ඇයි මේ වැලි අත ගාන එක ඔටිසම් දරුවන්ට මේ තරම් වැදගත් වෙන්නෙ? අධික සංවේදන අවශ්‍යතා ඇති දරුවන්ගේ ඒ අවශ්‍යතාවයට මේක ගොඩක් වැදගත් ප්ලේ ඇක්ටිවිටි එකක්. ඒ වගේම තමයි මේකෙන් දරුවන්ගේ මනස සන්සුන් වෙනවා සහ දරුවන්ගේ හැඟීම් හා සිතුවිලි මුදා හරින්න මේක හොද ඇක්ටිවිටි ටූල් එකක්.

වැලි එක්ක සෙල්ලම් කරන එකෙන් ඔටිසම් දරුවන්ගේ සංවේදන ගැටළු සමබර වෙනවා වගේම දරුවන්ගේ සියුම් චාලක කුසළතාවයන් වර්ධනය වෙනවා. අත සහ ඇස් වල (දෘශ්‍ය) අතර සම්බන්ධතාවය ගොඩ නැගෙනවා. ඒ වගේම ඔටිසම් දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාව සහ සන්නිවේදනය දියුණු වෙනවා.

ගොඩක් රටවල් වල මේකට වැලි වගේම හාල් අරගන්නවා. සුදු හාල් අරගෙන ෆුඩ් කලරින් දාලා හාල් වර්ණ ගන්වාගෙන දරුවන්ට සෙල්ලම් කරන්න දෙනවා.

එතකොට නිකම්ම නිකන් වැලි ටිකක් දරුවට දෙනවට වඩා මේ වැලි අස්සට අපිට එක එක දේවල් දාන්න පුලුවන්. වැඩි වියදමක් යන්නේ නැති සංවේදන ඇක්ටිවිටි එකක් තමයි මේක.

ගෙදර තියන පොඩි පොඩි බඩු එකතු කරගෙන් වැලි බේසමට දාගන්න. පිහාටු, ලී වලින් හදපු පොඩි හැඩ තළ, හැදි, ඉලක්කං, අකුරු, පොඩි රෙදි පටි, ගිනි කූරු, බිල්ඩින් බ්ලොක්ස්, ප්ලාස්ටික් බෝල, කෝප්ප, බෝතල් වගෙ ගෙදර තියන බබාට සෙල්ලම් කරන්න පුලුවන් ඕන එකක් එකතු කරගන්න. දරුවා හැමදේම කටේ දා ගන්නවා නං ඒ ගැන කල්පනා කරලා තමයි මේ වැලි වලට දා ගන්නේ මොනවද කියලා තීරණය කරන්න ඕනේ.

ඔටිසම් බබාලා එයාලගේ සෙන්සරි අවශ්‍යතාවයන් නිසා අතට අහුවෙන දේවල් කටේ දාගන්නව. ඒ නිසා නිතරම දරුවන් කෙරෙහි විශේශ අවධානයෙන් ඉන්න. එහෙම දරුවන් ඉන්නවා නං කුඩා ද්‍රව්‍ය ඉවත් කරලා හැඳි කෝප්ප, ලොකු බිල්ඩින් බ්ලොක්ස් වගේ දේවල් වැලි එකට දාගන්න. මේ වැලි එක වර්ණවත් වෙනවා නං වඩා හොදයි.

