ADHD කියන්නේ Attention deficit hyperactive disorder. එතකොට අධි ක්‍රියාකාරී කියලා අපි කෙටි කරලා හඳුන්වනවා මේ තත්ත්වය. දරුවන් දඟ කරනවා වැඩී කියන එක තමයි මේ ADHD කියන්නේ කියලා සමහර අය හිතන් ඉන්නවා. ඒත් ADHD කියන්නේ අවධානය එක තැනක හෝ එක ක්‍රියාකාරකමක රඳවාගෙන තියාගෙන ඉන්න තියන නොහැකියාව. උගන්වන දේ හෝ කිරීමට ලබා දෙන ක්‍රියාවක් පිළිබඳව හෝ ඉතා ඉක්මනින් අමතක වීම සහ ඊටත් එහා ගිය සංකීර්ණ තත්ත්වයක්
ADHD දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ කොහොමද කියන ගැටළුව බහුතරයක් දෙමාපියන්ට තිබෙන ප්‍රධානම ගැටළුවක්. ඒත් ඊට පෙර අපි ADHD දරුවාගේ මනස වටහා ගත යුතුයි
මම අර මුලින්ම කිව්වා වගේ ADHD කියන්නේ දරුවාට එක තැන ඉන්න බැරි කම විතරක් නෙමේ. සමහර බබාලා ඉන්නවා එයාලට සන්සුන්ව වැඩක් කරන්න පුළුවන්. ඒත් එයාලට බැහැ එයාලගේ අවධානය දිගටම කරගෙන යන වැඩේ රඳවගෙන තියාගන්න. ඉතා ඉක්මනට ඒ වැඩෙන් වෙන වැඩකට යනවා. ADHD කියන්නේ අපි සරළව කියනවා අධි ක්‍රියාකාරී කියලා. ඒක නිවැරිදිම අර්ථය නෙමේ. එතකොට මේ අධි ක්‍රියාකාරී කිව්වම අපි හිතන්නේ ශාරීරිකව එක තැන අත පය තියන් සන්සුන්ව ඉන්න ඉන්න බැරි කම කියලා. ඒත් මේ ADHD තත්ත්වය කොටස් වලට බෙදෙනවා.
1) ADHD, combined type
මේක තමයි සාමාන්‍යෙන් වැඩිපුරම දරුවන්ට තියන තත්ත්වය. මේ තත්වයේ දරුවන් අධි ක්‍රියාකාරී වන අතරම අවධානය ලබා දීමට ඇති අසීරුවීම හා නොසන්සුන් ද වේ.
2) ADHD, impulsive/hyperactive type.
මේ තත්වය ඇති දරුවන් අධි ක්‍රියාකාරී උවත් ඔවුන්ට අවධානය යම් ක්‍රියාකාරකමකදී පවත්වාගෙන යා හැකිය. එහෙත් නොසන්සුන් ගතිය ඇත.
3) ADHD, inattentive and distractible type.
තුන් වන කොටසට අයිති දරුවන් අධි ක්‍රියාකාරී නොවන අතර ඔවුන්ට ඇති ගැටළුව වන්නේ අවධානය යමක් කෙරෙහි දිගු වේලාවක් පවත්වාගෙන යාමට නොහැකි කමයි.
අපි දැන් පිළිවෙලට මේ කාණ්ඩ තුනෙන් කතා කරන තත්ත්ව වල ලක්ශණ හඳුනා ගමු .
අවධානය
1) අවධානය කෙටි වෙලාවකට පමණක් සීමා වීම
2) කිසිවෙකුට සවන් දීමට ඇති අසීරුතාවය
3)ඉතා පහසුවෙන් මනස බාධා කිරීම් වලට ළක් වීම
4)අමතක වීමේ ගතිය
5)යම් වැඩක් හෝ ක්‍රියාවක් හරියාකාරව පිළිවෙළට සකස් කරගැනීම නොහැකි කම
6) අධ්‍යාපනය ලැබීමේදී දුර්වලතා පෙන්නුම් කිරීම
නොසන්සුන් බව
1) තමන්ගේ වාරය එළබෙන තුරු බලා සිටීමට නොහැකිවීම
2) නොසිතා වැඩ කිරීම
3) අනතුරක් සිදු වේ යැයි නොසිතා ක්‍රියා කිරීම
අධි ක්‍රියාකාරීත්වය
1) කිසිදු ඉලක්කයක් නොමැතිව නිතරම දිවීම, උඩ පැනීම, උඩ නැඟීම, කැරකීම වැනි ක්‍රියාවන් නිරන්තරයෙන් කිරීම
2)පුටුවක හිද ගෙන මද වේලාවක් හෝ සිටීමට අපහසු වීම
