සමහර ඔටිසම් දරුවන්ට speech sound disorders තියෙන්න පුළුවන්. හැමෝටම නෙවෙයි සමහරක් දරුවන්ට. ඒ කියන්නෙ කථනය සිදු කිරීම සඳහා අවශ්‍ය ශබ්ද පිටකිරීමේදී, උච්චාරණයේදී සිදුවන අපහසුතා.

මෙවැනි දරුවන්ට ඔටිසම් තත්වය නිසා වාචික සන්නිවේදනය අපහසු වෙනව වගේම speech sound disorder/s (එකක් හෝ කීපයක්) හේතුවෙන් වාචික සන්නිවේදනය අපහසු වෙනව. රූප සටහන 1 හි පෙන්වල තියෙන්නෙ මෙවැනි disorders කාණ්ඩ කීපයක්. ඔටිසම් නොවන, නමුත් speech sound disorder/s (SSD) තියෙන දරුවන් සිටිනව. මේ අතරින් Articulation, Phonological, Dysarthria apraxia තත්වයන් තමයි ප්‍රධාන.

රූප ස‍ටහන 1 : Speech sound disorders

මේ රූප සටහනේ තියෙන වචන වලට සින්හලෙන් කියන්නෙ මොකක්ද කියල හොයනවට වඩා අපිට ලේසියි ඒ ඉංග්‍රීසී වචනෙන්ම තේරුම ඉගෙන ගන්න එක. මොකද අපිට වැදගත් වෙන්නෙ මේ කරුණු ඉගෙන ගෙන දරුවට උදව කරන්නෙ කොහොමද කියල තේරුම් ගන්න එකනෙ.

Articulation disorders

හැටියට ගනන් ගන්න පුළුවන් ශබ්දයක් වෙනස් විදිහට හෝ යම්කිසි ශබ්ධයක් වෙනුවට වෙන ශබ්දයක් යෙදීම වගේ දේවල්. අපි හිතමු, රතු කියන වචනෙට ළමයෙක් කියනව රුතු කියල. නිදාගන්නව කියන වචනෙට නදාගන්නව කියනව. ආච්චී කියන වචනෙට අච්චා කියනව. එහෙම නැත්නම් ඕනෑම වචනෙක තියෙන “ර” ශබ්දය වෙනුවට “ල” ශබ්දය යොදන අවස්තා. උදාහරණ විදිහට රතු වෙනුවට, ලතු කියනව. රවුම වෙනුවට ලවුම කියනව.රෑට කියන වචනෙට ලෑට කියනව. ඕනෑම වචනෙක තියෙන “ෆ” ශබ්දය වෙනුවට “ප” ශබ්දය යොදන අවස්තා. මේක නම් වැඩිහිටි අය අතරත් බහුල තියෙනව, ෆලූඩා වෙනුවට පලූඩා, ෆෝන් එකට පෝන්, ෆෑන් එකට පෑන් වගේ.

Phonological disorder

තියෙන දරුවෙකුට තනි ශබ්ද හොඳින් උච්චාරණය කිරීමට පුළුවන් වුනත් ඒ ශබ්ද වචනයකට යෙදීමේදී වැරදි විදිහට උච්චාරණය කරන අවස්තා තියෙනව. ඒ වගේම වචන වල මුල, මැද, අග සමහර ශබ්ද මග හරිමින් උච්චාරණය කරනව. Dysarthria වලදි වෙන්නෙ අපේ brain එකට, Nervous system එකට damage එකක් වීම නිසා කථන අපහසුතා ඇති වීම.

දැන් මේ විස්තරේ දැක්ක හැටියම කෙනෙකුට හිතෙන්න පුළුවන්, අපොයි මේ ප්‍රශ්නෙ ගොඩක් ළමයින්ට පොඩි කාලෙ තියෙනව, කාලෙත් එක්ක නැති වෙලා යනවනෙ කියල. ඒ වගේම මේක ඔටිසම් ළමයින්ට විතරක් නෙවෙයි ඕනෑම ළමයෙකුට තියෙන්න පුළුවන් කියල. ඔව්, ඔබ හරි. කාලෙත් එක්ක නැති වෙලා යන්න පුළුවන්, හැබැයි ඒක වෙන්නෙ ස්වභාවධර්මයේ බලපෑම නිසාවත්, දෙයියන්ගෙ පිහිට ලැබිලවත් නෙවෙයි. නොදැනුවත්ව හෝ අදාල සහය දරුවට එයාගේ වටපිටාවෙ සිටින පුද්ගලයන්ගෙන් ලැබිල තියෙන නිසා.

