Screen එකත් එක්ක බහුතරයක් දෙමව්පියන් අත් දකින දෙයක් ගැන තමයි අද පැහැදිලි කරන්න යන්නේ.

මේ පිටුව ඇතුළේ අපි කතා කරන්නේ ඔටිසම් / ADHD දරුවන් ගැන. ඒ නිසා මේ ලියන කිසිම කාරණයක් Neurotypical දරුවන්ට අදාළ වෙන්නේ නැහැ.

ඔටිසම් දරුවන් පහසුවෙන් Self regulate වෙන්නේ (.මනස සන්සුන් කරගන්නේ ) Screen එක හරහා.ඒ වගේම ඔටිසම් දරුවන්/ පුද්ගලයින් Visuals හරහා තමයි දැනුම ලබා ගන්නේ. දැන් ඔටිසම් ගැන මාධ්‍ය හරහා කතා බහ කරන වෛද්‍යවරුන් ස්ක්‍රීන් එක ඔටිසම් එක්ක සම්බන්ධ කරන්න විශාල උත්සාහයක් ගන්නවා. ඒත් ඔටිසම් සහ ස්ක්‍රීන් එක අතර කිසිම සම්බන්ධකමක් මෙතෙක් විද්‍යාත්මකව ඔප්පු වෙලා නැහැ.

අපි මුලින්ම පැහැදිලිව තේරුම් ගන්න ඕනේ ඔටිසම් දරුවන්ගේ ස්නායු විවිධත්වය. මේ විවිධත්වය නිසා ස්පර්ශය, ශබ්ධ, දෘශ්‍ය , ශරිර අභ්‍යන්තර දැනීම, ශරීර අවයව ක්‍රියා කිරීමේ දැනීම වගේ සංවේදනයන් වල දැනීම අඩු සහ වැඩි වෙන්න පුලුවන්.එතකොට ඔටිසම් නොවන දරුවන් වගේ නෙමේ ඔටිසම් දරුවන්ට තම ශරීරය සහ ඉන් බාහිර පරිසරයෙන් එන සංවේදන සමබර කරගන්න අසීරුයි. ඒ නිසා කලබල වෙන තමන්ගේ මනස සන්සුන් කරගන්න විශාල උත්සාහයක් ගන්න වෙනවා. මේ මනසට සහ ශරීරයට දැනෙන වේදනාව සමනය කරගෙන සන්සුන් වෙන්න එක ක්‍රමයක් විදියට ඔටිසම් දරුවන් ස්ක්‍රීන් එක පාවිච්චි කරනවා. එතකොට ඔටිසම් නොවෙන දරුවෙක් ස්ක්‍රීන් එක පාවිච්චි කරන සහ ඔටිසම් දරුවෙක් ස්ක්‍රීන් එක පාවිච්චි කරන හේතූන් එකිනෙකට හාත්පසින්ම වෙනස්. ඒ වගේම ඔටිසම් නොවෙන දරුවන් වචන හරහා දැනුම ලබා ගත්තට ඔටිසම් දරුවන්ට තමන්ගේ මනසේ කොපි කරගන්න පහසුම රූප හරහා ලබා දෙන දැනුම.

දැන් ඔටිසම් බබාලා ඉන්න දෙමව්පියන් කියනවා ස්ක්‍රීන් එක නිසා දරුවා වෙනස් වුනා කියලා. ඒ කියන්නේ දරුවාගේ හැසිරීම වෙනස් වුනා කියලා.ඒ වගේම ස්ක්‍රීන් එක අයින් කරාම ඒ හැසිරීම් ඔක්කොම නැති වෙලා දරුවා ඉතාමත් යහපත් වුනා කියලා. ඒ කියන් ඔටිසම් ලක්ෂණ අවම වුනා කියන එක නෙමේ. උදාහරණයකට දරුවා ස්ක්‍රීන් එක නිසා ඉතාම නොසන්සුන් කලබලකාරී වුනා ස්ක්‍රීන් එක ගත්තම ආයේ ඒ නොසන්සුන් කලබලකාරී ගතිය නැති වුනා කියලා. එතකොට මේ හරහා වැරදි අදහසක් සමාජගත කරනවා ඔටිසම් දරුවන්ට ස්ක්‍රීන් එක අහිතකරයි , ඔටිසම් වැඩි වෙනවා කියලා. අන්න ඒ අදහස නිසා ඔටිසම් දරුවන්ට ස්ක්‍රීන් එක හරහා අපිට ලබා දෙන්න පුලුවන් දැනුම, භාශා සංවර්ධනය සහ මනස සන්සුන් කරගැනීමේ ක්‍රමය අහිමි වෙලා යනවා.

