මම එමලිගේ දැකපු දෙයක් තමයි එයාගේ Brain එකට විවේකයක් අවශ්‍ය කාලයට එමලි ගොඩක් නිහඬ වෙනවා. වෙනදා කතා කරපු තරම් වත් කතා කරන්නේ නෑ.අලුත් වෙනස්කම් කිසිම දෙයක් නෑ.ඒත් ඒ විවේක කාලය අවසන් උනාම එමලි හරිම කඩිසරව ආයේ එයාගේ සුපුරුදු දවස පටන් ගන්නවා. විශේෂයෙන් එමලිගේ අලුත් හැසිරීම් රටා අපිට දකින්න පුලුවන් වෙන්නේ අන්න ඒ කාලේ. දැන් සති ගාණක ඉදන් අපි ගත කරන්නේ ඒ කාලේ. විශේශයෙන් ඔටිසම් දරුවන් සහ පුද්ගලයින් මේ විවේක කාලය ගන්නේ තමන්ගේ Sensory system එක කළමනාකරණය කරගන්න සහ සන්සුන් කරගන්න. එතකොට අපි ඒ වගේ කාලවල දරුවන්ව නොනවත්වා මානසිකව සහ ශාරීරිකව වෙහෙස කරොත් ඒක අවසන් වෙන්නේ Autistic burnout එකකින්.

එමලි දැන් සති තුනක වගේ ඉඳන් වෙනස්ම හැසිරීම් ටිකක් තමයි පෙන්නන්නේ. එමලි ගෙදරට කළු පාට විතරක් අදින්නේ එමලිගේ Sensory system එක පාලනය කරගන්න. ඒත් දැන් නිතරම පාට පාට ඇඳුම් ඇඳලා කණ්නාඩිය ඉස්සරහට යනවා.ගිහින් කැරකිලා හැඩ බලනවා. ලොලිපොප් එකක් දුන්නම ඒක කණ්ණාඩිය ඉස්සරහට ගිහින් එයා දිහා බල බල කනවා. Bathroom එකේ වෙනදා වගේම වතුර බේසම පුරවලා ශැම්පූ දාලා පෙණ හදලා ගොඩක් වෙලා බැහැලා ඉන්නවා. ඒත් වෙනදා වගේ නැතුව නිතරම Bathroom කණ්ණාඩියෙන් මූණ බලනවා.එක එක පැත්තට හැරි හැරී බල බල හිනා වෙනවා. නිතරම මට say cheese කියලා එමලිගේ ෆොටොස් ,වීඩියෝස් ගන්න කියනවා.එමලි බෝනික්කෙක් අතේ තියන් ඉන්නවා නං මට කියනවා Say cheese doll කියලා. ඒ කියන්නේ එමලිව බෝනික්කා එක්ක තියලා ෆොටෝස් ගන්න කියලා. ඒ මදිවට එක එක ඉරියව් වලින් ෆොටොස් වලට ඉන්නවා. ෆ්‍රිජ් එකේ දොර ඇරලා එතන බිම ඉඳන් මට කියනවා ෆොටොස් ගන්න කියලා.මම ෆොටොස් ගන්න කොට අත් දෙක උස්සන් ඉන්න ඉරියව්වකින් ඉන්නවා. බෝනික්කො එක්ක සාලෙට ඇවිල්ලා ෆොටොස් ගන්නකොට අක්කටත් සාලෙන් යන්න කියනවා 😅 එමලිට ඕනේ නිදහසේ එයයි බෝනික්කො දෙන්නයි එයාගේ Photographer වයි විතරයි ඒ වෙලාවට.

එමලි කණ්ණාඩියෙන් නොනවත්වා බලන එක නං ගොඩක්ම කරනවා.කොණ්ඩේ හදනවා.ඇදුමක් ඇඳලා කරකිලා බලලා එමලි කණ්ණාඩියෙන් එයාගෙම මූණ දිහා බලලා හිනා වෙනවා. ඉතිං අපිට හරී ආසයි මේ හැසිරීම දිහා බලන් ඉන්න 🥹.

 දැන් මේ වෙනස් හැසිරීම සංවර්ධනයේ අලුත් Stage එකක්. ඔටිසම් දරුවන්ට මේ සංවර්ධනය ඇති වෙන කාලය එකිනෙකට වෙනස් වෙන්න පුලුවන්.

ඒක පියවරල් කීපයකට බෙදන්න පුලුවන්. 

Mirror exploration – කණ්ණාඩියෙන් තමන් දෙස බලලා තමන්ව හඳුනාගන්න උත්සාහ කිරීම.මේක නිකම්ම කණ්ණාඩියෙන් පේන තමන් දිහා බලන් ඉඳීමක් නෙමේ.කණ්නාඩියෙන් පේන පුංචි ගැහැනු ළමයා තමන් කියලා හඳුනාගන්න එක Self Awareness එක සංවර්ධන වීමේ පියවරක්

Identity play – එක එක ඇඳුම් ඇඳලා තමන් දිහා කණ්නාඩියෙන් බලන්නේ තමන්ව අනෙක් අයට පේන්නේ කොහොමද කියලා තේරුම් ගන්න.

