ලංකාවේ ඕනෑ තරම් ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් ඉන්නවා තමන්ගේ දරුවාගේ ඔටිසම් හොද කරගත්තා ය කියන.මොකක්ද මේ හොඳ කරගන්නවා කියලා කියන්නේ කියන එක අපි පැහැදිලි කරගමු.

දැන් ඔටිසම් කියන්නේ Spectrum එකක් කියන සමහර අයට තේරුම් ගන්න බැහැ. සමහර අයට කියන්නේ බහුතරයකට.ඒකට හේතුව ලංකාවේ ඔටිසම් සම්බන්ධව නිවැරිදි දැනුවත් කිරීමක් වෙලා නෑ කියන එක.එහෙම දැනුවත් වීමක් වෙලා තියනවා නම් අඩුම තරමේ ඔටිසම් කියන්නේ රෝගයක් නෙමේ කියන එක මේ සමාජය මේ වෙනකොට දැනගෙන ඉන්න ඕනේ.එතකොට මේ Spectrum එකක් කියන්නේ විවිධාකාර ඔටිසම් ලක්ශණ මේක ඇතුලේ තියනවා.දරුවෙක්ට අඩු වැඩි වශයෙන් මේ ලක්ශණ තිබෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔටිසම් දරුවන්ට සන්නිවේදනය කරගන්න පුළුවන් වගේම සමහර දරුවන්ට සන්නිවේදනය කරගන්න අපහසුයි.තවත් අයට Sensory ගැටළු විශාල වශයෙන් තියෙන්න පුළුවන් වගේම තවත් අයට අවම වශයෙන් තියෙන්න පුළුවන්. එතකොට අපි කියන්නේ නැහැ ඔටිසම් වැඩියෙන් තියනවා හෝ අඩුවෙන් තියනවා කියලා.අපි කියන්නේ මේ සහය අවමව සහ සහය අධිකව අවශ්‍ය වීම් කියලා.

මේ රටේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ Self studies කියලා දෙයක් නැහැ. එතකොට පොතේ තියන විශය කටපාඩම් කරාට එතනින් එහාට දරුවාව යොමු වෙන්නේ නැහැ දැනුම සොයාගෙන යන්න.මෙන්න මේ නිසා තමයි බහුතරයකගේ කියවීම ඉතා පටු වපසරියක තියෙන්නෙ.ඒ වගේම මිනිස්සු විස්වාස කරනවා යම් විශයක් ගැන සහතියක් ලබා ගැනීම කියන්නේ ඒ විශයේ සියල්ල දත් කියන එක. ලංකාවේ ඉතිහාසයේ වත් එක වෛද්‍යවරයෙක් නැහැ ඔටිසම් සම්බන්ධව දීර්ඝ කාලීනව පර්‍යේශණ කරපු.ඒක ඉතා පැහැදිලිව කියන්න පුළුවන්. උදාහරණයක් විදියට Dr. Temple Grandin කියන්නේ ලෝක ප්‍රසිද්ධ ඔටිසම් පුද්ගලයෙක්.ඇයගේ ජීවිතය පාදක කරගෙන චිත්‍රපට නිර්මාණය වෙලා තියනවා.ඇයට PHD/MS/BA ඇකඩමික් සුදුසුකම් හරහා වගේම ඇය ඔටිසම් පිළිබඳව විශාල දැනුමක් ලෝකයට බෙදා දෙනවා. මේ වගේම Tony Attwood ,Dr. Catherine Rice,Dr. Lonnie Zwaigenbaum,Dr. Helen Tager-Flusberg යනාදී ඇකඩමික් බුද්ධිමතුන් තමයි ලෝකයේ ඔටිසම් සම්බන්ධව මේ ලංකාවේ ඔටිසම් හඳුනාගන්න කරන පරීක්ශණ හා දත්ත පවා සොයාගත් අය. උදාහරණයක් විදියට Dr. Helen Tager-Flusberg කියන්නේ Boston university එකේ Autism Research center එකේ Director. දැන් ලංකාවේ ඉතිහාසය තුළ එක නමක් කියන්න බලන්න අඩුම ගානේ ඔටිසම් සම්බන්ධව එකම එක Research එකක් කරපු.අඩුම ගානේ ලංකවේ ඉන්න ඔටිසම් පුද්ගලයින්ගේ නියමිත දත්ත එකතු කරන නිවැරිදි මෙතඩ් එකක්වත් තියනවද කියලා බලන්න.නැහැ.එහෙව් රටේ කරන්නෙත් මේ ලෝකයේ ඉන්න බුද්ධිමතුන් අවුරුදු ගණනාවක් මහන්සි වෙලා සොයාගන්නා Evidence base දැනුම සම්පූර්ණයෙන් විකෘති කරන එක.දරුවෙක් කාමරෙන් ඇතුල් වෙලා විනාඩි දහයක් යන්න කලින් වෛද්‍යවරයා කියනවා නම් මේ දරුවා ඔටිසම් Level 2 කියලා මේක විහිළුවක් නෙමේද? එහෙම ඔටිසම් තත්ත්වය හෝ ලෙවල් එක විනාඩි කීපයක් ඇතුලත තහවුරු කරන්න බැහැ.

