මේ ලිපි පෙලෙහි අරමුණ ඔටිසම් තත්වය සහිත ඒ වගේම verbal apraxia කියන speech sound disorder තියෙන දරුවෙකු හට දෙමව්පියන් ලෙස අප සහය වන්නේ කෙසේදැයි විමර්ශනාත්මකව අවබෝධ කරගැනීමට අත්වැලක් සැපයීමයි.
Speech sound disorders (SSD) කියන්නෙ කථනය සිදු කිරීම සඳහා අවශ්‍ය ශබ්ධ උත්පාදනය කිරීම සඳහා තීරණය කිරීමේදී, සැලසුම් කිරීමේදී කටින් පිටකිරීමේදී සහ/හෝ උච්චාරණයේදී සිදුවන අපහසුතා. SSD සහිත දරුවෙකු ඉහත අපහසුතා වලින් එකක් හෝ කීපයක එකතුවක් අත්දකින්න පුළුවන්. ඇමෙරිකාවෙ ASHA (American Speech-Language-Hearing Association) මඟින්, SSD කියන එක ඉන්ග්‍රීසියෙන් නිර්වචනය කරල තියෙන්නෙ මෙහෙම.
“Speech sound disorders is an umbrella term referring to any difficulty or combination of difficulties with perception, motor production, or phonological representation of speech sounds and speech segments—including phonotactic rules governing permissible speech sound sequences in a language”
ඕටිසම් නොවන, නමුත් speech sound disorder/s (SSD) තියෙන දරුවන් සිටිනව. සමහර ඔටිසම් සහිත දරුවන්ට speech sound disorders තියෙන්න පුළුවන්. හැමෝටම නෙවෙයි සමහරක් දරුවන්ට. මෙවැනි දරුවන්ට ඔටිසම් තත්වය නිසා වාචික සන්නිවේදනය අපහසු වෙනව වගේම speech sound disorder/s (එකක් හෝ කීපයක්) හේතුවෙන් වාචික සන්නිවේදනය අපහසු වෙනව. අපහසු වෙනවා පමණක් නොව ඔවුන් ජීවිත කාලය නිහඬව ගතකරන්නත් පුළුවන්. මේක වැදගත් කරුණක්. හේතුව මෙවන් දරුවෙකුගේ වාචික සන්නිවේදනය සන්වර්ධනය කිරීම සඳහා ගන්නා ක්‍රියා මාර්ග තුළ අපි දරුවාගෙ ඔටිසම් තත්වය වගේම SSD තත්වයත් සැලකිල්ලට ගත යුතු නිසා.
රූප සටහනෙන් පෙන්වල තියෙන්නෙ මෙවැනි disorders කාණ්ඩ කීපයක්.
උපුටා ගැනීම : https://www.asha.org/practice-portal/clinical-topics/articulation-and-phonology/?srsltid=AfmBOopv4FS1EMFUV6AXD1gd5zL56xEeJO9ohOdPy_XHNBGTuP27ZsVt
මේ රූප සටහනේ තියෙන වචන වලට සින්හලෙන් කියන වචන මොනවද කියල මම දන්නෙ නෑ. මේ ක්ශේත්‍රය සම්භන්ධයෙන් සින්හලෙන් ලියවුනු අධ්‍යයන මෙවලම් නොමැති නිසා අපිට මේ ගැන අධ්‍යයනය කරන්න වෙන්නෙ ඉන්ග්‍රීසි මාධ්‍යයෙන් රචිත විද්‍යාත්මක මූලාශ්‍ර ඇසුරෙන්. එබැවින් ඉන්ග්‍රීසි යෙදුම් යොදා ගනිමින්ම මම මේ ලිපි පෙළ ලියන්න අදහස් කලා. මොකද අපිට වැදගත් වෙන්නෙ මේ කරුණු ඉගෙන ගෙන දෙමව්පියන් ලෙස දරුවට සහය දෙන්නෙ කොහොමද කියල තේරුම් ගැනීමයි. මුලින්ම, SSDs අතුරින් Functional sound disorders යටතට අයිති වෙන articulation සහ phonological වගේම motor disorders යටතට අයිති වෙන dysarthia සහ apraxia ගැන අපි කෙටියෙන් කතා කරමු.
