නිතරම අහන්න ලැබෙනවා වාචිකව සන්නිවේදනය කරගන්න අපහසු දරුවන් අංග චලන වලින් දෙයක් ඉල්ලන කොට වචනෙම කටින් කියනකල් ඒ දේ නොදී ඉන්න කියලා උපදෙස් දෙන සමහර තෙරපිට්ස්ලා ගැන. මට කිසිම අදහසක් නැහැ කොහෙන්ද මේ නිවැරිදි නොවෙන අමානුෂික ක්‍රමයන් තෙරපි විදියට ලංකාවේ තාම පාවිච්චි කරන්නේ කියලා. වැඩිහිටි අපිට එක දවසක් කතා කරගන්න බැරි අපහසුවක් ආවම කොයිතරම් නම් ඒක පීඩාවක්ද? එතකොට තමන්ගේ ස්නායු විවිධත්වය නිසා වාචිකව සන්නිවේදනය කරගන්න අපහසු දරුවන් ඉන්නේම ඉතාමත් පීඩනයක කියලා දෙමව්පියන්ට වැටහෙන්න ඕනේ. තමන්ගේ බඩගින්න,පිපාසය, ශාරීරික අපහසුව පවා දරුවන්ට දෙමව්පියන්ට කියාගන්න බෑ. ඉතිං අංග චලන, හැඩීම , ශාරීරික ඉරියව්, රූප හරහා දරුවන් තමන්ගේ අවශ්‍යතාවය කියනකොට ඒක නොසළකා හැරීම ඒ දරුවාට ලබා දෙන සහයක් නෙමේ. මෑතකදී එමලිට බඩ රිදෙන්න අරගෙන ඒක එයා මට පෙන්නුවේ මගේ අත අරන් එයාගේ බඩට තියලා. දැන් අපි දරුවන්ගේ අංග චලන නොසලකා හැරියම සිද්ධ වෙන්නෙ ඒ දරුවා තමන්ගේ අපහසුතාවයන් පවා විද දරාගෙන ඉන්නවා දෙමව්පියන්ට ඒක පෙන්වා දෙන්නේ නැතුව. ඒකයි සෑම සන්නිවේදන ක්‍රමයකටම අපි ගෞරව කරන්න ඕනේ කියන්නේ.

දරුවාගේ අවශ්‍යතාවය වචනයෙන් කියනකල් ඒ අවශ්‍යතාවය නොසලකා හැරීම කියන්නේ ඉතාමත් අමානුෂික දෙයක්. ඒක හරියට දෙමව්පියන් විසින් දරුවා ස්නායු විවිධත්වයෙන් ඉපදීම නිසා දරුවාට දඬුවම් කරනවා වගේ දෙයක්. දරුවන්ට වාචිකව සන්නිවේදනය කරන්න උත්තේජනය කරන්න හෝ උනන්දු කරන්න වෙන කොයිතරම් නම් ක්‍රම තියනවද? මේක play හරහා, විනෝදයෙන් අපි අපේ දරුවන් එක්ක එකතු වෙලා දරුවාට කාලය ලබා දීලා ඉවසීමෙන් සහය දෙමින් යන්න ඕනේ ගමනක් මිසක් දරුවාට දඩුවම් කරලා හැමෝම පීඩාවකින් යන්න ඕනේ ගමනක් නෙමේ.

මම එමලි කැමතියි කියලා හිතෙන එක එක ක්‍රම අත් හදා බලනවා එමලිගේ සන්නිවේදනයට සහය දෙන්න. මේ ඒ වගේ ලඟදි අපි සිංදු කිව්වා.එමලිත් ඒකට හවුල් වුනා🤭 ඉතිං කෙනෙක් හිතනවා නං දරුවෙක්ට බැනලා,ගහලා, තරවටු කරලා, ඒ දරුවා කටින් වචන කියනකල්ම අවශ්‍ය දේ නොදී මඟ හැරලා වාචික සන්නිවේදනය සංවර්ධනය කරගන්න පුළුවන් කියලා ඒකෙන් වෙන්නේ දරුවා වඩ වඩාත් පීඩාවට පත් වෙලා තමන් තුළ නිහඩ වෙන එක විතරයි.

මුල් සබැඳිය : දරුවන්ගේ සන්නිවේදනයට ගරු කරමු