Blake කියන්නේ අවුරුදු 20 ක ඔටිසම් තරුණයෙක්. Blake Profound එහෙමත් නැත්නම් සහය අධිකව අවශ්‍ය 24/7 රැකබලා ගන්න ඕනේ දරුවෙක්.ඔහුගේ ඔටිසම් විවිධත්වය හඳුනාගත්තේ මාස 19 දී. එතන ඉඳන් අවුරුදු ගණනාවක් සහ මේ මොහොත දක්වාත් Blake ට සහය ලැබෙනවා. ඔහුගේ දෙමාපියන් තමන්ගේ දරුවගේ හැඩය ගැන වගේම ඔටිසම් පිළිබඳව සමාජය දැනුවත් කරනවා. දැන් මාස 19 දී ඔටිසම් තහවුරුව ලබා ගෙන අවශ්‍ය හැම සහයක්ම සහ පහසුකමක් ම ලැබුණු Blake ට ඇයි මේ ලංකාවේ සමහරු කියනවා වගේ ” සාමාන්‍ය” වෙන්න බැරි උනේ??
අද උදෙත් එක අම්මා කෙනෙක් තමන්ගේ ඔටිසම් දරුවා ගැන මෙහෙම කිව්වා.
” මම ක්‍රියාකාරකම් කරලා මගේ ඔටිසම් දරුවව සාමාන්‍ය කරගෙන සුව කරගත්තා”
සමාජ මාධ්‍ය ජාලා වල අපි ඕනේ තරම් මෙහෙම කමෙන්ට් දකිනවා. අපිට එදිනෙදා ජිවිතයෙත් දෙමාපියන් හම්බෙනවා දැන් දරුවගේ ඔටිසම් හරි. එයා සාමාන්‍යයි කියලා. එතනින් එහාට ලංකාවේ යම් ඇකඩමික් බුද්ධිමතුන් පිරිසක් සමාජයට ඒත්තු ගන්වනවා කල් තියා ඔටිසම් කියලා දැනගත්තා නං ඉක්මනට අවශ්‍ය සහය දීලා හැකිතාක් සාමාන්‍ය කරගන්න පුලුවන් කියලා.
එතකොට ඇයි Blake ගේ අම්මට ඒක කරගන්න බැරි උනේ? එයාට විතරක් නෙමේ ලංකාවේ ඉන්න සහය අධිකව අවශ්‍ය වෙන ඔටිසම් තරුණ තරුණියන්ගේ දෙමාපියන් ට ඇයි තමන්ගේ දරුවන්ව ඔය කියන ” සාමාන්‍යකරණය “ කරගන්න බැරි වුනේ? මේ ප්‍රශ්නයට මගේ දරුවා නං දැන් සාමාන්‍ය වෙලා කියන අම්මලට පුලුවන් උත්තර දෙන්න. විද්‍යාත්මකව ඒක පැහැදිලි කරගන්න බැරි නිසා සහ Spectrum එක ගැන තියන අවම අවබෝධය නිසා මේ ප්‍රශ්නෙට ලැබෙන්නේ ඉතාම දරුණු විනිශ්චයක්.ඒක තමයි ඒ අම්මලට උනන්දුවක් තිබිලා නෑ , දරුවව නොසලකා හැරලා, ළමයි එක්ක සෙල්ලන් කරලා නෑ, අම්මා කල් තියා ළමයා ඔටිසම් කියලා දැනගෙන නෑ වගේ ඉතාමත් නරුම විනිශ්චයන්.
