මම මීට කලින් එක පාරක් max සහ එයාගේ සහෝදරයා ගැන පෝස්ට් එකක් දැම්මා. මම කාලාන්තරයක් පුරාවට මේ දෙන්නා ඔටිසම් ගැන සමාජය දැනුවත් කරන අපූරු විදිය ගැන බලන් ඉන්න කෙනෙක්. Max කියන්නේ සහය ටිකක් වැඩියෙන් අවශ්‍ය තරුණයෙක්. මේකෙන් අදහස් වෙන්නේ නැහැ බුද්ධිය අවමයි කියන එක. ලංකාවේ ඕක සෑහෙන්න පටලවාගෙන තියන කාරණයක්.

සහය වැඩියෙන් අවශ්‍ය ඔටිසම් පුද්ගලයින්ට ඒ සහය අවශ්‍ය වෙන පරාසයන් වෙනස් වෙන්න පුළුවන්. කෙනෙක්ට සමාජ රීතී වටහා ගන්න අපහසු වෙන්න පුළුවන්.තව කෙනෙක්ට එදිනෙදා වැඩ කරගන්න අසීරු වෙන්න පුළුවන්. එහෙමත් නැත්තන් සංවේදන සංවේදීතාවය ඉතාමත් අසමබර වෙන්න පුළුවන්. ඒ වගේම ඔටිසම් විවිධත්වය එක්ක වෙනත් අනු තත්ත්වයන් ( Co -occurring conditions / Comorbidities) තියෙන්න පුළුවන්.

උදාහරණයක් විදියට 

  • ADHD
  • Intellectual Disability (ID)
  • Developmental Coordination Disorder (DCD)
  • Speech Disorders 
  • Anxiety
  • Depression
  • Obsessive-Compulsive Disorder (OCD)
  • Epilepsy
  • Eating Disorders
  • Tourette Syndrome
  • Gender Diversity

මම මේ ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්. විශේශයෙන් Tourette Syndrome සහ Gender Diversity ගැන. දැන් මම කියන්න උත්සාහ කරන්නේ ඔටිසම් කියන විවිධත්වය එක්ක සම්බන්ධ වෙන අනු තත්ත්වන් මත පුද්ගලයාගෙන් පුද්ගලයාට අවශ්‍ය සහය වෙනස් වෙනවා. අන්න ඒක නිසයි කිසිම ඔටිසම් දරුවෙක් හෝ පුද්ගලයෙක්ගේ ඔටිසම් විවිධත්වය එක හා සමාන නැත්තේ.

දැන් MAX ගේ තියන විශේශත්වය තමයි Max ට පුළුවන් ඕනේම කෙනෙක් අහන ඉතිහාස හෝ අනාගත අවුරුද්දක දවස මොකක්ද? ඉතිහාසයේ නම් යම් සිදුවීමක් සිද්ධ වුන දවස / අවුරුද්ද මොකක්ද? නැත්තන් දවස කිව්වම ඒ දවසේ විශේෂත්වය කියන්න. ඒක කොහොමද Max කරන්නේ කියලා කිසි කෙනෙක්ට කියන්න බෑ.ඒක තමයි එයාගේ ස්නායු විවිධත්වයේ තියන අපූර්වත්වය.

Max ගේ සහෝදරයා කුඩා කාලයේ ඉදන්ම Max වෙනුවෙන් පෙනී හිටියා. පාසලේදී වෙනත් ළමයි Max ව Bully කරනකොට ඒ වෙනුවෙන් අරගල කරා.එදා ඉදන් අද වෙනකල් තමන්ගේ සහෝදරයාගේ විවිධත්වය ගැන සමාජය දැනුවත් කරනවා හරිම ලස්සනට.ඒක තමයි සෑම විවිධත්වයෙන් යුතු පුද්ගලයෙක්ටම ලැබිය යුතු ගෞරවය, පිළිගැනීම සහ සහය. 

අපි අපේ දරුවන්ගේ විවිධත්වය වෙනුවෙන් සමාජය දැනුවත් කරන්නේ නැත්තන් අපිට බැහැ සමාජයෙන් විවිධත්වය පිළිගනී කියන සිතුවිල්ලෙන් ඉන්න. අපි අපේ දරුවන් වෙනුවෙන් අනුකම්පාවෙන් තොර ගෞරවය සහ පිළිගැනීම සහිත ඉඩක් නිර්මාණය කරන්න ඕනේ.

 

Jacob and Max Tilk සහෝදරයෝ

මුල් සබැඳිය : Jacob and Max Tilk