පහු ගිය දවස් ටික ඉක්මනට ගෙවිලා ගියා වගේ අද දැනුනට කල්පනා කරලා බලනකොට එසේ මෙසේ යුද්ධයක් නෙමේ තිබ්බේ
.එමලිගේ තාත්තා පොඩි දවසකට වෙන රටකට ගියපු නිසා එමලිට ඒ වෙනස ඉතාමත් තදින්ම දැනුනා. අද රෑ වෙනකොට තාත්තා එනවා. ඒක මම ඊයේ ඉඳන්ම එමලිට නිතරම කිය කියා ඉන්නේ.
මේ දවස් වල One-man show එකක් තමයි ගෙදර. බබාලා දෙන්නව, බලු ළමයි හත් දෙනාව, පාරේ ඉන්න බලු ළමයි ටිකව මේ හැමදේම බලාගන්නේ මම.ඇත්තටම තනියම වැඩ කරගන්න එක මට එහෙම පොඩ්ඩක්වත් අමාරු දෙයක් නං නෙමේ.එකම අමාරු දේ තමයි එමලිව බලාගන්න එක සහ එයාව පරිස්සම් කරන එක. එමලිව අරන් එළියට යන එක නං කොහෙත්ම තනියම කරන්න මට බැරිම දෙයක්. හේතුව ගෙදරින් පිටතදී එමලිගේ ආරක්ෂාවට අනිවාර්යයෙන් එමලිගේ තාත්තා ඉන්නම ඕනේ. එමලිට අනතුරු ගැන දැනීමක් ලොකුවටම නැහැ.ඒ කියන්නේ ගින්දරට පිච්චෙනවා ,උඩ නැග්ගොත් වැටෙන්න පුලුවන් වගේ දේවල් ගැන ඉතාම හොඳ දැනීමක් එමලිට තියනවා. ඒකයි එයා කොච්චර මේසේ උඩ, ඇද විට්ටමට,ජනෙල් වල නැග්ගත් වැටෙන්නේ නැත්තේ. ඒත් ගෙදරින් පිටත තියන පරිසරයේ තමන්ට අනතුරු වෙන්න පුලුවන් කියන දැනීමට වඩා එමලිගේ ඉස්මතු වෙන්නේ කුතුහලය. ඒ නිසා මහ පාරද , වාහනද කියල නෑ එමලිට ඕනේ හැම තැනම දුවන්න. ඒ නිසා එමලිගේ තාත්තා කොහේ ගියත් එමලිව තදින් අල්ලන් හෝ වඩාගෙන ඉන්නම ඕනේ. ඕක මට තනියම කරන්න බෑ. අඩුම ගානේ කඩේකට ගිහින් බඩුවක් ගන්න එක පවා එමලි එක්ක කරන්න පුලුවන් දෙයක් නෙමේ. ඉතිං එමලිගෙ තාත්තා එනකල් මම එමලිට කම්මැළිකමක් නොවෙන්න ගෙදර තියන් ඉන්න එක තමයි ලොකුම අභියෝගය වුනේ.
මුල් දවස් දෙකේ එමලි ගොඩක් දුකෙන් Supermarket list එක කියා කියා ඇඩුවා. තාත්තා නැති දුක එමලි ප්‍රකාශ කරේ එමලි තාත්තට ගේන්න කියන Supermarket list එක කියලා. එමලි අඩන එක බලන් ඉන්න බැරි උනාට මම ඒක මඟ හරින්නේ නැතුව එයාගේ දුක පිටකරගන්න ඉඩ දුන්නා. ඒ අතර නිතරම මතක් කරා තාත්තා Hello kitty ගේ ගෙදර ගියේ කියන එක. ඉතිං එමලි නිතරම මාත් එක්ක Hello kitty ගේ ෆොටෝස් Google search කර කරා බැලුවා. ඒත් එක්කම අපි වැඩියෙන් එමලි ආස කරන Logos හොය හොයා බැලුවා. ඒකෙන් එමලිට එයාගේ හැඟීම් දරාගන්න පහසුවක් උනා.
තාත්තා ගෙදර නැති නිසා එමලිට ගෙදර Safe Environment එකේ තවදුරටත් මනස සන්සුන් කරගන්න සහ එයාගේ සුපුරුදු Routines පවත්වාගෙන යන්න අපහසුවක් දැනුනා.ඒ නිසා නිදාගන්න යනකොට මුල් දවස් දෙක තුනේ පාට ගවුමක් ඇන්දා පුරුදු කළු ටීශර්ට් එක වෙනුවට. ඒත් ආයෙත් එමලි ඉතා ඉක්මනට එයාගේ සුපුරුදු කළු ටීශර්ට් එකම රෑටත් අදින්න ගත්තා..ඕක මම එමලිගේ තාත්තට කිව්වම එයා එකපාරටම කිව්වේ එහෙනං එමලි ආයේ Back to Normal කියලා
. අපිට එමලිගේ සුපුරුදු Routines වල වෙනසක් උනාම බය හිතෙනවා. අපිට එමලිගේ සමස්ත හැඩයම ඉතාමත් සාමාන්‍යයි.
