දැන් Gestalt හරහා භාශාව ගොඩ නගා ගන්න ඔටිසම් දරුවෙක්ට සහය වෙන්න පුළුවන් සාර්ථකම ක්‍රමය තමයි Child – Led Therapy Activities. මේ ක්‍රමයෙන් සරළවම කරන්නේ දරුවාගේ සෙල්ලමට අපි එකතු වෙනවා මිසක දරුවාව බලෙන් එයා අකමැති Activities වලට සහභාගි කරගන්නේ නැහැ. දරුවා වඩාත් කැමති විශයක් හෝ Toy එකක් එහෙම නැත්තන් Play එකක් තෝරාගෙන අපි දරුවා එක්ක එයාට හිරිහැරයක් නොවෙන්න එකතු වෙලා සන්නිවේදනය දියුණු කරගන්න සහය දෙනවා. උදාහරණයක් විදියට හිතන්න ඔයාගේ බබා වතුර එක්ක Play කරනවා කියලා. එතකොට ඔයාට පුළුවන් එයා වතුර එක්ක සෙල්ලම් කරන එකට බාධාවක් නොවෙන්න එකතු වෙලා සරළ වාක්‍ය, වචන එයා එක්ක කියන්න. එහෙම නැත්තන් දරුවා Puzzles වලට වඩාත් කැමතී නං අපි Puzzles Set කරන ගමන් අලුත් වචන, ක්‍රියා පද, වාක්‍ය එයාට හදුන්වා දෙනවා. එතකොට මේ හරහා කිසිම පීඩාවක් නැතුව දරුවාට අපි අලුත් වචන සහ වාක්‍ය හඳුන්වා දෙනවා.
එතකොට Gestalt language processing කියන එකත් එක්කම අපිට හම්බෙනවා මේ Gestalt cognitive development/ Processing කියන එකක්. මේ Tearm එක ගැන කතා කරනකොට Semantic Memory සහ Episodic Memory ගැන අපි මුලින්ම පැහැදිලි කරගන්න ඕනේ. එතකොට අපිට හරි ලේසී කොහොමද අපේ බබාලගේ මොළය ක්‍රියාත්මක වෙන්නේ සහ එයාලා හිතන්නේ කොහොමද කියන එක වටහා ගන්න.
Semantic memory
මේ Memory එක ක්‍රියා වෙන විදිය උදාහරණයක් එක්ක මම කියන්නං ඔයාලට වටහා ගන්න පහසුවට. හිතන්න බබාට බීච් යමු කිව්වම එයාගේ ඔලුවට එන්නේ වැලි,වතුර,වෙරළ වගේ දේවල්. මේහෙම යම් සිද්ධියක්, අවස්ථාවක මතකය මේ විදියට ඔලුවේ මැවෙන කොට අපි ඒකට කියනවා Semantic memory කියලා.
Episodic Memory
ඔටිසම් දරුවන්ගේ බහුතරයකට තියෙන්නෙ මෙන්න මේ Memory එක. උදාහරණයක් විදියට බීච් එක ගැන කිව්වම ඔටිසම් බබාලට ඔලුවට එන්නේ බීච් එකේ දැකපු අයිස් ක්‍රීම් වෑන් එකේ පාට, එතන හිටපු බැලුන් විකුණන කෙනා ලඟ තිබ්බ බැලූන්, ගෙදර එනකොට එයාට අරන් දුන්න චොක්ලට් එක. මෙන්න මේ වගේ ඉතා සියුම් දේවල් මතකය විදියට ඔලුවේ මැවෙන එකට තමයි අපි කියන්නේ Episodic memory කියලා. මෙන්න මේ Memory එකත් එක්ක තමයි ඔටිසම් දරුවන්ගේ නොවෙනස්වන චර්‍යාවන් / Routines පවත්වාගෙන යන්නේ. උදාහරණයක් විදියට බීච් එකට යන දවසට දරුවාට එතන අයිස් ක්‍රීම් වෑන් එකෙන් අයිස්ක්‍රීම් අරන් දෙනවා කියලා හිතන්න. දැන් මේක එයාගේ ඔලුවේ බීච් යන එකත් එක්ක එකට සම්බන්ධ වෙන මතකයක් වෙනවා.එතකොට බීච් එකට යනවා නං ඒ අයිස්ක්‍රීම් එකත් අනිවාර්යයෙන් දරුවා බලාපොරොත්තු වෙනවා.
බහුතරයක් Gestalt language processors ලාට තියෙන්නෙ මෙන්න මේ Episodic Memory එක. මෙන්න මේක සෑහෙන්න වැදගත් කාරණයක්. අපි මේක දැනගෙන ඉන්නම ඕනේ. ඒකට හේතුව දරුවාගේ මේ මතකය නිසා යම් දෙයක් වෙනස් වුනොත් ඒක එයාට දරාගන්න අපහසු වෙන්න පුළුවන් නිසා. අර කලින් උදාහරණයම ගත්තොත් බීච් එකට එක්කන් ගිහින් අයිස්ක්‍රීම් එකක් අරන් නොදුන්නොත් ඒක දරුවාට දරාගන්න බැහැ. හේතුව එයාගේ මෙමරි එකේ බීච් එකට ගිහින් එනකොට අයිස්ක්‍රීම් එකක් ලැබෙන එක සිදුවිය යුතු අනිවාර්ය සිදුවීමක් වෙන නිසා.