එතකොට තමන්ගේ දරුවාගේ ඔටිසම් තත්ත්වය වෛද්‍යවරයා විසින් තහවුරු කිරීමෙන් පසු කිසිම වෙලාවක මොකක්ද මේ ඔටිසම් කියන්නේ කියලා අම්මාට පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ.එතකොට මේ අම්මා මුලින්ම හිතන්නේ මේක හොද කරගන්න. කොටසක් සිංහල වෙදකම තෝරගන්නවා,තවත් සමහරු චීන කටු චිකිත්සාව කරනවා.තවත් අය යාග හෝම අපල වලට බාර වීම සෙත් ශාන්ති කරනවා. තවත් අය තෙරපිවරුන් වෙත යොමු වෙනවා.තවත් කොටසක් ඉන්නවා පෙර පාසලට හෝ පාසළකට දැම්මහම අනික් ළමයි එක්ක ඉදලා මේ ඔටිසම් හොද කරගන්න හදන්න.එතකොට මෙහෙම කරපු අයගෙන් සමහරක් පසුකාලීනව තමන්ගේ දරුවන්ව පෙන්නලා කියනවා ඔටිසම් හොද කරගත්තා කියලා.ඒ දරුවන් දිහා බලනකොට අයි කන්ටැක් තියනවා,පැහැදිලිව කතා බහ කරනවා,පාසල් යනවා,අකුරු ලියනවා, විභාගය පාස් වෙලා තියනවා.එතකොට ඔටිසම් දරුවන් ඉන්න අනික් අම්මලාත් හිතනවා ඔටිසම් හොද කරගන්න පුළුවන් කියලා.මේක සම්පූර්ණයෙන් බොරුවක්. මිත්‍යාවක්.මේ ඔටිසම් හොද කරගත්තා කියන දරුවන්ගේ ඔටිසම් ලක්ශණ අඩු වෙන්න පුළුවන් වගේම ඒ දරුවන්ව බලහත්කාරයෙන් ඔටිසම් නොවන දරුවන් විදියට කප්පාදු කරලා හදලා තියෙන්න පුළුවන්.අපි ඒකට කියනවා Autism masking කියලා.ඔටිසම් කියන්නේ ස්නායු වෙනස්ව පිහිටීම.මේ වෙනස්කම පසු කාලයේ වෙනස් වෙන්නේ කොහොමද ? එහෙම නම් අනාගතයේ වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා හොයාගන්න ඕනේ ඔපරේශන් එකක් මඟින් මේ ස්නායු පිහිටීම වෙනස් කරන්න.අපිට පුළුවන් නියමිත තෙරපි ක්‍රියාකාරකම් සහ ඇක්ටිවිටීස් ,පුහුණුව හරහා දරුවාට පහසුවෙන් ලෝකය දරාගෙන ස්වාධීනව ජීවත් වෙන්න හැකි සහය ලබා දෙන්න.

දැන් මේ ඔටිසම් ස්පෙක්ට්‍රම් එක වටහා නොගැනීම තමයි මේ හැම මිත්‍යාවක්ම පිටිපස්සේ තියෙන්නෙ.

උදාහරණයක් විදියට මම එමලිව අරගෙන පාර්ක් එකට හෝ යම් පොදු ස්ථාන වලට ගියාම කිසිම කෙනෙක් එමලි දිහා බලලා කියන්නේ නෑ මේ ඔටිසම් දරුවෙක් කියලා.හේතුව ඔටිසම් තත්ත්වය මූණ බලලා හඳුනාගන්න බැරි කම සහ එමලිගේ ඔටිසම් ස්පෙක්ට්‍රම් එක ඇතුලේ තියන ලක්ශන අනුව එයාට කිසිම ගැටළුවක් නැතුව අවට පරිසරය එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.එතකොට එයාගේ සංවේදන ගැටළු සමහර තැන් වලදී එලියට මතු වෙනවා.එයාගේ කනට හිරිහැරයක් වෙන music එකක් ඇහුනම එයා කන් දෙන වහගන්නවා.එයාට හිරිහැරයක් වෙන visuals දැක්කම එයා ඇස් දෙක තදින් වහගන්නවා.අනික් පැත්තෙන් එයාගේ සන්නිවේදනය තාම සම්පූර්ණයෙන් හැදිලා නැහැ.එමලිගේ Repetitive behaviors සහ Stimming මේ වෙනකොට ඉතා අවමයි.ඒ වගේම එයාට Social anxiety නැහැ.ඇකඩමික් පැත්තෙන් බැලුවම ඉතා ඉහළ බුද්ධියක් එමලිට තියනවා.එතකොට මට කියන්න පුළුවන් ද එමලිගේ ඔටිසම් සෑහෙන්න දුරකට මම හොඳ කරගෙන තියෙන්නෙ කියන එක? එහෙම නැත්නම් මට කියන්න පුළුවන් ද එමලිට ටිකක් ඔටිසම් කියලා.මේක සම්පූර්ණයෙන් බොරුවක්,මිත්‍යාවක්.මේ ලංකාවේ මිනිස්සු ඔටිසම් කියන වචනයට දක්වන බය සහ ලැජ්ජාවත් Spectrum එක ගැන නොදන්නා කම නිසා තමයි මේ ඔටිසම් හොද උනා කියන මිත්‍යාව පතුරවන්නේ.

