මීට කාලෙකට කලින් මම ගෙයින් එළියේ වැඩක් කරනවා නං ටිකකින් එමලි ජනෙල්ලේ ළඟට ඇවිල්ලා කෑ ගහලා අඩනවා. ඒ අඩන්නේ මට ගෙට එන්න කියලා. වාචිකව කියන්න අපහසු නිසා ඒක එමලි ප්‍රකාශ කරන්නේ හැඩීමෙන්. එමලි අඬන Style එකෙන් මම පුරුදු වෙලා හිටියේ එමලි මොකක්ද කියන්නේ සහ එයාට ඕනේ මොකක්ද කියන එක දැනගන්න.ඒක අඳුරගෙන එමලිගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන ගමන් එමලි වාචිකව කියන්න ඕනේ වාක්‍ය මම එමලිට හඳුන්වා දෙනවා. ඒක හරියට පරිවර්තනය කරනවා වගේ වැඩක්. එමලි ශබ්ධ, හැසිරීම්, අංග චලන, මුහුණේ ඉරියව් හරහා ප්‍රකාශ කරන දේ මම වාචිකව හඳුන්වා දෙනවා. ඉතිං හෙමින් හෙමින් එමලි භාෂාව හඳුනගෙන එයාගේ අභියෝග දහසක් මැද්දේ ඒ හැමදේම දරාගෙන වචන කියන්න ගත්තා. තනි වචන වාක්‍ය බවට පත් වුනා.මම කියන එකම රිපීට් කරන්න ගත්තා. ඒ රිපීට් කිරීම හරහා තව තවත් භාශාව එමලිට තේරුම් කරලා දෙන්න පුළුවන් උනා. දැන් හෙමින් හෙමින් එමලිගේ සරල අවශ්‍යතා කොහොම හරි වාචිකව කියන්න එමලි උත්සාහ ගන්නවා. සමහර වෙලාවට සිංදුවෙන් අවශ්‍ය දේ මට කියනවා. මෑතකදි එමලිගේ එක කිරි දතක්  හෙල්ලෙන්න අරන් එමලි ඒක මට කිව්වේ මගේ අත එයාගේ ඒ හෙල්ලෙන දතට තියලා ” This is the way we brush our teeth” කියලා. හැමදාම ඔය සිංදු කෑල්ල කිය කියා තමයි මම එමලිගේ දත් මදින්නේ. මෙන්න මේ වගේ සිංදු , වචන, කතා කොටස් වල වචන එකතු කරලා ඒවට මුහුනේ ඉරියව්, හැසිරීම් එකතු කරලා තමයි එමලි සන්නිවේදනය කරන්නේ.

කිසිම වෙලාවකට එමලිට තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න අපහසුයි කියන එක පීඩාවක් නොවෙන්න මම පුළුවන් තරම් එමලිගේ සන්නිවේදන මාධ්‍යන් හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දක්වනවා. ඒකයි මම එමලිට මාව පේන මානෙන් ඉන්නේ.ඒකයි මම එමලිව දාලා කිසිම තැනක නොයන්නේ.මට එහෙම යන්න ඔළුව නිදහස් කරගන්න බෑ. ඒ නිසා Supermarket එකට හෝ නොයාම බැරි ගමනක් හැරෙන්න මම එමලි එක්කමයි ඉන්නේ. ඒ නිසාම එමලි සන්නිවේදන ගැටලුව හරහා පීඩාවට පත් වීම සෑහෙන්න අවමයි. 

