ඔස්ට්‍රේලියාවේ NDIS එකෙන් තහවුරු කරලා තියන “Regulated Restrictive Practices Guide” එක ගැන තමයි මම කතා කරන්නේ.ඒක නිර්මාණය වුනේ විශේෂ සහයක් අවශ්‍ය පුද්ගලයින්ගේ / දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙන එක වළක්වන්න. ඒ Document එක පිටු 60 ක එකක්.ඒ නිසා මම ඒකෙ Key points ටික පැහැදිලි කරන්නම්.
ඔටිසම් දරුවන් මත කෙරෙන අමානුශික ,නුසුදුසු restrictive practices ගැන තමයි මුලින්ම මේ හරහා කතා කරන්නේ. ඒ කියන්නේ ඔටිසම් පුද්ගලයින්ගේ හැසිරීම් කළමනාකරණය කරන්න කියලා පාවිච්චි කරන අමානුශික ක්‍රමවේදයන් ගැන.ඒ හරහා ඔටිසම් පුද්ගලයින්ගේ නිදහස, තෝරාගැනීමේ අයිතිවාසිකම් කඩ වීම මත ඒ restrictive practices කරන්න තහනම්. ඒ තහනම් දේවල් තමයි,
◆ Seclusion – ඔටිසම් දරුවන්, පුද්ගලයින් යම් ඉඩක හෝ කාමරයක දාලා ලොක් කර තැබීම තහනම්
◆ Chemical restraint – වෛද්‍යමය හේතුවක් හැරුනකොට හැසිරීම පාලනය කරන්න කිසිම ඖශධයක් දීම තහනම්.
◆ Mechanical restraint – බෙල්ට්, පටි, දම්වැල් වැනි දේවල් පාවිච්චි කරලා හැසිරීම පාලනය කරන්න තහනම්
◆ Physical restraint –පාලනය කරන්න කියලා බලහත්කාරකමින් ශරීරය අල්ලාගෙන තද කර තබා ගැනීම තහනම්.
◆ Environmental restraint –ඔටිසම් පුද්ගලයන් යම් දේවල් හෝ ස්ථාන වෙතට ළඟා වීම වලක්වන්න ඔවුන්ව බ්ලොක් කිරීම/ අවහිර කිරීම තහනම්.
මෙන්න මේ ප්‍රධාන කාරණා වෙන වෙනම පැහැදිලි කරගමු.
◆ Seclusion – ඔටිසම් දරුවන්, පුද්ගලයින් යම් ඉඩක හෝ කාමරයක දාලා ලොක් කර තැබීම තහනම්..
ඔටිසම් දරුවන්ව ඔවුන්ගේ හැසිරීම පාලනය කරන්න හෝ වැඩිහිටියන් අනුමත නොකරන හැසිරීම් වෙනස් කරන්න අවශ්‍ය නිසා කාමර වලට දාලා අඟුලු දාන්න තහනම්. විශෙශයෙන් දරුවා හුදකලා කර කාමරයකට දාලා වහන්න ඒක රෑ හෝ දවල් වේවා කිසිම අවස්ථාවක කරන්න බෑ.කිසිම මධ්‍යස්ථානයක, පාසලක හෝ නිවසේදීත් කරන්න බෑ. දරුවාට අවශ්‍ය මොහොතක කාමරයෙන් හෝ දරුවා ඉන්න ස්ථානයෙන් පිටතට ඒමට නිදහස තිබිය යුතුයි.
මේක කරන්න පුලුවන් අවස්ථා තමයි සංකීර්ණ මොහොතක, හිරිහැරයක් වීමේ ප්‍රවණතාවය වැඩි හැසිරීම් අවස්ථාවක ඒක පාලනය කරන්න හැකි සියළුම ක්‍රමවේදයන් භාවිතා කරාට පසු ඒ ක්‍රමයන් හරහා හැසිරීම කළමනාකරණය කරන්න බැරිවූ විට.