දැන් අපි විද්‍යාත්මකව පැහැදිලි කරගමු කොහොමද එහෙම ස්ක්‍රීන් එකෙන් ඔටිසම් දරුවන් සන්සුන් වෙනවා වගේම කලබල වෙන්නේ කියන එක වගේම ඒකට මොකක්ද ගන්න පුලුවන් විසදුම කියලා.

මේක පැහදිලි කරගන්න ඔටිසම් මනස පිළිබඳව ප්‍රධාන කාරණා 3 ක් ඉගෙන ගන්න ඕනේ.

1) Sensory Craving සහ Overload Cycle – සමහර ඔටිසම් පුද්ගලයින් Intense sensory හොයාගෙන යනවා.මේ Intense sensory input කියලා අපි කියන්නේ තමන්ට දරාගන්න බැරි සංවේදන.එහෙම නැත්තන් Strong සංවේදන දැනිම ගැන..ඔන්න උදාහරණ ටිකක් එක්ක මම මේක පැහැදිලි කරන්නං.

  • නිතරම ලයිට් on , off කර කර බැලීම
  • තද පාට දිහා බැලීම
  • බැලූන් පිපිරවීම, අධික ශබ්ධයෙන් ගීත ඇසීම
  • ඇලෙන සුළු slime වැනි දෑට කැමති වීම
  • මිරිස් වැඩි , ලුණු වැඩි, කරස් හඩින් හැපෙන කෑම වලට කැමති වීම.

එමලි ගොඩක් වෙලාවට බ්ලෙන්ඩර් එක ඔන් කරන්න කියලා මට කියලා ඒක on කරනකොට කන් වහන් හයියෙන් හිනා වෙලා දුවනවා. ඒ වගේම තමයි බැලුන් පුම්බලා ඒවා පුපුරවන්න කියලා ඒ සද්දේ අහන් ඉන්නවා. එතකොට මම දන්නවා එමලි ලබා ගන්න හදන්නේ මෙන්න මේ අපි කතා කරන Intense sensory අත්දැකීම කියලා. මේ වගේ අපිට ඔටිසම් දරුවන්ව වටහා ගන්න නම් අනිවාර්‍යෙන්ම අපේ කියවීම තවදුරටත් නතර නොකර දිගටම කරගෙන යන්න ඕනේ.

එතකොට මෙන්න මේ Intense Sensory අත්දැකීම ලබා ගන්නකොට අපේ දරුවන්ට තේරෙන්නේ නැහැ ඒකෙන් පීඩාවට පත් වෙන තැනදි නතර වෙන්න. ඒ කියන්නේ ඒක පාලනය කරගන්න අපොහොසත්.

