Apraxia ලිපි 2: CAS තියෙනව කියල හඳුනාගත් හෝ සැක සහිත හෝ මේ වෙනකොට කිසිම ශබ්ධයක් පිට නොකරන දරුවෙකුට Principles of Motor Learning අනුගමනය කරමින් කථනය ගොඩ නගා ගන්න සහය වෙමු.

Apraxia ලිපි 1 : Speech sound disorders

පහුගිය ලිපියෙන් අපි ආරම්භ කලා කොහොමද CAS (Childhood Apraxia of Speech) තෙරපි සඳහා ආරම්භයක් ගන්නෙ කියල. මෙතනදි නැවතත් මතක් කරන්න ඕනෙ CAS කියන්නෙ Motor speech disorder එකක්; දරුවට කතා කිරීමට අවශ්‍ය වන ශබ්ධ (sounds) පිටකිරීම කළමනාකරණය කර ගැනීමට ඇති අපහසුවක්. මේ කළමනාකරණය සිද්ධ කරන්නෙ මොළයෙන්. එහෙම නැතුව දරුවාගේ මුඛය සම්භන්ධ කොටස් වලින් නෙවෙයි. ඒ නිසා අපි CAS තෙරපි වලදි කරන්නෙ දරුවාට speech සඳහා අවශ්‍ය වන ශබ්ධ පිටවීම කලමණාකරණය කරගැනීමට, control කරගැනීමට, ඇති අපහසුතාවය මඟ හරවා ගැනීමට උදව් කිරීම. සමහර දරුවන්ට ස්වභාවිකව මේ අපහසුතාවය නැහැ. නමුත් සමහර දරුවන්ට අපහසුයි. ඔටිසම් වෙන නොවෙන ඕනෑම දරුවෙකුට මේ තත්වය තියෙන්න පුළුවන්.

  • මේ තත්වය නිසා දරුවට ශබ්ධ පිටකිරීම අපහසුයි
  • වචන පිට කිරීම අපහසුයි
  • වචනයක් පිට කිරීමට අවශ්‍ය ශබ්ධ එකතු කර ගැනීම අපහසුයි
  • වචනයක් පිට කළත් එය අසන්නාට පැහැදිලි නොවෙන්න පුළුවන්. මේකට ඉන්ග්‍රීසියෙන් කියනව Poor intelligibility කියල.
  • දරුවා කතා නොකරම ඉන්න පුළුවන් (Non-speaking)
  • නැත්නම් ඉතා සුළු වශයෙන් පමණක් කතා කරන්න පුළුවන් (Minimally speaking)

Principles of motor learning :

CAS therapy කියන්නෙ speech වල අදාලව motor learning process එකක්. මොකක්ද motor learning process එකක් කියන්නෙ ?

උදාහරණයකින් පැහැදිලි කර ගනිමු.

අපි ළඟ තියෙනව brand new කාර් එකක්. අපිට මේක එලවන්න ඉගෙන ගන්න වෙනව. එන්ජිම start කරන හැටි, බ්‍රේක් ගහන හැටි, speed එක අඩු වැඩි කරන හැටි, සුක්කානමෙන් එක එක දිශාවල් වලට හරවන හැටි, මාර්ග සංඥා පිළිපදින හැටි වගේ දේවල්. මේ ඔක්කොම වෙන වෙනම ඉගෙන ගන්න පුළුවන්. නමුත් එහෙම වෙන වෙනම ඉගෙන ගත්ත කියල drive කරන්න පුළුවන් වෙන්නෙ නෑ. drive කරන්න නම් මේ සියළු දේ එකවර අවස්ථානුකූලව පාවිච්චි කරන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න ඕනෙ (simultaneous use). කාර් එක එලවන කොට අපේ මොළයෙන් තමයි ඉහත සඳහන් කරල තියෙන දේවල් සිද්ධ වෙන්න්නෙ; අපේ අත, කකුල, ඇස ආදී අවයවයන් වැඩ කරන්න ඕනෙ කොහොමද කියල තීරණය කරන්නෙ. අපේ මොළයෙන් තමයි ඒව පාලනය කරන්නෙ, හසුරුවන්නෙ. Driving lessons වලට ගිහින් අපි පළපුරුද්ද හදා ගන්නව කොහොමද මේක කරන්නෙ කියල. කාලයක් එකම දේ පුරුදු වෙන කොට අපේ මොළේ අල්ල ගන්නව මොකක්ද මේ වැඩේ කියල. අපිට skill එකක් එනව කොහොමද එලවන්නෙ කියල. ඒක permanent motor movement skill එකක්. drive කරන්න අපේ අත, කකුල, ඇස පාවිච්චි කලත් ඇත්තටම මේක කරන්නෙ මොළෙන්. මේ skill එක ගන්න අපි යම් කිසි ප්‍රදේශයක තෝරාගත් පාරවල් වල driving practice කරනව. ලන්කාවෙ තියෙන හැම පාරකම පැදල පුරුදු වෙන්නෙ නැහැ. skill එක ආවට පස්සෙ අපිට පුළුවන් වෙනව ඕනෙම පාරක drive කරන්න.

