මම පාන්දරම දැක්කේ පානදුර උතුර පොලීසිය විසින් නිකුත් කරපු වීඩියෝ එකක්.අපේ ජිත්මගේ අම්මා ශලනි තමයි මට ඒක එවලා තිබ්බේ. ඒ දරුවා විවිධත්වයෙන් යුතු දරුවෙක්. අපිට හරියටම ඔටිසම් කියලා කියන්න බැහැ. ඒක සදාචාරාත්මක නැහැ. මේ දරුවාගෙන් ප්‍රශ්න කරනකොට නම මොකක්ද? ගෙවල් කොහෙද කියලා මේ දරුවට පිළිතුරු දෙන්න බෑ. ඊට පස්සේ පොලිස් නිළධාරීන් අහනවා කතා කරන්න බැරිද කියලා. ඉතිං ඒ දරුවට වාචිකව සන්නිවේදනය කරන්න අපහසුයි. කමෙන්ට් වල මම දැක්කා දරුවාව භාරකරුවන්ට භාර දීලා කියලා.

මේක මම අවස්ථාවක් කරගන්නවා ස්නායු විවිධත්වයන් ගැන ලංකාවේ තියන අවම සමාජ දැනුම නිසා වෙන්න පුලුවන් බරපතළ ගැටළුවක් ගැන කතා කරන්න. ඔටිසම් දරුවන් සහ පුද්ගලයින් ඉන්න පුළුවන් Eloping තත්ත්වය තියන. Eloping ගැන ලංකාවේ පළවෙනි වතාවට දැනුවත් කරේ මම. මේ එක අම්මා කෙනෙක් පුළුවන් විදියට සමාජයක් දැනුවත් කරන කල් රජය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ඔටිසම් සම්බන්ධව තියන ආයතන මොනවද කරන්නේ කියන එක මට ගැටළුවක්. මේ වනතුරුත් Sunflower Lanyard එක ගැන ලංකාවේ දැනුවත් බවක් නෑ. කවද්ද මේවා පටන් ගන්නේ ?

Autistic Eloping කියන්නේ සරළවම කිව්වොත් ඔටිසම් දරුවන් සහ පුද්ගලයින් තමන් ඉන්න ස්ථානයෙන් මනසට නැගුන සිතුවිල්ලක් ඔස්සේ යන එක. උදාහරණයක් විදියට නිවසේ ඉන්න ගමන් ක්ශණිකව නිවසින් පිටතට ඇවිද යන්න පුළුවන්. තමන් යා යුතු තැන හෝ මාර්ගය ගැන දැනුවත් කමක් නැතුව පාරට බැහැලා අතරමං වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔටිසම් දරුවන් යන්නේ වතුර පිරුනු ඇල මාර්ග, වැව්, ගංඟා තියන තැන් හොයාගෙන. මෙහෙම ගිහින් ඒ වැව් හෝ ගංගා වලට වැටිලා ඔටිසම් දරුවන් මිය ගියපු අවස්ථා ඕනේ තරම් තියනවා. ඒ ගැන මම දැනුවත් කරලා තියනවා මීට කලින්.

යුරෝපයේ සෑම පොලිස් ස්ථානයක්ම ඔටිසම් සහ Eloping ගැන දැනුවත්. ඔවුන් දන්නවා වාචිකව සන්නිවේදනය කරගන්න අපහසු දරුවෙක් මෙහෙම ලැබුනම මොකක්ද කරන්න ඕනේ කියන එක. ඒ වගේම තමයි මෙහෙම ක්ශනිකව නිවසින් හෝ පාසලින් වගේම ඉන්න ස්ථානයෙන් යන්න පුළුවන් දරුවන්ගේ ඇදුමක Tracker එකක් සවි කරනවා. එහෙමත් නැත්තන් Sunflower Lanyard එකක් නිතරම දරුවන් පැළදගෙන ඉන්නවා. බහුතරයක් රටවල් වල Sunflower Lanyard එකක් පැළදගෙන ඉන්න දරුවෙක් හෝ පුද්ගලයෙක් දැක්ක ගමන් මිනිස්සු දන්නවා ඒකෙන් අදහස් කරන්නේ hidden disability තත්ත්වය කියන එක. හැම විවිධත්වයක්ම පිටතට පේන්නේ නෑ. එතකොට එහෙම පිටතට නොපෙනෙන විවිධත්වයන් ඇති ප්‍රජාව හදුනාගෙන ඔවුන්ට සහය දෙන්න තමයි ලෝකය පුරාම Sunflower Lanyard එක ගැන දැනුවත් කරන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ එය පැළදගෙන ඉන්න දරුවා හෝ පුද්ගලයාට,

* Autism

* ADHD

* Learning disabilities

* Anxiety conditions

* Hearing / vision difficulties

* Chronic illnesses තියෙන්න පුළුවන් කියන එක.