Articulation disorders හැටියට හඳුන්වන්නේ ශබ්ධයක් හෝ ශබ්ධ කාණ්ඩයක් වෙනස් විදිහට හෝ යම්කිසි ශබ්ධයක් වෙනුවට වෙන ශබ්ධයක් යෙදීම වගේ කාරණා (උච්චාරණයේ වෙනස් වීම් සහ ආදේශක වීම් වැනි). අපි හිතමු, “රතු” කියන වචනෙට ළමයෙක් කියනව “රුතු” කියල. නිදාගන්නව කියන වචනෙට “නදාගන්නව” කියනව. ආච්චී කියන වචනෙට “අච්චා” කියනව. එහෙම නැත්නම් ඕනෑම වචනෙක තියෙන “ර” ශබ්ධය වෙනුවට “ල” ශබ්ධය ආදේශ කරගන්නව. උදාහරණ විදිහට “රතු” වෙනුවට, “ලතු” කියනව. “රවුම” වෙනුවට “ලවුම” කියනව. “රෑට” කියන වචනෙට “ලෑට” කියනව. ඕනෑම වචනෙක තියෙන “ෆ” ශබ්ධය වෙනුවට “ප” ශබ්ධය යොදන අවස්තා, “ෆලූඩා” වෙනුවට “පලූඩා”, “ෆෝන්” වෙනුවට “පෝන්”, “ෆෑන්” එකට “පෑන්” වගේ.
Phonological disorder තියෙන දරුවෙකුට තනි ශබ්ධ හොඳින් උච්චාරණය කිරීමට පුළුවන් වුනත් ඒ ශබ්ධ වචනයකට යෙදීමේදී වැරදි විදිහට උච්චාරණය වෙන අවස්තා තියෙනව. ඒ වගේම වචන වල මුල, මැද, අග සමහර ශබ්ධ මග හරිමින් උච්චාරණය කරනව. උදාහරණ විදිහට “baby” වෙනුවට, “bay” කියනව. “bat” වෙනුවට, “ba” හෝ “at” කියනව.
Dysarthria වලදි සිද්ධ වෙන්නෙ කථනය සඳහා අවශ්‍ය වෙන මාන්ශ පේශීන් වල දුර්වලතාවය නිසා කථනය අපහසු වීම.
දැන් මේ විස්තරේ දැක්ක හැටියම කෙනෙකුට හිතෙන්න පුළුවන්, මේ ප්‍රශ්නෙ ගොඩක් ළමයින්ට පොඩි කාලෙ තියෙනව, කාලෙත් එක්ක නැති වෙලා යනවනෙ කියල. ඒ වගේම මේක ඔටිසම් ළමයින්ට විතරක් නෙවෙයි ඕනෑම ළමයෙකුට තියෙන්න පුළුවන් කියල. ඔව්, ඔබ හරි. කාලෙත් එක්ක නැති වෙලා යන්න පුළුවන්, හැබැයි ඒක වෙන්නෙ නොදැනුවත්ව හෝ කථනය සඳහා අදාල සහය දරුවට එයාගේ වටපිටාවෙ සිටින පුද්ගලයන්ගෙන් ලැබිල තියෙන නිසා.
Apraxia: මෙතන සඳහන් SSDs වලින් ඔටිසම් දරුවන්ගෙ දෙමව්පියන් හැටියට අපි වඩා සැලකිලිමත් වෙන්න ඕනෙ තත්වයක් තමයි apraxia කියන්නෙ. අවුරුදු 21 දක්වා ළමයින් සම්භන්ධයෙන් තියෙන apraxia තත්වයට Childhood Apraxia of Speech කියල නමක් දීල තියෙනව. කෙටියෙන් CAS කියල කියනව. අපි පටන් ගමු apraxia ගැන වැඩිදුරට ඉගෙන ගන්න. මොකද මේ තත්වය තියෙන ඔටිසම් දරුවෙක් හරියට හඳුනා නොගැනීම නිසා ජීවිත කාලෙම වුනත් කතා නොකර ඉන්න පුළුවන්.
අන්තර්ජාලයේ apraxia ගැන විස්තර හොයන ඔබට නාමකරණ කීපයක් මුණ ගැහේවි.