මෙහෙම එකතු කරගත්ත බඩු ටික අර වැලි බේසම ඇතුලට දාලා වැලි එක්ක කලවම් කරගන්න. දැන් දරුවට ඒකත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න. දරුවා ලඟ ඉදන් අපිත් අර ඇතුලේ තියන එක එක සෙල්ලම් බඩු වැලි අස්සෙන් අරගන්න ඕනේ. එහෙම ගන්න කොට ඒ භාණ්ඩයේ නමත් කියන්න. ඒකෙන් දරුවා වචන ඉගෙන ගන්නවා වගේම අම්මා එක්ක Play කරන්න Comfortable වෙනවා. මේ වගේ වෙලාවට දරුවාට බලෙන් වචන කියලා දෙන්න, බලෙන් සෙල්ලම් කරන විදිය එහෙම කියලා දෙන්න එපා. එතකොට දරුවට Play කරන්න තියන ආසාව නැති වෙලා යනවා. ඒ නිසා දරුවාට අවශ්‍ය නිදහස ලබා දෙන ගමන් සීරුවට දරුවාගේ සෙල්ලමට සම්බන්ධ වෙන්න.

වැලි වලට වතුර එකතු කරන්නත් පුලුවන්. වතුර එකතු කරලා මඩ කරලා ඒකත් දරුවාට ස්පර්ශ කරලා සෙල්ලම් කරන්න දෙන්නත් පුලුවන්. තෙත දේවල් හෝ ඇලෙන සුළු දේවල් අල්ලන්න අකමැති දරුවන්ට ඒවා Zip lock bags වල දාල දෙන්න.

ගෙදර කරන්න පුලුවන් සෙන්සරි ඇක්ටිවිටීස්

  • ක්ලේ වලින් රූප හදන එක හෝ ක්ලේ බෝල සාදා අතින් ඒවා තැලීමට දරුවාට ලබා දෙන්න
  • තරමක ලොකු පැස්ටා කැබලි එකට අමුණා මාලයක් සෑදීමට කියා දෙන්න
  • වෝටර් කලර්ස් ගෙන ඇඟිලි වලින් පාට කිරීම
  • පුළුන් බෝල එක බෝතලයකින් තවත් බෝතලයට දැමීම
  • නොයෙක් හැඩැති ලී බ්ලොක්ස් එක උඩ එක තැබීම
  • මල් වලට වතුර දැමීම
  • මඩ වලින් නොයෙක් හැඩ නිර්මාණය කිරීම
  • බබල් රැප් පොඩි කිරීම හා බැලුන් පිපිරවීම
  • ජෙලි පැකට්ටුවක් සාදා එය තුලට පොඩි ටෝයිස් දමා එය හයි වූ පසු දරුවාට ඒ තුල තිබෙන දෑ ගැනීමට ඉඩ දීම
  • කෝටු කැබලි දෙකක් හා ටින් දෙකක් දී ඩ්‍රම් එකක් සේ එයට පහර දීම
  • වැලි කඩදාසියක් දී එය මත පැස්ටල් වලින් ඇඳීමට දීම
  • සබන් බෝල පිම්බීම
  • වහින විට එලියට වී වැස්සෙ සෙල්ලම් කිරීමට දීම
  • සෞම්‍ය සංගීතයට ඇහුම් කන් දීම
  • අයිස් කැට ගෙන දී ඒවා කුඩු කිරීමට හා ස්පර්ශ කිරීමට දීම

නිවසෙහි ඔබ දරුවා සමඟ එකතු වී කරන බොහෝ දේවල් ක්‍රියාකාරකමක් ලෙසට හරවා ගන්න. සෑම ඔටිසම් දරුවෙකුම එකිනෙකට වෙනස් වේ.ඔවුන්ගේ අවශ්‍යතා වෙනස් ය. දරුවාගේ අවශ්‍යතාවයන් වටහා ගෙන එයට සහය ලබා දීමට හැකි වන සේ Play නිර්මානය කරගන්න.

මෙම ක්‍රියාකාරකම් සමඟම දරුවාගේ සංවේදන අවශ්‍යතා සපුරාලීම මෙන්ම දරුවාගේ සන්නිවේදනයට උදව් විය හැකිය. සංවේදන ඇක්ටිවිටීස් හරහා දරුවාගේ හැසිරීමත්, සන්නිවේදනයත් ඔබට වැඩි දියුණු කරගත හැකිය.