එතකොට කොහොමද අපි ඔටිසම් Gestalt language processor කෙනෙක්ට සන්නිවේදනයට සහය දෙන්නේ. කිසිම වෙලාවක දරුවාට Play කරන ක්‍රමය හෝ විදිය ගැන බල කරන්න එපා.Neurotypical සහ neurodivergent දරුවන් Play කරන්නේ වෙනස් විදියට. එතකොට මේ වෙනස කියන්නේ වරදක් නෙමේ. මොන ආකාරයෙන් කරත් ඒක Play එකක්. දරුවාට අලුත් ඇක්ටිවිටි එකක් හෝ Toy එකක් හඳුන්වා දෙන කොට ඒක බලකිරීමක් විදියට කරන්න එපා. හිතන්න ඔයා අලුත් Toy එකක් බබාගේ සෙල්ලමට එකතු කරනවා කියලා. ඒක බබාට පේන තැනකින් තියන්න. එතකොට අපි දරුවාට Option එකක් දෙනවා එයා කැමති නං ඒ Toy එක එයාගේ Play එකට එකතු කරගන්න පුළුවන් කියන එක. ඒ වගේම එක පාර ගොඩක් දේවල් දරුවාට දෙන්න එපා. උදාහරණයක් විදියට දෙමාපියන් දවසකට පැය ගාණක් තුළ එක එක ඇක්ටිවිටීස් දරුවාට කරන්න දෙනවා. මේක කරන්න එපා.එකෙන් වෙන්නේ දරුවාව
dysregulated වෙන එක. ඒ කියන්නේ Emotions/ Sensory sensitivity එක දරාගන්න බැරි වීම
එතකොට දවසකට දරුවා Play කරන්නේ පාට සහ වැලි එක්ක නං ඒවා එක්ක Play කරන්න දරුවාට නිදහස දෙන්න. ඒ Play එකට ඔයා එකතු වීම සහ ඒක අතරේ දරුවාට වචන,වාක්‍ය කීම තමයි වැදගත්ම දේ.
දැන් තවත් වැදගත්ම කාරණයක් තමයි බබා Toys එක්ක play කරන්නේ නැති එක. මේක ඉතා සමාන්‍ය දෙයක්. ඒ කියන්නේ දරුවා තාම Toys එක්ක Play කරන්න සූදානම් නැහැ. එතකොට අපි මොකක්ද කරන්නේ.අපි එයා කැමති විදියේ සෙල්ලම් එයා එක්ක කරනවා. හැංඟි මුත්තන් කරන්න පුළුවන්. අල්ලන සෙල්ලම් කරන්න, බබාව වඩාගෙන කැරකෙන සෙල්ලම් කරන්න. මේ වගේ එක එක සෙල්ලම් හදාගන්න. කිසිම පොතක නැහැ සෙල්ලමක් කොහොමද වෙන්න ඕනේ කියලා. Play එකක් කියන්නේ බබා Toys එක්ක සෙල්ලම් කරන එකම නෙමේ. ඔටිසම් දරුවන්ගේ මනස හරී ලස්සනයි. ඒ වගේම එයාලා නිර්මාණය කරගන්නා Play ත් ලස්සනයි. දරුවෙක් ජනෙල්ලෙන් ජනෙල්ලෙට එල්ලි එල්ලි යනවා නං නැත්තන් පුටුවක් උඩට නැගලා බිමට පනිනවා නම් ඒක ඒ දරුවාගේ Play එකක්. එතකොට මෙන්න මේ වගේ සෙල්ලම් හරහා ඔයාට පුළුවන් දරුවාට සන්නිවේදනය කරන්න උත්තේජනය දෙන්න. මේවට අපි Sensory Motor Play කියලා කියනවා. කොට්ට බබාගේ ඇඟ උඩින් තියලා එහෙම නැත්තන් Bed Sheets එකක් කූඩාරම වගේ හදන් ඒක ඇතුලේ ඉදන් එක එක විදියේ play කරන ක්‍රම හදාගන්න.
එතකොට ආයෙත් අපි මේ Gestalt cognitive Processor ගැන කතා කරොත් සමහර අම්මලා කියනවා බබා එලියේ Play කර කර ඉන්නකොට යම් වචනයක් කිව්වා ආයේ ඒ වචනය ආපහු කිව්වේ නෑ කියලා. එහෙම නැත්තන් වෙන යම් අවස්ථාවකදී වචනයක් කිව්වා ඒත් ඒක ආයේ කිව්වේ නෑ කියලා. මෙන්න මේකට හේතුව තමයි දරුවා Gestalt cognitive processor කෙනෙක් වීමත් දරුවාට Episodic memory එකක් තිබීමත්. උදාහරණයකින් මේක පැහැදිලි කරගමු.
