( නයනා හේවගේ සහෝදරිය විසින් ලියූ ඉතා වැදගත් ලිපියකි. )
❇️ ❇️ Intellectual ability and presume competence
පහුගිය දවස් වල අපි නිදා ගන්න ඇඳ උඩ පුතා තියල තිබ්බ කුකුලෙක් ගෙ පින්තූරයක් සහ හිස් බිස්කට් පැකට් එකක් තමයි මේ පින්තූරෙ තියෙන්නෙ. ඔය තරු බිස්කට් එක තමයි මේ දවස් වල කඩේකට ගියාම පුතා ගන්නෙ. ඔය කුකුල් පින්තූරෙ උඩ නියපොතු වලින් අතගාන කොට සද්දයක් ඇහෙනවා සහ ඒකෙ මතුපිට ටිකක් වෙනස් (touch / sound sensory). ඉතින් මේ දෙකම ඇයි ඇඳ උඩ තියන් ඉන්නෙ කියල මට බරපතලව වෙන හිතන්න දෙයක් තිබ්බෙ නෑ.
ඊට දවස් කීපෙකෙට පස්සෙ පොඩි ළමයි සෙල්ලම් කරන ඔබන කොට චීස් චීස් ගාන කුකුලු පැටියෙකුයි, වඳුරෙකුයි, තාරාවෙකුයි මම මිළදී ගත්තා. ඒක ගත්තෙ ඔබන කොට සද්දෙ එන නිසා. මේක ගෙනාපු ගමන් පුතා කුකුල් පැටියා විතරක් අරගෙන අර බිස්කට් පැකැට් එක ළඟින් තිබ්බා. ඔන්න එතකොට තමයි මට මේ බිස්කට් පැකට් එකයි අර පින්තූරෙ ඉන්න කුකුලයි අතර connection එක ක්ලික් වුනේ. මේක කියවන නැන්දල මාමලටත් තේරුනාද?

උත්තරේ පහල ලියල තියෙනවා
අවුරුදු ගානක් (7 ක්) තිස්සෙ අපේ පුතා ගෙදර බඩු අපිළිවෙල විදිහට බිම දානවා. පුතා බඩු පේලියට තියන කෙනෙක් නෙවෙයි. නිකම් මොනවහරි බඩු ටිකක් පොදියක් වගේ එක තැනක තියෙනවා. ආයිත් තව තැනක තව පොදියක් තියෙනවා.එහෙම නැත්තම් විසිරිලා යන්න බිම දානවා. මේක තමයි එයාගෙ සෙල්ලම වුනේ. ඒවා අස් කරාට නැවත ආයිත් ඒ විදිහටම අපිළිවෙලට වපුරල වගේ දාන නිසා අපි ඒව ඉවසීමෙන් විඳදරා ගෙන හිටියා. ඒ විදිහට ඉවසීමෙන් දරුවට දරුවාගෙ සෙල්ලම කරන්න දීම අපේ පළවෙනි හැරවුම් ලක්ෂය වුනා. හැබැයි අපි දැනුම අඩුකම නිසා ඊට එහාට ඒ ගැන හිතුවෙ නෑ. කාලයක් ගියාම එහෙම වීසි කරල දාන බඩු එයාම ගනන් ගන්නෙ නැති තත්වෙට පත්වෙනවා. ඊට පස්සෙ තමයි අපි අස් කරල දාන්නෙ.
