එමලිගේ සන්නිවේදන හැඩය ගැන කතා කරොත් එමලි දැන් දවසෙම කරන්නේ කතා කරන එක.Logos වල නම් කියනවා. ඊට සමාන වචන එකතු කරලා කියනවා. එයාට අරන් දෙන්න ඕනේ ජාති ගැන කියනවා. එළියට යන්න, එන්න , හැන්ද ,කෝප්පේ වගේ එයාට අවශ්‍ය දේවල් වාචිකව කියනවා. නාන්න යනකොට Small shampoo කියලා ෂැම්පු ඉල්ලනවා.ලියන්න ඕනේ උනාම Pencil and paper කියලා ඉල්ලනවා. දෙයක් කරාම එයාම Good job / Great job කියලා කියනවා. සරලවම කියනවා නම් එමලි ලොකු උත්සාහයක් දරනවා එයාට පහසු විදියට සන්නිවේදනය කරගන්න. ඒකට එමලි බය නැතුව එක එක ක්‍රම පාවිච්චි කරනවා. දැන් මොකක් හරි වීඩියෝ එකක හරි රූපයක තියන වචන ටික දැක්කම එමලි ඒවල අකුරු එයාටම ඇහෙන්න ආයේ කියලා මනසේ කොපි කරගෙන ටක් ගාලා Google search කරලා ඒක මොකක්ද කියලා හොයනවා. එහෙම හොයලා ඒක එයාට අපෙන් ඕනේ නං අපිට ඒක පෙන්නලා අහනවා මුලින්ම ” මේ මොකක්ද” කියලා.අපි ඒ වචනේ කිව්වම එයා ඒ වචනේ දාලා “Daddy buy” කියන වාක්‍ය කියනවා. එහෙම ගිය සතියේ ඉල්ලුවා Hershey සහ reese’s කියන chocolate වර්ග දෙක. මේ දෙක ගැන මම දැනගත්තේ එමලි පෙන්නලා කිව්වට පස්සේ. කොහොම හරි මේ දෙකම එමලිට හොයලා අරන් දෙන්න පුලුවන් උනා.
ලගදි දවසක් අපි බඩු වගයක් ගන්න ටවුමට ගියාම එමලි එක පාරටම කෑ ගහන්න ගත්තා “ lets go home/ daddy buy cup cake book, daddy round and round කියලා. ඒකෙන් එමලි කියන්න අදහස් කරේ එයාගේ Cup cake පොත ගෙදර දාලා ඇවිල්ලා.ආයේ වාහනේ හරවන් ගෙදර ගිහින් ඒක අරගමු කියලා. වාහනේ හරවන්න කියලා කිව්වේ ” Round and Round “කියලා
ඒ වගේම වචන ගොඩක Spelling එමලිගේ මනසේ හොඳටම මතක තියනවා. එමලි Type කරනකොට තමයි මම දන්නේ ඒ වචනේ ලියන්න එමලිට පුලුවන් කියලා. Music / meet/ Amazon app / Go Go Duck / No No / kids profile වගේ එක එක වචනයි එයා කැමතිම Logos වල නමුයි සියල්ලගෙම අකුරු හොඳටම මතකයි. එමලිට කියවලා දැනගන්න ඕනේ වචනයක් කියවගන්න බැරි නම් එමලි කරන්නේ ඒකේ Spelling කියන එක. එතකොට අපි ඒ වචනේ මොකක්ද කියලා කියනවා. මෙහෙම තමයි මේ පහු ගිය කාලේ ඉඳන් මේ දක්වා එමලිගේ ඉගෙනීම.
මේ හැම දේකටම වඩා මට ගොඩක් සතුටු හිතෙන දෙයක් ඊයේ රෑ උනා. ඒකමයි මම මේක ලියන්නෙම. ලගදි දවසක නිදාගන්න ගියාම එමලි මගේ අත අරන් එයාගේ බඩ උඩින් තිබ්බා.එමලි හිටියේ ටිකක් අපහසුවෙන්. එමලිට මට පෙන්නලා දෙන්න ඕනේ උනේ එයාගේ බඩ රිදෙනවා කියලා. ඒත් ඒක කියන්න ඕනේ විදිය එමලිගේ ඔළුවේ තිබ්බත් ඒක වාචිකව පිට කරගන්න අපහසුයි. ඒ නිසා ලේසිම ක්‍රමය මගේ අත අරන් එයාගේ බඩ උඩින් තියන එක. එවෙලේ මම ඒ වෙලාවට කියන්න ඕනේ දේ සරල වාක්‍යකින් දෙපාරක් තුන්පාරක් කිව්වත් එමලි ඒක කිව්වේ නෑ. ඒත් අංග චලන හරහා එයගේ අපහසුතාවය මට පෙන්නපු එක ගැන මට ලොකු සතුටක් ආවා.