එමලි එයාගේ මනස සන්සුන්ව පවත්වාගෙන යන්න පාවිච්චි කරපු එක උපක්‍රමයක් තමයි උදේ නැගිට්ට ගමන් එයාගේ ඇදුම් කබඩ් එක ඇරලා ඇදුම් දහයක් වගේ තෝරගන්නවා. මේ හැමදාම උදේට තෝරගන්න එකම ඇදුම් සෙට් එක නිදාගන්න ඇද උඩ ගොඩ ගහලා තියනවා.ආයේ රෑට එයා නිදාගන්න වෙලාවට තමයි ඒවා මම කබ්ඩ් එකට දාන්නේ. මේ අවස්ථාව මම පාවිච්චි කරලා එමලිට කියලා දුන්නා කොහොමද ඇදුම් නවන්නේ කියලා. ඇද උඩ ගොඩ ගහලා තියනවා වෙනුවට ඇද උඩම පිලිවෙලට ඒවා අපි හැමදාම උදේට නැව්වා. එමලිත් මම ඇඳුම් නවනවා බලාගෙන ඉඳන් එයාට පුලුවන් විදියට ගවුම් නැව්වා.
ඉතිං පහු ගිය දවස් ටිකේම එමලිට කම්මැළි නොවෙන්න මම පාට දුන්නා ඇති වෙන්න පාට කරන්න.වැලි ගොඩේ නටලා ඒක උඩ නිදාගන්නකල් ළඟට වෙලා හිටියා. වරු ගාණක් වතුර බේසමේ බැහලා ශවර් එකටත් ඔළුව අල්ලන් හිටියා. අයිස් ක්‍රීම් කෝන් වලට හැන්දෙන් අයිස් ක්‍රීම් දාගන්න හැටි පෙන්නලා දුන්නා. ෆ්‍රිජ් එකට අයිස් කැට ට්‍රේ එක දාලා ඒවා අයිස් කැට වෙනකල් ඉවසීමෙන් බලන් ඉන්න එමලිට පෙන්නලා දුන්නා. පස්සේ අයිස් කැට එයාගේ කොළ පාට පිඟානට දාලා දුන්නා කන්න. රස්නේ දවස් ඒ විදියට අපි ගෙව්වා. මේ ඔක්කෝම අතරේ මම ආසාවට අවුරුද්දට මුං කැවුම් , කොකිස් හැදුවා. එමලිට රෙද්දේ හැට්ටෙකුත් අරන් අන්දලා හැඩ බැලුවා.
ඉතිං මම මේ දවස් කීපය පුරා තේරුම් ගත්ත දේ තමයි අපේ එමලිට පුලුවන් කියලා සුපුරුදු පරිසරයේ ඉතා දැඩිව දැනෙන වෙනස්කමක් උනත් දරාගන්න පුලුවන් කියන එක. ඒක ගැන මට ලොකු සතුටක් තියනවා. එමලි ආතතියක් හෝ මානසික පීඩාවක් නැතුව එයාට හැකි උපරිම මේ දවස් කීපය තාත්තා නැතුව ගෙව්වා.ඒ වගේම තමන්ගේ හැඟීම් එයාට පුලුවන් විදියට මාත් එක්ක සන්නිවේදනය කරගත්තා.
මම එමලිගේ අම්මා නිසා මේ දේ කියනවා නෙමේ..ඒත් මට හැමදාම හිතෙන දෙයක් තමයි එමලිගේ ආත්මය ඇතුළේ පුදුමාකාර හයියක් තියනවා කියලා. ඕනේම අභියෝගයක් පහු කරගෙන යන්න එයා පුදුමාකාර විදියට උත්සහ ගන්නවා.විශේෂයෙන් එයාගේ නිරන්තරයෙන් කලබල වෙන මනස සන්සුන් කරගන්න උපරිම ධෛර්යයක් ගන්නවා. ඒ උත්සාහය නිසාම එමලි ඉතා ඉක්මනට මානසිකව සහ ශාරීරිකව වෙහෙසට පත් වෙනවා මම දැකලා තියනවා.ඒත් එයාව නතර කරන්න බැරි තරමටම එයාගේ ආත්මය තණ පිට්ටනියක් පුරා ඉතා වේගයෙන් දුවන පොඩි අස්සයෙක් වගේ කියලා මට හිතෙනවා.