3) නොනවත්වා අත් වලින් යම් යම් දේ කරමින් අත් චලනය කිරීම
4) නොනවත්වා කතා කිරීම
5) සන්සුන්ව කරන ක්‍රියාකාරකම් වලට අකමැති වීම
6) අමතක වීමේ ගතිය
7) යම් ක්‍රියාවක එක දිගට රැදී නොසිට එයින් වෙනත් ක්‍රියාවන් සඳහා යොමු වීම
දැන් ඔයාලට යම් අදහසක් තියනවා සෑම ADHD දරුවෙක්ම එක හා සමාන නැහැ කියන එක සහ ඉහත සඳහන් කර ඇති වර්ග තුනෙන් එකක් දරුවාට ඇති බවත්. ගොඩක් අය හිතනවා මේ ADHD දරුවා ලොකු වෙනකොට සුව වෙනවා කියන එක. ඒක මිත්‍යාවක්. දරුවාගේ ජීවිත කාලය පුරාවට නොයෙක් ආකාරයට මේ ADHD ලක්ශණ දරුවා තුළින් පෙන්නුම් කරනවා. ලංකාවේ අවම වුනාට යුරෝපයේ ADHD වැඩිහිටියන් පිළිබඳ ඉතාමත් පුළුල්ව කතා කරනවා
වැදගත්ම කාරණාවක් තමයි මේ ADHD ලක්ශණ ඕනෑම දරුවෙක් කුඩා කාලයේදී පෙන්නුම් කරන්නට පුළුවන් බව සහ එයින් ඒ සෑම දරුවෙක්ටම මේ තත්ත්වය තියනවා කියන නිගමනය ලබා දෙන්නට බැහැ කියන එක. එතකොට මෙහිදී දරුවෙකුගේ ADHD තත්වය නිවැරිදිව හඳුනාගන්නට නම් දරුවාගේ හැසිරීම පාසලේදී මෙන්ම නිවසේදී යම් දුර්වලතා සහිතව තිබිය යුතු අතරම එහිදී දරුවාට නොයෙක් වෙනස් අවස්ථාවලදී ඒවාට හරියන ආකාරයට එකතු වීමේ නොහැකියාවත් සැළකිල්ලට ගන්නවා.
ADHD ගැන කියවගෙන යනකොට අපිට හම්බෙනවා ඩොක්ටර් රසෙල් ඒ බාක්ලේ (Russell A. Barkley). ADHD කියන්නේ මොනතරම් පුළුල් විශයක් ද සහ ලෝකයේ මේ තත්ත්වය ගැන කොයිතරම් සීරියස් විදියට කතා කරනවද කියන එක මම අවබෝධ කරගත්තේ ඩොක්ටර් Russell ගේ දේශණ සහ ලිපි කියවන්න පටන් ගත්තම. රසෙල් කියන්නේ ලෝකයේ මෙතෙක් ADHD තත්ත්වය ගැන මූලිකවම කතා කරන්න , පරීක්ශණ පවත්වන්න සහ විසඳුම් යෝජනා කරන්න මූලික වූ ජාත්‍යන්තර ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් / මහාචාර්යවරයෙක්. මෙතුමා තමයි මේ වන විට ලෝකයේ ADHD තත්ත්වය පිළිබඳව තමන්ගේ මුලු සේවා කාලයම කැප කරලා රිසර්ච් කරලා , නව මානයක් ලෝකයට ඉදිරිපත් කල පුද්ගලයා.
Russell A Barkley ගේ ADHD ගැන ලියලා තියන ලිපි හා රිසර්ච් වාර්ථා,දේශන අහනකොට , කියවනකොට මම පුදුමාකාර විදියට හැඟීම් බර උනා. හේතුව මට එක පාරටම ඔලුවට ආවේ මොකක්ද අපේ මේ ලංකාව කියන දූපත අස්සේ දරුවන්ට සිද්ධ වෙන්නේ කියන එක. මේ රට කිසිසේත්ම (විශේශයෙන්) අපේ දරුවන්ට හැදෙන්න , ලොකු වෙන්න , තමන්ගේ හීන කරා යන්න සුදුසු රටක් නෙමේ. පළවෙනිම හේතුව මේ රටේ අධ්‍යාපන ක්‍රමය හා පාසැල් ඇතුලේ ඉගැන්වීමේ හැඩය හදලා තියෙන්නෙම දරුවන්ව වටහා ගත් පුද්ගලයින් විසින් නෙමේ. ADHD දරුවන්ට බල කර සිටිනවා කොහොම හරි අනික් ළමයි ඉගෙන ගන්න ක්‍රමයටම ඉගෙන ගන්න කියලා. මේක දරුවාට කොයිතරම් අසිරු කාරණයක්ද කියන එක බහුතරයක් ගුරුවරුන් වගේම දෙමාපියන් පවා දන්නේ නැහැ .
