එතකොට ASD කියන්නේ රෝගයක් කියලා හඳුන්වා නොදීම තුළම තියනව මේ තත්ත්වයට ඖෂධ නෑ කියන එක.එතකොට මේ Spectrum කියන්න වචනේ තේරුම තමයි විවිධාකාරයෙන් පැතිරුනු පාට කියන එක.එහෙමත් නැත්නම් දේදුන්නේ අපි දකින පාට.ප්‍රිස්මයක් හරහා ගමන් ගන්නා විවිධ පැහැයේ පාට කියන එක.ඒකෙන් කියන්නේ ඔටිසම් තත්ත්වය විවිධාකාර විදියට විවිධ හැඩයන්ගෙන් තමයි දරුවන් තුළ ඇති වන්නේ.ඒ නිසා තමයි අපි මේ සමාජයේ දකින්නේ තව කෙනෙක්ගේ සහය ඉතාමත් අත්‍යවශ්‍ය ඔටිසම් දරුවන් සහ එසේ සහය අවශ්‍ය නැති එහෙත් නිවැරිදි පහුණුවකින් ඉතා ස්වාධීනව ජීවිතය ගොඩ නගා ගත හැකි දරුවන්ව.

එතකොට ඇයි මම ඉතා පැහැදිලිව කියන්නේ ලංකාවේ මේ වෙන විටත් ඔටිසම් තත්ත්වය සම්බන්ධයෙන් භාවිතා කරන තෙරපි ක්‍රම සම්පූර්ණයෙන් වැරදී සහ අමානුෂිකයි කියලා.ඇයි මම කියන්නේ ලංකාවේ රජයේ ඔටිසම් සම්බන්ධව ඇති මධ්‍යස්ථාන ,රෝහල් ඒකක, මහාචාර්යවරුන්, වෛද්‍යවරුන් ,තෙරපිවරුන් මේ කරමින් සිටින්නේ ඔටිසම් දරුවාව විනාශ කර මානසික බිද දැමීමකට ළක් කිරීමක් කියලා.මේ මම කරන චෝදනාව දරුණුයි.කොහොමද මම එහෙම චෝදනාවක් කරන්නේ ? මට පිස්සුද? ඇයි මම මේ ඉතා ප්‍රසිද්ධ මහාචාර්යවරුන්, වෛද්‍යවරුන් හා තෙරපිවරුන්ව දැඩි ලෙස විවේචනය කරන්නේ?

මුලින්ම අපි කතා කරන්න ඕනේ අපේ රට ගැන. තුන්වෙනි පන්තියේ රටක් ලංකාව කියන්නේ.ඊටත් වඩා රටේ විශිෂ්ඨ ඉතිහාසය රෙදි අන්දලා වහන රටක් මේක. මුලු අධ්‍යාපන සිස්ටම් එකම හදලා තියෙන්නෙ ස්වයං අධ්‍යයනය කියන සංකල්පය මඟ හැරලා.තාක්ශණය ඉතා බියකරු යකෙක් විදියට පෙන්වා දී තිබෙන රටක්. තනතුරු ,නිල නාම ,පට්ටම් වලින් සිවිල් වැසියන්ව පාගා තලන රටක්.ආගම් වලට එකිනෙකා මරාගන්නා රටක්. සංස්කෘතිය කියන්නේ වෙනස් වෙන කාරණාවක් කියලා පිළිගන්න අකමැති රටක්. දැනුම කියන්නේ සහතිකය කියල විස්වාස කරන රටක්.සාමය තියෙන්නෙ පන්සල, පල්ලිය,කෝවිල ඇතුලේ කියලා විස්වාස කරන රටක්.බඩගින්නට කොස් ගෙඩියක් කඩාගන්න මිනිහට නිල් වෙන්න ගහලා හිරේ දාන රටක්. තමන්ගේ කුසින් වදාපු දරුවව අපහරණය කරලා අත් හරින මිනිස්සු ඉන්න රටක්. ප්‍රධාන මාධ්‍ය නාලිකා වලින් මිත්‍යාව ප්‍රසිද්ධියේ බෙදා හරින රටක්. මිනිසුන්ගේ අසරණකම මත ව්‍යාපාර ගොඩ නැගෙන රටක්.දැනුම සම්පූර්ණ අසත්‍ය හිතළු වලින් පුරවලා වහන රටක්.ඉතිං මේ රටේ ඔටිසම් දරුවන්ට උරුම වෙලා තියන දෛවය ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ.