අපේ රටේ නම් හරියට Speech sound disorder diagnosis එකක් කරන speech language pathologist කෙනෙක් ඉන්නවද, හරියට evaluation කරනවද කියල දෙයියො තමයි දන්නෙ. ඒක නිසා දෙමව්පියො වෙන අපිටම තමයි මේ දේවල් ඉගෙන ගෙන දරුවට කොහොමද සහය වෙන්නෙ කියල තේරුම් ගන්න ඕනෙ.

Apraxia

මෙතන සඳහන් SSDs වලින් ඔටිසම් දරුවන්ගෙ දෙමව්පියන් හැටියට අපි වඩා සැලකිලිමත් වෙන්න ඕනෙ තත්වය තමයි apraxia කියන්නෙ. අවුරුදු 21 දක්වා ළමයින් සම්බන්දයෙන් තියෙන apraxia තත්වයට Childhood Apraxia of Speech කියල කියනව. කෙටියෙන් CAS කියල කියනව. අපි පටන් ගමු apraxia ගැන වැඩිදුරට ඉගෙන ගන්න. මොකද මේ තත්වය තියෙන ඔටිසම් දරුවෙක් හරියට හඳුනා නොගැනීම නිසා ජීවිත කාලෙම වුනත් කතා නොකර ඉන්න පුළුවන්. මේ ගැන ඉදිරි ලිපි වලින් බහුලව කතා කරමු.

Apraxia තත්වය කියන්නෙ MOTOR speech disorder එකක්. speech movement sequence එක plan කර ගැනීම සහ programming කර ගැනීම කියන කාරනා දෙකේදි ඇතිවෙන ගැටළුවන් නිසා තමයි මේ තත්වය ඇති වෙන්නෙ. කටින් ශබ්දයක් පිටවීමේදී අපේ දිව, තොල, මෘදු තල්ල, සහ හකු ප්‍රදේශය චලනය වීමක් වෙනවනෙ. එක් ශබ්දයක සිට තව ශබ්දයකට යනකොට දිව, තොල,මෘදු තල්ල සහ හකු එක් චලනයක් සිට තව චලනයක් දක්වා මාරු වෙනව. අම්මා කියන වචනය වෙන වෙනම අකුරු විදිහට කියල බලන්න. “අ” වලින් “ම්” වලටත් ඊට පස්සෙ “මා” කියන ශබ්දයටත් හෙමින් හෙමින් ගමන් කරනකොට ඔබේ කටේ දිව, තොල, සහ හකු චලනය වෙන හැටි විමසිල්ලෙන් බලන්න. ඉතා සුළු කාලයක් තුළදී මේ චලනයන් මාරු කරමින් අපි වචන, වාක්‍ය ගොඩනඟනව. මේ සඳහා අවශ්‍ය ප්ලෑන් කිරීමේ හැකියාව, සම්බන්ධීකරණය කිරීමේ හැකියාව නොමැති වීම නිසා තමයි CAS සහිත දරුවන් අපහසුතාවයට පත්වෙන්නෙ. CAS තෙරපි වලදි කරන්නෙ මේ movement අපහසුතා මඟ හරවා ගැනීමට දරුවාට මඟ පෙන්වීම.

CAS තත්වය හඳුනා ගැනිමට උපකාරී වෙන ලක්ෂණ ගොඩක් තියෙනව. ඒ අතුරින් ප්‍රධාන කීපයක් පහත සඳහන් කරල තියෙනව.

