Screen එක කියන්නේ Digital devices එකක්. එතකොට කොහොමද මේ Digital devices එකෙන් දරුවන් ASD වෙන්නේ?

ඔටිසම් දරුවන් සහ ස්ක්‍රීන් එක අතර සම්බන්ධතාවයක් ඇතැයි යන මිත්‍යාව විසින් ඔටිසම් දරුවන්ගේ සම්පූර්ණ අනාගතයම විනාශ කරමින් තියනවා . ලංකාවේ ඉන්න බහුතරයක් වෛද්‍යවරුන් එයාලගේ සුදු කෝට් එක අස්සෙ වහන් ඉන්නේ පුදුමාකාර මිත්‍යාවක්. මෙන්න මේ මිත්‍යාව තමයි විද්‍යාව වෙනුවට ඔවුන් සමාජයේ වපුරන්නේ.

Autism Spectrum Disorder කියන්නෙ ස්ක්‍රීන් එක හරහා ඇති වෙන තත්ත්වයක් නෙමේ.එතකොට අපි මේ කතා කරන්නේ Neurotypical දරුවන් ගැන නෙමේ.අපි මේ කතා කරන්නේ Neurodivergent දරුවන් ගැන.ඒ කියන්නේ ඔටිසම් දරුවන් ගැන.එතකොට ඔටිසම් දරුවෙක්ව ස්ක්‍රීන් එකෙන් ඈත් කරනවා කියන්නේ ඒ දරුවාගේ Self regulation ක්‍රමය එහෙමත් නැත්තම් ඔටිසම් දරුවා එයාගේ මනස සන්සුන් කරගන්න ( Self soothing ) පාවිච්චි කරන ක්‍රමය ,දැනුම ලබා ගන්නා ප්‍රධාන මාධ්‍ය ඒ දරුවාට අහිමි කරන එක.මේක පුදුමාකාර භයානක තත්ත්වයක්.ඔටිසම් දරුවාව ස්ක්‍රීන් එකෙන් ඈත් කරන්න කියලා කියන ලංකාවේ බුද්ධිමතුන්ට අමතක වෙලා තියනවා ඔටිසම් තත්ත්වය කියන්නේ මොකක්ද කියන එක. Self regulation කියන්නේ මොකක්ද කියන එක.visual tools කියන්නේ මොනවාද කියන එක. කරුණාකරලා ඔටිසම් කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. ඔටිසම් තත්ත්වයත් එක්ක Depression , Anxiety කියන ඒවත් සම්පූර්ණ පැකේජ් එක විදියට දරුවන්ට එනවා. ඔටිසම් දරුවා ලෝකය දිහා බලන්නේ වෙනස්ම විදියකට.ඒ දරුවන්ට පිටත ලෝකය පීඩාවක්.දරාගන්න බෑ.Sensory overload වෙනවා. අන්න ඒකයි ඔටිසම් දරුවන්ට ස්ක්‍රීන් එක අවශ්‍ය කාරණයක් වෙන්නේ.

මේ ඇකඩමික් බුද්ධිමතුන්ට ස්ක්‍රීන් එක නිසා දරුවන් ඔටිසම් තත්ත්වයට පත් වෙනවා කියලා කිසිම විද්‍යාත්මක පදනමක් නැති හිතළු ප්‍රකාශ කරන්න බැහැ. එහෙම නෛතික වපසරියක් නැහැ. යුරෝපයේ මේ වගේ වෛද්‍යවරුන් හෝ තෙරපිවරුන්ට හිතු මනාපේ කතන්දර කියන්න බෑ ඔටිසම් දරුවන් ඉන්න දෙමාපියන්ට.ඔවුන්ට සිද්ධ වෙනවා යම් නියාමනයක් යටතේ දත්ත පදනම් කරගෙන ඔටිසම් සම්බන්ධව මේ මොහොතේ තියන විද්‍යාත්මක පදනම මත ඉදන් කරුණු ප්‍රකාශ කරන්න.එහෙම නොවුනොත් නීතී ගැටළු ඔවුන්ට ඇති වෙන්න පුළුවන්.නොමඟ යැවීම හෝ misleading යටතේ නඩු පවරන්න පුළුවන්. ලංකාව කියන රටේ ජීවත් වන ඔබ මම ඇතුළු සෑම පුරවැසියෙක්ම සුරක්ෂිත නැහැ. විශේශයෙන්ම ඔටිසම් දරුවන් සුරක්ශිත නැහැ.