මේ ක්‍රමය පාවිච්චි කරන්න පවතින නීතියට අනුගතව අදාළ පාර්ශවයන්ගෙන් නීතිමය අවසර ලබා ගත යුතුය. එහෙත් මේ ක්‍රමය භාවිතා කළ හැක්කේ ඉතාම සුළු වේලාවකට පමණයි.
විශේෂයෙන් වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට මෙම ක්‍රමවේදය පාවිච්චි කිරීම තහනම්.
මේ සිර කර තබන ක්‍රමවේදය හරහා ඇති විය හැකි හානියන්.
◈ ශාරීරික තුවාල සහ මරණයට පත් වීම
◈ මානසික හිරිහැරයන්,පීඩාවන්,විශවාසය කඩ වීම්,බිය, දඬුවමට ළක්වීම හරහා ඇති වන මානසික බිඳ වැටීම්.
◈ ආත්ම ගෞරවය අහිමි වීම,තමන්ගේ ආරක්ෂාව නැති වීමේ බිය
◆ Chemical restraint – වෛද්‍යමය හේතුවක් හැරුනකොට හැසිරීම පාලනය කරන්න කිසිම ඖශධයක් දීම තහනම්.
මේ නීතී සියලුම විශේෂ සහයක් අවශ්‍ය පුද්ගලයින්ට අදාළව නිර්මාණය වෙලා තියන්නේ.ඒත් මට පුරුද්දට සහ පහසුවට මම ඔටිසම් දරුවන් කියලා මේ නීතී ගැන කතා කරන්නම්. දැන් මේ Chemical restraint කියන එකෙන් එයාලා අදහස් කරන්නේ හැසිරීම් කළමනාකරණය කරගන්න ඖශධ ලබා දෙන්නේ නෑ කියන එක.ලංකාවේ වගේ දරුවව පුටුවක ඉන්දවන්න ,දරුවට තරහා ගියාම , දරුවගේ Sensory overload උනාම ලොසින්ජර් දෙනවා වගේ බෙහෙත් දෙන්නේ නෑ. විශේශයෙන් ලංකාවෙ වගේ පාසල් ගුරුවරුන්ට කොහෙත් අයිතියක් නෑ දෙමාපියන්ට බලපෑම් කරන්න දරුවන්ට බෙහෙත් දෙන්න කියලා.ඒක කිසිම රටක සිද්ධ වෙන්නේ නෑ. මේ Act එකෙන් පැහැදිලි කරන්නේ සෞඛ්‍ය ගැටලුවක් හැරෙන්න එහෙම හිතු මනාපෙට බෙහෙත් දෙන්න බෑ කියන එක.
දරුවෙක් මනස කලබල වීම නිසා කෑ ගසනවා නං තවත් අයට හිරිහැර කරනවා නං ඒ දරුවාව නිහඬ කරවන්න sedative drugs දීම තහනම්.ඒ හැසිරීම් කළමනාකරණය කරගන්න දරුවාට සහය දෙන්න බොහෝ ක්‍රම තියනවා.ලංකාවේ වෙන්නේ අන්න ඒ Regulations ක්‍රම ගැන දන්නේ නැති කම නිසා අධ්‍යනය කරලා නැති නිසා කෙළින්ම කරන්නේ මේ වගේ හැසිරීම් වලට බෙහෙත් දෙන එක.ඒවා සම්පූර්ණයෙන්ම ඔටිසම් දරුවන්ට කරන බරපතළ හානි.
ඔටිසම් දරුවන්ගේ Stimming , repetitive behaviors නතර කරන්න antipsychotic Drugs දෙන එක තහනම්.ඒක mental health condition එකක් නෙමේ.ඒක දරුවන් මනස සන්සුන් කරගන්න භාවිතා කරන ක්‍රමවේදයක් සහ ඒක දරුවන්ගේ අයිතිවාසිකමක් .
දරුවන්ගේ හැසිරීම් අනෙකාට හිරිහැරයක් නිසා හෝ දරුවන්ව බලා ගැනීම හිරිහැරයක් නිසා දරුවන්ව මත් කරලා එක තැනක තියන්න sleeping tablets දීම සපුරා තහනම්.