මාස කීපයකට උඩදී මේ තැන තැන ගහල තියෙන පොදි මොනවද කියල තේරුම් ගන්න මම උත්සහ කරා. ඒකේ ප්‍රතිඵලය අපේ ජීවිතේ දෙවෙනි හැරවුම් ලක්ෂයක් වුනා. හරියටම කිව්වොත් අපේ ජීවිත වල බවුතික වෙනසක් වුනේ නෑ. නමුත් අපි දරුවා ගැන හිතන පතන විදිහ තමයි වෙනස් වුනේ. මේ හිතන පතන විදිහෙ වෙනස නිසාම වෙනදා හිතට බරක් වෙලා තිබ්බ තැන තැන දාල තියෙන බඩු මුට්ටු දැක්කම දැන් අපිට වෙහෙසක් දැනෙන්නෙ නෑ, තරහ යන්නෙ නෑ, කරදරයක් දැනෙන්නෙ නෑ. දැන් අපිට ඒව දැක්කම දැනෙන්නෙ හිතේ තියෙන දෙයක් අමාරුවෙන් තමන්ට හැකි මාධ්‍යයක් ඔස්සෙ ඉදිරිපත් කරන්න වෙහෙසෙන දරුවෙක් අපේ ගෙදර ඉන්නවා කියන එක. “මම intellectual disabled child කෙනෙක්” කියල කිව්ව පිරිසට “මම එහෙම නෑ” කියල තේරුම් කරන්න වගේ පාරක් හොයන් යන දරුවෙක්; “මම කතා කරල දේවල් නොකිව්වට මම හැමදාම දකින ඇහෙන දේවල් වලින් ඉගෙන ගන්නවා” කියල කියන්න හදන දරුවෙක්; “මාව තව නිරීක්ෂණය කරන්න” කියල ගෙදර අයගෙන් අවාචිකව ඉල්ලන දරුවෙක් “මට මීට වඩා ගොඩක් දේවල් පුළුවන්, ඒත් මට ඒවා ප්‍රකාශ කර ගන්න තරම් තේරෙන්නෙ නෑ” කියල කියන දරුවෙක්; “මම මගේ වේගෙන් යනවා, ඒ වේගෙට ගැලපෙන්න මට හරියන දේ පීඩාවකින් තොරව මට ලබා දෙන්න” කියල කියන්න හදන දරුවෙක් අපේ ගෙදර ඉන්නවා කියන එක. දැන් ඒවා දැනෙන්නෙ හරියට තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හොයා ගන්න කලින් කරපු එක එක අත්හදාබැලීම් වගේ.
නැන්දල මාමලට තේරුනාද තරු බිස්කට් පැකට් එකයි අර ලොකු කුකුලයි පොඩි කුකුලු පැටියයි අතර සම්භන්දෙ?
බිස්කට් පැකට් එකේ C H I C K කියල තියෙන හින්දා තමයි ළමයා මේ දෙක එඟ ළඟ තියල තියෙන්නෙ. මෙච්චර කාලෙකට මම හිතන් හිටියෙ මේ බිස්කට් පැකට් එකේ නම Cheese bits කියල
. පොඩි කුකුලු පැටියා හම්බුනු ගමන් දුවල ගිහින් බිස්කට් පැකට් එක ළඟින් ඌව තිබ්බෙ CHICK කියන නම හරියටම ගැලපෙන්නෙ ලොකු කුකුලන්ට නෙවෙයි පොඩි කුකුලු පැටවුන්ට කියල ළමය දන්න නිසා.
මේ තමයි අපේ පුතා (අවු 8යි) ජීවිතේ පළවෙනි වතාවට පින්තූරයක් ඒකෙ ලියල තියෙන වචනෙත් එක්ක මැච් කරපු අවස්ථාව (මම දැකපු) . එයා තාම මට ඇහෙන්න alphabet වත් කොහේ හරි ලියල තියෙන ඉන්ග්‍රීසි වචනයක් වත් කියවන්නෙ නැති ළමයෙක්. මම පොතක් අරගෙන හෝ පින්තූරෙකින් එයාට කියල දීලා නෑ chick, chicken කියන වචන. එතකොට එයා කොහෙන්ද මේ වචනෙ ඉගෙන ගන්න ඇත්තෙ?
බොහෝ දුරට එයා මේක ඉගෙන ගන්න ඇත්තෙ Old Mc Donald had a farm සින්දුව බලන නිසා වෙන්න ඕනෙ.
with a Chick chick here ,
with a chick chick there ,
here a chick, there a chick everywhere a chick chick.