මම කලින් පෝස්ට් එකක සදහන් කරා වගේ ලංකාවේ මේ මොහොතේත් ඔටිසම් දරුවන්ට ලබා දෙන්නේ යුරෝපයේ ආදි කාලයේ නුසුදුසුයි කියලා ඉවත දැමූ තෙරපි ක්‍රම.ලංකාව කියන්නේ ලෝකයේ සමාජ,සංස්කෘතික තාක්ශනික දියුණු රටවල් ඉදිරියේ ඉතා දුර්වල සරණාගතයෙක් පමණයි. ලංකාව ඇතුලේ බුද්ධිමය සංවාද ඉතාම විරළයි.කිසිම පදනමක් නැති හෑලී විතරයි ලංකාවේ සංවාද බවට පත් වෙලා තියෙන්නෙ.අපි ඔටිසම් කියන විශය ගමු උදාහරණයක් විදියට.මට කියන්න ලංකාවේ දෙමාපියන්ට,පුරවැසියන්ට ඔටිසම් ගැන කියවන්න,දැනගන්න තියන එක මූලාශ්‍යයක් ගැන.කිසිම බුද්ධිමය මූලාශ්‍රයක් නැහැ.එතකොට ඔටිසම් දරුවන් ඉන්න දෙමාපියන් කොහොමද ඔටිසම් තත්ත්වය ගැන නිවැරිදි දැනුමක් ලබා ගන්නේ නැතුව තමන්ගේ දරුවන්ව වටහා ගන්නේ?එතකොට මෙච්චර කාලයක් අඳුරේ නෙමේද මේ දෙමාපියන් තමන්ගේ දරුවන් සමඟ ඉන්නේ.මේ දේවල් සරළ කාරණා නෙමේ.කෙලින්ම ශෝචනීය තත්ත්වයක්. රජයේ මධ්‍යස්ථානයකට ගිහින් ඔටිසම් දරුවාව පෙන්නුවම මොකක්ද මේ අම්මලට ලැබෙන්නේ. මොකක් හරි ඇක්ටිවිටි ටිකක් කොළේක ලියලා දෙනවා.ඒත් එක්කම බෙහෙත් පෙති ටිකක් දෙනවා.කිසිම වෙලාවක දැනුවත් කරන්නේ නෑ මොකක්ද මේ ඔටිසම් කියන්නේ කියලා.දැනුවත් කරන්නේ නැති එකට වඩා භයානක දේ තමයි මේ දෙමාපියන්ව නොමඟ යැවීම හා මානසිකව තදබල ලෙස තුවාල කිරීම.ස්වාභාව ධර්මයේ යම් උසාවියක් තියනවා නම් මේ චූදියන් සියල්ලටම ඒ ස්වාභාව ධර්මයෙන්ම දැඩි දඩුවම් ලැබිය යුතුයි.ඒ තරමට ඔටිසම් දරුවන් කප්පාදු කරලා සහමුලින්ම විනාශ කිරීම කරන්නේ මේ ඇකඩමික් බුද්ධිමතුන් ටික.

Screen එක සහ ඔටිසම් අතර සම්බන්ධයක් හදන්න උත්සහා කරන එකම ඉතා බරපතළ වරදක්. කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ මේ කතා වලට.ඔටිසම් දරුවන් හා ඔටිසම් නොවන දරුවන් වෙනස්.මේ වෙනස තියෙන්නෙ ඔටිසම් දරුවන් ලෝකය දෙස බලන ආකාරයේ සහ ඔවුන්ගේ අවශ්‍යතා වල. පුස්කොළ පොත් ,ගල් ලෑලී ඔටිසම් දරුවට අවශ්‍ය නැහැ.ඔටිසම් දරුවන් 90%ක් තමන්ගේ භාශාව සකස් කරගන්නේ Gestalt language ක්‍රමයට.එතකොට දරුවා මූලිකවම කරන්නේ එයා බලන සහ අහන දේවල් ඔක්කොම ඔලුවේ රූප සමඟ කොපි කරගන්නවා.ඒ වගේම රිදම් එක ඉතා වැදගත්. ඒකයි ඔටිසම් දරුවන් ඉතා අඩු වයසින් අංක, හැඩතල,පාට,අකුරු මතකේ තියාගන්නේ.ඒ වගේම තමයි ඔටිසම් දරුවන් සංගීතයට ,සිංදු වලට වැඩි කැමැත්තක් දක්වන්නේ. එතකොට ඇයි ඔටිසම් දරුවාගේ සන්නිවේදනය දියුණු කරගන්න අපහසු වෙන්නේ.හේතුව ඒ දරුවාට වචන,වාක්‍ය,කතා කොපි කරගන්න තියන පහසුම ක්‍රමය වන Screen එක එහෙම නැත්තන් visual tool එක උදේ පාන්දරම වෛද්‍යවරුන් සහ තෙරපිවරුන් විසින් ඉවත් කරලා.

දැන් ඊළඟ පොයින්ට් එක වර්චුවල් ඔටිසම්.