Chemical restraint එකක් නොවන්නේ මොනවද?
■ දරුවාගේ mental health condition එක යටතේ ඖශධ ලබා දීම. උදා- epilepsy, schizophrenia
■ තාවකාලික emergency හේතූන් මත.උදා- යම් ඔපරේශන් එකක් අවසන් වූ පසු painkillers ලබා දීම.
නීත්‍යානුකූල නොවන සහ ඖශධ නියාමනයෙන් අනුමත නොකරන කිසිදු ඖශධයක් මෙවැනි අවස්ථාවලදීවත් ලබා දීම තහනම්.
ඖශධ ලබා දීම ගැටලුවක් වෙන්නේ ඇයි?
■ ඒ හරහා ඉතාමත් හානිකර අතුරු ප්‍රථිපලය ඇති විය හැකි නිසා.( උදා – sedation, confusion, දීර්ඝකාලීන සෞඛ්‍ය ගැටළු)
■ ඖශධ ලබා දීම හරහා ඔටිසම් දරුවන්‍ට සහ පුද්ගලයින්ට තමන්ගේ ශරීරය පාලනය කිරීමේ තමන්ට ඇති අයිතිය පැහැර ගනී.
■ ඖශධ ලබා දීම හරහා දරුවාගේ හැසිරීමේ සැබෑ ගැටලුව වටහාගෙන එය කළමනාකරණය කරගැනීමට දරුවාට සහය දීම වැළකේ.
නීතිය පවසන්නේ කුමක්ද?
■ ඖශධ ලබා දීම භාවිතා කළ යුත්තේ අවසාන විසඳුම ලෙසය.හේතුව ඖශධ හරහා ඉතා බරපතළ හානි සිදු විය හැකි නිසා.
■ ඖශධ ලබා දීම කළ හැක්කේ medical professionals ලාගේ අනුමත කිරීමකින් පමණි.එයද සියල්ල ගොනු කර NDIS Commission එකට වාර්තා කළ යුතුය.
■ සෑම විටම Behavior plan එකට මූලික අවධානය ලබා දිය යුතුය.
■ ඖශධ ලබා දිය යුත්තේ ප්‍රතිකාර ලෙස නොව හැසිරීමේ යම් ගැටළු කළමනාකරණය කරගැනීමට ය. එයද NDIS නීතී රෙගුලාසි වලට යටත්වය.
NDIS එකෙන් දීලා තියනවා උදාහරණ කීපයක් Chemical Restraint යටතේ ඖශධ ලබා දීමේ අවස්ථාවන් ගැන වඩාත් පැහැදිලි කරන්න.
◉ Bill (intellectual disability) — බිල් නොසන්සුන් උනාම එයා එයාට සහ අනෙක් අයට පහර දෙනවා.බිල්ගේ වෛද්‍යවරයා ඔහුට ඉතාමත් සුළු මාත්‍රාවකින් quetiapine ඖශධය ලබා දෙනවා.එය ලබා දෙන්නේ වෙනත් ක්‍රමවේදයන් හරහා මේ හැසිරීම අවම නොවීම නිසා ඖශධ අවසාන විසඳුම ලෙස. ඒ වගේම මේ ඖෂධය ලබා දෙන්න ඕනේ අවශ්‍යම වෙලාවකදී පමණයි.
◉ Christian (Autism Spectrum Disorder) —Christian තමන්ගේ හිස නිතරම බිත්තියේ ඉතා තදින් ගසා ගන්නවා.එයාගේ psychiatrist විසින් benzodiazepine ඖෂධය ඉතාම සුළු මාත්‍රාවක් ලබා දෙනවා මේ හිස බිත්තියේ ගසා ගැනීමෙන් ඇති වෙන්න පුලුවන් අනතුර වළක්වා ගන්න.