Russell A Barkley (Ph d) විසින් ඉදිරිපත් කරපු
“Behavioral Disinhibition Theory of ADHD” යන තියරි එක සමත් උනා ADHD පිළිබඳව තිබුනු ගොඩක් මත හා අදහස් උඩු යටිකුරු කරන්න. හේතුව ඔහු විසින් පැහැදිලි කරනවා මෙය අවධානය සම්බන්ධ ගැටළුවක් නොවේ කියන එක. ඔහු කියන්නේ මෙතන ගැටළුව තියෙන්නෙ දරුවාට self regulation අසීරුතාවයක් කියලා. ඒ කියන්නේ ස්වයං විනය (සන්සුන්) කම ගැන තියන ගැටළුවක් කියන එක. ඒ වගේම ඉතා වැදගත් කාරණයක් ඔහු මතු කරනවා. ඒක තමයි ADHD දරුවන්ට තියෙන්නෙ බුද්ධිය සම්බන්ධ ගැටළුවක් නොවේ බුද්ධිය පෙන්නුම් කිරීමේ ගැටළුවක් කියන එක. ඒ කියන්නෙ දරුවාගේ මනස වටහා ගන්නා දෙයක් ක්‍රියාවට නඟන්න තියන අසීරු කම. මේ හේතුව නිසා ADHD බුද්ධි අවමතාවයක් නොවේ නමුත් එය ඉදිරිපත් කිරිම එසේත් නැත්තන් performance Disorder යන්නයි .
එතකොට අපි ADHD දරුවන්ට මූලිකවම පුහුණු කළ යුත්තේ Self Regulation( ස්වයං විනය) / Goal directed behavior (ඉලක්කයක් කරා යෑමේ සන්සුන්කම) වගේම දරුවාට තම මනස හා හැසිරීම පාලනය කර ගැනීමේ ක්‍රමයි.
දැන් ADHD දරුවෙගේ අවධානය හෝ නොවිසිලිමත්කම, මතකය නැති වීම වගේ කාරණා තියනවා නම් මුලින්ම දෙමාපියන් දැනගන්න ඕනේ දරුවාව වටහා ගන්න. මුලින්ම කරන්න ඕනේ දරුවාට පාසලේ හරියට උගන්වන්නේ නැත්තම් හෝ දරුවාට පාසලේ ඉගෙන ගන්නට අපහසුයි නම් නිවසේදී දරුවාට පීඩනයක් නොවන ආකාරයට උගන්වන්න.
වෙලාව බෙදා ඉගැන්වීම කරන්න
මේකෙන් කියන්නේ ඔයාලා දරුවාට පොතක පිටු දෙකක් කියලා දෙන්න අදහස් කරන් ඉන්නවා නම් මේ පිටු දෙකම එක හුස්මට එයාට උගන්වන්න යන්න එපා කියන එක. එක පිටුවක් උගන්වලා විරාමයක් දෙන්න. ඊට පස්සේ අනික් පිටුව කියලා දෙන්න. දරුවාට උගන්වන දේ මතක නැත්තේ උගන්වන ක්‍රමය වැරදි නිසා. අපි උගන්වන්න ඕනේ කෑල්ලෙන් කෑල්ල. උදාහරණයක් විදියට දරුවාගේ අවධාන කාලය විනාඩි 10 ක් නම් පාඩම විනාඩි 10 කොටස් වලට කඩා මැදින් විරාම දී උගන්වන්න.
මේ ක්‍රමයට කියනවා Chunk විදියට උගන්වන්න කියලා. ඒ කියන්නේ කොටස් විදියට. සම්පූර්ණ පාඩමක් එක හුස්මට දරුවට උගන්නලා ඇයි දරුවට මතක නැත්තේ කියන එක ප්‍රශ්න කරන්න එපා.
ඔබගේ ප්‍රතිචාරය දරුවාට ඉතා වැදගත්
දැන් දරුවා යමක් කරනකොට බාධා නොකර ලඟ ඉදන් එයාව අගයන්න ඕනේ. එයාට කියන්න ඕනේ එයා ඒ වැඩේ හොදට කරගෙන යනවා කියන එක. නිකන් හිතන්න මැරතන් එකක් දුවනකොට දුවන අයගේ යාළුවො ,පවුලේ අය වටේ ඉදන් එයාට ඉදිරියට යන්න කෑ ගහලා හයියක් වෙනවා නේද? ඒ වගේ තමයි. දරුවා යම් ක්‍රියාකාරකමක් කරලා ඉවර කරනකල් අපි එයාට උත්තේජනය දෙන්න ඕනේ.
- යම් පාඩමක් හෝ වැඩක් දරුවාට කරන්න දෙන්න කලින් හරියට පැහැදිලිව ඒක කරන්නේ කොහොමද කියන එක කියන්න. එහෙම නැත්තන් පෙන්වලා දෙන්න. ADHD දරුවන්ට ඉතා පැහැදිලිව අපි දෙයක් කිව්වේ නැත්තන් එයාලගෙ මනසට අපහසුයි ඒක වටහා ගන්න. හරියට කෙනෙක්ට පාරක් කියනවා වගේ. පැහැදිලිව නිවැරිදිව කිව්වේ නැත්තන් දරුවා අතරමං වෙන්න පුළුවන්. පාසලේ වගේ නං වෙන්නේ ගුරුවරු බනිනවා මෙච්චර කියලත් තේරුනේ නැද්ද කියලා. වරද දරුවා අතේ නෙමේ තියෙන්නෙ. දරුවාට වටහා ගන්න පුළුවන් විදියට ඒක සරළව කියන්නේ නැති එක.