මේ කියන්නේ ඔටිසම් තත්ත්වයක් ගැන නෙමේ.වර්චුවල් කෑල්ල අගට ඔටිසම් කෑල්ල අලවන් ඉන්නේ මේ තත්ත්වය තියන දරුවන් සන්නිවේදන කිරීමට පරක්කු වෙන නිසා සහ සමාජය සමඟ සම්බන්ධතා පැවැත්වීමට අසීරුතාවයන් ඇති වෙන එක නිසා. රොමේනියාවේ මනෝවිද්‍යාඥයෙක් තමයි මේ තියරි එක සහ නම මුලින්ම හඳුන්වාදුන්නේ.මේකත් ලංකාවේ සම්පූර්ණයෙන් වැරදි විදියට නිර්වචනය වෙන්නේ. උදාහරණයක් විදියට ලංකාවේ තාක්ශණ භාවිතාව ඒ තරම් දියුනු නෑ.බත් ටික කවාගන්න දරුවට ස්ක්‍රීන් එක බලන්න දුන්නාය කියලා දරුවාගේ සන්නිවේදන හෝ සමාජ කුසළතාවයන් අවම වෙන්නේ නෑ.ඕනෑම දරුවෙක්ව Neglect කරාම ඒ කියන්නේ මඟ හැරුනම ඒ දරුවාගේ යම් යම් වෙනස් වීම් ඇති වෙන්න පුළුවන්. හේතුව ඒ දරුවාට වෙනත් ක්‍රියාකාරකම් වලට යොමු වෙන්න ඉඩ සළසා නොදීම.එතකොට මේකට කියන්න ඕනේ හරි නම තමා child Neglect කියන එක.දරුවාව මඟ හැරීම. ස්ක්‍රීන් එක නෙමේ සෙල්ලම් බඩු හරි දීලා දරුවාව දිගටම ඒවත් එක්ක තිබ්බම දරුවාගේ සන්නිවේදනය ප්‍රමාද වීම සහ සමාජය සමඟ සම්බන්ධ වීමේ යම් ගැටළු එන්න පුළුවන්.ඒත් මේ තත්ත්වය මාස 6 කින් යථා තත්ත්වයට පත් වෙනවා දරුවාව ඒ වයසේ අනික් බබාලා එක්ක එකට එකතු කරලා ඇක්ටිවිටීස් වල නිරත කරාම.

එතකොට මොකක්ද ASD සහ වර්චුවල් ඔටිසම් පටලවාගෙන මේ රටේ කරන්නේ? ලංකාවේ වර්චුවල් ඔටිසම් කියලා තහවුරු කරපු බහුතරයක් දරුවන් ASD දරුවන්. මාස හයක් නෙමේ අවුරුදු දෙක තුනක් තිස්සේ ඒ දෙමාපියන් බලන් ඉන්නවා දරුවා කතා කරනකල්. ඒ දෙමාපියන් විශ්වාස කරන්නේ තමන්ගේ දරුවා වර්චුවල් ඔටිසම් තත්ත්වය ඇති දරුවන් කියලා.හේතුව ඒ දරුවන් කුඩා කාලයේ ඉදන්ම දැඩි ඇල්මක් ස්ක්‍රීන් එකට දක්වපු නිසා සහ Numbers /Shapes /Letters මනසේ කොපි කරන් කියන්න ගත්ත නිසා.