◉ Loa, වයස අවුරුදු 6 (developmental delay ) – Loa සමහර වෙලාවට තමන්වම හපනවා.හූරනවා.ඇයට paediatrician ලබා දෙනවා
Olanzapine කියන ඖශධය.දෙමව්පියන්ගේ සහ වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ තමයි මේ ඖශධ ලබා දෙන්න ඕනේ.ඒකත් අවශ්‍යම වෙලාවකදී පමණයි.
◉ Pamella, වසය අවුරුදු 58 ( dementia + moderate intellectual disability ) – ඇය තමන් සිටින නිවසින් පිටව යෑමට උත්සාහ කරන නිසා ඇයව සන්සුන් කරන්න වෛද්‍යවරයා risperidone ඖශධය ඉතාම සුළු මාත්‍රාවකින් ලබා දෙනවා.
◉ Diazepam කියන ඖශධය හැසිරීම පාලනය කරන්න දෙනවා නං ඒක මේ නීතී වලට පටහැනී. නීතීයෙන් පැහැදිලි කරන්නේ හැසිරීම කළමනාකරණය කරගන්න දරුවාට සහය දෙන්න වෙනත් ක්‍රමවේදයන් උත්සාහ නොකර මේ ඖෂධය ඒකට ලබා දීම විසඳුම නෙමේ කියලා. එහෙම අවසාන විසදුම විදියට ඒ ඖෂධය දෙනවා නං ඒක දෙන්න හේතුව සහ සියළුම විස්තර ගොනු කරලා අදාළ තැන් වලට වාර්තා කරන්න ඕනේ.
◉ තමන්ටම හිරිහැර කරගැනීමේ හැසිරීම වළක්වා ගැනීමට Sodium valproate ලබා දීම නොකළ යුතුය. ඒවා ලබා දෙනවා නං Epilepsy හෝ bipolar disorder වැනි රෝග වලදී වෛද්‍ය තහවුරු කිරීමක් ඇතුව ලබා දෙනවා මිසක් එයින් එපිට මෙම ඖෂධය ලබා දීම අනුමත කරයි.
මෑතකදී මට අහන්න ලැබුන සිදුවීමක් තමයි ඔටිසම් දරුවෙක්ට ලංකාවේ ඉතා ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් විසින් ලබා දීලා තිබ්බ අධි මාත්‍රා ඖශධ නිසා ඒ දරුවාගේ බඩ අධික ලෙස රිදෙන්න ගත්ත සිදුවීමක්. දරුවා නොනවත්වා අම්මට කියනකොට මේ බෙහෙත් බිව්වට පස්සේ මගේ බඩ රිදෙනවා මට බෙහෙත් බොන්න බෑ කියලා ඒත් අම්මා බලහත්කාරකමින්ම දරුවාට බෙහෙත් දෙනවා.හේතුව වෛද්‍යවරයා නියම කරපු නිසා.ඒ දරුවාට බෙහෙත් දීලා තියෙන්නේ පාසලේ පන්තියේ පුටුවේ සන්සුන්ව ඉදගෙන ඉන්න. ඉතිං මේවා දරුවන්ව ශාරීරිකව අපහරණයට පත් කිරීම්.
◆ Environmental Restraint – ඔටිසම් පුද්ගලයන් යම් දේවල් හෝ ස්ථාන වෙතට ළඟා වීම වලක්වන්න ඔවුන්ව බ්ලොක් කිරීම/ අවහිර කිරීම තහනම්.
මේක වඩාත් හොඳින් පැහැදිලි කරගමු.
★ ඔටිසම් පුද්ගලයින්ට පිටතට යා යුතු අවස්ථාවක එසේ යාමට නොදී සිටීම නොකළ යුතුය.
උදා –
⊛ දොරවල්, කබඩ් හෝ ෆ්‍රිජ් ලොක් කර තැබීම නොකල යුතුය. මධ්‍යස්තානයක සියළුම දොරවල් ලොක් කර වසා තැබීම නොකළ යුතුය.දරුවන්ගේ ආරක්ෂාව සලසා දීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම සහ දොරවල් ලොක් කිරීම යන්න එකිනෙකට වෙනස් වේ.