- බාධාවන් අවම පරිසරයක් නිර්මාණය කරන්න. ADHD දරුවන්ගේ අවධානය නැහැ කියලා චෝදනා කරන්න කලින් අවට පරිසරයේ දරුවාගේ අවධානයට බාධා කරවන දේවල් හැකිතාක් ඉවත් කරන්න.
- යම් ක්‍රියාකාරකමකින් තව ක්‍රියාකාරකමකට මාරු වීමේදී විරාමයක් ලබා දිය යුතු අතරම කරන්නට යන ක්‍රියාකාරකම පිළිබඳ දරුවාට පැහැදිලිව වටහා දිය යුතුයි.
- ඒ වගේම ප්ලෑන් එකකට හුරු කරවන්න. ADHD දරුවන්ට නිතරම strategies හා වර්කින් ප්ලෑන් එකකට හුරු කරන්න කරන්න ඕනේ. මෙතනින් තමයි අපි දරුවාට ස්වයං විනය හඳුන්වා දෙන්න ඕනේ. ටයිම් ටේබල් එකකට අනුව දරුවාට දවසේ වැඩ කරන වෙලාව හදලා දෙන්න. පොඩිම බබාලාට නං මේක කරන්න ඕනේ පිළිවෙලට වැඩ කරන එක එයාලා එක්ක. හිතන්න උදේ නැගිටින, නාන එක, කෑම වෙලාව, ප්ලේ කරන වෙලාව, අත් වැඩ කරන වෙලාව වගේ ටයිම් එකකට පිළිවෙලට එයා එක්ක ඒ දේවල් කරන්න.එතකොට Non – Speaking බබෙක් උනත් එයාගේ මනසේ මේ පිළිවෙළ ලස්සනට හැදෙනවා. ටික දවසක් ගියාම එයා දන්නවා කෑම වෙලාවෙන් පස්සේ ප්ලේ කරන වෙලාව කියලා. ඊට පස්සේ ඇක්ටිවිටි කරන වෙලාව කියල. දරුවෙක්ට එයාගේ ජීවිතය ගොඩ නඟා ගන්න මේ කාළ සටහන සෑහෙන්න වැදගත් වෙනවා.
හැඟීම් තෝරා බේරා ගැනීම
ADHD දරුවන්ට තමන්ට දැනෙන හැඟීම් තෝරා බේරා ගන්නට නොහැකිබව තියෙන්න පුළුවන්. විශේශයෙන්ම එයාට තරහා ගියාම හරි නොසන්සුන් උනාම කොහොමද ඒ හැඟීම පාලනය කරගන්නේ කියන එක ගැන තේරෙන්නේ නැහැ. ඒ නිසා පාසලේ හෝ පෙර පාසලේ කළහකාරී හැසිරීම් පෙන්නුම් කරන්නට හෝ ඉතා කළකිරුනු දුක්බර හැඟීම් පෙන්නුම් කරන්නට පුලුවන්. මේ තත්ත්වය වැඩහිටියන් උනාටත් පස්සේ දිගටම තියෙන්න පුළුවන් තත්ත්වයක්. මේක අපිට සරළ තත්ත්වයක් කියලා නොසළකා හරින්න බැහැ. ඒ නිසා දරුවාට උදව් කරන්න ඕනේ කොහොමද නොසන්සුන් උනාම හෝ තරහා ගියාම, දුක හිතුනම් ඒක පාලනය කරගන්නේ කියලා. ඒකට විශුවල් ටූල්ස් උපයෝගී කරගන්න. චිත්‍ර, රූප, වීඩියෝ, emotions බෝඩ් වගේ විශුවල් ටූල්ස්.
ඩොක්ටර් රසෙල්ගේ ADHD සම්බන්ධ සමුළුවකදී ඔහු විසින් හරි අපූරූ කතාවක් දෙමව්පියන්ට කියනවා.