මේක තමයි කැලැසිකල් ඔටිසම් කියන්නේ. දරුවා ස්ක්‍රීන් එක බලපු නිසා නෙමේ මේ දරුවන්‍ ට ඔටිසම් තත්ත්වය ඇති උනේ.අම්මගේ බඩ ඇතුලේ ඉන්නකොටම මේ දරුවන් ඔටිසම්.මේ දරුවන් ස්ක්‍රීන් එක පාවිච්චි කරේ Self regulat වෙන්න.එහෙම නැත්තන් මනස සන්සුන් කරගන්න.එතකොට අංක,අකුරු,හැඩතල,පාට කට පාඩම් වෙන්න හේතුව Gestalt ක්‍රමයට භාශාව හැදෙන නිසා මොළයේ. ඇල්බට් අයින්ස්ටයින් ඔටිසම් පුද්ගලයෙක්.එතකොට ඇල්බට් අයින්ස්ටයින්ගේ කාලේ Screen තිබ්බෙත් නෑ.Screen එකක් ලෝකයට හදුන්වා දෙන්න කලිනුත් ඔටිසම් පුද්ගලයින් හිටියා.එතකොට ඔටිසම් දරුවාට ස්ක්‍රීන් එක දුන්නත් නොදුන්නත් ඔටිසම් තත්ත්වයේ වෙනසක් ඇති වෙන්නේ නෑ.එකම දේ ඒ දරුව Self regulate කරගන්න වෙන යම් මාර්ගයක් හොයාගනී.ඒ හොයාගන්න මාර්ගය Aggressive වෙන්න තියන ඉඩ ඉතා වැඩී.ඒ නිසා ASD කියන්නේ ජාන වෙනස්වීම් මත ඇති වන තත්ත්වයක් මිසක Screen එක නිසා ඇති වන තත්ත්වයක් නෙමේ.එතකොට සමාජ මාධ්‍ය ඔස්සේ ,මාධ්‍ය නාලිකා හරහා දරුවට ෆෝන් එක දෙන්න එපාය කියලා කෑ ගහන හැමෝම තමන් ලඟ තියන ෆෝන් එකෙන් Adult content බලන අය.ඒ නිසාම එයාලා දන්නේ මේ ෆෝන් එක දරුවෙක්ට දුන්නම ඒ දරුවන්ට මේවා බලන්න පුළුවන් ය කියන එක.ඔන්න ඕක තමා අනිසි බියකින් වගේ නිතරම කෑ ගහන්නේ ෆෝන් එක දරුවගෙන් ඈත් කරන්න කියලා.මේක ජෝක් එකක් නෙමේ.මනෝවිශ්ලේශණය හරියට ඉගෙන ගෙන තියන කෙනෙක්ට තේරෙනවා මේ වැඩිහිටියන්ගේ ෆොන් එක දරුවන්ගේ අතට දීමට විරුද්ධව ඇති අනිසි බිය එන්නේ කොතනින්ද කියන එක. ලංකාව හැම අවුරුද්දෙම ගූගල් එක හරහා වැඩිපුරම S-X සර්ච් කරන පළවෙනි හෝ දෙවනි රට.ඉතිං සාධාරණයි ෆෝන් එකෙන් බලන්න පුළුවන් ඒවා විතරක් කියලා හිතන් ඉන්න එක.