හිතන්න බබා ඔංචිලි පදිනවා කියලා. එකයි දෙකායි තුනයි කියලා ඔයා එයාව පද්දනවා. ඔහොම දෙතුන් පාරක් කරනකොට බබා ඔයා කිව්වා වගේම ඔංචිල්ලාවේ ඉදගෙන කියනවා එකයි දෙකායි තුනයි කියලා. එතකොට ඔයා එයා වචනයක් කිව්වා කියන සතුටට කියනවා හරිම හොඳයි කියලා. එතකොට බබත් ඒකම නැවත කියනවා. දැන් මේ සිදුවීමෙන් පස්සේ එයා ආයේ හරිම හොදයි කියන වචනයවත් මේ එකයි දෙකායි තුනායි කියන එකවත් ආයේ කිව්වේ නැත්තන් ඔයා කල්පනා කරනවා එදා කියපු වචන ඇයි බබා ආයේ කිව්වේ නැත්තේ කියලා. හේතුව තමයි Episodic memory එක. බබාව ආයේ ඒ ඔංචිල්ලාවේ පද්දන ගමන් ඔයා ඒක ඒ විදියටම කිව්වම ඒක එයා ආයේ කියයි. එතකොට ඔයා වටහා ගන්න ඕනේ දරුවා මේ වචනය කියන්නේ මේ අවස්ථාවේ විතරයි කියන එක. අන්න ඒක තමයි අපි පිටපත් හදන් බබා එක්ක කතා කරන්න ඕනේ. බත් කන වෙලාවට හැමදාම කෑම වෙලාව කියලා කියන්න. එතකොට බබාගේ Memory එකේ කෑම වෙලාවත් එක්ක තැන්පත් වෙන්නේ ඔයා ඒ කියන වාක්‍ය. එතකොට ඔයා දරුවා එක්ක නිර්මාණය කරගන්නා සෙල්ලම ඇතුලේ ඔයා හදාගත්ත පිටපතකට අනුව වචන සහ වාක්‍ය කියන්න. ඒ සෙල්ලම ආයේ දවසක කරනකොට ඒ වචන සහ වාක්‍ය ඒ විදියටම පාවිච්චි කරන්න.මේකට අපි කියනවා Language Modeling කියලා.
එතකොට මේ Gestalt language ක්‍රමයට භාශාවක් එක පාර හැදෙන්නේ නැහැ. පියවරෙන් පියවරට හැදෙන්නේ. ඔයා දරුවා එක්ක කතා කරන්න ඕනෙත් මෙන්න මේ පියවරවල් වල හැටියට. දරුවා තමයි එයා පළවෙනි පියවරෙන් දෙවනි පියවරට ගියා කියන එක අපිට ඒත්තු ගන්වන්නේ. කිසිම වෙලාවක කළබල වෙන්න එපා ඇයි බබා අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැත්තේ කියලා. ඒකට හේතුව ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න එයා තාම සූදානම් නැති නිසා.
එතකොට සරළවම Gestalt language ක්‍රමයේ පියවරවල් හැදෙන්නේ මෙහෙමයි.
බබා බෝලයක් එක්ක Play කරනවා කියලා හිතන්න. එතකොට ඔයා මේ එකම Play එකත් එක්ක බබාගේ සන්නිවේදනයට සහය දෙන විදිය සහ Gestalt language ක්‍රමයට අනුව පියවරෙන් පියවරට මේ සන්නිවේදනය දියුණු කරන විදිය උදාහරණයක් එක්ක පැහැදිලි කරන්නම්.
* Gestalt පළවෙනි පියවර – හරි ලස්සන බෝලයක්
* Gestalt දෙවනි පියවර – මම බෝලෙට කැමතියි
* Gestalt තුන්වෙනි පියවර – රතු ලොකු බෝලය
* Gestalt හතරවෙනි පියවර – මම බෝලය උඩ දානවා
* Gestalt පස්වෙනි පියවර – මම බෝල සෙල්ලම් කරලා ඉවරයි
* Gestalt හයවෙනි පියවර – ඇයි ඔයා බෝල සෙල්ලම් කරන්නේ නැත්තේ ?
මෙන්න මේ වගේ දරුවෙක්ගේ භාශාව හැදෙන්නෙ පියවරෙන් පියවරට. එතකොට ඔයාලා මේ පියවරල් හැදෙන්න කලින් බබාගෙන් ප්‍රශ්න අහනවා කියන්නේ කොහොමටවත් දරුවා සූදානම් නැහැ ඒවට පිළිතුරු දෙන්න. ඉතිං කාලය දෙන්න. පලවෙනි පියවරේ ඉදන් පටන් ගන්න. අපිට කියන්න බැහැ භාශාවක් හැදෙන්න දරුවා අරගනා කාලය කොයිතරම් වෙනවද කියල. ඉවසීමෙන් දරුවාගේ සන්නිවේදනය හදාගන්න සහය දෙන්න