
ලංකාවේ ලිංගික අධ්‍යාපනය කියන්නේ කතා නොකරනම මාතෘකාවක්. ඒත් යොවුන් වියේ ඉන්න ඔටිසම් අන්න්‍යතාවය සහිත දරුවන්ට අනිවාර්යයෙන් දෙමාපියන් විසින් ඔවුන්ගේ ශරීරය, ශාරීරික වෙනස්වීම් ගැන කියලා දෙන්නම ඕනේ.මේ ගැන එංගලන්තයේ ඉන්න Neurodivergent පුතෙක්ගේ ආදරණීය අම්මා කෙනෙක් මට එවපු Stories තමයි මම මේ පහළ දාලා තියෙන්නේ.ඒ හරහා ඔයාලට පුළුවන් පිරිමි දරුවන්ට පහසුවෙන් සහ සරළව කියලා දෙන්න එයාලගේ අවශ්‍යතාවයන් කොහොමද සම්පූර්ණ කරගන්නේ කියලා.
මේත් එක්කම පොඩි දෙයක් කියන්න ඕනේ.
මම මේ පේජ් එක පටන් ගත්තේ ලංකාවේ Neurodivergent දරුවන්ගේ දෙමාපියන්ගේ එකතුවක් නොතිබීම නිසා හුදකලාවේ සහය නොමැතිව අභියෝග පහු කරගෙන යන්න බහුතරයක් දෙමාපියන් දරන අසීරු උත්සාහය නිසා. මාත් ඒ එක අම්මා කෙනෙක්.එතකොට මේ වෙනකොට ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක ඉන්න ලංකාවේ දෙමාපියන් වගේම විදේශිකයින්ගෙන් පවා ගොඩක් මූලාශ්‍ර මට හම්බෙනවා අනෙක් දෙමාපියන් එක්ක බෙදාගන්න.මේක තමයි අපි රටක නිර්මාණය කරගන්න ඕනේ ඉඩ.අනෙකා සමඟ අප්ඩේට් දැනුම බෙදාගන්න එක.ඒක ව්‍යාපාර කරන හෝ ව්‍යාපාර අරමුණු වලින් සමාජයේ චරිත නඩත්තු කරන බහුතරයක් අයට හිතාගන්න සහ දරාගන්න බැරි ඉඩක්.මම කැමතියි මතක් කරන්න විශේශ Occupational therapist කෙනෙක්ව. ඔහු බලාගෙන ඉන්නවා මේ පේජ් එක යම් දිනක ව්‍යාපාර අරමුණක් දක්වා ව්‍යාප්ත වෙනකල්. එහෙම නොවුනොත් තමන්ගේ කන කපාගන්නත් ඔහු පොරොන්දු වෙලා තියනවා. ඉතිං එයාට මම මැරෙන්න මොහොතකට කලින් හරි කන නැතුව බෙල්ල කපාගන්න සිද්ධ වෙන්න පුළුවන්. අපි අපේ Neurodivergent දරුවන්ගේ විවිධත්වය විකුණගෙන කන්න සූදානම් නැහැ. ඒ වගේම අනෙකාට දරුවන්ව ව්‍යාපාර අරමුණු කරගන්න ඉඩ දෙන්නත් සූදානම් නැහැ. මිනිස්සු ලස්සන වෙන්නේ අනෙකා එක්ක තමන්ට හැකි විදියට සුලුවට හෝ දෙයක් බෙදාගන්නකොට.
මේ රටේ අනාගතයේ දවසක අපේ දරුවන්ව වටහාගත් සහ පිළිගන්නා ,අයිතිවාසිකම් ලැබෙන සමාජයක් නිර්මාණය කිරීමේ හීනය වෙනුවෙන් මේ සමාජ දැනුවත් කිරීමේ අරගලය අපි මේ විදියටම කරගෙන යනවා. මේ සමාජ දැනුවත් කිරීම අපෙන් පසු අපේ දරුවන් භාර ගනී..
මේ පහත දාලා තියන රූප හොදින් බලන්න.මම ඒ රූප පහළින් සිංහලෙන් ලියන්නම් ඒවා වල සදහන් දේ.එතකොට තමන්ට කැමති විදියට මීට සමාන Stories නිර්මාණය කරගෙන දරුවාට ඔහුගේ ශරීරය ගැන දැනුවත් කරන්න. ලැජ්ජා වෙන්න එපා ලිංගිකත්වය ගැන සහ ලිංගික අවශ්‍යතාවයන් ගැන කතා කරන්න. අම්මාට අපහසු කොටස් තියනවා නම් පැහැදිලි කරන්න තාත්තාට කියන්න.තාත්තා නැත්නම් සමීප නෑදෑ කෙනෙක්ට හෝ කියා නව යොවුන් වියේ පසුවන දරුවාට මේවා කියා දෙන්න.

පිරිමි ළමුන් සහ ගැහැණු ළමුන් සඳහා නව යොවුන් විය පිළිබඳ පොත් දෙකක්

මගේ ශරීරය මගේය – මම ඇදුම් අදින්නේ මගේ ශරීරය උණුසුම්ව තබා ගැනීමට හා ආරක්ෂා කර ගැනීමටය. ඒ වගේම එයින් මගේ පුද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට සහය දේ.

මගේ ශරීරය විශේෂයි. එය මට දුවන්න, උඩ පනින්න, කන්න හා සෙල්ලම් කරන්න උදව් කරනවා.

සමහර වෙලාවට මට නාන්න සහ ඇදුම් ඇදගැනීමට අම්මා හෝ තාත්තා උදව් කරනවා. ඉතින් එකට කමක් නෑ. මගේ නිදන කාමරය හා නාන කාමරය පුද්ගලික ස්ථාන. ඒ තැන් ඉතා සුදුසුයි නාන්න සහ ඇදුම් ඇද ගන්න පාවිච්චි කරන්න

මම නාන්න හෝ ඇදුම් ඇද ගන්න නම් පුද්ගලික ස්ථානයකට යා යුතුය. මිනිස්සු ගොඩක් ඉන්න තැන් වල ඇදුම් ගැලවීම හොද දෙයක් නෙමේ.

නර්සරි එක, පාසල හෝ ගෙදර පොදු ස්ථාන වෙන්න පුළුවන්. මට මගේ පුද්ගලික අවයව ස්පර්ශ කිරීමට හිතුනොත් පුද්ගලික ස්ථානයකට යන්න ඕනේ. එක නිදන කාමරය හෝ නාන කාමරය විය හැක.

සමහර වෙලාවට මම පොදු ස්ථානයක ඉන්න කොට මගේ පුද්ගලික අවයව අල්ලන්න මට හිතෙනවා. එත් මිනිස්සු ගොඩක් ඉන්න පොදු ස්ථානයක එහෙම කරන්න හොද නැහැ.

මම මගේ ශරීරය පුද්ගලිකව තියන් ඉන්න කොට සහ පුද්ගලික ස්ථාන මගේ අවශ්‍යතාවයන් වලට පාවිච්චි කරනකොට මගේ අම්මා ගොඩක් සතුටු වෙනවා.