මේ වගේ ඉගැනුම් ක්‍රියාවලියකදි අපි කියන්නෙ Motor learning මූලධර්ම (Principles of motor learning) අනුගමනය කරනව කියල.

Principles of motor learning අනුගමනය කරමින් කුසලතාවය හදා ගන්න දේවල් සඳහා තව උදාහරණ දෙන්න පුළුවන් ද?

  • බයිසිකල් පැදීම
  • ක්‍රිකට් සෙල්ලම් කිරීම, ෆුට් බෝල් සෙල්ලම් කිරීම වැනි ක්‍රීඩාවන්
  • නර්තනය, සන්ගීත භාණ්ඩයක් වාදනය කිරීම

Apraxia තෙරපි වලදිත් අපි කරන්නෙ මේ වගේ කථනයට අවශ්‍ය motor learning මූලධර්ම අනුගමනය කිරීමක්. driving වලදි වගේ වැඩි වාරගානක් practice කිරීම අත්‍යාවශ්‍යයි. 

Apraxia ලිපි 1 න් vowels (ස්වර) වලට අදාල hand cues අපි ඉගෙන ගත්තා. Vowels ටික වෙන වෙනම උච්චාරණය කිරීම තමයි ආරම්භක පියවර (non-speaking දරුවෙකුට). හේතුව ස්වර එකක් හෝ කීපයක් හැම වචනෙකම පාවිච්චි වෙනව.

Vowels : a, e, i , o , u

දරුවත් සමඟ සන්නිවේදනය වඩා පහසු සින්හලෙන් නම්, ඒත් අනුගමනය කළ යුතු පිළිවෙල මේකම තමයි. සින්හල භාශාවෙත් අපි ස්වර කියල හඳුන්වන්නෙ අ, ආ, ඇ, ඈ, ඉ, ඊ, උ, ඌ, එ , ඒ, ඔ, ඕ නෙ. මේ ශබ්ධ වලින් ඈ, ඊ, ඌ, ඕ ශබ්ධ 4 න් ආරම්භ කිරීම දරුවෙකුට පහසු වෙයි කියල මට හිතෙනව. මොකද ඒව ටිකක් ඇදල කියන්න පුළුවන් ශබ්ධ නිසා.

දරුවෙකුට vowels ටික උච්චාරණය කිරීමට කොපමණ කාලයක් යනවද ? 

සතියක්, මාසයක් හෝ අවුරුද්දක් වුනත් යන්න පුළුවන්. ඒකයි හැමතිස්සෙම කියන්නෙ දරුවගෙන දරුවට වෙනස් කියල; එක දරුවෙක් එක්ක තව දරුවෙක් සන්සන්දනය කරන්න එපා කියල.

මගේ පුතාට මුල්ම vowel ශබ්ධ 2 ( “ආ” ශබ්ධය, “ඕ” ශබ්ධය ) අනුකරණය කිරීමට පුළුවන් වුනේ එයාට වයස පහ මාරෙදි. ඒ වෙනතුරා එයාට වෙන වචනයක් හෝ ශබ්ධයක් අනුකරණය කරන්න හැකියාවක් තිබ්බෙ නැහැ. නමුත් pop-out වචන, වාක්‍ය ඛණ්ඩ අතරින් පතර අපිට ඇහිල තිබ්බ. එතනින් පස්සෙ ඊළඟ vowel එකට යාමට අවුරුද්දක් පමණ ගියා. vowels වල “ඊ” ශබ්ධය තාමත් හරියට එන්නෙ නැහැ. මේ අතරතුර තමයි මමයි පුතාගේ තාත්තයි CAS ගැන කියවන්න පටන් ගත්තෙ. එහෙම ඉගෙන ගෙන principles of motor learning and multisensory cues පාවිච්චි කරන කොට දරුවා අපි කියන දේවල් ග්‍රහණය කිරීමට ගන්න කාලය අඩු වුනා. learning process එක වේගවත් වුනා. මාස දෙකක වගේ කාලයකදි consonants ටික ශබ්ධ කර ගන්න හැකියාව ලැබුනා.

Apraxia ලිපි 1 න් consonants වලට අදාල hand cues වීඩියෝ එකකුත් දාල තියෙනව.

Vowels, consonants වලින් පසු පියවර මොකක්ද?

 මේ වචන පහ vowels 2ක් එකතු කරල හදා ගන්නත් පුළුවන්.