දැන් ඔයාලා දන්නේ නැද්ද ලංකාවේ කොයිතරම් ඔටිසම් පුද්ගලයින් ඉන්නවද කියලා.මේක කියවන ඔයා උනත් ඔටිසම් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මෑතකදී ගෲප් එකේ අවුරුදු 28ක තරුණියක් එයා ඔටිසම් පුද්ගලයෙක් බවත් එයා දැන් ගෙවන ජීවිතය ගැනත් ලිපියක් දාලා තිබ්බා එයාගේ සැබෑ අන්න්‍යතාවයෙන්.ඒ තරුණිය Creative designer කෙනෙක්.ඉතා සාර්ථකව එයාගේ ඉගෙනීම අවසන් කරලා විවාහ වෙලා රැකියාවක් කරගෙන ස්වාධීනව ජීවත් වෙනවා.එතකොට ඒ තරුණියගේ ඔටිසම් හොද වෙලාද? එයාගේ ඔටිසම් අන්න්‍යතාවය තුළ තිබෙන ඔටිසම් ලක්ශණ අවම වීම නිසා ඒ තරුණියට ඉතා සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්.ඒත් ඒ ජීවිතය ඇතුලේ අභියෝග ඕනේ තරම් තියනවා.

මේ ඔටිසම් කියන්නේ නිමෙන පත්තු වෙන ලයිට් එකක් නෙමේ.සහය වඩාත් අවශ්‍ය සහ ඔටිසම් ලක්ශණ වැඩි දරුවන්ව සහ පුද්ගලයින්ව සමාජය ඉක්මනින් හඳුනාගන්නවා.ඒකට හේතුව මේ ඔටිසම් ලක්ශණ වැඩි වීම නිසා ඔවුන්ගේ හැසිරීමේ පැහැදිලි වෙනසක් පිටතට පේන නිසා.එතකොට ඔටිසම් කිව්වම මේ සමාජේ නිකන් ලාදුරු නම ඇහුවම වගේ අමුතු වෙලා බය වෙලා බලනවා.එයාලා දන්නේ නැහැ එයාලා උනත් මේ Spectrum එක ඇතුලේ ඉන්න පුළුවන් කියන එක.ලංකාවේ මහාචාර්යවරුන් ,මැති ඇමති වරුන්,ගුරුවරුන්,රාජ්‍ය සේවකයින් විතරක් නෙමේ වෛද්‍යවරුන් පවා ඉන්නවා ඔටිසම් තත්ත්වය සහිත.ඔවුන් කවදාවත් තමන් ඔටිසම් පුද්ගලයෙක් කියලා එලියට හඳුන්වා නොදෙන්නේ මේ සමාජය ඔවුන් වටිනාකමින් අඩු එහෙම නැත්නම් රෝගීන් කියලා හංවඩු ගහයි කියන බයට.

වැඩිය ඕනේ නෑ මේ මිනිස්සු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන අදහස් වලින් පේනවා නොදැනුවත්කමක්.සමහරු හිතනවා ඔටිසම් කියන්නේ අධි ක්‍රියාකාරී දරුවන්ට කියලා.සමහරු හිතනවා මේක අමුනුස්ස දෝශයක් කියලා.තවත් සමහරු හිතනවා පෙර අපල කියලා.තවත් අය කියනවා අම්බෝ ළමයට ඔටිසම් කියලා කියන්න එපා හොද නෑ කියලා.මේ සෑම ප්‍රතිචාරයකම තියෙන්නෙ ඔටිසම් ගැන තියන නොදැනුවත්කම. මේ නොදැනුවත්කම සරළ නැහැ.මේ නූගත්කම මත පතුරවන මිත්‍යාවන් සහ අපහාස වලින් වන්දි ගෙවන අම්මලා බොහෝමයක් ඉන්නවා.සමහර අම්මලා ඉන්නවා තමන් ඔටිසම් දරුවෙක්ට උපත දුන්න එක නිසාම ඒ පවුල් වලින් මේ අම්මලා අසනීප දරුවන්ව බිහි කරනවා කියලා ම්ලේච්ඡ විදියට චෝදනා වලට ළක් වෙන. මේ වෙනකොට යුරෝපයේ කොයිතරම් ඔටිසම් දරුවන්,තරුණ තරුණියන් ,වැඩිහිටියන් තමන්ගේ ඔටිසම් අන්න්‍යතාවය ගැන සමාජය දැනුවත් කරනවද කියලා.මේ දැනුවත් කමින් තමයි මේක ඉතා සාමාන්‍ය කාරණයක් වෙන්නේ සහ සමාජය තුළ Neurodivergent ප්‍රජාවට අවශ්‍ය පහසුකම් සහ වැටහීම ලැබෙන්නේ.