ඔටිසම් Spectrum එක කියන්නෙම ඔටිසම් ලක්ෂණ විවිධත්වයෙන් යුතුව විශාල පරාසයකට විහිදිලා තිබීම.එතකොට එමලිගේ ඔටිසම් අත්දැකීම සහ තවත් ඔටිසම් දරුවෙක්ගේ අත්දැකීම එකිනෙකට වෙනස්. ලක්ෂණ වෙනස්.අභියෝග වෙනස්.කුසලතා වෙනස්. මේ සාමාන්‍ය කරගත්තා කියන එකේ අදහස තමයි ඔටිසම් නොවෙන දරුවෙක් කරගත්තාය කියලා. ජීවිතකාලය පුරාම විවිධත්වයෙන් ස්නායු පිහිටලා තියන මොළයක් සාම්ප්‍රදායික ස්නායු හැඩයක් දක්වා වෙනස් වෙන්නේ නෑ. විද්‍යාත්මකව එහෙම වෙන්නෙ නෑ. සිද්ධ වෙන එකම දේ තමයි ඒ ඒ දරුවන්ගේ ස්නායු විවිධත්වයේ පරාසය ඇතුළේ ඒ දරුවා කුසලතා සංවර්ධනය කරගැනීම.ඒකට තෙරපි සහය වගේම ඔටිසම් ගැන දැනුවත් වෙලා ලබා දෙන සහයෝගය උදව් වෙනවා.
යුරෝපයට ගියාම අපිට දකින්න පුලුවන් එක එක හැඩයේ ඔටිසම් පුද්ගලයින්. කෙනෙක් ඩොක්ටර් කෙනෙක්. තව කෙනෙක් ගුරුවරියක්.තව කෙනෙක් තමන්ගේම ව්‍යාපාරයක් කරනවා.තව කෙනෙක් Game හදනවා. තව කෙනෙක් රැක බලාගැනීමේ මධ්‍යස්ථානයක පැය විසිහතරේම සහය ඇතුව ජීවත් වෙනවා. තවත් අය තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ රැකවරණය යටතේ ජීවත් වෙනවා. මේක තමයි Autism Spectrum එකේ හැඩය. මේ කිසිම කෙනෙක් අසාමාන්‍ය වෙන්නේ නෑ. මේ හැමෝම විවිධයි. ඔටිසම් වෛද්‍යවරයා කියන්නේ නෑ මම දැන් ඔටිසම් රිවර්ස් කරන් සාමාන්‍ය වෙලා කියලා. ඔහුට සාම්ප්‍රදායික ස්නායු හැඩයක් නෑ. ඒත් ඔහුට අහියෝග අවමයි. ලොකු සහයක් අවශ්‍ය වෙන්නේ නෑ.
මේක තමයි විවිධත්වය කියන්නේ. ඒ නිසා කෙනෙක් තමන්ගේ දරුවා සාමාන්‍යයි, ඔටිසම් සුව කරගත්තා කියලා සමාජයේ පතුරවන්න කලින් ඔටිසම් ගැන දැනුවත් වෙන්න. හේතුව හැම දරුවෙක්ටම එක හා සමාන සහයක් සහ පහසුකම් ලැබුණත් ඒ ඒ දරුවන්ගේ සංවර්ධන හැඩය තීරණය වෙන්නේ දරුවන්ගේ විවිධත්වය මත. තෙරපි හරහා කෙරෙන්නේ අභියෝග සාර්ථකව කළමනාකරණය කරගෙන විවිධත්වය බාධාවක් නොවෙන්න උපරිම සහය ලබා දීම.
ඒ නිසා ලංකාවේ ඉන්නේ අයින්ස්ටයින් ඔටිසම් දරුවන් විතරක් නෙමේ. ලංකාවේ ඉන්නවා සමාජයේ සහය සහ උපරිම පහසුකම් ලැබිය යුතු ඔටිසම් දරුවන් වගේම වැඩිහිටියන්. අපි ඒ ගැන කතා නොකරන තාක් කල් සමාජයේ ඇතැම් මිනිසුන් විශ්වාස කරනවා සහය අවමයෙන් අවශ්‍ය ඔටිසම් දරුවන් දිහා බලලා මේක තමයි ඔටිසම් කියන්නෙ කියලා. ඒකෙන් සිද්ධ වෙන්න පුලුවන් නරකම දේ තමයි දෙමාපියන්ට තමන්ගේ දරුවාගේ විවිධත්වය වටහා ගන්න බැරි වීම සහ දෙමාපියන් සමාජ විනිශ්චයට පත් වීම.

