පහු ගිය කාලේ අපි මූණ දුන්න තව අභියෝගයක් උනේ එමලිගේ ශබ්ධ සහ දෘශ්‍ය සංවේදන සංවේදීතාවය අධික උන එක. ඒ විතරක්ම නෙමේ.එමලිගේ ගොඩක් දේවල් වෙනස් වුනා සතුටු හිතෙන විදියට. වැඩියෙන් සන්නිවේදනය කරන්න පටන් ගත්තා වගේම දැනීම වැඩි වුනා. මේකට හේතුව දරුවෙක්ගේ ස්නායු වර්ධනය වෙනකොට සරළවම කියනවා නම් ඒ දරුවා වයසින් වැඩෙනකොට තමන් අවට පරිසරය සහ සමාජය ගැන තියන දැනුම සහ දැනීමත් ස්වාභාවිකවම වැඩි වෙනවා. එතකොට හැමදේම සංවර්ධනය වෙනවා වගේම මින් පෙර නොදැනුන තරම් සංවේදන සංවේදීතාවයන් වඩා අධිකව දරුවාවට දැනෙන්න පුළුවන්. මේ හේතුව නිසා මොළයට එන තොරතුරු සහ සංවේදන කළමනාකරනය කරගන්න ඔටිසම් දරුවෙක්ට අපහසු වෙන්න පුළුවන්. ඒ නිසාම කලබලකාරී ගතිය, අලුත් Routines, Pattern ,Stimming වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමන් කැමැත්තෙන් වෙනදා ගියපු තැන් වලට නොයා ඉන්න පුළුවන්. එමලි වෙනදා කැමැත්තෙන් ගියපු පාර්ක් එකට, බීච් එකට දැන් යන්නේ නෑ.හේතුව ඒ තැන් වල සංවේදන ඉතා අධිකව එමලිට දැනෙන නිසා දරාගන්න අපහසුයි. ඒ කාලය දරුවාට ඉඩ දෙන්න ඕනේ Self regulate වෙන්න.ඒ කියන්නේ අලුතින් ස්නායු වලට දැනෙන සංවේදන සංවේදීතාවයන් දරාගන්න සහ මනසට එන තොරතුරු ක්‍රමයෙන් දරාගන්න ඉඩ දෙන්න ඕනේ..
දැන් මේක තනියම දරුවට කරන්න බෑ. එයාට අපි සහය දෙන්න ඕනේ මේ කාලය පහු කරගෙන යන්න. ඒකට තමයි Co- Regulations කියන්නේ. ඉතිං මම මුලින්ම ගෙදර ටිකක් වෙනස් කරා. සාලේ තිබ්බ එමලිගේ පොත් ඔක්කොම වෙනම පොත් කාමරේට දැම්මා.හේතුව එක එක පාට, රූප තියන පොත් එක පාරට තමන්ගේ ඇහැට හසුවෙන එක හරහා එමලිගේ Visual Sensory overload වෙන්න පුළුවන් නිසා. ඊට පස්සේ තවත් බඩු අඩුම කරලා සාලේ මැද්දේ එමලිට ඉන්න පොඩි ගෙයක් තිබ්බා. එමලිට පුළුවන් එයාගේ පොඩි ගෙදර ඇතුළේ කැමති දෙයක් කරන්න.නිදහසේ ඉන්න. එමලිට පොඩි ගෙයක් දෙනකොට එමලිගේ අක්කටත් වෙනම කාමරයක් ලෑස්ති කරලා නිදහසේ ඉන්න තැනක් හදලා දුන්නා. නැත්තන් එමලි හයියෙන් Verbal Stimming කරනකොට ඒක අක්කට බාධාවක් වෙන්න පුළුවන් නිසා.
එමලි එයාගේ මනස සන්සුන් කරගන්න Verbal Stimming කරනකොට මමත් එයා එක්ක Verbal Stimming කරා. වැඩිවෙලාවක් එමලි වතුර එක්කම Play කරා.
එමලිගේ මනස සන්සුන් කරගන්න එමලි වැඩිපුර වත්තට වෙලාම ඉන්නවා.ගොරකා ගහේ ගොරකා හැදිලා. ඉදුණු ගෙඩි කීපයක් හැමදාම ගහ පාමුල වැටිලා. එමලි මේ ගෙඩි එකතු කරනවා.ඊට පස්සේ කෙහෙල් කොළ අස්සේ හැංඟෙනවා.එතකොට මම Peek a Boo කියනවා. කෙහෙල් කොළ කෑල්ලක් අරන් එමලි කණ්ඩියේ ඉඳගෙන ඒවා තීරූ වලට ඉරනවා. ගොරක ගහ පාමුල හෙවණ නිසා බිම ඉදගෙන ගස් වල කොළ හුළඟට හෙළවෙන හැටි බලන් ඉන්නවා. මෙහෙම තමයි එමලි එයාගේ මනස සන්සුන් කරගන්නේ සහ අපි එයාට සහය දෙන්නේ.
දරුවෙක්ට තමන්ගේ මනසට ගලාගෙන එන තොරතුරු සහ සංවේදන දරාගන්න අපහසු උනාම Stress loop එකක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා දිගින් දිගටම ආතතියක ඉන්නේ.හේතුව ඒ දරුවාගේ අපහසුතාවය වටහා ගන්න කෙනෙක් නොමැතිකම සහ ඒ දරුවාට Regulate වෙන්න ක්‍රමයක් නැති කම නිසා. දරුවව මෙහෙම අහියෝග වලදී අසරණ වෙන්න දෙන්න එපා. දෙමව්පියන් සහය දෙන්න ඕනේ දරුවට Regulate වෙන්න.එහෙම නැති උනාම දරුවට තරහා යනවා.පීඩාවට පත් වෙනවා.කෑ ගහනවා.රණ්ඩු කරනවා. ඒක දරුවගේ හැසිරීමේ අසාමාන්‍යතාවයක් කියලා ඊට පස්සේ Antipsychotic drugs මහා ගොඩක් පොවලා එක තැනක තියනවා. නැත්තන් ගෙදර හැමෝම ඒ දරුවට අල්ලන් ගහනවා. මේක වෙනස් කරන්න. දරුවෙක්ට සහය ඕනේ තැන් වටහා ගන්න.
එමලි ලොකු වෙනකොට එයාට මගේ උදව් නැතුව තනියම මනස සන්සුන් කරගන්න, අභියෝග වලට ස්වාධීනව මූණ දෙන්න පුළුවන් වෙයි.අපි මේ මොහොතේ දරුවාට දෙන මානසික සැනසීම සහ පීඩාවක් නැති සහය දරුවාට ජීවිත කාලයටම බිඳ නොවැටෙන හයියක් වෙයි.