මේ ස්ක්‍රීන් එක ගැන පතුරවන මිත්‍යාව වගේම තව කතන්දර ඔටිසම් දරුවන් ඉල්ලක්ක කරගෙන පතුරවනවා.එකක් තමයි අවුරුදු පහ පහු උනාම ඔටිසම් දරුවන් කතා කරන්නේ නෑ කියන එක. දෙවනි කතාව තමයි IQ ලෙවල් එක වැඩි ඔටිසම් දරුවන්ට Speech තෙරපි කරන්න බැහැ කියන එක. මේවා කොයිතරම් මෝඩ ,පදනමක් නැති අමූලික බොරු කතාද ?

  1. Self regulations 

  2. Speech 

  3. Learning tool 

  4. Reduce meltdown and Anxiety 

  5. Hand and eye coordination 

  6. Imitate and learning 

  7. Special interests

  8. Safe space

 

ඔටිසම් දරුවන්ට ස්ක්‍රීන් එක හරහා ලැබෙන ප්‍රතිලාභ ලිස්ට් එක මීට වඩා දිගයි. හරි දැන් එකින් එක විද්‍යානුකූලව විස්තර කරගමු.

Self regulations 

දැන් අපි දන්නවා ඔටිසම් දරුවන්ගේ සංවේදන සමබර නෑ කියන එක.ශබ්ධ /රසය/ රූප/ ස්පර්ශය/ගඳ,සුවඳ/සමබරතාවය/ ශරීර ඉරියව් කියන මෙන්න මේ සංවේදන 7 සමබර නැහැ.එතකොට ඔටිසම් දරුවා නිතරම ඉන්නේ එක්කෝ සංවේදන මදිකම නිසා ඒවා පිටතින් සොයාගන්න උත්සාහා කරන ගමන්. එහෙම නැත්තන් සංවේදන වැඩි කම දරාගන්න උත්සාහා කරන ගමන්.ඉතිං පිටත ලෝකය එයාලට දරාගන්න බෑ.එයාලා නිතරම ඉන්නේ නිකන් පිටකොටුවේ මැනිං මාර්කට් එක අස්සේ එයාලව ගෙනිහින් අතහැරියා වගේ.එයාලට වට පිටාව දරාගන්න බෑ.එතකොට මොකක්ද මේ දරුවා කරන්නේ.මොළයෙන්ම මේකට උපක්‍රමයක් යෝජනා කරනවා.ඒක තමයි මනස සන්සුන් කරගන්න විවිධ ක්‍රම.මෙන්න මේකට තමයි Self regulation කියලා කියන්නේ.එතකොට ඔටිසම් දරුවන් ටෝයිස් පේලියට තියනවා.එක්කෝ කැරකෙන ෆෑන් එක දිහා බලන් ඉන්නවා.එහෙම නැත්තන් එක තැන කැරකෙනවා,උඩ පනිනවා,ඇඟිලි එකිනෙකට අතුල්ලනවා.නැත්තන් කටින් ශබ්ධ කරනවා.මෙන්න මේ වගේ දේවල් වලට තමයි Stimming කරනවා කියන්නේ.එතකොට ඔයාලා හිතනවද මේ ඔටිසම් තත්ත්වය ගැන ඉගෙන ගත්ත  වෛද්‍යවරුන් ,තෙරපිවරුන් මේ ගැන දන්නේ නෑ කියලා.මට සහතිකයි ඔවුන් මේ ගැන දන්නවා.දැන දැනම තමයි කියන්නේ බලහත්කාරයෙන් Stimming නතර කරන්න කියලා.එහෙම නතර කරාම වෙන්නේ දරුවා Aggressive වෙනවා.දරුවා ලඟ ඉන්න අනෙකාට ගහනවා.බඩු විසික් කරනවා.කෑ ගහලා අඩනවා,එයාගේ ඔලුව බිත්තියේ ගහ ගන්නවා. හේතුව දරුවාට මනස සන්සුන් කරගන්න ඉඩ නොදීම නිසා.මේක කොයිතරම් අමානුෂිකද? නරුමද? එතකොට මනස සන්සුන් කරගන්න අනික් ක්‍රමය තමයි Screen එක.මේක හරහා ගීත, අංක, අකුරු, ලොකුවට චලනය වෙන රූප ,එහෙමත් නැත්තන් විවිධ මැශින් වැඩ කරන හැටි වගේ වීඩියෝ බලලා ඔටිසම් දරුවා මනස සන්සුන් කරගන්නවා. Self regulation කියන්නේ මේකට.අන්න ඒක තේරුම් ගන්නේ නැතුව මී හරක් රෑන වගෙ එකට තප්පුලනවා ස්ක්‍රීන් එක ඔටිසම් දරුවගෙන් ඈත් කරන්න කියලා.

Speech / Communication 

මේ ගැන අපි ගොඩක් කතා කරා. ඔටිසම් දරුවන්ගේ භාශාව මොළයේ හැදෙන්නේ ඇනලටික් ක්‍රමයට නෙමේ. Gestalt ( ගෙශ්ටාල්ට් ) ක්‍රමයට.එතකොට දරුවා සම්පූර්ණයෙන් වාක්‍ය,කතන්දර ගෙඩි පිටින් ඔලුවේ කොපි කරගන්නේ Visuals හරහා.ප්‍රධාන වශයෙන් ස්ක්‍රීන් එක හරහා.ලංකාවේ කිසිම Gestalt language processing therapists ( GLP) කෙනෙක් නැහැ.මම වගකීමෙන් ඒක කියනවා.මෙහේ කිසිම තෙරපිස්ට් කෙනෙක් ලඟ අන්න ඒ සහතිකය නැත.නිකම්ම නිකන් ස්පීච් තෙරපිස්ට්ලා තමයි ඉන්නේ.එතකොට මේ අය දන්නේ ඇනලටික් විදියට ඔටිසම් දරුවන්ට Speech therapy කරන්න විතරයි.ඒ නිසා තමයි ඔටිසම් දරුවන් කතා කරන්න පරක්කු වෙන්නේ සහ කතා නොකර ඉන්නේ.ඒ දරුවාගේ මොළයේ භාශාව හැදෙන්න උදව් කරන ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන් දරුවාගෙන් ඈත් කරලා ඇනලටික් ක්‍රමයට සබන් බෝල පුම්බලා,ෆ්ලෑශ් කාර්ඩ් පෙන්නලා වචන කියවගන්න හදන එක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රමයක්.