පළමු ඔටිසම් යැයි හඳුනාගත් පුද්ගලයා මේ වන විට මිය ගොස්ය. Donald triplett තමයි ලෝකයේ ප්‍රථමයෙන් ඔටිසම් කියන තත්ත්වය නාමිකව තහවුරු කිරීමට ළක් වුනු පළවෙනි පුද්ගලයා.ඒ 1943 වසරේ.ඊට පෙර කාලේ ඉදන්ම මේ ඔටිසම් තත්ත්වය තිබ්බා.එත් නියමිත වෛද්‍ය හඳුනා ගැනීම හෝ ඒ තහවුරු කිරීම කරේ 1943 දී. එතකොට නිකන් හිතන්න මේ 2023 වසර. 1943 වසරෙ ඉදන් ගත්තොත් හරියටම දැන් වසර කීයක් ගත වෙලාද? වසර 80ක් . දැන් නිකන් හිතන්න මේ කාලයේ ලෝකය විද්‍යාව හා තාක්ශනය අතින් කොයිතරම් දියුණු වෙලාද?ලංකාවේ මේ වෙන තෙක් ඔටිසම් මොළය හා සම්බන්ධව එක පරීක්ශණයක්වත් සිද්ධ වෙලා තියනවද? 1943 කියන්නේ ලංකාවේ ඔටිසම් තියා ඒ නමවත් රටක් විදියට නොදන්නා කාලයක්.එතකොට ලංකාවේ මේ ඔටිසම් ගැන කතා කරන,මේ පාවිච්චි කරන තෙරපි ක්‍රම මේ දැනුම කොහෙන්ද අරගත්තේ? පුස්කොළ පොත් වලින්ද? මෙහේ විශ්ව විද්‍යාල වල පරීක්ශණ කරලද? ගෙවල් ගානේ ඇවිල්ලා සංගනනය කරන දේට එහායින් ලංකාවේ කිසිම දෙයක් ගැන කිසි දෙයක් වෙන්නේ නෑ.ඉද හිට කොහෙන් හරි මතු වෙන ධම්මික පැණිය වගේ දේවල් තමා.එතකොට බටහිර රටවල් වසර ගණනාවකට පෙර සිටම ඔටිසම් දරුවන්ගේ මොළය ක්‍රියාත්මක වෙන විදිය,හැසිරීම,සමාජ සම්බන්ධතා ,එතකොට ජාන සමඟ ඔටිසම් අතර ඇති සම්බන්ධය,කොහොමද මේ ජාන වෙනස් වෙන්නේ සිට සියලුම කාරණා ගැන පරීක්ශණ පවත්වනවා.මේ සොයාගන්නා සෑම නව කරුණක් මත ඔටිසම් තත්ත්වය වටහා ගැනීම වෙනස් වෙනවා. එතකොට මානසික රෝගීන් කියලා රෝහල් වල කාමර අස්සට දාලා,ඇදවල් වලට බැඳලා,ඔලුවට කරන්‍ට් එක අල්ලලා ඉතා අමානුෂික විදියට තමයි අතීතේ බටහිර රටවල් වල මේ ඔටිසම් තත්ත්වය සුව කරන්න උත්සාහා ගත්තේ.මේ භාවිතා කරපු ක්‍රම ටික ටික වෙනස් වෙන්න ගත්තේ ලෝකයෙ වෛද්‍ය විද්‍යාව හා තාක්ශණික දියුණු වීමත් එක්ක.එතකොට ලංකාවේ විශේශ අධ්‍යාපනය සම්බන්ධයෙන් කරන උපාධි හෝ ඩිප්ලෝමා වල අන්තර්ගත කරුණු අඟහරු ලෝකෙන් ආව ඒවා නෙමේ.මේ බටහිර රටවල් වල සිදුවුනු පරීක්ශණ හා නිරීක්ශන මත සොයා ගත් දැනුම.එහෙනං ඇයි මේ දැනුම හෝ තෙරපි ක්‍රම සම්පූර්ණයෙන් විකෘති කරලා තියෙන්නෙ ලංකාවේ?

