අපි එමලිව තෝරගත්ත ගෙවල් වලට විතරක් අරන් යන්න හේතු කීපයක්ම තියනවා. එකක් ඒ යන යාළුවන්ගේ ගෙවල් වල අය ඔටිසම් විවිධත්වය සාමාන්‍ය මනුශ්‍ය විවිධත්වයක් කියලා පිළිගන්න අය විම,එමලිගේ Sensory needs ගැන අවබෝධයක් තිබීම සහ එමලිගේ හැසිරීම වරදවා වටහා නොගැනීම. වැදගත්ම දේ තමයි මාව මානසිකව පීඩාවට ලක් කරන්න නොනවත්වා ප්‍රශ්න අහන එකයි ඉල්ලන්නේ නැතුව උපදෙස් දෙන එකයි නැති එක. මට මෙතෙක් එහෙම යන්න පුළුවන් ගෙදරකට තියෙන්නේ රාජගිරියේ ඉන්න අපේ හිතවත්ම පවුලක් විතරයි. පුදුම මානසික සහනයක් මට දැනෙන්නේ එහෙ ගියාම.

එයාලා දන්නවා එමලි එනකොට එමලි එහේ ඉන්නේ පැය භාගෙද ඒ පැය භාගේ තමයි අපි එහේ ඉන්නේ කියලා.ඇයි කලින් යන්නේ ,තව ටිකක් ඉන්න කියලා ඒ නිසා කියන්නේ නෑ. එමලිට ශබ්ධ දරාගන්න අපහසුයි කියන එක දන්නවා. කිසිම දවසක එහේ ගියාම හයියෙන් Tv, සිංදු දාලා තියන්නේ නෑ.කෑමත් එමලි කන්නේ තෝරගෙන කියලා දන්නවා. ඒ නිසා එමලිට කෑම කන්න බල කරන්නේ නෑ. එතකොට ආරක්ශාවත් එහෙමයි. එමලි එහේ ගියාම ගේ වටේම යනවා.ගේට්ටු ලොක් කරලා තියන නිසා අපිට බය වෙන්න දේකුත් නෑ.

අද වෙනකල් මගෙන් එමලි ගැන හිත රිදෙන්න ප්‍රශ්න අහපු නැති, නැවත නැවත මට උත්තර දෙන්න මාව වෙහෙසට පත් වෙනකල් ප්‍රශ්න අහන්නේ නැති මිනිස්සු තමා ඒ ගෙදර ඉන්නේ. විශේශයෙන් එමලිගෙන් ප්‍රශ්න අහන්නේ නෑ. දැන් එමලි කතා කරනවද බලන්න ටෙස්ට් කරන්නේ නෑ. නිකන් අපිව උසාවියක විත්ති කූඩූවේ නග්ගලා වගේ හැඟීමක් මට දැනෙන්නේ නෑ ඒ ගෙදරට ගියාම. ඒ මිනිස්සු හරි ආදරණීයයි. උණුසුම්. හැම වචනයකම තියෙන්නේ මගේ වෙහෙස වටහාගත්ත ඒ වෙහෙස නිවන්න අපෙන් මොනවද වෙන්න ඕනේ කියලා නොකියා අහන මානුෂීය සම්බන්ධයක්. ඒ ගෙදර ඉන්නවා මම කියවපු පොත් වල හිටපු ” අම්මා” කියන චරිතය ඇතුලේ තියෙන්න ඕනේ මහා බරසාර ප්‍රේමයක් හිතේ තියෙන සැබෑ ලෝකයේ මට හම්බුන එකම ” අම්මා”. ඒ අම්මා මම එනවා කියන දවසට මට අරන් යන්න මැටි හට්ටියේ අඹ මාළුවක් හදනවා.කරවල බැදුමක් හදනවා.තව මොනවාම හරි හදලා මට දෙන්නේ ” ඔයාට එමලි එක්ක උයාගන්න අමාරුයි නේ” කියලා. ඉතිං අපි හැම කටකටම පින් දිදී ඒ කෑම සතියක් කනවා.

මම නිතරම නොලිව්වට මම සහ අභියෝග ගොඩකට මූණ දෙන දරුවන් ඉන්න හැම දෙමව්පියෙක්ම ඉන්නේ අසීමිත වෙහෙසක. අද මම කල්පනා කරා දරුවො ඉපදුනාම ගත වෙන මුල් මාස තුන හතර අපි ගෙවන විදිය. නිදි නැතුව, දරුව අඩන අඬන සැරේට අතට අරන්, දරුවගේ බඩ පුරවලා නාවල සැපට තියලා දරුවා නිදාගන්න පොඩි වෙලාවේ ගෙදර අනික් වැඩ කරන කාලය. ඔටිසම් දරුවන් ඉන්න දෙමව්පියන් බහුතරයකට දරුවො ලොකු උනා කියලා ඒ කාලය වෙනස් වෙන්නේ නෑ. මම තාමත් එක සිරූවට ගෙවන්නේ ඒ කාලය. එමලිගේ Routines ඒ විදියටම බාධා වෙන්නේ නැතුව තියාගෙන යන්න ඕනේ. එකම රහට හැමදාම එකම කෑම වට්ටෝරුව හදන්න ඕනේ. වාචිකව කියන්න අපහසු නිසා එමලිට අසනීපයක්, ඇගේ අමාරුවක් තියනවද කියලා කල්පනාවෙන් ඉන්න ඕනේ. එමලි මගේ අත අල්ලන් යන හැම තැනම මම කන බත් එක පවා දාලා යන්න ඕනේ. එයා කියන හැම වචනයක්ම තේරුම් ගන්න පුදුමාකාර වෙහෙසක් දරන්න ඕනේ.වෙලාවකට ඒක හරියට අපහැදිලිව ඇහෙන රේඩියෝ එකකින් යන බ්‍රේකින් නිවුස් එකක් අහගන්න උත්සාහ කරනවා වගේ. ගෙදරින් එළියට යන්න නං ඒ යන තැන ගැන සෑහෙන්න හොයන්න ඕනේ. ඒ තැන් වලට ගියාම එමලිව පරිස්සම් කරන්න ඕනේ. එමලිගේ කළු පාට ටීශර්ට් ටික හෝදලා වෙනම නවලා තියන්න ඕනේ. එමලි අඩනකොට ඒ අඬන හේතුව එයාගේ අංග චලන වලින් තේරුම් ගන්න ඕනේ. Messy Play කරාම සම්පූර්ණයෙන්ම ඒවා අස් කරලා ආයේ Messy Play කරන්න ඉඩ හදන්න ඕනේ. එමලි මට කියන හැම Verbal Stimming එකක්ම මම ආයේ ආයේ රිපීට් කරන්න ඕනේ. මේක නිකන් එකාකාරී රවුමක් ඇතුලේ හිර වෙලා වගේ හැඟීමක් දැනෙන ජීවිතයක්.