එමලි මට කියන වචනය හෝ වක්‍ය මට තේරුම් ගන්න අපහසු නම් එයා කරන්නේ එයාගේ අත මගේ තොල් වලට තියලා ආයේ ආයේ ඒ වචනය කියන එක.මුල්ම කාලේ එමලි ඒක කරන්න පටන් ගන්න කොට මට මතක් වුනේ රාණි මුකර්ජි රඟපාපු ” Black ” කියල චිත්‍රපටිය. ඒකේ රාණි ශ්‍රවණ සහ දෘශ්ටි විවිධත්වයක් තියන තරුණියක්.එයාගේ ගුරුවරයට රඟපෑවේ අමිතාබච්චන්. මට මතකයි රාණි තමන්ගේ ගුරුවරයා සහ එයා අතර සන්නිවේදනය කරගන්න කොට මුලින්ම කරේ ගුරුවරයා කතා කරනකොට එයාගේ තොල් වලට අත තියලා එ වචන ශබ්ධ වෙන Vibration එක හරහා කියන දේ වටහා ගන්න උත්සාහ කරපු එක. ඉතිං ඒකත් එක්ක මට තේරුම් ගියා එමලි මේ උත්සාහ කරන්නේ මාත් එක්ක එයාට පුළුවන් උපරිම උත්සාහ කරලා සන්නිවේදනය කරගන්න කියන එක.ඒ ගැන ටිකක් හොයලා බලලා කියවලා මම දැනගත්තා එකක් තමයි එමලිට ඉතාම තදින් අවශ්‍යයි අපි දෙන්නා අතර අවබෝධයක් ඇති කරගන්න. දෙක තමයි එමලිට තදින්ම අවශ්‍යයි එයා කියන එක ඉතාම වැදගත් දෙයක් කියලා මට ඒත්තු ගන්වන්න මේක අම්මා ඔයා කොහොමින් හරි තේරුම් ගන්න ඕනේය කියන්න. ඊටත් පස්සේ එමලි තේරුම් අරන් ඉන්නවා වාචික සන්නිවේදනයේ අසීරුතාවයකට එයා මූණ දීලා ඉන්නවාය කියන එක. අන්න ඒකත් එක්කම ඒ සන්නිවේදනය බිඳෙන්නේ නැති වෙන්න කොහොම හරි පවත්වාගෙන යන්න එමලිට උවමනයි. එතකොට ඇත්තටම එමලි එයාගේ අත මගේ තොල් වල තියන එක එක්තරා සන්නිවේදන මාධ්‍යක්. ඉතිං මම ඒ හැම වෙලාවෙම එමලි කියන්න හදන එක මට තේරෙන විදියට රිපීට් කරනවා.මම මගේ කටින් හරි වචනේ කියනකල් අපි දෙන්නා වචන කීපයක්ම හුවමාරු කරගන්නවා. මට මේවා ඉතා සංවේදී මොහොතවල් වලට වඩා සතුටු හිතෙන තැන්. හේතුව අපි දෙන්නා සන්නිවේදනය කරගන්නවා. වැදගත් වෙන්නේ ඒක.

ඒ වගේම තවත් වැදගත් තැනක් තමයි එමලි ශබ්ධ වලට ඉතා සංවේදී නිසාම සමහර වචන හෝ වාක්‍ය ශබ්ද වෙන විදිය එමලිට දරාගන්න අපහසුයි..ඒ වගේම සමහර වචන, වාක්‍ය සිංදු වලින් අධික උත්තේජනයක් දැනෙනවා.මේ අධික උත්තේජනය දරාගන්නත් අපහසුයි. ඉතිං මම කියන දෙයක් එමලිට  අහන් ඉන්න , දරාගන්න අපහසුයි නං එමලි ටක් ගාලා ” Hi” කියනවා. මෙන්න මේ හායි කියන වචනේ තමයි එමලි පාවිච්චි කරන්නේ අපිට කතාව මාරු කරන්න හෝ ඒ වචනය නොකියා ඉන්න කියන එක කියන්න. මේ වගේ අපි සෑහෙන්න අවබෝධයක් ඇතුළේ Comfortable විදියට සන්නිවේදනය කරගන්න හැඩය නිර්මාණය කරගෙන ඉන්නේ.

දැන් ඉතිං අපි ටික ටික ඒ සන්නිවේදනය සහ වටහාගැනීම ඉදිරියට අරන් ගිහින් ඉන්නේ.මම එළියෙ වැඩ කරනකොට එමලි ජනෙල්ලෙන් බලන් අඩන්නේ නෑ.එක්කො මම වැඩේ ඉවර කරලා එනකල් සන්සුන්ව ජනෙල්ලෙන් එළිය බලාගෙන ඉන්නවා. එහෙමත් නැත්තන් මේ වගේ මට කියනවා අම්මා ගෙට එන්න කියලා.

දරුවෙක්ගේ සන්නිවේදනයට අපි සහය දෙන්න නං ඒ දරුවාගේ සෑම සන්නිවේදන ක්‍රමයකටම ගෞරව කරලා ඒක පිළි අරගෙන දරුවාව පීඩාවට පත් වෙන්නේ නැති ලස්සන සම්බන්ධතාවයක් අපි අතර ගොඩ නඟාගන්න ඕනේ. ඒක කරගන්න නං අපිට මෙ Autism Spectrum එක ගැන දැනගන්න අවශ්‍ය හැම දේම ගැන දැනුවත් වෙන්නම ඕනේ.

එමලි මේ ඇඳන් ඉන්න කළු ටීශර්ට් එක පුරාම සුදු පාටට වේලිලා තියෙන්නේ Slime 🤭. එමලි ගෙදරට අදින්නේ තනි කළු බැගී ටීශර්ට් විතරයි. ඒකට හේතුව  ඒකෙන් එමලිගේ Visual Sensory overload නොවෙන නිසත්, මනසට සනීපයක් දැනෙන නිසත් තමයි.❤️

මුල් සබැඳිය : එමලිගේ ලෝකය: වචනවලින් එහා ගිය අපේ සංවාදය