මම ගිය අවුරුද්දේ ලිව්වා ” Autistic Regression ” ගැන. ඒ ලිපියේ ලින්ක් එක තමයි මේ. කියවන්න බැරි උන අයට ඒක ආයේ කියවලා දරුවන්ගේ ඔටිසම් ලක්ෂණ පේන්න ගන්න ගත්ත විදිය ගැන යම් ගැටලුවක් තියනවා නං ඒක නිරවුල් කරගන්න පුලුවන්.

දැන් මට ” Autistic reggresion ” ගැන දැනුවත් වෙන්න Dr. Robin Kochel, Dr. Lonnie Zwaigenbaum, Geraldine Dawson හැරුනම Kieran Rose,Damon Ackerman වගේ Experts ලගේ Studies කියවන්න උනා. ඒවා කියවන්න මම වෙලාව හොයාගත්තේ එමලි රෑට නිදාගත්තම.එළි වෙනකල්ම ඇහැරිලා ඉඳලා ඒවා කියවලා තේරුම් අරන් එමලිට පොඩි කාලේ ඇති උන Autistic regression එක ගැන මට තිබ්බ හැම ප්‍රශ්නයක්ම විසඳගත්තා. එතනින් එහාට දෙමාපියන්ට මේ ගැන වැදගත් වෙයි කියලා හිතලා ඒ ගැන ලියලා පේජ් එකටත් දැම්මා.හැම ලිපියක්ම ලියවෙන්නේ එහෙම තමා. දැන් ඒ ලියන ඒවා තේරුම් අරන් ඔටිසම් දරුවන්ට සහය දෙන්න සහ වටහා ගන්න පාවිච්චි නොකර තමන්ගේ තක්කඩි ව්‍යාපාර ප්‍රමෝට් කරගන්න පාවිච්චි කරන එක ඉතාමත් කැත වැඩක්.

ඊයේ අහම්බෙන් වගේ මම මේ පහළ තියන ටික්ටොක් ප්‍රොෆයිල් එක දැක්කේ. ඒක ඔටිසම් දරුවන්ව විකුණගෙන කන්න හදාගත්ත අලුත්ම ව්‍යාපාරයක්. මේක පටන් අරන් ඉන්න කවුරුන් නමුත් ඔටිසම් ගැන කිසිම විදියකින් දැනුවත් කෙනෙක් නෙමේ. කෙළින්ම මගේ පේජ් එකට ඇවිල්ලා Autistic Reggresion ගැන 2024 ලියපු ලිපිය සම්පූර්ණයෙන්ම කොපි කරලා අරන් වීඩීයෝ එකකට දාලා එයාලගේ නම්බර් එක දාලා තියනවා ඔටිසම් දරුවන්ව අරන් එයාලගේ මධ්‍යස්ථානයට එන්න කියලා. මේ බිස්නස් කාරයෝ කොයිතරම් කැත විදියට ඔටිසම් විවිධත්වය පාවිච්චි කරනවද කියන එක තේරුම් ගියේ කිසිම විදියකින් පේජ් එකේ ලිපියක්වත් කියවලා මොකක්ද ඔටිසම් කියන්නේ කියලා දැනුවත් වෙන්න පොඩි වෙලාවක්වත් කැප කරලා නැති එක තේරුම් ගියාම. ඒක තේරුම් යනවා තවත් වීඩීයෝ වල ඔටිසම් රෝග ලක්ශණ කියලා තමන්ගේ බිස්නස් එක ප්‍රමෝට් කරලා තියන විදිය දැක්කම. ඔටිසම් කියන්නේ රෝගයක් නෙමේය කියලා අපි පැහැදිලි කරලා ලියපු ලිපි දකින්නේ නැතුව ඇති

මෙතන Speech therapist ලා සහ occupational therapist ලා ඉන්නවා කියලා දාලා තිබ්බා.කොහොමද අනුන්ගේ ලිපි අරන් ඒවා වල අන්තර්ගතය වටහා ගන්නේ නැතුව කෙළින්ම කොපි කරලා දෙමාපියන්ව අන්දන්න පාවිච්චි කරන මේ වගේ ව්‍යාපාරිකයින්ට ලංකාවේ තවදුරටත් නිදහසේ දෙමාපියන්ගේ සල්ලි හූරාගෙන කන්න ඉඩ ලැබිලා තියෙන්නෙ? හේතුව කිසිම නියාමනයක් නැති කම.කිසිම ක්‍රමවේදයක් නැහැ මේ වගේ කඩ කෑලී ඇතුළේ කෙරෙන්නේ මොනවද කියන එක හොයන්න. ඒ නිසා තමන්ගේ දරුවාව මධ්‍යස්තාන ගානේ අරන් යන්න කලින් ඔටිසම් ගැන දැනුවත් වෙන්න.ඒකෙන් විතරයි දරුවාව තව තවත් පීඩාවලට නිරාවරණය වෙන්න නොදී නිවැරිදි සහය වටහාගෙන දරුවට ලබාදෙන්න පුලුවන් වෙන්නේ.

පේජ් එක බලලා ලිපි කියවන්නේ නැතුව කොපි කරගෙන දෙමාපියන්ව රවට්ටන්න පාවිච්චි කරන මේ මධ්‍යස්ථානය කරගෙන යන කෙනාට කියන්න තියන්නේ සහය ලබා දිය යුතු දරුවන්ව තමන්ගේ කැත මූල්‍යම අරමුණු වෙනුවෙන් භාවිතා කිරීම ගැන හෘද සාක්ෂිය නිහඬව හිටියට ස්වාභාව ධර්මය නිහඬව ඉන්නේ නෑ කියලා තමයි. දෙමාපියන්ගෙන් හොරා කන හැම රුපියලක්ම ආපිට මොන ක්‍රමයකින් හරි ගෙවන්න වෙන දවසක් එයි.

මුල් සබැඳිය : ඔටිසම් අලුත්ම ව්‍යාපාරයක්