බලන්න මම මේ පෝස්ට් එකත් එක්ක දාලා තියන වීඩියෝ එක.

මේකේ තියෙන්නෙ ඇත්තටම ඒ කාලේ බටහිර රටවල් වල විශේශ දරුවන් සම්බන්ධයෙන් කළ සායනික ප්‍රතිකාර සහ පර්යේශන වල වීඩියෝ සාක්ශි.ඒවා ඒ තරම් මානුෂික නැහැ විසි වෙන ශත වර්ශයේ මුල් කාලයේ ඔටිසම් තත්ත්වයට බටහිර රටවල් පාවිච්චි කරපු තෙරපි ක්‍රම ඉතා අමානුශිකයි. හේතුව ඔටිසම් සම්බන්ධයෙන් තිබූ අවම දැනුම. එයාලා පාවිච්චි කරා ඉලෙක්ට්‍රික් ශොක් ලබා දීමේ තෙරපි.ඒක හඳුන්වන්නේ ECT කියලා.1940දී පාවිච්චි කරා ග්ලූටන් රහිත ආහාර වට්ටෝරු ලබා දීම.මේක අදටත් පාවිච්චි කරනවා.ඒත් පරීක්ශණ වලින් අදටත් ඔප්පු වෙලා නැහැ මේකෙන් ඔටිසම් තත්ත්වය තුළ වෙනසක් සිද්ධ වෙනවාද කියලා.ඊට පස්සේ 1940දී ඔන්න ඔස්ට්‍රේලියාවේ Leo kanner කියන මනෝ චිකිත්සකවරයෙක් ගෙනාවා තියරි එකක්.ඒක හැඳුන්වූයේ Refrigerator mother theory කියලා .මේකෙන් ඔහු පෙන්වා දුන්නේ ඔටිසම් තත්ත්වය ඇති වෙන්නේ මවගේ උණුසුම සහ තාත්තාගේ ආදරය දරුවන්ට අහිමි වෙන නිසා කියලා. සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේශණ කාරණා මත පදනම් වෙලා තමයි මේ මනෝ චිකිත්සකවරයා මේ තියරි එක නිර්මාණය කරේ.එතකොට මේකෙන් සරළවම ඔහු පෙන්වා දුන්නේ ඔටිසම් දරුවන් තුළ තිබෙන හැඟීම් තෝරා බේරා ගැනීමේ නොහැකියාව සහ සමාජ සම්බන්ධතා පැවත්වීමේ අසීරුතාවය ඇති වෙලා තියෙන්නෙ දෙමාපියන් දරුවාව නොසළකා හැරීම නිසා කියන එක.ඊට පස්සෙ මේ තියරි එක ප්‍රතික්ෂේප වෙන්න ඇමරිකාවේ වෛද්‍යවරයෙක් ගෙනාවා ඔක්කෝගෙම අවධානය අරගන්න සමත් වුනු තියරි එකක්.ඒක තමයි ඔහු කිව්වා ඔටිසම් කියන්නේ Biological තත්ත්වයක් කියලා. එයා ඉදිරිපත් කරා කොහොමද ඔටිසම් තත්ත්වය හඳුනාගන්නේ කියන පොදු සාධක ටිකක්.එතනින් ඔටිසම් සම්බන්ධව කෙරෙමින් තිබූ සියලුම පරීක්ශණ මොළය හා ස්නායු කියන විශය දෙසට යොමු උනා.මෙන්න මේ වෛද්‍යවරයගේ නම තමයි Dr Bernard Rimland. එතකොට එයා මුල් වරට යෝජනාවක් ගෙනාවා ඔටිසම් තත්ත්වයට ප්‍රතිකාර කළ යුතු තෙරපි ක්‍රමයක් ගැන.ඒක තමයි ABA තෙරපි කියලා කියන්නෙ.මේ අදහස වැඩි දියුණු කරලා ගත්තේ Ivar Lovaas කියන මනෝවිද්‍යාඥයා විසින්.දැන් අපි එන්නේ වැදගත්ම තැනකට.මේ දේවල් සිද්ධ උනේ 1960 න් පස්සේ.එතකොට මේ ABA තෙරපි කියන්නේ අද බටහිර රටවල් ඔටිසම් දරුවන්ට සහය දීමට පාවිච්චි කරන ABA තෙරපි ක්‍රමය නෙමේ.ඊට හාත්පසින්ම වෙනස් ක්‍රම තමයි මේ ආරම්භක ABA තෙරපි ක්‍රමය ඇතුලේ තිබ්බේ.