” ඔයාලා ඉන්ජිනියර්ස්ලා වගේ හිතන්න එපා.ඔයලට දරුවාව කප්පාදු කරලා කැමති විදියට හදාගන්න උත්සාහ කරන්න එපා. ඔයාලා හිතන්න ඕනේ Shepherd කෙනෙක් වගේ. ඒ කියන්නේ එඩේරෙක් වගේ.එඩේරාගේ වගකීම බැටළුවන් බලා ගන්න එක. මේ බලාගන්න එක ඇතුලේ තියනවා සිස්ටම් එකක්. ඒ සිස්ටම් එකට වැඩ කරනකොට බැටලුවන් එහා මෙහා යන්නේ නැහැ. නිතරම කියලා දුන්න මාර්ගයේ තමයි යන්නේ. බැටළුවන් කූඩු වල හිර කරලා නැහැ. උන් තණ පිට්ටනියේ නිදහසේ සැරිසරනවා.ඒත් තණ පිට්ටනියෙන් එහා තියන කැළෑවට බැටළුවන්ට යන්න නොදී එඩේරා ආරක්ශා කරනවා. කළුවර වැටෙනකොට එඩේරා හුරු කරනවා නියමිත පාර බැටළුවන්ට ආරක්ශිතව තමන්ගේ නියමිත ස්ථානයට යන්න. එඩේරා නැති දවසකට උනත් බැටළුවන් වැරදි පාරේ යන්නේ නැහැ. ඒ නිසා ඉංජිනේරුවන් නොවී එඩේරුන් වෙන්න”
අපි තවත් මේ ADHD තත්ත්වය වටහා ගන්න ඕනේ.
මොළයේ පිටිපස කොටස සහ ඉදිරිපස කොටස කියලා කොටස් දෙකක් තියනවා.එතකොට මේ පිටුපස කොටස තමයි අපිට උපකාරී වෙන්නේ දේවල් ඉගෙන ගන්න.එතකොට ඉදිරිපස කොටස උදව් වෙනවා ඒ ඉගෙන ගන්න දේවල් ක්‍රියාත්මක කරන්න. දැනුම ලබා ගැනීම සහ දැනුම ඉදිරිපත් කිරීම.මේ කොටස් දෙක අතර තියෙන්නෙ ශක්තිමත් සම්බන්ධයක්.
දැන් ADHD බබාලගේ තියන ගැටළුව තමයි මේ කොටස් දෙක අතර ඇති සම්බන්ධය අවම වීම. එතකොට ඉගෙන ගන්න දේ ක්‍රියාත්මක කරන්න දන්නේ නැති එක. දැනුම තිබ්බට ඒ දැනුමෙන් වැඩ කරන්න අපහසුතාවය. එතකොට ඔබගේ ADHD දරුවා ලෝකයේ ඉන්න බුද්ධිමත්ම කෙනෙක් උනත් ඒ බුද්ධියෙන් වැඩක් වෙන්නේ නැහැ. හේතුව දරුවාට තමන්ගේ දැනුම පාවිච්චි කරන්න දන්නේ නැති කම නිසා. උදාහරණයක් විදියට හිතන්න පාලමක් හදන හැටි ඔක්කොම තියරි ඔලුවේ තියනවා. ඒත් මේක ක්‍රියාවට නංවගන්න ADHD තත්ත්වය නිසා අසීරු වෙනවා. මේක තවත් සරළව කියන්නම් මම. දරුවා දන්නවා තේකක් හදන්නේ කොහොමද කියලා. ඒත් හදන්න ගියාම ඒ පිළිවෙල ඔක්කොම අවුල් යනවා. තේ කොළ එක්ක සීනී දායි. එක්කො තේ කොළ අමතක වෙලා පිටි එකට උණු වතුර ටික දාලා හැදිගායි. එහෙම නැත්තන් උණු වතුරට ඇඟිල්ලක් හරි පුච්ච ගනී. දැන් ඔයාලට තේරෙනවා ඇයි අපි මේ ADHD කියන තත්ත්වය නොසළකා හරින්න හොද නැත්තේ කියන එක. අපිට දරුවාගේ කුසළතාවයන් නිසි පුහුණුවක් සහ නිසි මඟ පෙන්වීමකින් යුතුව වර්ධනය කරන්නට අවශ්‍යයි .
ඒකයි ඩොක්ටර් රසෙල් කියන්නේ ADHD කියන්නේ බුද්ධිමය ගැටළුවක් නෙමේ. එය ක්‍රියාවට නැංවීමේ තිබෙන ගැටළුවක් කියලා.
පාසලේ ගුරුවරුන් මෙය නොදන්නා කම නිසා දෙමාපියන්ට පැමිණිලි කරන්නේ මේ දරුවා ඉගෙන ගන්නේ නැති,කිසිම උනන්දුවක් නැති දරුවෙක් විදියට.එතකොට දරුවට බනිනවා,ගහනවා,කොන් කරනවා. දරුවා ඉගෙන ගන්න බැරි දරුවෙක් විදියට හංවඩු ගැහෙනවා. දරුවගෙ මනසෙත් මන්තරේ වගේ මේක ඇහෙනකොට පැළ පදියන් වෙනවා ඉගෙන ගන්න බෑ කියන එක. එතන ඉදන් දරුවා ඉන්නේ එයාට සමාජෙන් හදලා දුන්න ඉගෙන ගන්නේ නැති දරුවා කියන රාමුව ඇතුලේ. දෙමව්පියන් අසරණ වෙනවා කොහොමද මම මේ දරුවව හදාගන්නේ කියන එක.
දැන් මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ මේ ADHD දරුවන් තුළ තියන ගැටළු හා ඒවාට හේතු.