ඒ වගේම තමයි ඔටිසම් දරුවා ඉගෙන ගන්නේ රූප හරහා. අපි දරුවා පුටුවක ඉන්දවලා පොතක් පෙන්නලා කියලා දෙනවට වඩා visuals හරහා දරුවා ඉගෙන ගන්නවා.දැන් නිකමට හිතන්න බහුතරයක් ඔටිසම් දරුවන් එයාලා බලන වීඩියෝ වලින් අංක,අකුරු,හැඩතල,පාට,ළමා ගීත කොහොමද මතකයේ තියන් ඉන්නේ කියලා.ඒ වේගයට අපිට පුළුවන් ද පොතක් අරන් පුටුවේ ඉන්දවලා උගන්වන්න.ඔටිසම් දරුවන්ගේ Memory එක වැඩ කරන්නේ වෙනම විදියකට.එතකොට දරුවා ස්ක්‍රීන් හරහා කොයිතරම් දේවල් ඉගෙන ගන්නවාද? අපිට කොයිතරම් දැනුමක් ඔටිසම් දරුවන්ට ලබා දෙන්න පුළුවන් ද? ලංකාවේ  ඔටිසම් දරුවන්ව අවතක්සේරුවට ළක් කරනවා. අනික් පැත්තෙන් ඔටිසම් දරුවන් ඉන්න දෙමාපියන්ව මානසිකව වට්ටනවා.කිසිම ගෞරවයක් ලබා දෙන්නේ නැහැ ඔටිසම් දරුවන්ට .ඔටිසම් දරුවාගේ අවශ්‍යතාවයන් ගැන කිසිම අවබෝධයක් නැහැ.එහෙම තිබ්බා නම් පැය ගාණක් ඔටිසම් දරුවන්ව ඉන්දවලා බෝනික්කන්ට තේ පොවන්න කියලා කියන්නේ නැහැ.මේවා මහා විහිළු.ඔටිසම් දරුවො සත්තු නෙමේ.ඒ දරුවන් ලේ මස් ඇට නහර වලින් හැදුන ආදරණීය මනුස්ස දරුවන්.ඉතා බුද්ධිමත් දරුවන්.ඒ නිසා ඒ දරුවන්ව තාක්ශණයෙන් ඈත් කරවන්න උත්සාහා ගන්නවා කියන්නෙම ඒ දරුවාට මේ කාලකණ්නි දූපත අස්සේ තවත් පීඩාවට පත් වෙමින් එක එකාගෙන් ටොකු කමින් ජීවත් වෙන්න පාර කපනවා කියන එක.

ඔටිසම් ස්පෙක්ට්‍රම් ඩිසෝඩර් සහ ස්ක්‍රීන් එක අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ.

පොඩ්ඩක් වෙන රටවල් වල මාධ්‍ය නාලිකා නරඹන්න.මේවල පෙන්වන්නේ මොනවද කියලා බලන්න.බහුතරයක් සාකච්ඡා තියෙන්නෙ මොන වගේ විශයන් මතද කියලා බලන්න.ලංකාවේ වගේ ඇවිදගන්න පණ නැති මිනිස්සු ගෙනල්ලා ඒ කාලේ අපි මෙහෙමයි ළමයි හැදුවේ.ඒත් දැන් ළමයි හැදෙන්නේ මෙහෙමයි කියලා හෑලී කියවන්නේ නෑ ඒ මාධ්‍ය වල.ඒ මිනිස්සු කතා කරන්නේ තාක්ශණය ගැන,නව සොයාගැනීම් ගැන.සමාජ පර්‍යේශණ ගැන.ලංකාවේ චැනල් එකක් බැලුවොත් උදේ ඉදන් මොනවද තියෙන්නෙ? ලොම් හැළිච්ච නාකි කුකුල්ලු වගේ ඇවිල්ලා දෙමාපියන්ට උපදෙස් දෙනවා ළමයින්ව හදන හැටි.ළමයින්ට ෆෝන් එක දෙන්න එපා.ළමයින්ට දුක දීලා හදන්න.ළමයින්ට ඇළ දොළවල් වල නාන්න දෙන්න.ගස් නැගලා ගඩා ගෙඩිකඩන්න දෙන්න කියාගෙන. මොනවද මේ කතා?

කොළඹ ෆ්ලැට් වල ,අපාර්ට්මන්ට් වල ජීවත් වෙන දරුවන්ට බේරේ වැවට තමා පැනලා නටන්න වෙන්නේ මේ කියන විදියට.

ලෝකය ඉතා වේගයෙන් තාක්ශණය හරහා දියුණු වෙමින් තියන්නේ.අම්මලා ළමයින්ට ෆෝන් දීලා බත් කවනවා කියන වාක්‍ය ලංකාවේ ජාතික වාක්‍ය වෙලා.පුදුමාකාර වෛරයක් තියෙන්නෙ ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ට මේ ෆෝන් එකත් එක්ක. දෙමාපියන් දැනගන්න ඕනේ දරුවාට ස්ක්‍රීන් එක හරහා ලබා දෙන්නේ මොනවද කියන එක.නිවැරිදි විදියට ඕනෑම දෙයක් භාවිතා කරන විදිය දෙමාපියන් දැනගන්න ඕනේ.මානවයා තියුණු පිහිය සොයාගත්තේ ඇයි ? සත්තු දඩයම් කරන්න.තමන්ගේ ජීවිකාව කරගෙන යන්න පහසු වෙන්න.එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කරගෙන යන්න පාවිච්චි කරන්න.එහෙම මිසක් තව මිනිහෙක්ව මරන්න නෙමේ.එතකොට තාක්ශණය කියන්නෙත් ඒ වගේ ආයුධයක්.නිවරිදිව පාවිච්චි කරන්න දැනුවත් වෙන්න ඕනේ.