ඒකේ තිබ්බේ Reward and Punishment කියන ක්‍රමය.ඒ කියන්නේ ඔටිසම් දරුවා ඔටිසම් නොවන සාමාන්‍ය ( ඒ කාලේ භාවිතා කළ අර්ථය) දරුවෙකු කරන්න යොදාගත්තේ දඩුවම සහ සංග්‍රහය කියන ක්‍රමය.මේක නිකන් බල්ලො පුහුණු කරන ක්‍රමය වගේ එකක්.

ඔටිසම් දරුවා කටින් වචනයක් පිට කරාම දෙනවා චොක්ලට් කෑල්ලක්. ඔටිසම් දරුවා සාමාන්‍ය දරුවෙක් නොකරන හැසිරීමක් පෙන්නුම් කරාම එයා ආසම කරන සෙල්ලම් බඩුව ගන්නවා දඩුවමක් විදියට.නැත්තන් මේක වෙනත් අමානුෂික දඩුවමක් වෙන්න පුළුවන්.බලහත්කාරයෙන් දරුවා ඔටිසම් නොවන දරුවෙක් කරවීමට පුහුනු කිරීම තමයි මෙයින් සිදු කලේ.මේ වන විට මේ තත්ත්වය වෙනස් වෙලා දරුවාගේ වෙනසට ගරු කරමින් ඔටිසම් දරුවාට අවශ්‍ය සහය ලබා දෙනවා.

ඒත් පැරණි ABA තෙරපි ක්‍රම තවමත් තැනින් තැන නොයෙක් පුද්ගලයින් හා මධ්‍යස්ථාන භාවිතා කරනව. ඒකෙන් අංක එක තමයි ලංකාව. ලංකාවේ බුද්ධිමතුන් කියාගන්නා පිරිස විසින් ලංකාවේ ඔටිසම් දරුවන්ව බලහත්කාරයෙන් තෙරපි ක්‍රම වලට යොමු කරනවා.ඖෂධ ලබා දෙනවා. Stimming නතර කරන්න දරුවාට බල කරනවා. Verbal stimming ( මුවින් නොයෙක් ශබ්ධ පිට කිරීම) නතර කරනකල් ඔටිසම් දරුවන්ගේ කටට නොනවත්වා අතින් ගැසූ ස්පීච් තෙරපිවරුන් පිළිබඳව මා දනී.ඔටිසම් දරුවන්ට දෙකක් ගහලා හදන්න ඕනේ යැයි කියනා වෛද්‍යවරුන් මා දනී. ලංකාවේ ඔටිසම් දරුවන්ට ඔවුන්ට හිමි ලෝකය කරා යෑමට නොදී ඒ දරුවාගේ ළමා කාලයේ සිට ඒ දරුවාගේ අනන්‍යතාවයද ඒ දරුවාගේ මනසේ සාමය දක්වා විනාශ කර දමන්නේ ලංකාවේ ඔටිසම් සම්බන්ධයෙන් අනුගමනය කරනා වැරදි ක්‍රියා කලාපයයි.

ඔටිසම් යනු බෝවෙන රෝගයක් හෝ මානසික උමතුවක් නොවේ යැයි හඩ නඟා කියන්නට බටහිර රටවල් තුළ ඔටිසම් පුද්ගලයින් එකතු විය. ඔවුන් විසින් තමන්ට හිමිවිය යුතු අයිතිවාසිකම් තහවුරු කරගැනීමට සටන් වැදුනි.ලංකාව ඇත්තේ තාමත් අමුඩය ගසාගත් අතීතයේ ගල් ගුහාවක සිරවීය. ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක ඔටිසම් සම්බන්ධව සැලකිය යුතු පර්‍යේශණයක් සිදු වන්නේ නැත.එහෙව් රටක ඔටිසම් සුව කරනවා යැයි නොයෙක් පිස්සන් තෙල් බෙහෙත් ව්‍යාපාර ගොඩනගා ගන්නේ ඉතා පහසුවෙනි.ඔවුන්ට විරුද්ධ වී ඔටිසම් දරුවාව ආරක්ශා කරගැනීමට රජයට,නීතියට,ළමා ආරක්ශණයට හෝ ඔටිසම් සම්බන්ධ රජයේ මධ්‍යස්ථාන වල පුටු රත් කරන පුද්ගලයින්ගේ පවා කශේරුකාවක් නැත.