ADHD දරුවන් සහ වෙලාව
ADHD දරුවන්ට වෙලාව ගැන කිසිම දැනීමක් නැහැ. මේ වෙලාව කියන අයිඩියා එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක එයාලට වැටහීමක් නැහැ. ඒකට අපි කියනවා Time blindness කියලා. ටයිම් එක මැනේජ් කරගන්න විදිය ගැන වැටහීමක් නැහැ. උදාහරණයක් විදියට ඔයා ඔයාගේ දරුවට කියනවා තව ටිකකින් සිංහල පොත අරන් කියවන්න කියලා. දැන් මේ දරුවාට තව ටිකකින් කියන එක ගැන තේරුමක් ඔලුවට එන්නේ නැහැ. ඔයා එයාට කිව්වොත් හරියටම තව පැය භාගයකින් මේ වැඩේ කරන්න කියලා. ඒකත් අමතක වෙනවා දරුවට.
මේ වෙලාව කියන සංකල්පය එයාලගේ ඔලුවේ පැහැදිලි නැහැ. හේතුව එයාලා ජීවත් වෙන්නේ මේ මොහොත තුළ. එයාලා ඊයේ ගැන තැකීමක් නැහැ. හෙට දවස ගැන අදාළත්වයක් නැහැ. ගත වෙන මේ මොහොත ගැන විතරයි ADHD දරුවා හිතන්නෙ. එතකොට මේ නිසා තමයි දෙන වැඩක් හරි ඇක්ටිවිටි එකක හරි එහෙම නැත්තන් ඒ දෙන වැඩේ කරන විදිය,නීතී රෙගුලාසි එයාලට පිළිපදින්න බැරි. එතකොට ඉස්කෝළේ හරි නර්සරි එකට හරි ගියාම එයාලා හිතන්නේ මං මොකක්ද මෙතන කරන්නේ කියන එක. හේතුව ඉලක්කය ගැන කිසිම දැනීමක් නැහැ. මම මොකක්ද කළ යුත්තේ කියන එක තේරුමක් නැහැ. උදේ අටේ ඉදන් දවල් 2 වෙනකල් ඉස්කෝළේ ඉන්න ඒ දරුවට අපහසුයි.නර්සරි එකේ පැය දෙකක් ඉන්න අපහසුයි. වෙලාව කළමනාකරණය කරගන්න වැටහීමක් නැති කම. මෙන්න මේ නිසා තමයි අපි ADHD දරුවන් එක්ක කාල සටහනකට වැඩ කරන්න ඕනෙ කියන්නේ. එයාලට කොටස් විදියට උගන්වන්න ඕනේ කියන්නේ.
ඇයි ADHD බබෙක්ව කොහේ හරි අරන් ගියාම එයාට සන්සුන්ව ඉන්න අපහසු? ඇයි පෝළිමක අපිත් එක්ක තියන් ඉන්න බැරි? ඇයි බස් එකක් එනකල් හෝල්ට් එකේ බලන් ඉන්න බැරි දරුවා එක්ක? එයා ඉන්නේ නැහැ. එයාට මේ වෙලාව යන එක දැනෙන්නේ පුදුමාකාර හෙමින්. කිසිම දැනීමක් නැහැ මම මොකක්ද මේ ගත වෙන වෙලාවේ කරන්න ඕනේ කියලා. එයාගේ මනස නොසන්සුන් වෙනවා.වෙලාව පිළිබදව හරියට මැසේජ් එක එයාගේ මොළයේ අදාළ තැන් වලට ගමන් ගන්නේ නැහැ. ADHD කියන්නේ ස්නායු තත්ත්වයක්. එතකොට අපිට බැහැ මේ දරුවාගේ ස්නායු හැදිලා තියන හෝ මොළය ක්‍රියා වෙන විදිය වෙනස් කරන්න. ඒ නිසා තමයි අපි දරුවාට පුහුණුව දෙන්න ඕනේ ඒ අසීරුතාවයන් පහු කරන්න.
ඩොක්ටර් රසෙල් තවත් ලස්සන කතාවක් කියනවා.එයා කියනවා “ADHD දරුවන්ගේ දෙමාපියන්ට ඉවසීමක් නැහැ. එයාලා එයාලගේ දරුවන් වගේම හැඟීම්බරයි. ඒකට හේතුව කුමක් වෙන්න පුළුවන් ද? ඒකට හේතුව පසු ගිය අවුරුදු දහය තුළ අපි සොයාගත්තා ADHD දරුවන්ගේ දෙමාපියන්ටත් adhd තියනවා. මේක ජානමය තත්ත්වයක්. එතනම උත්තරය තියනවා. දරුවාට ADHD තියනවා නම් දෙමාපියන්ටත් ප්‍රථිකාර නොකළ,පුහුණු නොකළ ADHD තත්ත්වය 35%ක් තියනවා.” කියලා.