⊛ දරුවන් හෝ පුද්ගලයින් කරන ඇක්ටිවිටීස් වළක්වා ලීම නොකළ යුතුය.
⊛ පුද්ගලයින් අත ඇති දේවල් උදුරා ගැනීම නොකළ යුතුය.
⊛ එසේම නොයා යුතු තහනම් ස්ථාන නොතිබිය යුතුය. උදාහරණයක් ලෙස කුස්සියට හෝ වත්තට නොයා යුතුයි යන අණ ,අවහිර කිරීම් නොකළ යුතුය.
Environmental Restraint එකක් නොවන්නේ ,
★ ඖශධ වර්ග දැමූ කබඩ් ලොක් කර තැබීම.
★ පුද්ගලයාගේ නිදහස සීමා කිරීම සහ සිර කිරීම කිසිදු විටෙක ඔවුන්ට ලබා දෙන සහයක් නොවන නිසා යම් අවස්ථාවන් වලදී අත්‍යවශ්‍යම හේතූන් වලට හැර මෙම නීතියට යටත්ව ක්‍රියාකළ යුතුය.
◆ Mechanical Restraint – බෙල්ට්, පටි, දම්වැල් වැනි දේවල් පාවිච්චි කරලා හැසිරීම පාලනය කරන්න තහනම්
යම් සෞඛ්‍යමය හේතුවක් හැරෙන්න කිසිම වස්තුවක් භාවිතා කරලා දරුවන්ගේ හැසිරීම සහ නිදහස් ක්‍රියාකාරම් වළක්වන්න බැහැ. අඩුම ගානේ තමන්ට හානි කරන්න උත්සාහ ගන්නවා නං හිසට හෙල්මට් එකක් දාන්න, ඇඟිලි සපා කන එක වළක්වන්න අත් වලට ග්ලවුස් දාන එක පවා තහනම්.ඒ හැසිරීම් නතර කරන්න වෙනත් ක්‍රමවේදයන් තියනවා.
Mechanical Restraint එකක් නොවන්නේ ,
★ සෞඛ්‍යයම හේතුවක් මත හෝ ශරීරයේ ක්‍රියාකාරීත්වයට සහයට යම් වස්තූන් හාවිතා කිරීම
උදා – occupational තෙරපිවරයා විසින් wheelchair එකක සිටින පුද්ගලයෙක්ට හෝ දරුවෙක්ට postural support එක උදෙසා harness එකක් භාවිතා කරන්න නියම කිරීම.
දරුවන්ගේ හැසිරීම කළමනාකරණය කරගන්න බෙල්ට්,පටි,දම්වැල්,Handcuffs යනාදිය භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනී. ඒ හරහා මානසික පීඩනය වර්ධනය විය හැකිය. ඒවා Abuse , දඬුවම් යටතට අයිති වේ.
◆ Physical Restraint – –පාලනය කරන්න කියලා බලහත්කාරකමින් ශරීරය අල්ලාගෙන තද කර තබා ගැනීම තහනම්.
මෙය NDIS Act එක යටතේ මෙහෙම ශරීරය අල්ලාගෙන පාලනය කිරීම පුද්ගලයින් සහ දරුවන්ව ආරක්ෂා කරගැනීමට ගන්න උත්සාහයක් විදියට දකින්නෙ නෑ.මේවා සලකන්නේ දරුවන්ව අමානුශික විදියට පාලනය කරන්න ගන්න උත්සාහයක් විදියට. කාර්‍ය මණ්ඩලය දරුවෙකුගේ ලේ ලබා ගැනීමේ අවස්ථාවකදී ඒ දරුවාගේ අත එහා මෙහා යෑම වළක්වන්න අතින් තද කර අල්ලාගෙන සිටීම, දරුවා තමන්ට පහර දෙන්න උත්සාහ කරනකොට ඒක වළක්වන්න අත් තදින් අල්ලාගෙන ඉන්න එක පවා තහනම්.ඒවාට දරුවාට මානසික පීඩාවක් නොදැනෙන ක්‍රම භාවිතා කරන්න ඕනේ.
physical restraint නොවන්නේ ,
⁃ දරුවා දත් මදින විට සහයට අතින් අල්ලාගෙන සහය දීම
⁃ අතින් අල්ලාගෙන ආරක්ෂාකාරීව පාරේ ගමන් ගැනීමට සහය දීම.
