දරුවන්ට ස්මාර්ට් ෆෝන්, ටැබ්ලට් වගේ ඩිවයිස් දෙන එක ගැන අද සමාජයේ තියෙන්නේ ලොකු මතභේදාත්මක අදහසක්. ඉතින්, ඔටිසම් ගැන දැනුවත් කිරීමේ පිටුවක් විදිහට අද අපි කතා කරන්නේ රූප මාධ්‍යය ප්‍රිය කරන (Visual Learners) Neurodivergent දරුවන්ට මේ ඩිවයිස් බලපාන්නේ කොහොමද කියන එක ගැනයි. (Visual Learners ලා කියන්නේ කවුද කියල රමේෂා කලින් ලියපු ලිපි වලින් ඔබ දැනුවත් ඇති කියලා හිතනවා).

ඔටිසම් දරුවන්ට පොත්, වර්ක්ෂීට් (worksheets) වගේ සාම්ප්‍රදායික ක්‍රම වලින් විතරක්ම ඉගෙන ගන්න එක ලේසි නෑ. උදාහරණයක් විදිහට, එමලිට අපි දවසට worksheet 30ක් විතර ප්‍රින්ට් කරලා දුන්නත්, එයා ඒ ඔක්කොම විනාඩි 30කට අඩු වෙලාවකින් ඉවර කරනවා.

එමලිගේ සන්නිවේදනය, regulate වෙන්න වගේම එයාට දැනුම හොයාගෙන යන්න ඩිවයිස් එක සැහෙන ප්‍රයෝජනවත් වෙනවා. උදාහරණයක් විදියට අවම වාචික සන්නිවේදනයක් තියෙන එමලි මේ වෙනකොට Voice Typing, images, video calls,  වගේ දේවල් හරහා අපිත් එක්ක ඉස්සරට වඩා සෑහෙන සන්නිවේදනය කරගන්නවා.

ගොඩක් අය කියනවා ඩිවයිස් නිසා දරුවගේ ඔටිසම් ගතිලක්ෂණ වැඩි වෙනවා කියලා. හැබැයි මේකේ ඇත්ත කතාව වෙනස් එකක්.

Regulate වීම (සන්සුන් වීම): දරුවෙක් එකම වීඩියෝ එකක් (නැත්නම් වීඩියෝ එකක තත්පර කිහිපයක කොටසක්) නැවත නැවත බලන්නේ එයාගේ මනස සන්සුන් (regulate) කරගන්නයි.

Dysregulated වීම (නොසන්සුන් වීම): හැබැයි මෙහෙම සන්සුන් වෙන්න බලන දේවල් නිසාම සමහර වෙලාවට දරුවා ඕනෑවට වඩා උත්තේජනය වෙන්න පුළුවන් (Over-stimulated). අන්න ඒ වෙලාවට දරුවා නොසන්සුන් (dysregulated) වෙනවා. පිටතින් බලන අයට මේක පේන්නේ “ඩිවයිස් නිසා ඔටිසම් වැඩි වෙලා” වගෙයි.

ඩිවයිස් පාවිච්චියේදී අපිටත් විවිධ අභියෝග වලට මුහුණ දෙන්න වුණා. ඒ ගමන ආවේ මෙහෙමයි:

Amazon Fire Kids Tablet: මුල්ම කාලේ මේක සාර්ථක වුණත්, කාලයත් එක්ක ගැටලුවක් ආවා. ඒ තමයි ඩිවයිස් එකේ ස්පීඩ් එකට වඩා එමලිගේ ස්පීඩ් එක වැඩි වුණු එක (ඒ කාලේ ඕවයේ තිබුණේ 4 GB RAM).

වෙනත් ඩිවයිස් සහ ඇප්ස්: ඊටපස්සේ එක එක ඩිවයිස් ට්‍රයි කරද්දී ලොකු ප්‍රශ්න ආවා. එක සැරයක් Kids parental control app එකක් දාන්න ගිහින් ෆෝන් එකක් අයින් කරන්න පවා වුණා.

සාර්ථකම විසඳුම (Samsung Kids Mode): අපිට හම්බුණු හොඳම solution එක තමයි Samsung Kids Mode. ඒකෙන් අපිට ඕන ඇප්ස් විතරක් enable කරලා, දරුවාට වෙන කිසිම ඇප් එකකට යන්න බැරි වෙන්න ලොක් කරන්න පුළුවන්.

===========================

* දෙමව්පියන් විදිහට අපේ වගකීම: Trial & Error ක්‍රමය

===========================

මෙතනදී අපේ ප්‍රධානම වගකීම තමයි දරුවා බලන ඇප්ස් ‍තෝරා බේරා දෙන එක සහ ඒවට දරුවා දක්වන ප්‍රතිචාරය නිරීක්ෂණය කරන එක.

ඇප්ස් පාලනය කිරීම: Google Family Link, App Lock වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. (හැබැයි එමලි නම් කාලයත් එක්ක මේ හැම එකකින්ම රිංගන්න ඉගෙන ගත්තා!).

ප්‍රතිචාර නිරීක්ෂණය (Investigation): දරුවා යම් ඇප් එකක් නිසා over-stimulate වෙනවා නම්, ඒක ලිස්ට් එකෙන් අයින් කරන්න ඕනේ. සමහර වෙලාවට දවස තිස්සේ හොඳට ඉඳලා, රෑ එළිවෙනකම් නිදි නැතුව නොසන්සුන්ව ඉන්නේ දවල් බලපු දෙයක් ඔළුවේ තියාගෙන වෙන්න පුළුවන්. එතකොට පොඩි සෙවීමක් කරලා ඒ ඇප් එක අයින් කරන්න වෙනවා.