ඊයේ රෑත් නිදාගන්න යනකොට මගේ අත අරන් එයාගේ බඩට තියාගත්තා. තියලා මගෙන් ඇහුවා ” What is this ” කියලා. මම Tummy කියලා කිව්වම එමලි කිව්වා ” Tummy hurts” කියලා. ඒ මොහොතේ සතුට වැඩි කමට මාව නිකන් ගැහෙන්න වගේ උනා.ඒ තරමටම මට සතුටුයි. ඊට පස්සේ Bathroom එකට යමු කිව්ව ගමන් එයාම තනියම Bathroom එකට ගිහින් Good job කිව්වා
. අවුරුදු හතටම මේ පළවෙනි පාර එමලි පැහැදිලිව එයාගේ වේදනාව වාචිකව මට කිව්ව. ඒ තත්ත්පර ගාණක පොඩි මොහොත මට බලාපොරොත්තුවක් දෙනවා එමලිගේ මට අනුමාන කරන්න බැරි අනාගතය ගැන. මට ලොකු විශ්වාසයක් තියනවා එමලි එයාට පහසු විදියට සන්නිවේදනය කරයි කියන එක ගැන. ඒක වාචිකවම වෙන්න ඕනේ නෑ. එමලිට පහසු ඕනේම ක්‍රමයක් වෙන්න පුලුවන්.
එමලි ගොඩක් අභියෝග පහු කරගෙන යන්නේ එයාගෙම අපහසුතා එයාට දැනෙන නිසා සහ ස්වාභාවිකව ඒක කලමනාකරනය කරගන්න එයාට උපරිම නිදහස තියන නිසා.
උදාහරණයක් විදියට ඇඳුමක් කණපිට ඇන්දම ඒ ඇඳුමේ වාටි හමේ ස්පර්ශ වීම අපහසුතාවයක් නිසා එමලිට නොයෙක් වාරයක් එයා විසින්ම උත්සාහ කරලා ඇදුමක් හොදපිටට හරවගන්න පුලුවන් උනා.තමන්ට තමන් කැමතිම දේවල් ගැන වැඩි විස්තර හොයා ගන්න පුලුවන් මාර්ගයක් Google search හරහා දැක්ක නිසා එමලි Spellings ගැන උනන්දු වෙන්න ගත්තා. තමන් අඳින ඇදුම පවා තෝරා ගැනීමේ ස්වකීය නිදහස එමලිට තියන නිසා අපි පෙන්නන ඇදුමකට කැමති නැත්තන් ඒක දැන් ” Nope” කියලා ප්‍රතික්ෂේප කරනවා. බ්ලෙන්ඩර් එක ගැන උනන්දුවක් ඇති උන නිසා පලතුරු කපලා ජූස් හදන්න යනවා. වතුර බිම වැටුණම ලිස්සන්න පුලුවන් කියලා දන්න නිසා ටක් ගාලා පාපිස්ස දානවා. කනට අමාරු ශබ්ද ඇහෙනකොට ඒක කළමනාකරනය කරගන්න Headphones දෙක දාගන්නවා. කෑම අතේ ගෑවෙනකොට අපහසුයි නං හැන්ද , ගෑරුප්පුව අරන් කෑම කනවා. බොන්න වතුර ගොඩක් ඕනේ නං ” Hundred water ” කියලා අපිට කියනවා.ඇගේ කොහේ හරි කසනවා නම් මගේ අත අරන් ඒ කසන තැනට තියලා ” Hundred scratch ” කියලා කියනවා. නොදන්න නන්නාඳුනන මිනිස්සු එක්ක කතා කරන්න ඕනේකම තියන නිසා ඒ අයට එයා කැමතිම Logos වල නම් කෑ ගහලා කියනවා.
වාහනේ නතර කරලා තියන වෙලාවල් වල ඒ ලගින් පාරේ එහා මෙහා යන මිනිස්සු දිහා බලලා එමලි හයියෙන් කියනවා ” Samsung “ කියලා. එයාට තේරුම් ගන්න බෑ ඇයි අම්මා තාත්තා වගේ ඒ අය ආයේ පෙරළා ” Samsung “කියන්නේ නැත්තේ කියලා. ඒත් මම හිතනවා අනාගතයේ දවසක් එයි එමලිව තේරුම් ගත්ත සමස්ත සමාජයක් එයාට පෙරළා ” Samsung ” කියලා කියන. ඒ දවස වෙනකල් මම මෙහෙම එමලි ගැන ලියයි.