පුතා බලන වීඩියෝ අනුව මේ සින්දුව අහන්න ඇත්තෙ Chu Chu tv youtube channel එකෙන්. ඊට පස්සෙ මම video එක play කරල බැලුවා. එතකොට මම දැක්කෙ subtitle විදිහට chick chick කියන වචනෙ යනවා. ඒ කියන්නෙ ළමය යටින් පොඩියට යන subtitles ත් කියවනවා 
. ඒ subtitle අකුරු සිම්පල් අකුරු. මම මෙච්චර කල් හිතන් හිටියේ අපේ පුතාට තේරෙන්නෙ English කැපිටල් අකුරු විතරයි කියල 
. මේ සිද්ධියත් එක්ක මට තේරුන මම හිතන් ඉන්නවට වඩා එයාගේ දැනීමේ පරාසය (understanding) සෑහෙන්න දියුණුයි කියල.

මගේ පුතා වගේ දැනීමේ පරාසය වැඩි නමුත් ඒක පිටතට පෙන්නන හැකියාව නැති නිසා intellectual disabled කියල මිනිස්සුන්ගෙ කටවල් වලින් අහගත්ත ඔටිසම් දරුවො තව කොච්චර ඇතිද? එහෙම කියන අය නිසා වැටෙන්නෙ නැතුව ඉන්න “presume competence ” ගැන හොඳින් තේරුම් ගමු.

ඔටිසම් දරුවෙකු අදහස් ප්‍රකාශ කළ හැකි විශ්වාසදායී සන්නිවේදන මාධ්‍යක් ප්‍රගුණ කරන තුරු ඔහු සතුව පවතින බුද්ධිමය හැකියාව ( Intellectual ability ) ගැන අපිට තක්සේරුවක් දෙන්න බෑ.ඒ කියන්නේ අපිට කවුරු හරි කතා නොකරන හෝ අඩුවෙන් කතා කරන ඔටිසම් දරුවෙක් දිහා මතු පිටින් බලලා ඔහුට බුද්ධිමය ආබාධයක් ( intellectual disability) පවතින බව පැවසුවහොත් එය නොපිළිගැනීමට තරම් කොන්ද පණ තබාගන්න.
ඒ වගේම දැනට කතා කරන ඔටිසම් දරුවෙක් ගේ බුද්ධිමය හැකියාව වුනත් ඔහු කතා කරන දේ මත පමණක් තක්සේරු කරන්න අපිට බැහැ.ඒකට හේතුව වන්නේ ඔටිසම් දරුවෙකුට සම්පූර්ණයෙන් ම ඔහුගේ ශරීරය පිළිබද පාලනය අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ඔහුට අවශ්‍ය දේ ඒ ලෙසටම ප්‍රකාශ කිරීමට , ඒ ලෙසටම කිරීමට අපොහොසත් වීම නිසා ඔහු සතු සැබෑ හැකියාව අනෙක් අයට පෙන්වීමට හැකියාවක් නැති වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි Neuroaffirming යටතේ Presume competence කියලා කොටසක් තියෙන්නෙ.මෙතනිදි අපි කරන්නෙ දරුවාට මුකුත් තේරෙන්නේ නෑ ( Not understanding ) කියන මතයෙන් ඈත් වෙන එක. දරුවට තේරෙන්නේ නෑ කියන සිතුවිල්ල සමඟම ඔහුට අප විසින් අවස්ථාවන් (opportunities ) ලබා දීම මඟ හැරෙනවා. දරුවට තේරෙනවා ඇති (He may understand ) කියන අදහස ඔළුවේ තියා ගත්තම අපි තවදුරටත් ඔහුට අවස්ථාවන් ලබා දෙනවා. දරුවාට සුදුසු ගැළපෙන අවස්ථාව ලැබුණු විටම දරුවා ඒ හරහා කුසලතා සංවර්ධනය කරගන්න පටන් ගන්නවා.

Nayana Hewage