  උදාහරණ : ai ( අයී ) ou ( අව් )

නමුත් මේ වචන වලට තේරුමක් නැති නිසා සමහර දරුවන් මේ වචන කියන්න උනන්දුවක් දක්වන්නෙ නෑ. විශේෂයෙන් වයසින් වැඩි දරුවන්

ඒක නිසා target words අර්ථයක් සහිත සහ යම්කිසි ක්‍රියාවකට සම්භන්ධ කළ හැකි නම් (meaningful and functional) වඩා සුදුසුයි.

උදාහරණ :
  •  up
  • eye
  • on
  • in
ඒ වගේම දරුව දැනට කරන ශබ්ධ මොනවහරි තියෙනවනම් ඒ ශබ්ධ උපයෝගී කරගෙන ටික හිතා ගන්න පුළුවන්.

අපේ පුතා “හ” ශබ්ධය කරනව. අපි ඒක ප්‍රයෝජනයට අරගෙන තමයි මුල්ම target words ලිස්ට් එක හැදුවෙ.

ඒකට දාපු වචන: 

  • හාල්
  • head (හෙඩ්)
  • Hi (හායි)
  • Hot (හොට්)
  • Hug (හග්)

මේ වචන පහම අපි දවසෙ බොහෝ වාරයක් පුතත් එක්ක කතා කරන කොට පාවිච්චි කරන වචන. එතකොට ගෙදරදි කරන apraxia speech session එකකදි එයාට ඇහෙන වචන ටික දවස ඇතුලත එදිනෙදා ජීවිතයේදී එයාට තේරුමක් සහිතව ඇහෙන නිසා දරුවට වාසියක් වෙනව. හාල් කියන වචන තෝරගත්තෙ හැම දවසකම එයා හාල් එක්ක සෙල්ලම් කරන නිසා, හාල් දෙන්න කියල මට ඇවිත් කියන නිසා. Head වචනෙ තෝරගත්තෙ five little monkeys සින්දුව එයාගෙ ආසම සින්දුවක් නිසා, තව head shoulders knees and toes සින්දුව මම ගොඩක් කියන සින්දුවක් නිසා. Hi කියන වචනෙ තෝරගත්තෙ දරුව අපි ළඟට ආපු වෙලාවට අපි හායි පුතා කියල එයා දිහා බලන්න පුරුදු වෙලා තියෙන නිසා. Hot කියන වචනෙ තෝරගත්තෙ බත් එක hot, වතුර hot, ලිප ළඟ hot වගේ වාක්‍ය මම දවස ඇතුළත පාවිච්චි කරන නිසා. hug කියන වචනෙ තෝරගත්තෙ, දවසට අවම විසි පාරක්වත් අපේ පුතා අපි ළඟට ඇවිත් බදා ගන්න කියනව. ඒ හැම වෙලාවකම අපිට එයාට ඇහෙන්න hug කියන වචනෙ පාවිච්චි කරන්න පුළුවන්.

දැන් මේක කියවන කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතන ඉන්ග්‍රීසි සින්හල වචන කලවමේ තියෙනවනෙ කියල. ඔව්, ඒකට ප්‍රශ්නයක් නෑ. මේ මගේ මතයක් නෙවෙයි, රිසර්ච් වලින් ඔප්පු වෙච්ච කාරණා. Speech sound වලදි අපි කරන්නෙ speech motor learning practice එකක්. මොළයට කියල දෙනව කොහොමද ස්පීච් වලට අදාලව control and programming කරන්නෙ කියල. එතකොට භාශාව මොකක්ද කියල අදාල නැහැ. දරුවාට පහසු අර්තවත් එක භාශාවක් හෝ භාශා දෙකක් කලවමේ පාවිච්චි කලාට කමක් නැහැ.

ඉහත සඳහන් කරපු වචන 5 වගේ වචන කීපයක් අනුකරණය කිරීම non-speaking දරුවෙකුට සෑහෙන අභියෝගයක්. මේ therapy පටන් ගත්තම එන ගැටළු වලට දෙමව්පියො වෙන අපි විසඳුම් යොදන්න ඕනෙ. අකුරු දේකේ වචන වලදි අපේ පුතාට ආපු ප්‍රධාන ගැටළුව තමයි එයා කියන්නෙ එක්කො මුල ශබ්ධය නැත්නම් අග ශබ්ධය. අකුරු දේකේ වචන වලදි අපේ පුතාට ආපු ප්‍රධාන ගැටළුව තමයි එයා කියන්නෙ එක්කො මුල ශධය නැත්නම් අග ශබ්ධය. අපි අප් (up) කියන වචනෙ ගමු. අපි අප් කියල කියනකොට අපේ පුතා එක්කො “අ” කියනව නැත්නම් “ප” කියල කියනව. මේක CAS දරුවන්ගෙ ලක්ෂණයක්. මේක මඟ හරවා ගැනීමට ගතහැකි ක්‍රම තියෙනව. කාටහරි වැඩි විස්තර ඕනෙ නම් කියන්න, මම වීඩියො එවන්නම්.