එතකොට පොලිස් නිලධාරීන්, ගුරුවරුන්, ප්‍රවාහන පහසුකම් ලබා දෙන පුද්ගලයින්, ගුවන් තොටුපලේ නිළධාරීන් වගේම පොදු ස්ථාන වලදීත් ඒ මිනිස්සු දන්නවා Sunflower Lanyard එක පැළදගෙන ඉන්න දරුවාට හෝ පුද්ගලයාට ලබා දිය යුතු සහය. ඒ හරහා ඔවුන් තේරුම් ගන්නවා ,

* ඔවුන්‍ට මනසේ තොරතුරු කළමනාකරණය කරගන්න කාලය ලබා දිය යුතුයි.

* ශබ්ධ , සෙනඟ සහ ආලෝකයෙන් අධික උත්තේජනයක් ඇති විය හැකියි

* සන්නිවේදන අසීරූතා ඇති බව

* ඉතා සරළ සහ පැහැදිලි instructions ලබා දිය යුතුයි

මම එමලිට Sunflower Lanyard එකක් පාවිච්චි කරන්න ගත්තේ දැන් කීප දවසකට කලින්. මම ඒකේ කාර්ඩ් එකේ ලියලා තියෙන්නේ එමලි ඔටිසම් බවත්, එමලිට වාචික සන්නිවේදනය අපහසු බවත් සහ අපේ දුරකථන අංකත් ලිපිනයත්. Sunflower Lanyard එක ගැන කිසිම දැනුවත් වීමේ ව්‍යාපෘතියක් රජයෙන් වත් අපගේ බදු මුදල් සහ NGO මුදල් වලින් යැපෙන, ඔටිසම් දරුවන්ට තෙරපි සහය දෙන ආයතනවත් දැනුවත් කරන්නේ නැති නිසා ඒ දැනුවත් වීමත් අපිම ආරම්භ කරන්න ඕනේ කියලා හිතුවා.

මේ තීරණය මම ගත්තේ විශේශයෙන් එමලි වෙනුවෙන්. පහු ගිය ගංවතුර ව්‍යවසනය කාලයේ මම හිතුව මුළු පවුලම අතුරුදහන් වෙලා දරුවන් විතරක් ඉතිරි උන සිදුවීම් වලට සමාන සිදුවීමකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුනොත් එමලිට මොන වගේ අත්දැකීමකට මූණ දෙන්න සිද්ධ වෙයිද කියලා. නිකන් හිතන්න එමලිට වාචික සන්නිවේදනය අසීරුයි, එමලිගේ හැඩය වෙනස්. මේවා ගැන නොදැනුවත් බහුතර සමාජයක් ඇතුලේ එමලි අතරමං වෙන්න හා අපහසුතාවයකට පත් වෙන්න තියන ඉඩ වැඩී. ඒත් දැන් එමලි පැළදගෙන ඉන්න Sunflower Lanyard එක පරික්ශා කරලා බලන කෙනෙක්ට පැහැදිලිව වටහා ගන්න පුළුවන් එමලි ඔටිසම් සහ එමලිට වාචික සන්නිවේදනය අපහසුයි කියන කාරණය. එවන් අවස්ථාවකදී ඒ තොරතුරු මත එමලිට අවශ්‍ය සහය ලැබෙයි කියලා මම හිතනවා.

ඒ නිසා අපි අපිට පුළුවන් විදියට Sunflower Lanyard එක ගැන සමාජය දැනුවත් කරමු. ඔටිසම් සහ අනෙකුත් විවිධත්වයන් සහිත දරුවන් ඉන්න දෙමාපියන්ට පුළුවන් Daraz එකෙන් වගේ මේ Sunflower Lanyard එක මිලදී ගන්න.ඊට පස්සේ ඒකේ දරුවාගේ විවිධත්වය ගැන සදහන් කරන්න. දරුවා යන පෙර පාසලේ හා පාසලේ ගුරුවරුන් දැනුවත් කරන්න. ඒ හරහා පාසලේ ඉන්න අනෙකුත් දරුවන්වත් දැනුවත් කරන්න. ඔයා රෝහලක සේවය කරන වෛද්‍යවරයෙක් , හෙදියක්, සුළු සේවකයෙක් නං ඔයාට පුළුවන් රෝහල තුළ මේ දැනුවත් කිරීම කරන්න. සමාජ මාධ්‍ය හරහා දැනුවත් කරන්න. ඔයා හෝ ඔයාගේ සැමියා පොලීසියේ සේවය කරනවා නං එතන මේ දැනුවත් කිරීම කරන්න. මේ වගේ අපිට හැකි අවකාශය තුළ දැනුවත් කිරීම පටන් ගත්තොත් යම් කාලයක් යනකොට සමාජයේ දැනුවත් බව වැඩි කරන්න පුළුවන් Sunflower Lanyard එකක් පැළද ඉන්න දරුවන්ගේ විවිධත්වය වටහාගෙන සහය දෙන්නේ කොහොමද කියන එක ගැන.

මුල් සබැඳිය : Sunflower Lanyard