දැන් ලංකාවේ තාම පාවිච්චි කරන්නේ බටහිර රටවල් වලින් සුදුසු නැහැ කියලා ප්‍රතික්ෂේප කරලා අයින් කරපු තෙරපි ක්‍රම. ඔරලෝසුවේ වෙලාව බලාගෙන හරියට විනාඩි 20 ක් ඔටිසම් දරුවාට පුටුවේ ඉදන් ඇක්ටිවිටීස් කරන්න ඕනේ කියන නූගත් ක්‍රම දැන් ලෝකේ කොහෙවත් පාවිච්චි කරන්නේ නැහැ.ඔටිසම් දරුවාගෙන් සෙල්ලම් බඩු අයින් කරලා දාන්න කියන අමානුෂික අදහස් කොහේවත් කියලා නෑ.ඔටිසම් දරුවා ඔටිසම් නොවන දරුවාට සාපේක්ෂව සෑම කඩ ඉමක්ම පසු කරන්න ඕනේ කියලා කිසිම රටක,කිසිම තෙරපි ක්‍රමයක් තුළ හෝ කිසිම රටක ඔටිසම් සම්බන්ධයෙන් පිළිපදින ක්‍රම වේද තුළ නැහැ. මොකක්ද මේ ලංකාවේ කරන්නේ කියන එක වටහා ගන්න.ලංකාවේ සම්පූර්ණයෙන්ම මේ කරන්නේ ඔටිසම් දරුවාගේ වෙනස පිළි නොගෙන ඒ දරුවාට සහය දෙනවා වෙනුවට ඔටිසම් දරුවා ඔටිසම් නොවන දරුවෙක් ලෙසට වෙනස් කිරීම. මේක ඇයි භයානක වෙන්නේ? මේකෙන් වෙන්නේ ඔටිසම් දරුවා බිඳුනු දරුවෙක් ,බිදී ගිය මනසක් සහිත දරුවෙකු ලෙස ගොඩ නැගෙන එක.

එතකොට ඔටිසම් තත්ත්වය පිළිබඳව ලෝකයේ තියෙනේ වෙනම හැදින්වීමක්.ඔටිසම් දරුවන් අසාමාන්‍ය දරුවන් කියලා දැනුමින් දියුණු කිසිම රටක සළකන්නේ නැහැ.අඩුම තරමේ විශේශ අවශ්‍යතා සහිත කියන වචනයවත් පාවිච්චි කරන්නේ නැහැ. ලෝකයේ ඉතිහාසය පුරාවට සිය දහස් ගණනින් සිදු වුනු ඔටිසම් සම්බන්ධ සායනික පර්යේෂණ ,සමාජීය නිරීක්ශණයන්,විශ්ව විද්‍යාල සමීක්ශණ යනාදියෙන් පසුව ඔටිසම් දරුවාට නුසුදුසුයි කියලා විසික් කරපු කුණු ටික තමා මේ ලංකාවේ වෛද්‍යවරුන් , තෙරපිවරුන්, මහාචාර්ය වරුන් විසින් තාම කර තියන් යන්නේ.මම ඉතා පැහැදිලිව කියනවා ලංකාවේ ඔටිසම් දරුවන්ව විනාස කරන්නේ සහ ඒ දෙමාපියන්ව වැරදි මාර්ගයේ යවන්නේ මේ වග කිව යුතු පුද්ගලයින් සහ ඔටිසම් ඒකක භාරව සිටින අය. අනික් පැත්තෙන් රජය හදන්න ඕනේ හරි නියාමනයක් ඔටිසම් දරුවන්ට හා SEN ( විශේශ) දරුවන් වෙනුවෙන් පවත්වාගෙන යන රජයේ හා පෞද්ගලික මධ්‍යස්ථාන වල ගුණාත්මක බව පරික්ශා කරන්න. ඒවගේම මේ සෑම මධ්‍යස්ථානයක්ම ඔටිසම් දරුවන්ට තෙරපි හා පුහුණුව ලබාදීමට එක මෙතඩ් එකක් පාවිච්චි කරන්න ඕනේ.ඒ වගේම ඇකඩමික් සුදුසුකම් වල සත්‍යතාවය පරික්ශා කරන්න ඕනේ.මම මෙහෙම කියන්නම හේතුව Johns Hopkins University එකෙන් විශේශ දරුවන් සම්බන්ධව උපාධි ගත්තා කියලා පට්ට පල් බේගල් ඇද බාන ගෑනු පිරිමි ඉන්නවා.මේ සුදුසුකම් එයාලම හදාගත්ත ඒවා.ඉතිං දෙමාපියන් හිතනවා ඔටිසම් දරුවන් ගැන සෑහෙන්න දැනුමක් ඇති කියලා මේ මිනිස්සුන්ට.විනාඩියක් කතා කරන වීඩියෝ දැක්කම මට ලැජ්ජා හිතෙනවා මොනවද මේ කියවන බොරු කියලා.ඕක තමා ඇත්‍ත ලංකාවේ.