ඒ වගේම තැනක ඔහු මෙහෙම කියනවා
” 59%/70% ත් අතර ADHD දරුවන් පන්තියේ යහළුවන් අතර කොන් වෙනවා. ඔවුන් ADHD යහළුවාව ප්‍රතික්ශේප කරනවා. හේතුව ඔවුන්ට ඉවසන්න පහසුයි යහළුවාගේ කාලය සම්බන්ධව ඇති නොදැනීම,යම් වැඩක් එක දිගට නොකිරීම,එක තැන ඉන්නේ නැති කම. ඒත් ඔවුන්ට ඉවසන්න බැහැ යහළුවාගේ කේන්තිය. ඔවුන්ට යහළුවා පෙරළා ලබා දෙන නොසන්සුන්,කහලකාරීත්වය. මේක තමයි ප්‍රධානම වශයෙන් ADHD දරුවන්ට යහළුවන් ඇති කරගැනීමට තිබෙන අසීරුතාවය. මෙය ඔවුන්ගේ ජීවිතය පුරාවට ගෙන යා හැකි තත්ත්වයක් බවට පත් වෙනවා. “එක රැකියාවක් නිරත වෙලා ඉන්න බැරි කම,භාර ගන්නා වැඩ අතරමැද නවතා දැමීම,සම්බන්ධකම් තුළ දීර්ඝ කලක් එකට ඉන්න බැරි වීම වගේ දේවල් වලට මුහුණ දෙන්නට සිදු වෙන්න පුළුවන්”
ඒ වගේම තමයි මේක performance disorder එකක්. ඒ කියන්නේ දැනුම හෝ මනසේ තිබෙන දෙය ක්‍රියාවට නැංවීමට ඇති නොහැකියාව. අවශ්‍ය කාරණා මතකයේ තබා ගත නොහැකි වීම. ඒ නිසා දෙමාපියන්ට ඩොක්ටර් රසෙල් යෝජනා කරනවා ඔබගේ දරුවාට කුඩා කාලෙයේ සිටම පුහුණුව ලබා දෙන්න කොහොමද මනසේ තියන දැනුම ක්‍රියාවට නංවන්නේ කියලා. ඔහු කියන්නේ parenting ක්‍රමය සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න කියලා. දරුවාට කාල සටහනකට වැඩ කරන්න. දවසේ කළ යුතු වැඩ රූප සටහන් මාර්ගයෙන් හෝ පැහැදිලි කරන්න. පොඩි පොඩි සටහන් දරුවාට පේන්න බිත්තියේ අලවන්න. යමක් කිරීමට පෙර දරුවාට ඒ පිළිබඳව පණිවිඩය ලබා දෙන්න. උදාහරණයක් විදියට අපි තව මොහොතකින් ගණන් හදන්න යනවා. ආයේත් මොහොතකින් ඒක මතක් කරන්න. කුඩා වෙලාවන්ට කඩා දරුවාට උගන්වන්න. නිතරම පොඩි විවේක කාලයක් ලබා දෙන්න.
එතකොට දරුවා ටික ටික ලොකු වෙනකොට අපි එයාට උගන්වනවා වැඩක් කරනකොට අතර මැදින් පොඩි විවේකයක් ගන්න කියන එක. ප්‍රශ්න පත්තරයකට පිළිතුරු ලියනකොටත් එහෙමයි. දරුවාට පුරුදු කරන්න ඇස් දෙක පියාගෙන ලොකු හුස්මක් ගන්න පේපර් එකට ලියන අතර තුර. ඒ පොඩි තත්පර ගාණක විවේකය පවා දරුවාට විශාල සහනයක් මනසට ලබා දෙනවා. එතකොට ඩොක්ටර් රසෙල් කියනවා ADHD දරුවන්ට විභාගයකදී අමතර වෙලාවක් ලබා දෙනවා නම් ඒක මාර විහිළුවක් කියලා. ඔබ දරුවාට අමතර වෙලාවක් ලබා දෙන එක තමයි දරුවාට කරන ලොකුම හානිය කියලා. දරුවාට කාලය යන්නේ හරිම හෙමින්. එයාට බැහැ කාලය පහු වෙනකල් බලා සිටීමේ ඉවසීම. ඒක හරියට පොඩි දරුවෙක් නත්තලට සතියකට කලින් ඉදන් හැසිරෙන විදිය වගේ. එයාට නත්තල එනකල් ඉවසීමක් නෑ.එයාට තේරෙන්නේ නෑ ඒ සතිය කොහොමද ගෙවා ගන්නේ කියලා .ඒ සතියේ කාලය යන්නේ හරිම හෙමින්.ඒ නිසා නිතරම දරුවාට හුරු කරන්න මනසට විවේක කාලයක් ලබා දෙමින් වැඩ කරන්න කියලා. අපි කරන්න ඕනේ බලහත්කාරයෙන් දරුවාව ADHD තත්ත්වයෙන් එලියට ගන්න උත්සාහ කරන එක නෙමේ. මේක කරන්න බැරි දෙයක් කියලා ඔබ දන්නවා. එතකොට අපි කළ යුතු වන්නේ දරුවාගේ ADHD තත්ත්වයෙන් දරුවාට ඇති කරන බලපෑම අවම කිරීමයි.