Body / sensory awareness – කණ්ණාඩිය ඉස්සරහට ගිහින් කෑම කන එක, ඔළුව පීරන එක වගේ දේවල් හරහා එමලි අත්දකින්න උත්සාහ කරනවා තමන්ට දැනෙන දේ කොහොමද පිටට පේන්නේ කියලා.ඒක නිකන් හරියට තමන් තමන්ගේ ශරීරය සහ තමන් ගැන කරන නිරීක්ශනයක්.

Symbolic development – මේ Mirror play ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන්නේ abstract thinking වලට. දරුවන් මුලින්ම කණ්නාඩිය පාවිච්චි කරන්නේ විනෝදෙට.ඊට පස්සේ තමයි හැඟීම්, තමන්ව පේන විදිය,එක එක චරිත රඟපාන්න කණ්ණාඩිය පාවිච්චි කරන්නේ. එමලිට තමන් ගැන තියන දැනීම සෑහෙන්න සංවර්ධනය වෙලා කියන එක පැහැදිලි වෙනවා කණ්ණාඩිය ඉස්සරහා තමන්ගේ එක එක ඉරියව් දිහා නිරීක්ෂණය කරන එකෙන්.එයා දැන් මේ ලෝකේ එයත් කොටස්කාරයෙක් කියන හැඟීම එක්ක එයා දිහා බලන්න උත්සාහ කරනවා.

Philippe Rochat කියන Psychologist විස්තර කරලා තියනවා දරුවන්ගේ Self-awareness (තමන් ගැන දැනීම) මෙන්න මේ Mirror stage එකේ පියවරල් කීපයක් හරහා සංවර්ධනය වෙන විදිය .ඒ වගේම කෙනෙක්ට මේ Mirror Stage ගැන අධ්‍යනය කරන්න ඕනේ නං Lacan ගේ mirror stage ගැන පැහැදිලි කිරීම කියවලා බලන්න පුලුවන්. ඊට පස්සේ Leon S. Brenner විසින් ඔටිසම් දරුවන්ගේ Mirror stage එකේ හැඩය ගැන කරපු අධ්‍යනය කියවලා බලලා වටහාගන්න පුලුවන් කොහොමද ඔටිසම් දරුවන්ගේ Mirror stage එකේ හැඩය වෙනස් වෙන්නේ කියලා.

සරළවම ඒ හරහා කියන්නේ දරුවන් කණ්ණාඩිය ඉස්සරහට ගිහින් තමන් දිහා බලන එක නිකම්ම නිකන් බැලීමක් නෙමේ. දරුවා ඒ පසු කරන අවදිය තමයි “මම” කවුද කියලා වටහා ගන්න උත්සාහ ගන්න කාලය කියන එක සහ දරුවාගේ සංවේදන සංවේදීතාවය ඊට සම්බන්ධ වෙනවා කියන එක.

ඔටිසම් දරුවන්ට මේ සංවර්ධන කාලය විශේශ වෙන්නේ අපි දෙමාපියන් විදියට දන්නේ නැහැ අපේ දරුවන්ගේ මේ වගේ සංවර්ධන කාලයන් ඇති වෙන්නේ කොයි කාලයේද කියලා.ඒක තීරණය වෙන්නේ දරුවාගේ ස්නායු විවිධත්වය මත. ඒ ස්නායු පිහිටා තිබෙන හැඩය මත සංවර්ධන කාලයන් වෙනස් වෙනවා.මෙන්න මේ නිසයි අපි දරුවන්ව එයාලගේ ස්වාභාවික සංවර්ධන කාල පරාසයන්ට කලින් ඔටිසම් නොවන දරුවන් වගේ පුහුණු කිරීම විද්‍යාත්මකව කොහෙත්ම නිවැරිදි වෙන්නේ නැත්තේ. දැන් මම එමලිගේ මේ ස්වාභාවික සංවර්ධන කාලයට කලින් එයාව කණ්නාඩියක් ළඟට අරන් ගිහින් මූණ බලන්න හිනා වෙන්න කිව්වා කියලා එමලිට ඇති වෙන ප්‍රගතියක් නෑ.හේතුව ඒක නිකම්ම නිකන් බල කිරීමක් මිසක් එමලි දැනීමෙන් සහ කැමැත්තෙන් කරන දෙයක් නෙමේ නිසා. ඉතිං දෙමාපියන් විදියට දරුවන්ගේ ස්වාභාවික ස්නායු විවිධත්වය පිළිඅරගෙන ඒ හැඩය වටහාගත්තම අපිට පුලුවන් දරුවාගේ ස්වාභාවික සංවර්ධන කාලයන් කොයිතරම් පහු උනත් ඒ ගැන මානසික පීඩාවක් ඇති කරගන්නේ නැතුව දරුවට අවශ්‍ය සහය ඒ ඒ කාලයන් වල ලබා දෙන්න.

* මම මේ දවස් වල දිගටම එමලිගේ Photographer විදියට තමයි වැඩ කරන්නේ. ඉතිං මොන වැඩේ තිබ්බත් Say cheese කියනකොට මම එමලි කියන විදියට ෆොටොස් ගන්න දුවන්න ඕනේ. එක ෆොටෝ එකක් නෙමේ විස්සක් විතර ගන්නත් ඕනේ 🤭

මුල් සබැඳිය : එමලි ගේ අලුත් සංවර්ධන කාලය