දැන් මේ ගන්න මොකක් හරි ඩිප්ලෝමා එක හරි උපාධිය හරි සහතිකයෙන් නතර නොවී මේ ඇකඩමික් පුද්ගලයින් අලුත් දැනුම සම්බන්ධයෙන් අප්ඩේට් විය යුතුමයි.බොරුවට සහතික හෝ තනතුරු නාම එල්ලගෙන හිටියට වැඩක් නෑ අප්ඩේට් නැත්නම්.එතකොට ආයුර්වේද හොර වෙද්දුන්ට හෝ කටු ගහන උන්ට,හරක් වෙද්දුන්ට ,හෙළ වෙද්දුන්ට,විශ්ව ශක්තියෙන් ලෙඩ හොද කරන හොරුන්ට ඔටිසම් දරුවන්ට ප්‍රතිකාර කිරීම සහමුලින්ම නීතියෙන් තහනම් කරන්න ඕනේ.ඒ වගේම තමයි මාධ්‍ය නාලිකා වලට ගිහින් ඔටිසම් සම්බන්ධයෙන් දැනුවත් කරන වෛද්‍යවරුන් හා ඔටිසම් දරුවන් ඉන්න දෙමාපියන්ව මම දකිනවා.එයාලා තාම කතා කරන්නේ ඔටිසම් හඳුනාගන්නේ කෙසේද කියලා.මෙතිනින් එහාට කතා කරන්නේ නෑ.නිකන් පුස් කාපු කේක් ගෙඩියක් හැමදාම අලුතින් අයිසින් දානවා වගේ එකම කතාව.ඇයි කෙලින් කතා කරන්න බැරි ලංකාවේ ඔටිසම් දරුවන්ට කරන තෙරපි වල ගුණාත්මකබව ගැන? ඇයි කතා කරන්න බැරි ඔටිසම් දරුවන්ව විකුණගෙන කන මධ්‍යස්ථාන ගැන? ඇයි කතා කරන්න බැරි ඔටිසම් දරුවාට පාසල් තුළ සිදුවෙන වෙනස්කම් ගැන? ඇයි කතා කරන්න බැරි නාකි වෙද්දු ඔටිසම් දරුවන්ව අපහරණය කරන සිදුවීම් ගැන? ඇයි තමන්ගේ තනතුරු හෝ බලය,ප්‍රසිද්ධ කම හරි මොකක් හරි ඉලව්වක් හරි පාවිච්චි කරන්නේ නැත්තේ ලංකාවේ ඔටිසම් දරුවන්ට කරන මේ කප්පාදුව ගැන?