2) Dopamine සහ Stimulation – ඩොපමින් කියන්නේ අපේ මනසට උත්තේජනයක් ඇති කරවන්න හේතුවෙන හෝමෝනය වගේම neurotransmitter එක කිව්වොත් නිවැරිදියි. එතකොට දැන් දරුවා අධික උත්තේජනයක් ලැබෙන වීඩීයෝ එකක් බලනවා කියලා හිතන්න.එතකොට එයාට ඒකේ බැලීමෙන් සතුටක් තෘප්තියක් දැනෙන්නේ මොළය ඩොපමීන් කියන කෙමිකල් එක මුදා හරින නිසා. මෙන්න මේ උත්තේජනය ආයේ ආයේ ගන්න ඒ වගේම අධික උත්තේජනයක් ලැබෙන වීඩීයෝ දරුවා ආයේ ආයේ බලන්න පුලුවන්. ඒ බලන හැම වාරයකදීම මොළයට ඩොපමීන් කෙමිකල් එක මුදා හැරෙනවා. මේක Reinforcement Loop එකක් වගේ ක්‍රියාත්මක වෙනවා. ඉතිං ඩොපමීන් Regulate කරගන්න එහෙමත් නැත්තන් සමබරව පවත්වාගෙන යන්න මොළයට අසීරු වෙනවා මේ ක්‍රියාවෙන්. මෙන්න මේක නිසා දරුවාගේ Sensory overload වෙන්න පුලුවන් , ඔලුව රිදෙන්න පුලුවන් , නින්ද යන්නේ නැති වෙන්න පුලුවන් , කලබලකාරී හැසිරීමක් පෙන්නුම් කරන්න පුලුවන් .

3) Hyper fixation සහ Emotional Regulation – එකම වීඩීයෝ එක අපේ ඔටිසම් බබාලා සහ පුද්ගලයින් බලනවා ආයේ නැවත නැවතත්.මේක නරක දෙයක් නෙමේ.මේ එකම වීඩීයෝ එක බලන්නේ මනස සන්සුන් කරගන්න උපක්‍රමයක් විදියට. ඒත් මේ බලන වීඩීයෝ එක අධික උත්තේජනයක් ගේන එකක් නම් ඒකෙන් දරුවා Over stimulate වෙන්න පුලුවන් . මේ Over stimulate වෙනවා කියන එක නිකන් වේගයෙන් කැරකෙන roller coaster එකක ඉන්නවා වගේ. එහෙම නැත්තන් සද්දෙට Music play වෙන සංගීත සංදර්ශයක ඉදිරි පෙළට වෙලා ඉන්නවා වගේ. මනසට යම් උත්තේජනයක් ලැබුනත් මේ උත්තේජනය ඇති කියලා නතර කරගන්න අපේ බබාලට අමාරුයි. ඒ අපේ බබාලගේ ස්නායු විවිධත්වය නිසා.

දැන් අපි මේ උඩ කතා කරපු කාරණා ඔක්කෝම එකතු කරලා අපි ඒකට කියනවා Paradoxical experience එකක් කියලා. මනස සන්සුන් වෙන්න පුලුවන් අත්දැකීමම තව පැත්තකින් මනස කලබලකාරී කරන්න හේතු වෙනවා. ඕක තමයි ඔටිසම් බබාලට ස්ක්‍රීන් එක හරහා බලන සමහර වීඩීයෝ හරහා වෙන්න පුලුවන් දේ. ඒත් මේක හැම බබෙක්ටම එකම විදියට වෙන්නේ නැහැ. දැන් Cocomelon videos ගමු උදාහරණයකට. එක බබෙක්ට අධික උත්තේජනයක් මේ වීඩීයෝ බැලුවම එන්න පුලුවන් උනාට තව බබෙක්ට එහෙම වෙන්නේ නෑ. ඒ නිසා තමයි ඔය cocomelon videos ගැන කතා කරනකොට සමහර අම්මලා කියන්නේ මගේ බබා ඒ වීඩීයෝ වලින් අවුල් වුනා වගේම තවත් අම්මලා කියන්නේ මගේ බබා නං ඒ වීඩීයෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා. paradoxical experience එක ස්නායු විවිධත්වය මත දරුවාගෙන් දරුවාට අත්දකින විදිය වෙනස් වෙනවා.

අපි මේ paradoxical experience එක උදාහරණ කීපයක් එක්ක තවත් පැහැදිලි කරගමු.