මේ සමඟ වීඩියෝ දෙකක් දාල තියෙනව.

නැවතත් මතක් කරනව : https://www.instagram.com/bondarspeechapraxia?utm_source=ig_web_button_share_sheet&igsh=ZDNlZDc0MzIxNw==

මේ account එක follow කරල පුළුවන් තරම් ඉගෙන ගන්න කියල. ඒ වගේම මේකෙ තියෙන්නෙ පොදුවෙ ඔටිසම් සහිත මෙන්ම ඔටිසම් නැති දරුවන්ටත් තෙරපි කරන හැටි. මේ වීඩියෝ එහෙම් පිටින් බලල ඒකම කරන්න යන එක අපේ දරුවන්ට ප්‍රායෝගික නෑ. එතකොට අපි මතක් කර ගන්න ඕනෙ, අපේ ඔටිසම් දරුවන්ට වාඩිවෙලා මූණට මූණ දිහා බලන් කරන්න කියල කියන්න බෑ, අපේ බබාල එහෙම කරන්නෙ නෑ. අපේ දරුවන්ගෙ මූණ අතපය අල්ලල වචන ගන්න බෑ. සෙන්සරි ප්‍රශ්න තියෙනව, එකම දෙයක් නැවත නැවත කියන්න කිය කිය රිපීට් කරනවට අපේ බබාල කැමති නෑ. තරහ යන්න පුළුවන්. මේ වගේ ගැටළු ගොඩක් තියෙනව. එහෙම ගැටළු ආවොත් කියන්න. අපිට විසඳුම් හොයා ගන්න පුළුවන් වේවි.

අපේ ඔටිසම් දරුවන් කෙලින් මූණ බලන්න අකමැතියි. එහෙම බැලුවත් ඉතා සුළු මොහොතයි. මගේ පුතාත් ඒ වගේ. මම පාවිච්චි කරන සාර්ථක Multisensory cueing method එකක් තමයි video modelling. කථනය අපහසු දරුවෙක් අපේ කට දිහා බලනවනම් ඒකෙන් එයාට අදහසක් එනව අපේ කටේ අවයව (aritculators) කොහොමද චලනය වෙන්නෙ කියල. ඒක නිසා මම කරන්නෙ මගේ ෆෝන් එකෙන් මම target word list එකේ යම් කිසි වචනයක් උච්චාරණය කරන හැටි වීඩියෝ කරල බබාගෙ ටැබ් එකට දාල දෙනව. ඒක දවස ඇතුළත සැරින් සැරේ play වෙන්න දානව. තව target words වලට අදාල අකුරු වලින් පොඩි පොඩි සෙල්ලම් නිර්මාණය කරගන්නව.

දවස ඇතුලත පුළුවන් තරම් අර්ථවත් විදිහට Target words යොදා ගන්න ක්‍රම හොයාගන්නව. උදාහරණ විදිහට “හාල්” කියන එක අපේ target word list එකේ තියන වෙලාවට මම ගෙදර උයන්න හාල් හෝදන කොට, දරුවවත් ඒකට සම්භන්ධ කර ගන්නව. එතකොට එයාත් එක්ක වචන practice කරන්න ස්වභාවිකවම අවස්ථාවක එනව. මේ වගේ වෙලාවට දරුවගෙන් ප්‍රතිචාරයක් (ඒ කියන්නෙ අනුකරණයක් ) ආවත් නැතත් මම hand cues පාවිච්චි කරල අදාල වචනෙ කියනව.

අවසානයේදී මතක් කළ යුතු තව වැදගත් කාරනයක් තියෙනව. මේ මම ලියන apraxia තෙරපි ක්‍රමයෙන් කරන්නෙ speech sound disorder එකකට පිළියමක්. අපි නොකඩවා දරුවගෙ භාශා සන්වර්ධනයට (language development) සහය දෙන්න ඕනෙ. දරුව දැනට කිසිම වචනයක් කතා නොකර හිටියත් කමක් නැහැ. අපි GLP විදිහට බබාට ඇහෙන්න scripts හදාගෙන කතා කරන එක continue කරන්න ඕනෙ. බබාට කතා කරන්න බැරි වුනාට එයාට අපි කියන දේවල් තේරෙනව. එයා ඒව මොළේ තැන්පත් කරගන්නව.

මුල් සබැඳිය : Apraxia ලිපි 2 : Childhood Apraxia of Speech (CAS)

M.H.W.N. Jinadasa
Researcher, BSc Eng(Hons), MSc (Energy & Env), PhD(Process Tech)