නිකමට ගිහින් බලන්න ආයතී එකේ Website එකට.ඇත්තටම ලැජ්ජයි බලන්න. ආධාර කරන්න කියලා නං ලොකුවට ලියලා තියනවා.අඩුම ගානේ ඔටිසම් ගැන වෙනම දෙමාපියන්ව දැනුවත් කරන්න ලිපිය ගානේ මාස දෙක තුනකට සැරයක් අප්ඩේට් කරන්න බැරිද ඒකේ? මොනවද ඔටිසම් දරුවගේ සංවේදන ගැටළු කියන්නේ,ඇයි ඔටිසම් දරුවට නිදහස හා ආදරය අවශ්‍ය වෙන්නේ? ඇයි ඔටිසම් දරුවා Stimming කරන්නේ? මොකක්ද මේ Repetitive Behavior එක කියන්නේ වගේ දේවල් ඇයි වෙබ්සයිට් එකේ ඇතුලත් කරන්න බැරි? ඒ වෙබ් සයිට් අස්සේ මකුළු දැල් බැඳිලා.එච්චරට උවමනාවක් නෑ. උනන්දුවක් නෑ. වැඩ පිළිවෙලක් නෑ.

ඔටිසම් තත්ත්වය ඇති වීමට හේතුව 85% ක් ජෙනටික් කියලා විද්‍යාත්මකව පැහැදිලි කරලා තියනකොට ලංකාව කියන ගුහාව ඇතුලේ තාම කියන්නේ Tv එකෙන් ෆෝන් එකෙන්, කැරකෙන සෙල්ලම් බඩු දිහා බලන් හිටියම දරුවන් ඔටිසම් වෙනවා කියලා. අම්මලා තමන්ගේ දරුවන්ට ඔටිසම් හදවලා කියනවා.ආයේ තව පිස්සෙක් කියනවා දෙමාපියන් නිවරිදි ඉරියව්වෙන් S-X කරලා නැති නිසා ඔටිසම් දරුවන් බිහි වෙනවා කියලා.ටික දවසක් ගියාම කියයි හුළඟින් ඔටිසම් බෝ වෙන්න පුළුවන් කියලා.

ලෝකයේ ඔටිසම් දරුවන්ට දක්වන සැලකිල්ල, ගෞරවය,ආරක්ශාව,අයිතිවාසිකම් ලබා දීම,සහය ලබා දෙන තෙරපි ක්‍රම යනාදී සෑම දෙයක්ම ලංකාවේ කරගෙන යන ක්‍රමවේද වලට වඩා වෙනස්.

ඉතිහාසයේ දහස් ගණනින් වුන සායනික පරීක්ශණ වලට නිකන් විද්‍යාගාර වල මීයන්ට අත් වුන ඉරණම තමයි ඔටිසම් දරුවන්ට අත් උනේ. කරන්ට් එක ඇල්ලීමේ සිට බලහත්කාරයෙන් හැසිරීම වෙනස් කිරීමේ අමානුෂික ක්‍රියාවලට ළක් වීමේ සිට මානසික රෝගීන් ලෙස රෝහල් වල කාමර අස්සේ ජීවත් වෙන්න ඒ දරුවන්ට සිද්ධ උනා.සමාජයට භයානක පුද්ගලයින් කියලා කොන් වෙන්න සිද්ධ උනා.දෙමාපියන් තමන්ගේ දරුවා ලෙඩ දරුවෙක් කියලා අනාථ නිවාස වල ගේට්ටු ඉදිරිපිට ඔටිසම් දරුවන් අතහැරලා දාලා ගියා.ඒ වගේ ඉතිහාසයක් පහු කරගෙන දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඔටිසම් දරුවන් යනු අසාමාන්‍ය නොව වෙනස් කෝණයකින් ලෝකය දකිනා බුද්ධිමතුන් යැයි පිලිගන්නා කාලයකයට .

එහෙනං තවදුරටත් ලංකාවේ කෙරෙන්නේ අර අමානුශික ඉතිහාසය නැවත ජීවමාන කිරීම නෙමේද? මේ නූගත් අරාජික රටේ අපේ ඔටිසම් දරුවන් තවදුරටත් ගොදුරු බවට පත් විය යුතුද? ඔබ ඔබගේ ඔටිසම් දරුවාගේ ළමා කාලය , හීන හා අනාගතය මේ බිදී ඉරිතැලී ගිය සිස්ටම් එක තුළ මියදෙන්නට ඉඩ දෙනවාද? එසේ නැතහොත් බුද්ධිමත්ව නූතන ලෝකයේ දැනුම හරහා දරුවාට ලැබිය යුතු සහය, හිමි විය යුතු ළමා කාලය සහ අනාගතය ලබා දෙනවාද?

මුල් සබැඳිය : ඔටිසම් සුව කළ හැකිද?