-Apraxia
-Apraxia of speech
-Verbal apraxia
-Verbal dyspraxia
-Developmental verbal dyspraxia
-developmental apraxia
Apraxia කියන්නෙ සම්පූර්ණ වශයෙන් යමක් කිරීමේ චාලක හැකියාව අහිමි වීමක්. Dyspraxia කියන්නේ අර්ධ වශයෙන් යමක් කිරීමේ චාලක හැකියාව අහිමි වීමක්. එය කථනය සම්භන්ධ චාලක හැකියාවක සම්පූර්ණ නොහැකියාවක් නම් එයට verbal apraxia කියාත්, අර්ධ නොහැකියාවක් නම් එයට verbal dyspraxia කියාත් හඳුන්වනවා. ඉහත විවිධ නාමකරණ වලින් ඇත්තටම හඳුන්වන්නෙ එකම තත්වයක්, වෙනස් වෙන්නෙ ඒ තත්වයේ තියෙන බරපතලකම (severity) පමණයි. කථනය සම්භන්ධයෙන් මූලාශ්‍ර පරිශීලනයේදී ඉහත කුමන නාමකරණය හමුවුනත් ඒවායින් පිළිබිඹු කරන්නෙ එකම තත්වයක් බව මතක තබාගන්න.
Apraxia of speech තත්වය කියන්නෙ MOTOR speech disorder එකක්; කථනය ආශ්‍රිතව චලන අපහසුතාවයක්. මොළය මඟින් speech movement sequence එක plan කර ගැනීම සහ programming කර ගැනීම කියන කාරනා දෙකේදි ඇතිවෙන ගැටළුවන් නිසා තමයි මේ තත්වය ඇති වෙන්නෙ. කටින් ශබ්ධයක් පිටවීමේදී අපේ දිව, තොල, මෘදු තල්ල, සහ හකු ප්‍රදේශය චලනය වීමක් වෙනවනෙ. එක් ශබ්ධයක සිට තව ශබ්ධයකට යනකොට දිව, තොල, මෘදු තල්ල සහ හකු එක් චලනයක් සිට තව චලනයක් දක්වා මාරු වෙනව.
අම්මා කියන වචනය වෙන වෙනම අකුරු විදිහට කියල බලන්න. “අ” වලින් “ම්” වලටත් ඊට පස්සෙ “මා” කියන ශබ්ධයටත් හෙමින් හෙමින් ගමන් කරනකොට ඔබේ කටේ දිව, තොල, සහ හකු චලනය වෙන හැටි විමසිල්ලෙන් බලන්න. ඉතා සුළු කාලයක් තුළදී මේ චලනයන් මාරු කරමින් අපි වචන, වාක්‍ය ගොඩනඟනව. මේ සඳහා අවශ්‍ය සැලසුම් කිරීමේ හැකියාව, සම්බන්ධීකරණය කිරීමේ හැකියාව නොමැති වීම නිසා තමයි CAS සහිත දරුවන් අපහසුතාවයට පත්වෙන්නෙ. CAS තෙරපි වලදි කරන්නෙ මේ movement අපහසුතා මඟ හරවා ගැනීමට දරුවාට මඟ පෙන්වීමයි.
Apraxia තත්වය හඳුනා ගැනීමට උපකාරී වෙන ලක්ෂණ
CAS තත්වය හඳුනා ගැනීමට උපකාරී වෙන ලක්ෂණ ගොඩක් තියෙනව. ඒ අතුරින් ප්‍රධාන කීපයක් පහත සඳහන් කරල තියෙනව.
(1) babbling නොකිරීම. චූටිම කාලේදි මාස 7 සිට වගේ ළමයි කරන ශබ්ධ තියෙනවනෙ. ඒ කියන්නෙ බා,දා, මා, බා-බා, නා-නා, ඩා-ඩා, බා-දෑ-දා වගේ විවිධ ශබ්ධ නොකිරීම. වයසින් වැඩි වුනත් මේ වගේ ශබ්ධ apraxia සහිත දරුවන්ගේ මුවින් පිට වීම අපහසු වෙන්න පුළුවන්.
(2) ඉතා සීමිත ප්‍රමාණයක ශබ්ධ පමණක් තිබීම. අපි මේක ඉන්ග්‍රීසි හෝඩිය අනුව ගත්තොත් vowel sounds (a, e, i, o, u) එකක් හෝ කීපයක් පමණක් තිබීම, අනෙකුත් ශබ්ධ (ඉන්ග්‍රීසි හෝඩිය අනුව consonants – b,c,d,f,g,h,j,k,l,m,n,p,q,r,s,t,v,w,x,y,z) කටින් පිටකිරීම සීමාසහිත වීම. මේක සින්හල හෝඩිය අනුව කියනවනම් අපිට හිතන්න පුළුවන් අ,ආ,ඇ,ඈ,ඉ,ඊ,උ,ඌ,එ,ඒ,ඔ,ඕ කියන ස්වර ශබ්ධ වලින් එකක් හෝ කීපයක් පමණක් දරුවා කටින් පිටකිරීමත්, අනෙකුත් ව්‍යඤ්ජන ශබ්ධ පිටකිරීම සීමා සහිත වීම.