  • අපි මිරිස් වැඩි කෑම කට දැවිල්ල එක්කම කනවා.අපි ඒක Enjoy කරනවා. ඒත් කෑවට පස්සේ ඒ දැවිල්ල ගතිය අපිට හරි අපහසුවක් ගේනවා. ඒත් අපි මිරිස් නොකා ඉන්නේ නෑ. ඒකෙන් ලැබෙන උත්තේජනයට අපි කැමති නිසා.
  • ඔටිසම් බබෙක් ඉන්න පුලුවන් කරස් ගාලා හැපෙන චිප්ස් කන්න ආස.ඒත් ඒ චිප්ස් හැපෙන විදිය එයාට උත්තේජනයක් ගෙනාවට ඒක හපනකොට එන සද්දෙට එයා ආස නෑ.ඒ සද්දේ එයාට හිරිහැරක්. ඒත් එයා චිප්ස් කන එක නතර කරන්නේ නෑ.
  • මතකද පොඩි කාලේ අපි එක තැන කැරකෙනවා. එහෙම කැරකිලා වැටෙනවා. අපිට දැනෙනවා අපිවත් පොලව එක්කම කැරකෙනවා කියලා. ඒත් අපි ඒ හැඟීමට ආසයි. අපි ආයේ ආයේ එහෙම කැරකි කැරකි වැටෙනවා.

ඉතිං මෙන්න මේ වගේ තමයි තමන්ගේ මනසට උත්තේජනයක් ගේන සමහර වීඩීයෝ වලින් ඒ ලැබෙන උත්තේජනය අධික වෙල දරාගන්න බැරි වුනත් අපේ බබාලා ආයේ ආයේ ඒකම බලන්නේ. එයාලට ඒක නතර කරගන්න බැහැ. ඔතනිදී තමයි අපි උදව් කරන්න ඕනේ මොන වගේ වීඩීයෝද අපේ බබාලට තෝරා බේරාගෙන බලන්න දෙන්නේ කියලා.මෙතනිදි කියන්නේ නැහැ වීඩීයෝ එකේ අන්තර්ගතය ගැන. උදාහරණයක් විදියට ලෝකේ හොඳම Educational video එක බලනවා කියලා හිතන්න දරුවෙක්. එතකොට ඒ වීඩීයෝ එකේ රූප එහා මෙහා යන විදිය ,ශබ්ධ, පාට මේ දේවල් එයාගේ මනසට දරාගන්න බැරි තරම් උත්තේජනයක් ගේන්න පුලුවන්. ඒත් තව බබෙක්ට ඒ වීඩීයෝ එකම අධික උත්තේජනයක් නොවෙන්න පුලුවන්.

දැන් ඔයාලට පැහදිලි ඇති ස්ක්‍රීන් එකේ නෙමේ වරද තියෙන්නේ.මෙතන ගැටළුව වෙන්නේ Over stimulate වෙන සමහර වීඩීයෝ වල කියන එක. එතකොට අපි කොහොමද දරුවාට උදව් කරන්නේ over stimulate නොවී ඉන්න?

1) Dopamine Breaks දෙන්න. ඒ කියන්නේ දරුවා මනස සන්සුන් කරගන්න බලන වීඩියෝ වලින්ම එයාව අධිකව උත්තේජනයට පත් වෙනවා නම් පොඩි විරාම කාලයක් දෙන්න. මෙන්න මේ විරාමය ගොඩක් අය ලබා දෙන්නේ වැරදියට. උදාහරණයක් විදියට බබා එයා හරිම කැමැත්තෙන් යම් වීඩියෝ එකක් බල බල ඉන්නකොට එක පාරටම ටැබ් එක හෝ ෆෝන් එක උදුරලා ගන්නවා දැන් ඇති කියලා. ඉතිං එහෙම කරනකොට කාටද තරහා නොයන්නේ? ඔටිසම් බබාලට Routine හරහා තමයි වඩා පහසුවක් මනසට දැනෙන්නේ. ඒ කියන්නේ ඔය ෆෝන් එක දරුවගෙන් ගත්තම ඊට පස්සේ දරුවා මොකක්ද කරන්නේ කියන එක ගැන දරුවාට අදහසක් නැහැ.මේ හැඟීමට අපේ බබාලා ආසම නෑ. ඒ නිසා නිතරම විරාමයක් දෙනවා කියන්නේ එක දේකින් තව දේකට යොමු වෙනවා කියන එක. උදාහරණයක් විදියට ස්ක්‍රීන් එක ගන්නකොට

  • Time to play
  • Time to go outside
  • Time to wash
  • Time to eat වගේ දෙයක් කියන්න.