බිල් ගේට්ස් කියන්නේ Microsoft ආයතනයේ නිර්මාතෘ.එයාගේ වත්කම USD ඩොලර් බිලියන 116.7යි. එතකොට බිල් ගේට්ස් පොඩි කාලේ ඒ කියන්නේ අවුරුදු 13ක වගේ කාලේ එයාගේ ඉස්කෝලේට ලැබුනා කම්පියුටර් එකක්.මේ කාලේ තියන කම්පියුටර් වගේ ඒවා නෙමේ ඒ කාලේ තිබ්බේ.මහ විශාල වෙනම හැඩයක ඒවා.එතකොට ඒකට කිව්වේ Teletype Model 3 කියලා.බිල් ගේට්ස් පුදුමාකාර විදියට මේ කම්පියුටර් එකට ආස උනා සහ එයා අධිකව කාලය වැය කරේ මේ කම්පියුටර් එකත් එක්ක.එතකොට ඉස්කෝලේ ගණිතය පන්තියේ ගුරුවරයා එයාට ඉඩ ලබා දුන්නා පන්තියේ ඉන්නේ නැතුව ඒ වෙලාවේ කම්පියුටර් එකත් එක්ක ඉගෙන ගන්න.මේ කතා කරන්නේ 1970 වගේ කාලේ.දැන් ලංකාවේ ඉන්න අඹිලින්ලා එනසිනාලා ඒ කාලේ හිටියා නං කීයටවත් බිල් ගේට්ස් ට මේ කම්පියුටර් එකත් එක්ක දවසම ගෙවන්න ලැබෙන්නේ නෑ.අනිවාර්යයෙන් ඕකට එක එක කතා කියනවා.බිල් ගේට්ස්ගේ කුසළතාව එයාට කවදාවත් හඳුනාගන්න ලැබෙන්නේ නෑ ලංකාව වගේ රටක හිටියා නං.එතකොට Elon Musk කියන්නේ ලෝකේ ඉන්න අංක එකේ ධනපතියා.ඔහු ඔටිසම් පුද්ගලයෙක්.ඔහුගේ වත්කම US ඩොලර් බිලියන 222ක්. ඔහුගේ පුතත් ඔටිසම් දරුවෙක්.තාක්ශණය හෝ ස්ක්‍රීන් එක මොවුන් කුඩා කාලයේ ඉවත් කරා නම් ඔබ හිතනවාද අද අපිට මොවුන්ගේ නමක් වත් දැනගන්න පුළුවන් වෙයි කියලා.Elon Musk ගේ ඔටිසම් දරුවා ඉතා බුද්ධිමත්.ඔහු සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ තාක්ශණය එක්ක.වටහා ගන්න දරුවාට තාක්ශණය කොයිතරම් වැදගත් ද කියන එක හා විශේශයෙන් ඔටිසම් දරුවාට තාක්ශණය හරහා කොයිතරම් දුරක් යා හැකිද කියන එක.

දැන් ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය ගත්තම ඉතාමත් යල් පැනපු ක්‍රමයක් තමයි තියෙන්නෙ.විශයන් වලට එහා යන දැනුමක් නෑ.පෙළ පොත් වල තියන අන්තර්ගතය විතරයි.විශේශයෙන් ඔටිසම් දරුවන්ට,ADHD දරුවන්ට මේ අධ්‍යාපන ක්‍රමවේදය අහිතකරයි.ඒ දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් ,ඉතා බුද්ධිමත් උනත් ඉගෙන ගන්න බෑ මේ ක්‍රමය එක්ක.අපේ දරුවන්ගේ මොළය ක්‍රියාත්මක වෙන්නේ දැනුම ලබා ගන්නේ වෙනස්ම විදියකට.පුටුවක පැය ගාණක් ඉදගෙන ගුරුවරයා කියලා දෙන ස්පීඩ් එකට මැශින් වගේ පොත් වල ලියාගන්න ,ඔලුවට ඒ කියන එක දාගන්න බෑ.ඒකයි මම කියන්නේ මේ අධ්‍යාපන ක්‍රමය තුළ සම්පූර්ණයෙන් ඔටිසම් සහ ADHD දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරලා කියලා.