  • babbling නොකිරීම. ඒ කියන්නෙ චූටිම කාලේදි මාස 7 සිට වගේ ළමයි කරන ශබ්ද තියෙනවනෙ. ඒ වගේ ශබ්ද නොකිරීම. ඒ කියන්නෙ බා,දා, මා, බා-බා, නා-නා, ඩා-ඩා, බා-දෑ-දා වගේ විවිධ ශබ්ද නොකිරීම. වයසින් වැඩි වුනත් මේ වගේ ශබ්ද apraxia සහිත දරුවන්ගේ මුවින් පිට වීම අපහසු වෙන්න පුළුවන්.
  • ඉතා සීමිත ප්‍රමාණයක ශබ්ද පමණක් තිබීම. අපි මේක ඉන්ග්‍රීසි හෝඩිය අනුව ගත්තොත් vowel sounds (a, e, i, o, u) එකක් හෝ කීපයක් පමණක් තිබීම, අනෙකුත් ශබ්ද (ඉන්ග්‍රීසි හෝඩිය අනුව b,c,d,f,g,h,j,k,l,m,n,p,q,r,s,t,v,w,x,y,z) කටින් පිටකිරීම සීමාසහිත වීම. මේක සිංහල හෝඩිය අනුව කියනවනම් අපිට හිතන්න පුළුවන් අ,ආ,ඇ,ඈ,ඉ,ඊ,උ,ඌ,එ,ඒ,ඔ,ඕ කියන ස්වර ශබ්ද වලින් එකක් හෝ කීපයක් පමණක් දරුවා කටින් පිටකිරීමත්, අනෙකුත් ව්‍යඤ්ජන ශබ්ද පිටකිරීම සීමා සහිත වීම.
  • වචන කීමේදී, අනුකරණය කිරීමේදී අග කොටස හෝ මුල් කොටස නැතුව කීම. උදාහරණ විදිහට “අම්මා” කියන වචනය වෙනුවට “අම්” පමණක් කීම, “puppy” කියන වචනය වෙනුවට “pa” පමණක් කීම ,”කමු” කියන වචනය වෙනුවට “මු” පමණක් කීම, “go” කියන වචනය වෙනුවට “o” පමණක් කීම

ශබ්දයක් පිටකිරීමේදී අපේ Tongues, Lips, Jaws, Soft plate වෙනස් වන ආකාරය හිතලා බලන්න.

 

තව ලක්ෂණ තියෙනව. පසුව දීර්ඝ වශයෙන් ඒ දේවල් විස්තර කරන්නම් ඒ සඳහා අපිට කලහැකි ක්‍රමෝපායන්ම සමඟින්.

Speech Sound Disorders

අපේ රටේ speech sound disorder diagnosis එකක් නිවරැදිව කරන SLP අය ඉන්නවද කියල මම දන්නෙ නෑ. මේ හේතුව නිසා බොහෝ සෙයින් පාඩුවක් වෙන කොට්ඨාශයක් තමයි දැනට කතා නොකරන (non-speaking) හෝ අවම වචන ප්‍රමාණයක් කතා කරන (minimally speaking) දරුවන්. සමහර දරුවන් speech assessment එකට ලක්කරනකොට SLP ට හොයා ගන්න අමාරු වෙනව හරියටම මේ CAS තත්වයද කියල. මොකද සම්හර දරුවන් කතා කරන ප්‍රමාණය (ශබ්ද, වචන) ඉතා අඩු වෙන්න පුළුවන්. මේ වගේ apraxia වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් කියල සැක තියෙන වෙලාවලදි Suspected Childhood Apraxia of Speech (sCAS) කියල diagnosis එක දෙනව.

Pam Marshalla (USA) කියන්නෙ speech sound disorders වෙනුවෙන්, apraxia therapy වෙනුවෙන් විශාල කාර්‍යභාරයක් කරපු SLP කෙනෙක්. එතුමිය ප්‍රකාශ කරනව apraxia, sensory motor disorder එකක් විදිහටත් සලකන්න පුළුවන් කියල.


“They don´t read their movements well. They don´t percieve, organise, store, and have the ability to retrieve the muscle memories” – Pam Marshalla

මේ ප්‍රකාශයට මම හරිම කැමතියි. මේකෙන් අපිට උත්තර හම්බවෙනව අපේ දරුවන් හිටපු ගමන් කියන ආයිත් කවදක්වත් අහන්න නොලැබෙන වචන වලට හේතුව. මේවට කියන්නෙ ghost words එහෙම නැත්නම් pop-out words කියල. අපි හිතමු ඩයිනසෝර් කියන වචනය ප්‍රථම වතාවට දරුවගෙ කටින් පිට වුනා කියල. මේක අහඹු ලෙස සිද්ද වෙන දෙයක්. කටේ අවයවයන් ටික ක්‍රමානුකූලව හැඩගැහිල ලස්සනට චලනය වෙලා මේ වචනය පිට වෙනව. නමුත් දරුවා තුළ muscle memory එකක් වීදිහට මේ චලන හැකියාව ගොඩ නැඟිල නෑ. එතකොට ආයිත් වතාවකදි එයාට ඒ වචනය කියන්න බැරි වෙනව. මේක හරියට මුත්තයියා මුරලිදරන් බැට්ස්මන් කෙනෙක් විදිහට පිට්ටනියට ආපු වෙලාවක හැමෝම පුදුම කරමින් හයේ පාරක් ගහනව වගේ වැඩක්. එයා ඒ මොහොතේ බැට් එක වනන විදිහට හයේ පාරක් වැදෙනව. හැබැයි මුත්තයියාට හැමදාම එහෙම ගහන්න තේරෙන්නෙ නැහැ. ප්‍රේක්ශකයන් මුත්තයියගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මොකද එයාගෙ Muscle memories optimum ready වෙලා තියෙන්නෙ batting වලට නෙවෙයි bowling වලටයි කියල මිනිස්සු දන්නව.

