ඔටිසම් විවිධත්වය එහෙමත් නැත්නම් ස්නායු සාම්ප්‍රදායික විදියට නැතුව විවිධත්වයෙන් පිහිටීම නිසා යම් යම් අභියෝග වලට දරුවන් මුහුණ පානවා. Potty Training , අතින් කෑම කන එක, පැන්සලක් අල්ලන්න, කතුරකින් කපන්න, සෙරෙප්පු දෙක දාගන්න වගේ දේවල් වලදී යම් දරුවෙක් අසීරූතා වලට මුහුණ දෙන්න පුළුවන්. දෙමව්පියන්ගේ සහය හරියට දරුවට ලැබිලා නෑ, අම්මලා කම්මැලී, අම්මා දරුවා එක්ක Play කරන්නේ නෑ වගේ දහසක් චෝදනා මේ දෙමව්පියන්ට එල්ල වෙනවා.ඒක හරිම අසාධාරණයි. අපි තේරුම් ගන්න ඕනේ සත්‍ය තමයි දරුවාගේ ස්නායු විවිධත්වය නිසාම සමහර දේවල් වලට දෙමව්පියන් උදේ ඉදන් රෑ වෙනකල් සහය දුන්නත් ඒ දරුවාගේ සංවර්ධනයේ හැඩය එක්ක යම් යම් දේවල් ස්වාධීනව කරගන්න කාලයක් අවශ්‍ය වෙනවාය කියන එක.
චාලක හැකියාවන් අසීරූවීම ( Motor Planning Difficulties /Dyspraxia) , දුර්වල මාංශ පේශීන් සහ Grip Strength දුර්වල වීම වගේ අහියෝග වලට සමහර ඔටිසම් දරුවන් මුහුණ දෙනවා. සංවේදන සංවේදීතා වෙනස්කම් නිසාත් දරුවෙක්ට සපත්තු දෙක දාගන්න, පැන්සලක් අල්ලන්න, කතුර අරන් කොළයක් කපන්න අපහසු වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට කොළය හෝ කතුර ස්පරශ කරනකොට ඒ දැනීම දරාගන්න අපහසු වෙන්න පුළුවන්. අකුරු ලියන්න අකමැති දරුවන්ටත් මේකම එක හේතුවක් වෙන්න පුළුවන් ඒ අකමැති වීමට.
අපි දරුවන්ගේ ස්වාභාවික Play වලට සහය දෙන්න ඕනේම මේ නිසා. දරුවෙක් වැලි ටිකක් අරන් සෙල්ලමට විසික් කරනවා නං ඒක දඟ වැඩක් කියලා නොහිතා ඒ Play එක දරුවාට කරන්න දෙන්න ඕනේ. වැලි ටික අත් මිටට ගුළි කරගැනීමේ ඉදන් ඒ ටික ඈතට විසික් කරන එක දක්වා දරුවාගේ සංවර්ධනය වෙන්නෙ Motor planning තමයි.
එමලි මීට කලින් කීප වතාවක්ම කතුර අරන් එයාට ඕනේ රූප කපන්න උත්සාහ කරත් ඒක හරියටම කරගන්න බැරි උනා. ඒත් ඒක පීඩාවක් හෝ එමලිගේ හිත් රිදීමක් නොවෙන්න අවශ්‍ය හැමදේම මම කපලා දුන්නා. ආයෙමත් දවස් කීපයකට කලින් එමලි කුස්සියට ඇවිල්ලා මේසේ උඩ තිබ්බ කතුර අතට ගත්තම මම පත්තර කොළයක් දුන්නා. දීලා එමලිගේ ඇඟිලිත් හරියට කතුර අල්ලන සිදුරු වලට දාලා සහය දුන්නා. ඔන්න ටිකක් සාර්ථකව එමලිට පුළුවන් උනා පොඩ්ඩක් පත්තර කොළ කෑල්ල කපන්න.
මම්මාච්චිගේ ගෙදර ගියාමත් එමලි මම්මාච්චිගේ මේසේ තිබ්බ කතුර අතට ගත්තම අපි පත්තර කොළ ටිකක් දුන්නා. මම ආයෙත් අරවගේම එමලිට කතුර අල්ලන Technique එක පෙන්නලා දුන්නා. මම්මාච්චි පත්තර කොළේ දෙපැත්තෙන් අල්ලන් හිටියා. ඉතිං එමලි කොහොමින් හරි උත්සාහ අරන් ඔන්න හරියට කතුර අල්ලන් පත්තර කොළ ටික කපන්න ගත්තා. එමලිට අනවශ්‍ය විදියට එකම දේ ආයේ ආයේ කියලා දෙන්න බෑ.එතකොට එයා ඇස් දෙක ලොකු කරලා මං දිහා බලනවා නිකන් මොකක්ද මේ අම්මට වෙලා තියෙන්නේ කියලා වගේ 
.
ඉතිං ඒ නිසා එයාගේ නිදහසට පොඩ්ඩක්වත් බාධා නොකර කිසිම දෙයක් නොකියා නිහඩව පැත්තක ඉඳන් අපි පොඩි සහයක් දුන්නා. දැන් එමලිට පුළුවන් එයාගේ අලුත් Skill එක තනියම පුහුණු වෙන්න.

මම්මාච්චි එක්ක සහයෝගයෙන් කතුරෙන් පත්තර කපන අවස්ථාවක්