(3) වචන කීමේදී, අනුකරණය කිරීමේදී අග කොටස හෝ මුල් කොටස මඟ හැරීම. උදාහරණ විදිහට “අම්මා” කියන වචනය වෙනුවට “අම්” පමණක් කීම, “puppy” කියන වචනය වෙනුවට pa” පමණක් කීම ,”කමු” කියන වචනය වෙනුවට “මු” පමණක් කීම, “go” කියන වචනය වෙනුවට “o” පමණක් කීම
තව ලක්ෂණ තියෙනව. මේ සඳහන් කරේ සුලභව දැකිය හැකි ලක්ෂණ කීපයක් පමණයි.
Assessment (Diganosis)
speech sound disorder diagnosis එකක් නිවරැදිව කල හැකි සුදුසුකම් සහිත පළපුරුදු වුර්තිකයන් සොයා ගැනීම අභියෝගයක්. ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය වගේ රටවල් හැරුණු කොට ලොකේ බොහෝ රටවල apraxia සම්භන්ධ පළපුරුදු චික්ත්සකවරු හිඟයි. මේ තත්වය හඳුනා ගැනීම සිදු කරන්නෙ dynamic speech motor assessment එකක් මඟින්. එතනදි සිද්ධ වෙන්නෙ චිකිත්සකවරිය විසින් යම් කිසිම් ශබ්ධ සහ ශබ්ධ කාණ්ඩ (sounds and syllables) දරුවාට අනුකරණ කිරීමට අවස්ථාව ලබා දීම සහ එසේ අනුකරණ කිරීමේදී දරුවා විසින් කරන අඩුපාඩු සැලකිල්ලට ගනිමින් නිර්ණය කිරීම. ඔබ දන්නව ඔටිසම් දරුවන් බොහොමයක් අනුකරණය කිරීමේදී ප්‍රතිචාර දක්වන ආකාරය. ඒක නිසා මේ assessment එක ඔටිසම් දරුවන්ට කිරීමට යෑම ඉතාම අභියෝගාත්මකයි. එතකොට කතා (non-verbal, non-speaking) හෝ ඉතා සීමිත ශබ්ධ (වචන) කතා කරන (semi-verbal, minimally speaking) දරුවන්ට කොහොමද විනිශ්චය දෙන්නෙ? එයත් කළ නොහැක්කක්. මේ හේතු දෙකම සැලකිල්ලට ගෙන ඔටිසම් තත්වය සහිත apraxia දරුවන් වෙනුවෙන් චිකිත්සක වරුන් මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරනව.
“If the child cannot participate in a dynamic assessment and CAS is suspected, there is no downside to treating the child using principles of motor learning. A child who has CAS and is treated with a language based approach, will not progress.”
ඔව්, අපි සැකයේ වාසිය දරුවන්ගෙ පැත්තට දෙන්න ඕනෙ. අපි හිතමු ඔටිසම් දරුවෙකුට සාම්ප්‍රදායක ක්‍රමයට කථනය සහ භාශාව වර්ධනය කර ගැනීමට අවුරුදු හතක් අටක්, ඊටත් වඩා වැඩි කාලයක් දීර්ඝ කාලීන ලෙස සහය ලබා දුන්නත්, එමගින් සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුනෙ නැහැ කියල. දරුවා හට apraxia diagnosis එකක් කිරීමට ඇති ඉඩකඩත් සීමාසහිතයි කියල. මෙවැනි අවස්තාවලදි සැකයේ වාසිය දරුවාගෙ පැත්තට යොමු කරල motor learning වලට අදාල මූලධර්ම ඔස්සේ දරුවාට මඟ පෙන්වීම අපට කරන්න පුළුවන්. මේ වගේ apraxia වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් කියල සැක තියෙන වෙලාවලදි චිකිත්සක වරුන් Suspected Childhood Apraxia of Speech (sCAS) කියල diagnosis එක දෙනව.