නිකන් හරි ලෝකේ අංක එකේ ධනපතියා Elon musk ලංකාවට ඩොලර් බිලියන ගාණක ආධාරයක් දෙනවා වගේ කිව්වා නං ලංකාවේ මිනිස්සුන් එදාට ඔටිසම් කියන්නේ රෝගයක් නෙමේ කියලා කියවන්න ගනී. හේතුව Elon musk ඔටිසම් පුද්ගලයෙක් නිසා.

ඒ නිසා තවදුරටත් මිත්‍යාව පතුරවන්න එපා මේ දූපත අස්සේ ඔටිසම් දරුවාගේ ඔටිසම් තත්ත්වය හොඳ උනා කියලා තරයේ විස්වාස කරන දෙමාපියන් ට පුළුවන් ඒක සමරන්න.ඒත් අනෙකුත් ඔටිසම් දරුවන් ඉන්න දෙමාපියන්ට ඒ ලණුව දෙන්න එපා හප හපා ඉන්න.ඉස්කෝලේකට දාලා ඔටිසම් මඟ හැරිලා යයි කියලා දරුවන්ව අත් හරින්න එපා.ඒකෙන් වෙන්නේ ඒ දරුවන්ට අවශ්‍ය සහය නොලැබී යන එක.

එතකොට ඔටිසම් හොඳ කරනවාය කියන ලංකාවේ ඉන්න හොර තක්කඩි වෙද්දු ටිකට ඔටිසම් ලක්ශණ ඉතා වැඩි දරුවෙක් හෝ පුද්ගලයෙක් අරගෙන ගිහින් හොඳ කරලා පෙන්නන්න කියන්න.ලංකාවේ ඉන්නවා එහෙම තරුණ තරුණියන් ඕනෑ තරම්.එයාලට ස්වාධීනව ජීවිතය ගෙවන්න අපහසුයි.අනිවාර්යයෙන් සහයක් අවශ්‍ය වෙනවා.එතකොට රජයකින් ඔවුන්ට සෑම පහසුකමක්ම ලැබෙන්න ඕනේ උනත් ලංකාවේ එහෙම හම්බෙන්නේ නැහැ.දැන් මේ වෙද්දුන්ට පුළුවන් මේ වගේ සහය ඉතා අවශ්‍ය ඔටිසම් තරුණයෙක්ව සම්පූර්ණයෙන් සුවපත් කරන්න.

සිංහල භාශාවෙන් ඔටිසම් සම්බන්ධයෙන් තියා බහුතරයක් විශයන් ගැන මූලාශ්‍ර නැහැ හොයාගන්න.මෙන්න මේ භාශා ගැටළුව නිසා තමන්ගේ කියවීම පටු වුනාම සිද්ධ වෙන්නේ ලංකාව ඇතුලේ ඉන්න ඕනේ කෙනෙක්ට ඕනේම තත්ත්වයක් විකුණගෙන කන්න පුළුවන් කම ලැබෙනවා.මේ පේජ් එකේ ලියන සෑම අකුරක්ම ලියන්නේ Evidence base / සමීක්ශණ මත ඔප්පු වී තියන සාධක මත.අපිට බැහැ ඔටිසම් සම්බන්ධව අපිට හිතෙන කාරණා කියන්න.ලෝකයේ මේ වෙන විට කරලා තියන සමීක්ශණ මත ඔප්පු වුන සාධක හා කරුණු විතරයි අපිට විස්වාස කරන්න පුළුවන්.ඒ සාධක මත නිර්මාණය කෙරුනු තෙරපි ක්‍රම ගැන විතරයි අපිට කතා කරන්න පුළුවන්.ඉතිං ඔටිසම් සුව කරන්න බැහැ.එහෙම යමෙක් කියනවා නම් ඒක සම්පූර්ණයෙන් අසත්‍යක් විතරක් නෙමේ ඒකෙන් කරන්නේ සහය ලැබිය යුතු දරුවන්ට අවශ්‍ය සහය නොලැබී යාම.