අපි දෙමව්පියො විදිහට motor planning ගැන පුළුවන් තරම් දැනුවත් වෙන්න ඕනෙ. ඒක කතාවට (speech) විතරක් නෙවෙයි ඔටිසම් දරුවන්ගෙ වෙන ක්‍රියාවන් වලදිත් බලපාන දෙයක්.

ශරීරය සම්බන්ධව motor planning කියන්නෙ මොකක් හරි ක්‍රියාවක් කරන කොට අපේ මොළයෙන් අදාල අවයවයට හෝ අවයවයන්ට එන සිග්නල් එක ක්‍රියාත්මක කිරීම.

උදහරණ විදිහට අපිට බත් කනකොට අපේ මොළයෙන් එනවා සිග්නල් එක,

  • අතින් බත් අනන්න
  • කට ළඟට අරන් යන්න
  • කට අරින්න
  • බත් ටික කට ඇතුලට දාගන්න
  • අත පහළට දාන්න
  • බත් විකන්න
  • බත් ටික ගිලින්න.

අපි හිතන්නෙ නැති වුනාට බත් කන එක වුනත් කොයි තරම් සංකීර්ණ කාර්යයක්ද….

මේ පියවරවල් ඔක්කොම අයිති වෙන්නෙ මොළය සහ අපේ ශරීරයේ අවයවන් එකතු වෙල සහයෝගෙන් වැඩ කිරීමක් වගේ දේකට (brain-body coordination). දරුවන්ට ස්වභාවිකවම මොනව හරි දෙයක් එක පාරටම කර ගන්න හැකියාවක් නැත්නම්, ඒ සඳහා කොපමණ කල් ගියත් ඒ දේ කර ගන්න බැරි නම්, මේ කියන motor planning දේ ඔළුවට අරන් ඒ ඔස්සේ එයාට සහය වෙන්න බලන්න. ඒ ක්‍රියාව පොඩි පොඩි කොටස් වලට බෙදල කල්පනා කරන්න. කොයි පියවරද දරුවට අපහසු, කොයි පියවරද දරුවා කරන්න අදි මදි කරන්නෙ කියල බලන්න.

අපි තව උදාහරණයක් ගමු.

මේක දරුවා තනියම කලිසම්ක් ඇඳීම කියන කාර්‍යය. දරුවට තනියම කලිසම අඳින්න බෑ. මම දන්නෙ නෑ අපහසුතාවය තියෙන්න කොයි කොටස් වලද නැත්නම් මුළු ක්‍රියාදාමයම අපහසුද කියල. එතකොට මම කරන්නෙ මේක motor planning අනුව හිතල පොඩි පොඩි කොටස් වලට බෙදා ගන්නව.

  • ඇඳක වාඩි වෙලා එයාට කකුල් දික් කරගෙන ඉන්න කීම, මම කකුල් දෙකට කලිසම ඇතුල් කර ඉස්සීම
  • කලිසමේ එක කකුලක් දාන්න උදව් කිරීම, ඉතුරු ටික මම කිරීම
  • කලිසමේ කකුල් දෙකම දරුවා දැමීම ඉතුරු ටික මම කිරීම
  • කලිසමේ කකුල් දෙකම දරුවා දැමීම, ඇඳෙන් පහලට බැස කලිසම ඉස්සීම දරුවා විසින්ම කිරීම
  • ඊලඟට හිටගෙන ඉන්න විට එක කලිසම් කකුලක් දාන්න දරුවට සහය වීම
  • අවසානයේදී දරුවාට හිටගෙන තනියම කලිසම ඇඳගැනීමට හැකිවීම.

ඊයෙ මම Motor disorders ගැන මගේ මහත්තයත් එක්ක කතා කරනකොට එයා කිව්ව “අපි වැඩ කල් දාන එකට හේතුවත් මේ අනුව පැහැදිලි කරගන්න පුළුවන් කියල. අපිට මොකක් හරි වැඩක් තියෙනව, ඒක ඉක්මනින් ඉවර කරන්න ඕනෙ කියලත් දන්නව, කරන්න ඕනෙ මොකක්ද කියලත් හොඳටම දන්නව, සමහර වෙලාවට පුටුවෙන් නැගිටල ගිහින් ඒ වැඩේ කරන්න යන්න හිතෙන්නෙ නැහැ. එක්කො කොහෙනෙ පටන් ගන්නද කියල කරගන්න අමාරුයි”. මේක ඇහුවම තමයි මට හිතුනෙ වැඩිහිටි අපිටත් Motor planning difficulties තියෙනව නේද කියල.

මේ සමඟ මුල් සබැඳිය ඇති වීඩියෝ වල ඉන්න ස්පීච් තෙරපිස්ට් ගෙ Instagram account එකට ලින්ක් එකත් මම දාන්නම්.

Instagram account : Katja Piscitelli

Gestalt Language Processing and your autistic student

Katja Piscitelli

මුල් සබැඳිය : Apraxia ලිපි 3 : Motor Planning

M.H.W.N. Jinadasa
Researcher, BSc Eng(Hons), MSc (Energy & Env), PhD(Process Tech)