Speech sound disorders සම්භන්ධයෙන් දීර්ඝ වශයෙන් අධ්‍යයනය කිරීම සඳහා ASHA වෙබ් පිටුව හොඳ ආරම්භක ස්ථානයක් විදිහට නම් කරන්න පුළුවන්.
මෙතැන සිට ඉදිරියට apraxia ගැන අපි දීර්ඝ ලෙස ඉගෙන ගනිමු.
Pam Marshalla
apraxia ගැන සඳහන් කිරීමේදී අමතක කල නොහැකි කෙනෙක් හැටියට Pam Marshalla (USA) හඳුන්වන්න පුළුවන්. Apraxia, motor speech (oral-motor) and articulation therapy යන මාතෘකා ඔස්සේ ඇය විසින් රචිත පොත්, පටිගත කරන ලද දේශන සහ මුදිත/ඩිජිටල් පත්‍රිකා අදටත් බොහෝ කථන චිකිත්සකයන් අත්පොත් ලෙස පරිහරණය කරනව.මේ ලිපිය සහ ඉන් පසුව ඇති ලිපි පෙළ ලියන මගේත් කියවන ඔබගේත් අභිප්‍රාය වන්නෙ ඇප්රෙක්සියා සහිත හෝ එසේ ඇතයි සැක කල හැකි දරුවෙකුට සහය වෙන්නේ කුමන ආකාරයෙන් දැයි ගවේෂණය කිරීමය. එය සරල හෝ පහසු කර්තව්‍යයක් නොවන නමුත් කළ හැකි දෙයක්.
පෑම් මාශෙලා විසින් 2001 දී රචනා කරන ලද
“Becoming Verbal with Childhood Apraxia” පොතෙහි සඳහන් වෙනවා
“ Those of us who live and work with apraxic children have to try awfully hard to get them to speak well”
යනුවෙන්.
එතුමිය ප්‍රකාශ කරනව apraxia තත්වය sensory motor disorder එකක් විදිහටත් සලකන්න පුළුවන් කියල.
“They don´t read their movements well. They don´t percieve, organise, store, and have the ability to retrieve the muscle memories” – Pam Marshalla
ඉහත ප්‍රකාශය තුළ ගැබ් වෙලා තියෙනව අපේ කතාව අඩු ඔටිසම් දරුවන් දරුවන් කලාතුරකින් ඉඳල හිටල කටින් පිටකරන ghost words එහෙම නැත්නම් pop-out words වලට හේතුව. අපි හිතමු ඩයිනසෝර් කියන වචනය ප්‍රථම වතාවට දරුවගෙ කටින් පිට වුනා කියල. මේක අහඹු ලෙස සිද්ද වෙන දෙයක්. කටේ අවයවයන් ටික ක්‍රමානුකූලව හැඩගැහිල ලස්සනට චලනය වෙලා මේ වචනය පිට වෙනව. නමුත් දරුවා තුළ muscle memory එකක් වීදිහට මේ චලන හැකියාව ගොඩ නැඟිල නෑ. එතකොට ආයිත් වතාවකදි දරුවාට ඒ වචනය කියන්න බැරි වෙනව. මේක හරියට මුත්තයියා මුරලිදරන් පිතිකරුවෙක් විදිහට පිට්ටනියට ආපු වෙලාවක හැමෝම පුදුම කරමින් හයේ පාරක් ගහනව වගේ වැඩක්. එයා ඒ මොහොතේ බැට් එක වනන විදිහට හයේ පාරක් වැදෙනව. හැබැයි ප්‍රේක්ශකයන් මුරලිදරන්ගෙන් එහෙම performance හැමදාම බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මොකද එයාගෙ muscle memories optimum ready වෙලා තියෙන්නෙ batting වලට නෙවෙයි bowling වලටයි කියල මිනිස්සු දන්නව.
