මෙහි වර්ග දෙකක් ඇත.එකක් Immediate Echolalia (ඉමීඩියට් එකොලේලියා) වන අතර අනෙක Delayed Echolalia (ඩිලේයිඩ් එකොලේලියා) වේ. ඉමීඩියට් එකොලේලියා කියන්නේ දෙයක් කිව්වම බබා ඒක ඒ මොහොතෙම අනික් පැත්තට රිපීට් කරන එක. ඩිලේයිඩ් එකොලේලියා කියන්නේ ඇහුන දෙයක් ඔලුවේ කොපි කරන් ඉදල ඒක පහු වෙලා වෙන වෙලාවක ඒ විදියටම ආයෙ කියන එක. Echolalia කියන්නෙ ඔටිසම් දරුවන් සන්නිවේදනය කරන්න ගන්න උත්සාහයේම කොටසක් විදියට තමයි දැන් සළකන්නේ. ඒක අසාමාන්‍යතාවයක් නෙමේ.
Echolalia කියන්නේ මොකක්ද කියන එක සරල උදාහරණයකින් පැහැදිලි කරොත් ඔයා ඔයාගේ බබාගෙන් ඇහුවොත් ” බිස්කට් ඕනෙද” කියලා බබා ආයේ ඔයාගෙන් ඒකම අහනවා ” බිස්කට් ඕනෙද” කියල. හරියට ගිරවෙක් වගේ. ගෙවල් වල හුරතලේට ඇති කරන ගිරව් කතා කරන්නේ ඔයාලා එයාට කියන වාක්‍ය කොපි කරන්. ඉතිං මේකත් ඒ වගේ තමයි.
දරුවන් රිපීට් කරන්න පුලුවන් දේවල් මොනවද?
- කාර්ටූන් එකක, ළමා ගීතයක ,චිත්‍රපටයක දෙබසක් හෝ කොටසක්
- යන්තම් යමක් මිමිණීම හෝ සුරුවහන් කිරීම
- ගීතයක් නැවත නැවත කීම
- දිගින් දිගටම තට්ටු කිරීම හෝ අත්පුඩි ගැසීම
ඇයි ඔටිසම් දරුවන් දෙයක් නැවත නැවත කියන්නේ (රිපීට් කරන්නේ) ?
- සන්නිවේදන කුසළතාවය වැඩි දියුණු කිරීම
- දරුවාගේ මානසික සුවතාව ( Self soothing ) සහ එයා එයාගේ මනස සන්සුන් කරගැනීම
- අනෙකා හා කතාවට සම්බන්ධ වෙන්න
- ස්ටිමින් වලට
වැදගත්ම කාරණය තමයි කවදාවත් මේ Echolalia බලහත්කාරයෙන් නතර කරන්න යන්න එපා. දරුවා නැවත දෙයක් කියනකොට මැද්දට පැනලා ඒක නවත්තන්න වගේ දේවල් කරන්න යන්න එපා. මොකද ඒක ඔටිසම් දරුවා සන්නිවේදනය කරන ක්‍රමයක්.මේ හරහා දරුවාට වාචික සන්නිවේදනය පහසු කරගන්න සහය දෙන්න පුලුවන් .
Echolalia කියන්නේ පිටපත් කරගෙන නැවත කීම . එතකොට අපි දැනගන්න ඕනේ දරුවාට නිවැරිදිව වාක්‍ය කියන්න ඊට නියමිත පිටපත එයාට කොපි කරගන්න සහය දෙන්න.
- පිටපතෙහි අර්ථය වටහා ගැනීම
මේකෙන් කියන්නේ දරුවා කියන කියන දේ / කොපි කරලා කියන්න හදන්නේ මොකක්ද කියලා දැනගන්න කියලා. දරුවා Echolalia හරහා අපිට කියන්නේ “මට ඔයා කියන එක තේරෙනවා.මම ඒකට දෙන්න උත්තරයක් හොයනවා” කියන එක. බබා ඔයා එක්ක කතා කරන්න උත්සාහා ගන්නවා ඒ ක්‍රමය හරහා. ඉතිං කළබල වෙන්න එපා. මානසිකව වැටෙන්න එපා. ඉවසීමෙන් දරුවා එක්ක සහයෝගයෙන් වැඩ කරන්න
- සරළ වාක්‍ය සහ වචන ලබා දෙන්න
දරුවට එයාගේ මනසට කොපි කරගන්න ලේසි වෙන සහ එයාට භාවිතා කරන්න පුලුවන් වචන, වාක්‍ය දෙන්න. ඒ හැම එකක්ම නිවැරිදි විය යුතුයි.
බබා කෑවද, බබා සෙල්ලම් කරාද, බබාට බඩගිනි ද කියලා ප්‍රශ්ණාර්තයක් එක්ක වාක්‍ය බබාගෙන් අහන්න යන්න එපා. ඒ වෙනුවට “මම කෑම කෑවා, මම කෑම කනවා, මට බඩගිනී, මම සෙල්ලම් කරනවා” වගේ වාක්‍ය කියන්න. එතකොට ඒක බබා ඔලුවේ කොපි කරගෙන ආයේ ඒකම රිපීට් කරනවා.
- විශුවල් කාර්ඩ්ස්
රූප කාර්ඩ් පත් පාවිච්චි කරන්න. පළතුරු වර්ග, වාහන, සත්තු, කෑම, එදිනෙදා භාවිතා කරන බඩු, පවුලේ සමාජිකයින් මේ වගේ හැම දෙයක්ම අපිට රූප කාර්ඩ් පාවිච්චි කරලා බබාට කියලා දෙන්න පුලුවන්.
- දරුවාගේ අවශ්‍යාතාවයන් පැවසීමට හැකි ආකාරයේ වාක්‍ය කියන්න
මට මහන්සී
මට බඩගිනී
මට එපා වගේ වාක්‍ය දරුවාට කියන්න
- ඔබට දරුවා ලවා කියවා ගැනීමට අවශ්‍ය වචන කියා දෙන්න
තැන්ක් යූ
මට රිදෙනවා
තව දෙන්න වගේ වචන කියන්න
වාක්‍ය කියනකොට පොඩි ගැප් එකක් තියන්න ඕනේ නිතරම. එක පාරටම වේගයෙන් වාක්‍ය කියන්න එපා. බබා කිරි එක ඉල්ලනකොට “මට ඕනේ… ” කියන වාක්‍ය කියලා කිරි එකට ඇඟිල්ල දික් කරලා “කිරි” කියන වචනෙට බර දාලා කියන්න. හඬේ උස් පහත් වීම් සහ මුහුණේ ඉරියව්, ශරීරයේ අංග චලන ඔක්කොම එකතු කරන් දරුවා එක්ක සන්නිවේදනය කරන්න.
වැදගත් වන්නේ Echolalia යනු බලහත්කාරකමින් නතර කළ යුතු දෙයක් නොවන බවය