ඔස්ට්‍රේලියාවේ Physical Restraints කිසිම වෙලාවක අනුමත කරන්නේ නෑ. ඒ වගේම සමහර ක්‍රමවේදයන් සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නෙ.හේතුව ඒවා දරුවන්ට සහ පුද්ගලයින්ට ඉතාමත් අහිතකර නිසා.
උදා –
⁌ Prone restraint – දරුවෙක්ගේ / පුද්ගලයෙක්ගේ මුහුණ පහතට වෙන සේ තදින් අල්ලාගෙන සිටීම
⁌ Supine restraint – දරුවෙක්ගේ / පුද්ගලයෙක්ගේ මුහුණ උඩු අතට සිටින සේ අල්ලාගෙන සිටීම.
⁌ Pin downs – අත් සහ කකුල් පොළවට තද කර අල්ලාගෙන සිටීම.
⁌ Basket holds – අත් දෙක ශරීරය වටා යවා ශරීරයේ ක්‍රියාකාරම් වැළැක්වීම.
⁌ Takedowns – බලහත්කාරකමින් පොළොවට පහත් කිරීම.
මේ ආකාරයේ හෝ හුස්ම ගැනිමට අපහසු, ශාරීරික වේදනාව දැනෙන කිසිවක් කිරීම නීතියෙන් තහනම්
physically restrained වලට වැඩියෙන්ම මූණ දෙන්න සිද්ධ වෙන ප්‍රජාව කවුද?
⁌ severe intellectual disability තත්ත්වන් ඇති පුද්ගලයින්
⁌ යම් හැසිරීම් කළමනාකරණය කරගන්න අපහසු පුද්ගලයින්
⁌ වාචික සන්නිවේදනය කරගැනීමට නොහැකි සහ අසීරු පුද්ගලයින්/ දරුවන්
⁌ රෝහල් වැනි restrictive environment වල සිටින පුද්ගලයින්.
මේ වගේ ක්‍රමවේදයන් තහනම් කරලා තියෙන්නේ මේ දේවල් නිසා ශාරීරික අනතුරු වගේම ජීවිතය පවා නැති වෙන්න පුලුවන් නිසා . ඒ වගේම ඉතා තදබල මානසික බිඳ වැටීම් ඇති වෙන්න පුලුවන්.
මේ වගේ නීතී හා රෙගුලාසි නිර්මාණය වෙලා තියෙන්නේ විශේශ සහයක් අවශ්‍ය වන ප්‍රජාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය නොවෙන්න. දැන් අපි මෑතකදී කතා කරපු ඔටිසම් දරුවන්ව පුටුවලට තියලා බැඳලා තියන ,කූඩුවල දාලා තියන,අත් දෙක ගැට ගහලා තියන වත්තල ප්‍රදේශයේ තියන පාසල වගේ පාසල් හෝ මධ්‍යස්ථාන ඔස්ට්‍රේලියාවේ නෑ. තෙරපිවරුන්ට බැහැ පැරණි තෙරපි ක්‍රමවේදයන් ප්‍රැක්ටිස් කරන්න. පුද්ගලයින් සහ දරුවන් රැකබලාගන්නා අයට බැහැ කිසිම දරුවෙක්ගේ,පුද්ගලයෙක්ගේ ශරීරයට අතක් තියන්න ඒක සෞඛ්‍ය හේතුවක් මත හෝ අවශ්‍යම වෙලාවක හැරෙන්න. කිසියම් මධ්‍යස්ථානයක්,පාසලක්, පුද්ගලයෙක් මේ නීතියට පිටින් ගියොත් දැඩි දඬුවම් ලැබෙනවා .දැන් ලංකාවේ මධ්‍යස්තාන , නිවාස වල අපිට ඇහෙනවා ඔටිසම් දරුවන් Abuse වෙනවා. හන්දියක් හන්දියක් ගානේ එක එක මධ්‍යස්ථාන විවෘත වෙනවා.