ඒ කියන්නේ ඊළඟට කරන්න යන දේ. එතකොට ඔයාට පුලුවන් බබාගෙන් ෆෝන් එක උදුරලා ගන්නේ නැතුව දැන් play කරන වෙලාව කියලා ඒක අරගෙන බබා එක්ක Play කරන්න යන්න. එතකොට මේක දිගටම කරනකොට බබාට ඒත්තු ගැන්වෙනවා ” වෙලාව” කියන එක ගැන යම් අදහසක්. දැන් මම නාන වෙලාව , දැන් මම කන වෙලාව වගේ Routine එකක්. එතකොට ස්ක්‍රීන් එකෙන් එයා කෙලින්ම එයාගේ Next දේට පහසුවෙන් මාරු කරගන්න පුලුවන්. කෑ ගහන්න , බනින්න ඕනේ නෑ දරුවට. මුල් දවස් වල ටිකක් අපහසු වෙයි මේ Routine එකට හුරු කරගන්න.ඒත් දිගින් දිගටම කරනකොට අලුත් Routine එකට දරුවා පුරුදු වෙනවා.

2) දරුවාව Over stimulate වෙන වීඩීයෝ අයින් කරන්න. මම පුද්ගලිකව අනුගමනය කරන්නේ ඒක. එමලි කියන්නේ ගොඩක් සංවේදන වල සංවේදිතාව හරි ඉක්මනින් අඩු වැඩි වෙන බබෙක්. එතකොට එයා ගොඩක් දේවල් වලින් Over stimulate වෙන්න පුලුවන්. ගොඩක් හොඳ Educational apps , Videos තියනවා එයාට බලන්න බැරි. ඒකට හේතුව ඒවා වලින් හරි ඉක්මනට අධික උත්තේජනයට පත් වෙන නිසා. ඒ නිසා මම සෑහෙන්න පරිස්සම් වෙනවා ඒ වගේ දේවල් එමලිට නොදී ඉන්න. එතනින් එහාට අපි කිසිම ගැටළුවකින් තොරව එමලිට ස්ක්‍රීන් එක හරහා මනස සන්සුන් කරගන්න වගේම දැනුම ලබා ගන්නත් ලබා දෙනවා. අපි දෙමව්පියන් විදියට දැනුවත් වෙන්න ඕනේ එකම කාරණය ස්ක්‍රීන් එක හරහා Over stimulate වෙන්න පුලුවන් කියන එක. Over stimulate වීම සරළ කාරණයක් නම් නෙමේ. ඒක ඔටිසම් බබාලා ඉන්න දෙමව්පියන් ටිකක් සීරියස් හිතන්න ඕනේ සහ දැනුවත් වෙන්න ඕනේ දෙයක්. මම හිතනවා පෝස්ට් එකෙන් ඒක මම පුලුවන් උපරිම පැහැදිලි කරා කියලා.

ඔටිසම් දරුවන් සහ පුද්ගලයින්ගේ ස්නායු විවිධත්වය නිසා ඔවුන්ට දැනෙන සංවේදන සංවේදීතාවයේ වෙනස මත මේ Over stimulate වීම පැහැදිලි කරලා තියනවා ” Intense World Theory (IWT)” හරහා. අපි ඒ ගැන පේජ් එකෙන් කතා කරා. අනික් එක තමයි occupational therapist කෙනෙක් වගේම neuroscientist කෙනෙක් වෙන Dr. A. Jean Ayres ගේ ” Sensory Processing Theory”එක.

මුල් සබැඳිය : ඔටිසම්/ADHD දරුවන් සහ Screen භාවිතය