” දරුවාට සහය දීමට නං මට මා කෑළී වලට බිඳී යාමට ඉඩ නොදී මා තුළම සියල්ල දරාගෙන යථාර්ථයට මුහුණ දිය යුතුයැයි මා මටම කියා ගතිමි. මා මේ දකින්නේ සිහිනයක් නොවන බව මටම පසක් කර දිය යුතුය. මා දරුවන්ට නොපෙනෙන්නට හඩන්නට තෝරාගත්තේ නාන කාමරයයි. කුඩා රවුම් කණ්ණාඩිය තුළින් පෙනෙනා මා දෙස මා බලා සිටියෙමි. සැමියා සුපර්මාර්කට් එකට ගොසිනි. ඉසබෙල් සහ එමලි සාලයට වී තනි තනිවම සෙල්ලමේය. දිග හුස්මක් ගත් මා දෙවරක් නොසිතා සැමියාගේ කොණ්ඩය Trim කරනා මැශිම ගෙන ඉදිරිපස නළලය ආසන්නයෙන් තබා හිස පිටුපසට රැගෙන ගියෙමි. කොන්ඩයේ මැදින් කොටසක් කැපී සින්ක් එක තුළට වැටුනි. පිට මැද්දට දික්ව තිබූ කොණ්ඩය සම්පූර්ණයෙන්ම කොටටම කපා දැමුවෙමි. මට අත පොවන්නට අපහසු හිස පිටුපස කොණ්ඩය අසමබරව තැනින් තැන එල්ලා වැටුනි”

( Inside ඔටිසම් – රමේෂා සිරිවර්ධන) 

අභියෝග කියන්නේ මේ වෙනකොට බඩේ බත් ගාණට හුරු උන දෙයක් උනාට ඒ මුහුණ දෙන සෑම අභියෝගාත්මක කාලයක්ම අපේ ඇතුලාන්තය ඩැමේජ් කරනවා. ඒත් ගමනාත්තය දක්වා වැටි වැටී නැගිට යා යුතු බව අපිට අපේ දරුවන් දිනපතාම මතක් කරනවා. එහෙම අභියෝග කාලයක මම මගේ දිග කොණ්ඩය කොට වෙන්න ගෙදරිදීම කපා දැම්මා. මට ඕනේ උනේ වෙනසක්. ඒ වෙනසින් මුහුණ දෙමින් හිටිය අභියෝගය අල්ප මාත්‍රයකට වෙනස් උනේ නැහැ. ඒත් අළුත් ඇඳුමක් ගත්තම මුළු අල්මාරියම ලස්සනට ආයේ අස් කරන්න දැනෙන අමුතු උද්‍යෝගයකට සමාන හැඟීමක් මට ඒ වෙලාවේ දැනුනා.

  මම සැලකිය යුතු කාලයක් එමලි ගැන පේජ් එකේ ලිව්වේ නැහැ.ඒක හිතා මතා උන දෙයක් නෙමේ.ඒක එහෙම උනා. මට බ්‍රේක් එකක් ඕනේ උනා. සියන්සගේ අම්මට කිව්වා ලිපි ලියන්න කියලා.සමාලිට කිව්වා ලියන්න මම බ්‍රේක් එකක් ගන්නවා කියලා. ඒ දෙන්නාම ලියලා මට එව්වා. මේ විසි වෙනිදා ” Inside ඔටිසම් ” පොත launch කරනවාය කියන එක ආයේ මතක් උන නිසා මම බ්‍රේක් එක පැත්තක දාලා ඒ ගැන ලියන්න ගත්තා.

මේ ගත වෙන කාලයේ එමලි හොදින් ඉන්නවා.දවසේම එක එක ජාතියේ රූප Print out කරන් කප කපා අලනවා. කතුර එක එක විදියට අල්ලන් පහසුවෙන් කොළ කපනවා. ගම් මහ ගොඩවල් දාලා ඒවා අලනවා.ඒවා ඉවර උනාම මට හයියෙන් කියනවා ” HP Print out” කියලා. ඉතිං එමලි ඉන්නේ සාමයෙන්. මම ඉන්නේ සාමයෙන්ද කියන එක මට කියන්න තේරෙන්නේ නෑ. ඒත් මම ඉන්නවා.

පොත මේ මාසේ (ජුනි 2026) 20 වෙනිදා බොරැල්ල මරදාන පාරේ ” Samudra Studio ” එකේදී Launch කරනවා. මම කොහෙත්ම සමාජ සත්ත්වයෙක් නෙමේ. මම අන්තිමට සැලකිය යුතු පිරිසක් ඉන්න අවස්ථාවකට කියලා සහභාගී උනේ මගේ දෙවනි අක්කගේ Wedding එකට.ඒ එමලි හම්බෙන්නත් කලින්. දැන් අක්කගේ බබාටත් අවුරුදු 8 ක්. මම පොතක් ලිව්වා මිසක් ඒක Launch කරන්න ඕනේය කියලා එකක් ඔළුවේ තියාගත්තේ නැහැ. මට ඒවාට සහභාගී වෙන්න දුවන්න පනින්න කතා කරන්න බැහැ වගේ එකක් දැනෙන නිසා. මට මෙහෙම ඉන්නයි ඕනේ.