මේවා ඇතුළේ සිද්ධ වෙන්නේ මොනවද කියන එක දන්නේ නෑ.සමහර පෙර පාසල් වල ,විශේශ අවශ්‍යතා මධ්‍යස්තාන වල ඔටිසම් දරුවන්ගේ අතින් පයින් අල්ලන් බලහත්කාරකමින් ඇක්ටිවිටීස් කරවනවා. හැසිරීම කළමනාකරනය කරන්න ශාරීරික පීඩාවන් සිද්ධ වෙනවා. ලොක් චෙයාර්ස් වල දාලා දරුවන් හිර කරලා ඇක්ටිවිටීස් කරවනවා. Feeding chair එකේ ඉන්දවලා මුලු වෙලාවෙම දරුවව ඒකේ තියනවා.තලවතුගොඩ එක්තරා පෙර පාසලක ඔටිසම් බබෙක්ව Feeding chair එක පිටින්ම බිමට තල්ලු කරලා තිබ්බා. මම මේ අවුරුදු කීපය පුරාම මේ වගේ කතා අනන්ත අප්‍රමාණව අහනවා.ඒ නිසයි ආයේ ආයේ මම කියන්නේ දරුවෙක්ව යම් තැනකට යොමු කරනවා නං ඒ තැන ගැන ,පුද්ගලයින් ගැන ඉතා හොඳට හොයල බලන්න.ඔයාලා ඔටිසම් ගැන නිවැරිදි දැනුම ලබා ගත්තම ඔය පුද්ගලයින්ට බැහැ ඔයාලව රවට්ටන්න. පහු ගිය දවස් වල පෙර පාසලකින් වීඩීයෝ දානවා විශේෂ දරුවන්ගේ ස්නායු පද්ධතිය ” සාමාන්‍ය ස්නායු පද්ධතියක් ” කරා කියලා. ඒ ගුරුවරිය දරුවාගේ අත පය ස්පර්ශ කර කර ඇක්ටිවිටීස් කරවනවා.මේවා දැක්ක ගමන් තේරුම් ගන්න ඕනේ මේ තැන් දරුවන්ට සහය ලබා ගන්න සුදුසු තැන් නෙමේය, මේවා හුදෙක් ව්‍යාපාර ස්ථාන කියලා.
හැම තිස්සෙම හිතන්න ” මට වෙනවාට අකමැති කිසිම දෙයක් මගේ දරුවා අත්විදිනවාට මම කැමති නෑ ” කියලා.
ලංකාවේ ඔටිසම් දරුවන්ට සිද්ධ වෙන ශාරීරික සහ මානසික පීඩාවන් නතර වෙන්න නං නියමිත නීතී පද්ධතියක් නිර්මාණය වෙන්න ඕනේ.තියන නීතී අළුත් වෙන්න ඕනේ. ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒවා අනුගමනය කරනවද කියලා නිරීක්ෂණය කරන්න ඕනේ. මේ පේජ් එකේ ගුරුවරුන් බහුතරයක් ඉන්නවා.ඒ ගුරුවරුන් දරුවන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා.දෙමව්පියන් ඉන්නවා ඔටිසම් දරුවන්ට ලැබිය යුතු නිවැරිදි සහය ගැන දැනුවත්. විවිධාකාර ක්ශේත්‍ර වල සේවය කරන පුද්ගලයින් ඉන්නවා ඔටිසම් දරුවන් ගැන සහකම්පනයෙන් බලලා ඒ අයිතීන් වටහා ගත්ත. අන්න ඒ මිනිස්සු ටිකට මම පුදුමාකාර විදියට ආදරෙයි. ඉතිං අපිට පුලුවන් වපසරිය ඇතුළේ අපි උත්සාහ කරමු දිගින් දිගටම සියලුම දරුවන්ගේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න.