දරුවාගෙන් දරුවාට වෙනස් වීම: එක දරුවෙක්ට හරියන ඇප් එකක් තව කෙනෙක්ට හරි නොයන්න පුළුවන්. ඒ වගේම ඉස්සර ආසාවෙන් බලපු ඇප් එකක් වුණත් පස්සේ කාලෙකදී over-stimulate වෙන්න හේතුවක් වෙන්න පුළුවන්.

YouTube තහනම සහ විකල්ප: දැන් අපේ එමලිට YouTube සම්පූර්ණයෙන්ම තහනම්. ඒකෙන් ඉගෙන ගන්නවාට වඩා එයා dysregulated වුණා. ඒකට හේතුව එයාගේ visual sensory sensitivity වැඩි නිසා බහුතරයක් වීඩියෝ එයාගේ ස්නායු පද්ධතියට දරා ගන්න අමරුයි. හැබැයි දැන් එයා ටයිප් කරන්න දන්න නිසා, Google Search එකෙන් එන DIY Crafts වගේ වීඩියෝ බලනවා. ඒවගෙන් එමලි dysregulated වෙන්නේ නෑ.

ඩිවයිස් එකක් කියන්නෙ හරි විදිහට පාවිච්චි කරනවා නම් සෑහෙන උදව්වක් ගන්න පුළුවන් මෙවලමක්. සරලවම, Parental Control ඇප් එකක් දාලා දරුවාට අවශ්‍ය දේ විතරක් දෙන්න. ඒ වගේම දරුවාගේ හැසිරීම් රටාව අනුව නිතරම ඒ ඇප් ලිස්ට් එක අප්ඩේට් කරන්න.

අද වෙනකම් එමලිට Samsung Kids Mode එකෙන් රිංගන්න පුළුවන් වුණේ හොරෙන් රමේෂගේ පාස්වර්ඩ් එක බලාගෙන ඉඳලා විතරයි. හැබැයි දැන් අපි සතියෙන් සතිය පාස්වර්ඩ් එක මාරු කරනවා!

එමලි මේ දවස් වල Google Maps බලන්න හරි ආසයි. ඒත් Kids Mode එකේ Maps ඇප් එක දෙන්නේ නැති නිසා එයාට Maps බලන්න ඕනේ වෙලාවට එයාට Kids Mode එක අයින් කරල දෙන්න වෙනවා. ඒක ඕනේ උනාම එමලි රමේශා ලඟට එන්නේ Maps Only කියාගෙන. ඒ කියන්නේ “අම්මේ Kids Mode එක අයින් කරල දෙන්න, මම බලන්නේ මැප්ස් විතරයි” කියලා. හැබැයි මෙහෙම අරගෙන සමහර වෙලාවට හොරෙන් YouTube ගිහින් Dysregulated වෙන වෙලාවලුත් නැතුවම නෙමෙයි.

එහෙම වෙලාවට තමයි රමේශගේ ඇතුලේ ඉන්න Asian Parent එලියට එන්නේ. වහාම ක්‍රියාත්මක වෙන පරිදි Kids Mode දානව වගේම ආයේ Maps Only කියන් එද්දි පොඩි තගකුත් දානවා මතක නේද Youtube ගිහින් වෙච්ච දේ කියල. ඉතිං කොච්චර එමලි ඇඬුවත් ආයේ Maps හම්බ වෙන්නේ නෑ. ආයේ අම්මටයි දුවටයි දෙන්නටම ඔය ඔක්කොම අමතක වෙන අලුත් දවසක තමා ආයේ එමලිට මැප්ස් බලන්න හම්බෙන්නේ.

එමලිට අපි නිදහස උපරිමයෙන් දීල තිබුනට ඒ හැම දේකටම boundaries හදලා තියෙන්නේ. ඉතිං එමලිත් ටික ටික ඉගෙන ගෙන තියෙනවා ඒ boundaries ඇතුලේ එයාගේ නිදහස භුක්ති විඳින්න. ඒ නිසාම ඕනෙම වෙලාවක මේ වැඩේ ඉවරයි, එහෙමත් නැත්නම් Enough, give me the phone කිවුවොත් එමලි අඬන්නේ නැතුව ෆෝන් එක දෙන තරමට එයා දැන් එයාගේ සීමාව තේරුම් අරගෙන ඉන්නවා. ඒක ඇත්තටම බයකට වඩා එයාගේ අම්මට දක්වන respect එක.

දැන් වෙද්දි එමලිගේ communication  කොච්චර improve වෙලාද කියනව නම් අපේ පැත්තේ Cargills, Keells වල නැති එයාට ඕනේ Baby Cologne අම්ම එක්ක Daraz එකෙන් ඕඩර් කරන්න තරමට එයා දියුනුයි. මේ  වීඩියෝ එකේ තියෙන්නේ එහෙම දාපු Daraz ඕඩරයක් එනකම් හවස බලන් ඉඳපු හැටි

✍️ Asela Indika 

 

මුල් සබැඳිය : දරුවන්ට ස්මාර්ට් ෆෝන්, ටැබ්ලට් වගේ ඩිවයිස් දෙන එක