එතකොට ඖෂධ ලබා දීමෙන් බලාපොරොත්තු වෙන්න බැහැ දරුවාගේ ADHD තත්ත්වය සමනය වීමක් හෝ පාලනය වීමක්. බහුතරයක් දෙමාපියන් කරන්නේ ඖෂධ ලබා දිලා සාමාන්‍ය සමාජ හා අධ්‍යාපන ක්‍රමවේදය ඇතුලට දරුවව තල්ලු කරලා දානවා. ඒක හරියන්නෙ නැහැ. ඔබ විසින් දරුවාව නියමිත පුහුණුව තුලට අරගන්න ඕනේ එයාට පහසු පරිසරයක් හා ක්‍රමවේදයන් නිර්මාණය කිරීම මඟින්.
එතකොට ඔබගේ ADHD දරුවා තේරුම් ගැනීම තමයි මුල්ම පියවර.
දෙමාපියන් වශයෙන් දරුවාගෙ හැසිරීම හා නොවිසිලිමත් කම ඉවසන්න හුරු වෙන්න ඕනෙ. දරුවා සහ දෙමාපියන් ඔක්කොමල්ලා නොසන්සුන් වුනාම කොතනින් වත් ප්‍රගතියක් ඇති වෙන්නේ නැහැ. කුඩා කාලයේ ඉදන්ම ටයිම් ටේබල් එකකට වැඩ කරන්න පුහුනුව දෙන්න. daily routine එකකට හුරු කරන්න.
Authoritative parenting ක්‍රමය තමයි ADHD දරුවන්ව හදන්න ඔබ පාවිච්චි කළ යුත්තේ. ඒ කියන්නේ ආදරණීය ඒත් ස්ථීරසාර,දරුවාට එයාගේ සීමාව උගන්වන ක්‍රමය. එහෙම නැතුව ඉතා සැර පරුශ ක්‍රම හරහා ADHD දරුවන්ව පාලනය කරන්න ගියොත් වෙන්නේ ඒ දරුවන් ට එය ජීවිත කාලය පුරා බලපාන විශාල හානියක් සිදු වීමයි. එතකොට Gentle parenting ඒ කියන්නේ නීතී රෙගුලාසි සීමා නැති ක්‍රමය ඇතුලේ ADHD දරුවන් හදන්නත් බැහැ කියන කාරනය මතක් කරන්නම ඕනේ. එතකොට අපි නිතරම මධ්‍යස්ථ තැනක තමයි ඉන්න ඕනේ. අර එඩේරාගේ ස්ටයිල් එක පාවිච්චි කරන්න.
දෙමාපියන්ට ඉතා බුද්ධිමත්ව තීරණ ගන්න වෙනවා තමන්ගේ ADHD දරුවන් සම්බන්ධයෙන්. උදාහරණයක් විදියට දරුවා සංගීතයට,චිත්‍ර වලට,පිහිනුම් වලට,නිවේදන පන්ති හෝ චෙස් පන්‍ති වලට යොමු කරලා ADHD තත්ත්වය ඒවලින් මඟ හැරිලා යයි කියලා හිතනවා නම් ඒ සිතුවිලි සම්පුර්ණයෙන්ම වැරදි බව වටහා ගන්න. ඔබ දරුවාගේ ADHD ලක්ශණ පාලනය කිරීමට නිසි පුහුණු ක්‍රියාකාරකම් ලබා දුන්නේ නැත්තන් කුමන අංශයකට දරුවා යොමු කළත් එයින් පළක් වෙන්නේ නැහැ.
තවත් වැදගත් කාරණයක් ඩොක්ටර් රසෙල් කියනවා. ‘ ඔබට වැරදෙන්න පුළුවන්. ඒත් ඔබ උත්සාහ ගන්නවා දරුවාව වටහා ගන්න. ඒ නිසා වැරදුන දෙය ඊලග වතාවේ නිවැරිදි කරගන්න පුළුවන්. සමාව දෙන්න පිටත සමාජයට. ඔවුන්ට ADHD කියන්නේ මොකක්ද කියලා වැටහෙන්නේ නැහැ. ඔවුන් හිතන්නේ මේ ඔබගේ වරද කියලා. පිටතින් එල්ල වන චෝදනා දරාගන්න පුළුවන් තරම් ශක්තිමත් වෙන්න. පාසලෙන් ඔබට චෝදනා එල්ල වෙන්න පුළුවන්. ඒත් ඔබ දන්නවා ඔබගේ දරුවා ගැන. ඒ නිසා ඒක මානසික හිරිහැරයක් නොකරගන්න. එයාලට චෝදනා කරන්න දෙන්න .ඒ අතර වාරයේ ඔබ දරුවාට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න .