. ඒ ගැන සිතනවා තියා හුස්ම ගන්නත් මත්තෙන් අපව අංශ ප්‍රධාන කාර්‍යාලයට කැදවීය. එතනට ඇතුල් වූ වහාම පුතා එතැන තිබූ සෝපාවෙ වැතිරුනේය. සිනාසෙමින් කකුලද උඩට ගත්තේය. මහත්මීන් දෙදෙනෙක් අප දිහා ක්ශනිකව බලා කාරුණිකව සිනාසී කඩියන් සේ අපේ ලියකියවිලි පරීක්ෂා කලහ. නැවත අපි දිහා බලා “අපි ඉක්මනට මිස්ටයි සර්ටයි document process කරල දෙන්නම්” යැයි පැවසීය. ඒ අතරතුර සෝපාවේ හිට ගනිමින් උඩ පනින්නට තැත්කරන මගේ පුතු දිහාත් ඒ ලග ඉවසීමෙන් සිටගෙන සිටින මගේ ස්වාමිපුරුෂයා දිහාත් ඔවුහු අමුතු විදිහට බලා සිටියේ නැත. රෝමය ගිනිගනිද්දිත් වීනා වයන්නාක් මෙන් මගේ දුව කිසි කලබලයකින් තොරව පුතාගෙ ආසම සින්දුව වන “five little monkeys ” කිය කිය සිටියාය. කලින් පැමිණි නිලධාරී මහතාත් ඉන්පසු මුණ ගැහුණු මහත්මීන් දෙදෙනාත් පුතා autistic බවත්, පුතා dysregulate වී ඇති බවත්, එබැවින් අපගේ පහසුව තකා අපට ඉක්මන් සේවාවක් සැපයීමට අපගේ අනුදැනුමකින් තොරවම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ බවත්, අප වටා සිටි අනෙකුත් මිනිසුන් පුතාගේ තත්වය තේරුම් අර ගත් බවත් අපට තේරුම් ගියේය. මගේ ඇස් කොනින් කදුලු පනින්න ඔන්න මෙන්න විය. නමුත් එතනින් පිටවීමට පෙර ” බොහොම ස්තූතියි මිස්. සමාවෙන්න. පුතාට ඔටිසම්” යැයි මම කීවෙමි. ඊට වඩා තව කීමට තරම් මා හට ශක්තියක් නොවීය. ” ඔව් අපිට තේරුනා. ඒකයි ඉක්මනට ඕගොල්ලන්ගෙ වැඩේ ඉක්මන් කලේ ” යැයි ඇය කාරුණිකව පැවසුවාය. මගේ දෑස් කොණ බරට හිරවී තිබුණු කදුලු බෝල දෙක කඩා වැටිනි.
එතනින් එලියට පැමිණි අපට අපේ visa සූදානම් වී passport අතට ලැබෙන තුරු තව පැයක් පමණ සිටිය යුතු විය. අපි දරුවා සන්සුන් වෙන තුරු කොරිඩෝවේ ඇවිද්දෙමු. විදුලි සෝපානයේ කීප වරක් ගියෙමු. එතන තිබූ Nescafe welfare shop එකට ගොස් nescafe බිව්වෙමු. පුතාට cupcake ආස යැයි කී නිසා cupcake අරන් දීමු. අප එම ස්ථානයේ රැදී සිටි පැය දෙකක කාලය ඇතුලත විනාඩි 15 ක් පමණ නොසන්සුන් වී සිටි දරුවා, තවත් විනාඩි 30 ක් ඇතුලත සන්සුන් වී ඒ පරිසරයට අනුගත වූයේය. ටික වෙලාවකට පසු vocal stimming නැවතුනි. අපි සතුටු සිතින් දවල් 12 පමණ වනවිට එම ස්ථානයෙන් පිට වුනෙමු.
ඉතින් passport කන්තෝරුවේ 4 වෙනි මහලෙ B, C අංශවල රාජකාරි කල නිලධාරී මහත්ම මහත්මීන්ට අපේ හද පිරි ආදර ස්තූතිය…
අපට කාරුණිකත්වයේ හදවත දිගු කරාට ස්තූතියි… අපේ ශබ්ධ දරාගෙන හිටියාට ස්තූතියි ..
අප දිහා වරක් පමණක් බලා තමන්ගේ පාඩුවේ සිටි නිලධාරීන්ට ස්තූතියි. තමන්ගෙ පාඩුවෙ සිටි දෙස් විදෙස් අනිත් මිනිස්සුන්ට ස්තූතියි…
අපි අමුතු දරුවෙක් සිටින අමුතු පවුලක් නොව අපි ඔටිසම් දරුවෙක් සිටින පවුලක් බව තේරුම් ගත්තාට ස්තූතියි…
අද මගේ ඇසට නැගුනු සතුටු කදුල හැමදාම මා ලග තියේවී !!!
“අම්මගෙයි තාත්තගෙයි වැඩකටනෙ ආවෙ. මොකටද මේ වගේ ලමයෙකුත් අරන් ආවෙ” යැයි ඔවුන් අපෙන් ඇසුවේ නැත.
“ළමයට කෑ ගහන්න එපා කියන්න. මෙතන ඉන්න අනිත් අයට කරදරයි” කියා ඔවුන් පැවසුවේ නැත.
“තැනකට ගිහින් හැසිරෙන හැටි මේ ලමයට කියල දීල නැද්ද” කියා ඔවුන් අපව ප්‍රශ්න කරේ නැත.
“ලමය මෙච්චර පිස්සු කරද්දිත් කිසි ගානක් නැතුව අර අම්මයි තාත්තයි ඉන්න හැටි” අහන්න වගේ අපි දිහා කිසිවෙක් බැලුවේ නැත.
අත් දෙක උස්සමින් ඇගිලි සොලවමින් ශබ්ධ කරමින් මගේ උරහිසටත් වඩා උස දරුවෙක් සමග 4 වෙනි මහලේ එහා මෙහා ඇවිද්ද මා දිහා මා අපහසුතාවයට පත් කිරීමට එක රැවුමක් ගෙරවුමක් ආවේ නැත.
මගේ පැතුම ලන්කාවේ අස්සක් මුල්ලක් නෑර පොදු සේවා සපයන ආයතන වලට ඔටිසම් දරුවන් සමග පැමිනෙන ඕනෑම දෙමව්පියෙකුට අද මා අත්විදි කාරුණික පිළිගැනීම (Neurodiversity acceptance) ලැබේවා යන්නයි ..