ඒත් ආදරණීය සමුද්‍රිකා ඒ ටික ලෑස්ති කරා. ඒ අතරේ අපේ පේජ් එකේ ආදරණීය සහෝදරියක් කිව්වා Book launch එක එයාගේ නුගේගොඩ Restaurant එකේ තියමු. හස්බන්ඩ්ගේ ගේ Advertising company එකෙන් අනෙක් වැඩ සියල්ලමත් නොමිලේ කරලා දෙන්න පුළුවන් කියලා.මම Thank you කිව්වා. ඒත් මට ඒසා විසාල උදව්වක් භාර ගන්න බැරි කමක් දැනුනා. අනන්ත අප්‍රමාණ සහය දීමේ දෑත් දිගු වුන හැම වතාවෙම මට කියන්න පුළුවන් උනේ Thank you.අවශ්‍ය උනොත් කියන්නම් කියන එක.

හරිම Numb හැඟීමක් දැනෙන කාලයක් මේක.ආදරණීය සමුද්‍රිකා පොත ගැන පෝස්ටර් එකක් හදලා එව්වා බලන්න කියලා.ඒකේ තැන් දෙකකම කතුවරිය කියලා ලියලා තිබ්බා.මම ටික වෙලාවක් යනකල් ඒ වචනය දිහා බලන් හිටියා. ඒක හරිම අගන්තුක බවක් දැනුනා.මම අනික් පැත්තට සමුද්‍රිකාට ලියලා යැව්වා ඒ වචනය මට හරි බරක්.මම කතුවරියක් නෙමේය කියලා. එයා හිනා වෙලා Voice message එකක් එවලා තිබ්බා පොත ලියන කෙනාට කියන්නේ author කියලා.ඒක සිංහලෙන් කියන්නේ එහෙම තමයි කියලා.

ඒක Technically නිවැරදි උනත් පොත් කියවන්නියක් විදියට මට ඒ හැඳින්වීම කරනකොට ඒක නිවැරදි නෑ වගේ එකක් මට දැනෙනවා. මම කැමති නෑ මාව කතුවරියක් කියලා හදුන්වනවට.ඒක ලංකාවේ ඉන්න නිරන්තරයෙන් පොත් ලිවීම හරහා සමාජය එක්ක ගනුදෙනු කරන වෘත්තිමය කතුවරියන්ට අපහාසයක් කියලා මට හිතෙනවා. ඒ නිසා ඒ වචනය නාමිකව පොත වෙනුවෙන් පාවිච්චි කරත් මගේ නම යටින් අලෝගන්න මම කැමති නැහැ. විශේෂයෙන් ඉතා තදින් නාමයන්,තනතුරු,සමාජ බලයට ආසක්ත වෙන මිනිස්සු අතර කෙනෙක් වෙන්න කොහෙත්ම කැමැත්තක් නැහැ.

සමාවෙන්න මට කතා කරන්න , ලියන්න ගියාම ඒවා මැදින් පෙරිලා පරිස්සමට පිට වෙන්නේ නැති එකට. එමලි විසින් කාලයකට කලින් ඒ පෙරනය කුඩු කරලා දැම්මා. මම ඉතුරු කරගත්තේ ” එමලිගේ අම්මා” කියන චරිතය විතරයි.ඉන් එහාට මගේ නමින් මට කරන ආමන්ත්‍රණය පවා මට ආගන්තුකයි.

අපේ අරගලය තියෙන්නේ සමාජ ප්‍රතිරූප නඩත්තු කරගැනීමකට නෙමේ.අපේ අරගලය වෙන්නේ මිනිසුන් අතරට අපේ දරුවන්ගේ විවිධත්වය පිළිබඳව දැනුම ගෙනයෑම. අපිට සමාජ අවධානය සෙන්ටර් වෙන්න ඕනේ ඔටිසම් දරුවන් සහ ප්‍රජාව වෙනුවෙන් මේ රටේ වෙනස් වෙන්න , නිර්මාණය වෙන්න ඕනේ නිවැරදි සහය ක්‍රමවේදයට. ඉතිං මට වඩා පහසු Invisible ව සිටීම.

මම කාලාන්තරයක් තිස්සේ හිටපු ගුහාවකින් එළියට එනවා වගේ 20 වෙනි සෙනසුරාදා උදේ 10 ට අපේ පොතත් අරන් එනවා.මම එන්නේ අපි අතරේ බුද්ධිමත් මනුෂ්‍ය සංවාදයකට. මම එන්නේ ඔටිසම් විවිධත්වය ගැන කතා කරන්න.මම එන්නේ ඔටිසම් විවිධත්වය ගැන අපිට තියෙන අපහැදිලි තැන් එකතු වෙලා කතා කරලා පැහැදිලි කරගන්න. ඉතිං මගේ ආදරණීයයන්ට මම එදාට එන්න කියන්නේ මේක අපේ වැඩක් නිසා. ඔයාලා එදාට එන්නම ඕනේ මට ඔයාලට ස්තූතියි කියන්න ඕනේ නිසා. ඔව් ඔයාලට ස්තූතියි මේ වසර ගණනාව පුරා එක අරමුණක් වෙනුවෙන් අත් නොහැර එකට ආවට.

මම එදාට එන්නේ එමලිව එයාගේ මම්මාච්චිගේ ළඟ තියලා ” එමලි අම්මා ඉක්මනට Doctor ළඟට ගිහින් එන්නං” කියලා දුවලා ඇවිල්ලා යන්න. එහෙම කිව්වම ඒ ගමන අම්මගේ අතේ එල්ලිලා යන්න ඕනේ කියලා පෙරැත්ත කරන්න ඕනේ නැති ගමනක් කියලා එමලි දන්නවා.

මුල් සබැඳිය : Inside ඔටිසම් – අපේ අරගලය