ඉහත උදාහරණ දෙකේදීම අපිට පැහැදිලි වෙන පොදු සිද්ධාන්තයක් තියෙනව. කථනය කියන්නෙ, කටින් වචනයක් පිටවෙනව කියන්නෙ, මොළය විසින් ඒ කාර්යය සැලසුම් කරල, සම්භන්ධීකරණය කරල අපේ මුඛය කියන අවයවය හරහා ඒකෙ output එක පිට කරනව කියන එක. කථනය සඳහා motor planning කියන දේ අවශ්‍යයි, පුහුණුව අවශ්‍යයි, practice තුලින් permanent skill එකක් විදිහට කථනය සදාකාලිකවම ස්තාපිත වෙනව. ඊට පසු අපි ඒ සඳහා පුහුණු වෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ. Bowling කරන අවස්තාවලදී පිතිකරුවෙකුට බෝලය දාන්න ඕනෙ කුමන ආකාරයෙන්ද කියල මොළයෙන් සැලසුම් කරල, ඇස, අත්, පාද කියන සියළුම අවයව සම්භන්ධීකරණය කරගෙන ඒ කර්තව්‍යය කරනව. bowling සඳහා motor planning කියන දේ අවශ්‍යයි, පුහුණුව අවශ්‍යයි, practice තුලින් permanent skill එකක් විදිහට bowling සදාකාලිකවම ස්තාපිත වෙනව. ඊට පසු අපි ඒ සඳහා පුහුණු වෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ.
ඉහත කාර්යයන් දෙකේදීම motor planning කියන කොටස අපහසු වුනොත්, ඒ කාර්යයන් දෙකම නිසි පරිදි සිද්ධ වෙන්නෙ නෑ නේද?
Motor planning
කථනය ආශ්‍රිතව motor planning දියුණු කර ගැනීමට දරුවෙකුට සහාය වෙන්න පුළුවන්ද? ඔව් පුළුවන්. CAS තෙරපි වලදි සිදු කරන්නෙ මේ motor planning skill එක දරුවා තුළ ප්‍රගුණ කිරීමයි.
පර්යේශන මඟින් අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලැබිල තියෙන apraxia therapy ක්‍රම කීපයක් තියෙනව. මේ ක්‍රම වලට evidence-based motor speech interventions කියල කියනව.
- DTTC – Dynamic Temporal and Tactile Cueing
- K-SLP – Kaufman Speech to Language Protocol
- ReST – Rapid Syllable Transition
- Biofeedback Treatment
- MSTP – Motor Speech Treatment Protocol
- PROMPT – Prompts for Restructuring Oral Muscular Phonetic Targets
මේ ක්‍රම එකින් එක ගැන ඉදිරි ලිපි වලදී අපි ඉගෙන ගනිමු. මේ ක්‍රම නිර්මාණය වෙලා තියෙන්නෙ පොදුවෙ neurotypical ප්‍රජාව වෙනුවෙන්. ඒ ක්‍රම තුල ශ්‍රව්‍ය (auditory) සහ දෘශ්‍ය (visual-based) මාර්ගවලින් ශබ්ධ උත්පාදනය කරන ආකාරය, චිකිත්සකවරයාගේ මුහුණ දිහා බැලිය යුතු වීම, වැඩි වාර ගණනාවක් නැවත නැවත පුහුණු කළයුතු වීම, දීර්ඝ වෙලාවක් තුළ කථන චිකිත්සාව කිරීමට සිදු වීම, ෆ්ලෑශ් කාඩ් වැනි දේ උපයෝගී කරගෙන කලින් සැලසුම් කරන ලද වචන උච්චාරණයට පුහුණු වීම වැනි කාරණා අඩන්ගු වෙනව. මෙවැනි දැ ඔටිසම් දරුවන්ට අතිශය අභියෝගාත්මකයි. එපමණක් නොව neurodivergent affirmation කියන කාරණයට පටහැනි ආකාරයෙන් කරන කිසිම කථන චිකිත්සාවක් ඔටිසම් දරුවෙකුට සුදුසු වන්නේ නැහැ. මේ හේතුව මත ඔටිසම් දරුවන්ට neurodivergent affirming practices වලට යටත්ව apraxia තෙරපි කිරීමේ නව ක්‍රම පිළිබඳව අප විසින් හැදෑරීම අත්‍යාවශ්‍ය කාරණයක් වෙනව.
Apraxia ගැන ස්වයන්-අධ්‍යයනයක් කිරීමට අවශ්‍ය දෙමව්පියෙකුට නිර්දේශ කළ හැකි වැදගත් වෙබ් පිටු තුනක් පහතින් සඳහන් කරන්නම්.
1). https://pammarshalla.com/
2). https://www.bondarspeech.com/
3). https://www.apraxia-kids.org/
සටහන – නයනා හේවගේ විසින්