අපේ ඔටිසම් දරුවන් ගැන සලකල බැලුවම non-verbal දරුවන් ඉන්නව. සමහර දරුවන් කොපමණ වයසට ගියත් සැලකියයුතු ශබ්දයක් මුවින් පිට කරන්නෙ නැහැ. එතකොට “මෙච්චර කාලෙකට වචනයක් වත් ළමය කතා කලේ නැහැනෙ ” කියන කාරණය නිසාම දෙමව්පියන් බලාපොරොත්තු අත්හැර ගන්නව. Speech sound disorders වලට සෑහෙන්න උපකාරී වෙන Multisensory cues (බහු-සන්වේදන ඉඟි) තියෙනව. බහු-සන්වේදන ඉඟි කියන්නෙ දැනට කිසිම වචනයක් කතා නොකරන දරුවෙකුට වුනත් පාවිච්චි කරල බලන්න පුළුවන් දෙයක්.

  • Visual Cues
  • Auditory Cues
  • Tactile Cues
  • Metacognitive Cues (e.g.: hand cues)

මේ අතුරින් hand cues ගැන මම හැඳින්වීමක් කරන්නම්. මේක තරමක් පැරණි නමුත් සාර්ථක ක්‍රමයක්. Non-speaking , minimally speaking දරුවන් ඉන්නවනම් මේක කරල බලන්න. මගේ පුතාගෙ හැරවුම් ලක්ෂය වුනේ hand cues. ඒක නිසා විශ්වාසයෙන් කියන්න පුලුවන් මේකෙ positive බලපෑම. වීඩියෝ කීපයක link දාන්නම්.

කැමති එකක් refer කරන්න. සමහර international SLP අය ඒ අයටම අනන්‍ය වූ hand cues පාවිච්චි කරනව. මොකක් වුනත් කමක් නැහැ, හැම වෙලාවෙම එකම cues පාවිච්චි කරන්න. නැත්තම් දරුව confuse වෙනව. මතක තියාගතයුතු වැදගත්ම කාරණය තමයි දරුවට පීඩාවක්, ආතතියක් ඇති නොවෙන විදිහට, play based approach එකක් විදිහට මේක දරුවත් එක්ක කරන්න. එතකොට ස්වභාවිකව මේ දේවල් දරුවගේ මනසට යනව. ඊළග ලිපියෙන් මම Consonants and syllables වලට අදාල hand cues සහ අනෙකුත් Multisensory cues ගැන විස්තර ලියන්නම්.

මේ පේජ් එකේ දවසක් international speech therapist ල ගැන විස්තර දාල තිබ්බ. ඒ තොරතුරු වලින් තමයි මම Alonna Bondar, Apraxia specialist ගෙ instagram account එක follow කරන්න ගත්තෙ. එතන apraxia, ගැන ඉගෙන ගන්න අවශ්‍ය බොහෝ දැනුම තියෙනව.

මෙන්න ලින්ක් එක : Alonna Bondar

Logo  වල A-Z resources තියෙනව. Free account එකක් හදාගෙන බොහෝ දැනුමක් ලබාගෙන අපේ දරුවට සහාය වෙන්න පුළුවන්.

Apraxia therapy වලදි වෙන්නෙ motor based approach එකක්. මේ approach එක CAS තියෙන නැති ඕනැම දරුවෙකුට use කලාට කමක් නැහැ. මේකෙ අනිත් පැත්ත තමයි ප්‍රශ්නෙ. ඒ කියන්නෙ apraxia තත්වය තියෙන දරුවෙකුට language based approach ක්‍රමයෙන් පමණක් ගියොත් ඒ දරුවට improve වෙන අවස්තාවන් සීමා වෙනව. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, ඔයාගේ දරුවා CAS තියෙනව කියල සැක සහිත නම්, දරුවා ඔටිසම් දරුවෙක් නම් Motor-based speech approach (= apraxia therapy) සමඟ GLP ක්‍රමයට දරුවගේ සන්නිවේදනයට සහය දෙන්න.

 

මුල් සබැඳිය : Apraxia ලිපි 1 : Speech sound disorders

M.H.W.N. Jinadasa
Researcher, BSc Eng(Hons), MSc (Energy & Env), PhD(Process Tech)