ඉතිං මෙහෙම ජීවිතයක් ඇතුළේ ඉන්න කොට මනුස්සයෙක්ගේ ආදරණීය එක වචනයක් පවා මහා සනීපයක් හිතට. රාජගිරියේ ගිය දවසට එයාලා මගේ හිත හරීයට හයිය වචන වලින් පුරවනවා. හරියට ඔයාලා වගේ. එයාලා එමලිගේ සංවර්ධනය ගැන ආඩම්බර වෙනවා. මම ඇගේ පතේ අමාරුකම් ගැන කියනකොට මට ඇහුම්කන් දෙනවා. මට එමලි එක්ක යන්න තියන එකම ආරක්ෂිත තැන කියලා මට දැනෙන්නේ ඒ ගෙදර විතරයි.

මම මේක ලිව්වේ මම ලගදි නොයාම බැරි හේතුවකට එමලි එක්ක එක ගෙදරකට ගියා. එමලි සුපුරුදු විදියට එයාගේ විවිධත්වය ඇතුලේ පැය භාගයක් වගේ හිටියා. ඊට වඩා එමලිට ඉන්න අපහසු උනේ එතන ආගන්තුක තැනක් සහ ඒ ගෙදර එමලිගේ ඇහැට දරාගන්න අපහසු තරම් එක එක බඩු ගොඩක් පුරවපු ගෙයක් වීම නිසා. ඒත් හැමෝම කිසිම ප්‍රශ්නයක් ඇහුවේ නෑ.හරීම ආදරණීය විදියට හිටියා. ඒ මිනිස්සු කොහොමත් ආදරණීය යහපත් මිනිස්සු. ඒත් එයාලට නොතේරෙන එක දෙයක් තිබ්බා. ඒක තමයි අම්මෙක්ව අවතක්සේරුවකට ළක් කරන එක සහ ප්‍රශ්න කරන එක ඒ අම්මට වේදනාවක් කියන එක. ගෙදරට ආවටත් පස්සේ ඇමතුමකින් මට ප්‍රශ්න පත්තරයකට උත්තර දෙන්න උනා. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන ඒක මට වේදනාවක් උනත් මම ඒ හැම ප්‍රශ්නයකට උත්තර දුන්නා. මට එමලිගේ අම්මා විදියට නැවත නැවත ඔප්පු කරන්න සිද්ධ උනා එමලි අසාමාන්‍ය දරුවෙක් නෙමේ සහ එමලිට අවශ්‍ය සහය අපි දෙනවා කියන එක. ඒත් අවසාන ප්‍රශ්නෙට උත්තරක් දෙන්න මට තේරුනේ නෑ.ඒක තමයි එමලි අවුරුදු 12/13 ක් උනාම සාමාන්‍ය වෙයිද කියන එක. මොකක්ද සාමාන්‍ය කියන්නෙ කියලා මම දන්නේ නෑ. අපිට එමලිව සාමාන්‍යයි. එමලිගේ හැඩය සාමාන්‍යයි. 

මම මිනිස්සු එක්ක තරහා වෙන්නේ නෑ මගේ දරුවගේ විවිධත්වය ප්‍රශ්න කරනවට. ඒත් මට වෙහෙසයි. මට ඕනේ ප්‍රශ්න කිරීම් නෙමේ.මට ඕනේ මගේ මනස සුවපත් කරන ආදරණීය වැළඳගැනීම් විතරයි. ඉතිං මම තීරණය කළා ප්‍රශ්න කිරීම් අධික තැන් වලට ආයේ මොන හේතුවක් නිසාවත් එමලි එක්ක යන්නේ නෑ කියලා. ඒකත් එක්ක තමයි මට රාජගිරියේ ආදරණීය ශෙහාරගෙ ගේ ගෙදර මිනිස්සු කොයිතරම් තේරුම්ගත්ත මිනිස්සුද කියන එක ආයේ ආයේ මතක් උනේ.

හැම මනුස්සයෙක්ටම ලැබෙන්න ඕනේ හිත සුවපත් කරන මිනිස්සු. ප්‍රේමය වපුරවන මිනිස්සු. සෙනෙහසින් මානසික පීඩාව අතුරුදහන් කරන මිනිස්සු. එමලිව එයාගේ හැඩයෙන් පිළිගන්න මිනිස්සු. ❤️

 

මුල් සබැඳිය : එමලිව එයාගේ හැඩයෙන් පිළිගන්න මිනිස්සු.