ඇමරිකාවේ 1957 දී Missouri, Warrenton වල වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානක් ගිනිබත් උනා. ඒ Care Home එකේ නම Katie Jane Memorial. ඒ ගින්න ඇති වෙන අවස්ථාවේදී වැඩිහිටියන් , සහය අවශ්‍ය පුද්ගලයින් අසූවකට ආසන්න ප්‍රමාණයක් හිටියා. ඉතා ඉක්මනට ගින්න පැතිරිලා ගියා. විනාඩි කීපයක් ඇතුළත පුද්ගලයින් 72 ක් ගින්නෙන් පිළිස්සිලා මිය ගියා.මේක ඇමරිකාවේ nursing home එකක සිද්ධ වුන ඉතා භයානකම සහ ඉතිහාසගත වූ අනතුරක්.

මේ ගින්න ඇති වීම ගැන පරීක්ෂණ පැවැත්වුවා. ඒකෙන් හෙළි වුනේ ඒ ගොඩනැගිල්ලේ ස්වයංක්‍රීය ගිනි අනතුරු ඇඟවීමේ පද්ධතියක් තිබුණේ නැහැ කියන එක.ඒ වගේම sprinkler system (ස්වයංක්‍රීය ජල විදින ආරක්ෂක පද්ධතිය) නොතිබූ බව. ප්‍රමාණවත් විදියට ඇතුළේ සිටි පුද්ගලයින්‍ට ඒ නිවසින් පිටවෙලා යන්න පිටවීමේ මාර්ග තිබ්බේ නැති බව. ඒ වගේම ගින්න ඇති වෙලා තිබ්බ රාත්‍රී කාලයේ ඒ නිවාසේ හිටපු සේවකයින් ප්‍රමාණය ඉතාමත් අවම බව.

ඒ වගේම එතන හිටපු බහුතරයක් වැඩිහිටියන්ට තනියම ඇවිදගෙන යන්න පුළුවන් කමක් තිබිලා නැහැ. තවත් කොටසක් ඔවුන්ගේ ආරක්ෂාවට කියලා කාමර වල ඇඳවල් වලට බැඳලා තිබිලා. තවත් අයව කාමර වල හිර කරලා තිබිලා. මේ හැමෝම තමන්ගේ පණ බේරගන්න අපොහොසත් වෙලා ඉතාමත් වේදනාකාරී විදියට ගින්නෙන් පිළිස්සිලා මිය ගිහින් තිබ්බා.

මේ සිදුවීම උනාම මිනිස්සු එකිනෙකාව ප්‍රශ්න කරගත්තේ නැහැ. මිනිස්සු ප්‍රශ්න කරේ සිස්ටම් එකේ තිබුණු අඩු පාඩු. බහුතරයක් අහපු ප්‍රශ්නය තමයි අපිට මේ වගේ අනතුරු වළක්වාගන්න මින් එහාට කරන්න පුළුවන් මොකක්ද කියන එක සහ ආරක්ෂාව වෙනුවෙන් පුද්ගලයින් බැදලා තියන එකට වඩා අනුගමනය කරන්න ඕනේ වෙනත් ක්‍රම මොනවද කියලා.

ඉන් පසුව Missouri ප්‍රාන්තය එයාලගේ රැකවරණ නිවාස වල නීති දැඩි කළා. ලියාපදිංචි බලපත්‍ර ක්‍රම (licensing) අනිවාර්ය කරා. ඒ වගේම ගින්නකින් හෝ එවැනි අනතුරු වීම හැකිතාක් අවම කරන්න ආරක්ශණ පද්ධතීන් හැදුවා. හදිස්සි ඉවත් වීමේ සැලසුම් හදුන්වා දුන්නා.

ඒකත් එක්කම රට පුරාම තියන nursing homes සඳහා ආරක්ෂක ප්‍රමිතීන් හා සම්බන්ධ ජාතික සංවාදයක් ආරම්භ වුණා. මේ සිදුවීම ඇමරිකාවේ මාධ්‍ය වාර්තා කලේ “The nation’s worst nursing home fire” කියලා. රජය තීරණය කලා සාමාන්‍ය නිවාස වලට වඩා දැඩි නීතී පද්ධතියක් මේ රැකවරණ නිවාස වලට අත්‍යවශ්‍ය වෙනවා කියන එක. ඒ වගේම ඔවුන් ඒ සඳහා අලුතින් නීතී සම්පාදනය කළා.

මුල් සබැඳිය : ඇමරිකාවේ 1957 දී වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානක් ගිනිබත් වීම.