සෑම වළාකුළක්ම,කොළ පාටින් බබළන මහා විශාල වෘක්ෂලතාද,සීතල වැහි බිංදුද,වියළි පොළොවද ඔබව හඳුනයි. දිලිසෙන ඇස්,තෙත හොම්බා සහිත බලු තඩියන් සේම පුරු පුරු බළලුන්ද ඔබට අසීමිතව ආදරේ කරයි. පාට පාට කුරුල්ලන් නර්ථනයේ යෙදෙන්නේ ඔබගේ සිනාව දැකගන්නටය. ඔබ අයිති මේ මහ පොළොව මතට බව ඔවුන් කියා සීටී. ඔවුන් ඔබව දෑත් දිගු කොට උණුසුම්ව පිළිගනී. ඔබගේ සෑම අඩි සළකුණක්ම මේ මහ පොළොව දරාගනු ඇත. සෑම සීතල කඳුළු බිංදුවක්ම ගලා යන නදියන් එකතු කරගනු ඇත. ඔබේ හිනාවේ ලස්සන බලන්නට සුවඳ මල් උදෑසනම පිපෙනු ඇත.

ඉතිං මේ ලෝකය තව දුරටත් නන්නාඳුනන වන්නේ නැත. සෑම වායු අංශුවක්ම ඔබව දනී. ඔබට ඔබ වෙන්නට ඒ නිදහසේ පරම අයිතිය ස්වාභාව ධර්මය ඔබට ලබා දී ඇත. ඉතිං විනිශ්චයේ සිරගෙවල් ඔබට නොපෙනෙනු ඇත.

කාලයා විසින් ආදරයේද, අහිමිවීමේද, ප්‍රතික්ෂේප වීමේද, හිමිවීමේද පැහැය ඔබ හොඳින් හඳුනාගනු ඇත. මනුශ්‍යයින්ට නොපෙනෙන දෙවියෙක් නැති නමුත් නොපෙනෙන යක්ශයින් සිටිනා බව ඔබ දැනගනු ඇත. ඔබගේ මට සිලුටු හදවත කෑළී වලට කැඩී ආයේ ආයේ සුවපත් වනු ඇත. මේ සියල්ලම සිදු විය යුතුය. එය ජීවිතය නමින් ඔබ හඳුනාගනු ඇත. සදාතනිකව සුවනොවන තුවාල නැති හදවත් මේ මහ පොළවේ නැත. සියලුම මනුශ්‍ය ආත්මයන්හි පතුල කියවීමට ඔබ ඉගෙන ගනු ඇත.

ආලෝකය සහ අඳුර අතර වෙනස ඔබට පෙනෙනු ඇත. ඔබට සියල්ලම පැහැදිලිව පෙනෙන ආලෝකය තෝරා ගන්න. එහෙත් අඳුරට බිය නොවන්න. මා නොමැති යම් දිනක ඔබට අඳුරේ සිට ආලෝකය සොයා ගත නොහැකි වුවහොත් සන්සුන් වන්න. ඇහුම්කන් දෙන්න. වලාකුළු ඔබට මඟ පෙන්වනු ඇත. ගලා යන නදිය, නටන කුරුල්ලන්, තෙත හොම්බ සහිත බලු තඩියාද, පුරු පුරු බළලාද, සුවඳ මල් ද, සීතල වැහි බිංදු සහ වියැළුනු පොළොවද ඔබට ආලෝකය දෙසට ඇති මාර්ගය පෙන්වනු ඇත.

ඒ සියල්ලගේමත් ඔබ හුස්ම ගන්නා සෑම වායු තරළයකමත් “අම්මා” සිටිනු ඇත. අම්මාට කිසිදා මිය යා නොහැක. අම්මා දරුවා තුළ අමරණීය වේ. ඒ නිසා ඔබ තුළ මා සදාකාලිකව ජීවත් වේ. ඔබට මාව ඕනෑ වෙන සෑම මොහොතකම මා සිටින්නේ ඔබ අසළය. එය පොරොන්දුවකි.

මීට අම්මා