ගොඩක් දියුණු රටවල් වල අධ්‍යාපන ක්‍රමවේදය සකස් වෙලා තියන්නේ Phenomenology කියන තියරි එක මත.ඒ කියන්නේ දරුවාව විශයක් හෝ පෙළ පොතක් අස්සේ හිර කරන එකට එහා ගියපු ක්‍රමයක්.පෙළ පොතක් ඇතුලේ තියෙන්නෙ යම් විශයක එක්තරා කොටසක් විතරයි.ඒක සම්පූර්ණ දැනුම නෙමේ.එතකොට කොහොමද දරුවන් දැනුම සොයා යන්නන් බවට පත් කරන්නේ? ඔවුන්ට ඉඩ ලබා දිය යුතුයි technology ,පරිසරය හරහා ප්‍රශ්න වලට පිළිතුරු සොයා යන්න.එතකොට Homeschooling කරන දෙමාපියන්ට ලංකාවේ ගොඩක් චෝදනා එල්ල උනත් ඒ ක්‍රමය ඇතුලේ දරුවාට නිදහස තියනවා දැනුම සොයා ස්වයං අධ්‍යනය ලබා ගන්න. උදාහරණයක් මම කියන්නං මගේ දරුවො දෙන්නටම මම දැනුම ලබා දෙන්නේ මෙන්න මේ Phenomenological ක්‍රමයට. දරුවන්ට උගන්වන්නේ නැහැ.දරුවන්ට ඉගෙන ගන්න මාර්ගය සහ දැනුම ලබා ගන්න මාර්ග ටික පෙන්නලා දෙන එක විතරයි කරන්නේ.එතකොට දරුවන් අනුන් කර පිට පටවන තමන්ගේ නොවන ගැලක් ඇදගෙන යන ගවයන් වගේ වෙන්නේ නෑ.ඔවුන්ට මහන්සි වෙලා තමන් වෙනුවෙන් දැනුම රැස් කරන්න වෙනවා.මේ ක්‍රමය ඇතුලේ බලහත්කාරකම නෑ.පීඩාව නැහැ.Technology එක කියන්නේ අපේ දරුවන්ට මේ දූපතෙන් එහා තියන ලෝකයේ දැනුම සමඟ සම්බන්ධ විය හැකි ප්‍රධාන මාර්ගය.විශේශයෙන් ඔටිසම් සහ ADHD දරුවන් බහුතරයක් පාසල් තුළ නොසළකා හැරීමට ළක් වෙනවා.ගුරුවරුන්ගෙන් පහර කෑමට හා අනෙක් සිසුවන්ගේ උපහාසයට ළක් වෙනවා. මේකට වරද දරුවාගේ නෙමේ.දරවාට අධ්‍යාපනය ලබා දෙන ක්‍රමයේ තිබෙන වරද.එතකොට අනික් පැත්තෙන් ඔටිසම් දරුවාට Digital device එක අහිමි කිරීම හරහා කරන්නේ ඒ දරුවාව තව තවත් අන්ධකාරයට තල්ලු කරන එක.

දරුවන්ට දෙමාපියන් Digital device හරහා ලබා දෙන්නේ දැනුම මිසක් කුණුහරුප නෙමේ. අම්මලා දරුවන්ට බලන්න දෙන්නේ දැනුම ලබා ගන්න අවශ්‍ය දේවල්. අපි දෙමාපියන්ව දැනුවත් කරන්න ඕනේ කොහොමද දරුවාට ස්ක්‍රීන් එක හරහා එයාගේ කුසළතාවයන් වර්ධනය කරගන්න හා දැනුම ලබා ගන්න සහය වෙන්නේ කියලා.අපි දැනුවත් කරන්න ඕනෙ දරුවන්ට බලන්න සහ ඉගෙන ගන්න තියන videos සහ App මොනවද කියන එක.

ඔටිසම් දරුවන්‍ට උගන්වන්න ඉංග්‍රීසි ටික youtube එකේ Educational videos හරහා.අකුරු ලියන්න කැමති නැත්තන් දරුවාට ටයිප් කරන්න කියලා දෙන්න.Google හරහා අවශ්‍ය දැනුම සොයාගෙන යන්න දරුවාට ඉඩ දෙන්න .දරුවාට ලෝකයේ නව දැනුම ස්ක්‍රීන් එක හරහා ලබා ගන්න ඉඩ කඩ සළසලා දෙන්න. දරුවාට තමාගෙ සන්නිවේදනය දියුණු කරගන්න පැහැදිලි දෙබස් තියන වීඩියෝ බලන්න දෙන්න.ඔටිසම් දරුවාගෙ මනස සන්සුන් කරගන්න ඒ දරුවාට ස්ක්‍රීන් එක ලබා දෙන්න.මේ ඇකඩමික් බුද්ධිමතුන් උත්සාහා ගන්නේ ඔටිසම් දරුවා මානසික රෝගියෙකු බවට පත් කිරීමටයි.ඔටිසම් දරුවා නූගතෙකු කිරීමටයි. ඔබගේ දරුවා ඔබ ගළවාගත යුත්තේ මෙවැනි තක්කඩින්ගෙනි.ඔබ විස්වාස කළ යුත්තේ දරුවාව පමණි.ඔබ වටහා ගත යුත්තේ ඔබගේ දරුවාව පමණි.ඔබ සිට ගත යුත්තේ ඔබගේ දරුවා සමඟය.

මුල් සබැඳිය : ඔටිසම් සහ තාක්ශණය