ඇඟිලි සළකුණු දෙකක් එක වගෙ වෙන්නෙ නෑ වගේම කිසිම විටෙක මිනිස් මොළයන් එකිනෙකට ව්‍යුහාත්මකව සමාන නොවන බව නව ස්නායු විද්‍යාත්මක පර්යේෂණ මගින් පෙන්නලා තියෙනවා. අපි හැමෝගෙම මොළය සංවර්ධනය වෙන්නෙ සහ ක්‍රියාත්මක වෙන්නෙ එකිනෙකට වෙනස්ව. ඒකෙ ප්‍රතිඵලයක් විදියට අපි හිතන විදිය,අපිට දැනෙන විදිය සහ හැසිරෙන විදිය එකිනෙකාට වෙනස් වෙනවා.මේ විවිධත්වය අපට පැහැදිලි වෙනවා මේ පහළින් දක්වලා තියෙන කරුණු පුද්ගලයන් තුළ විශාල පරාසයක විවිධත්වයකින් පැවතිම මගින් .

  • බුද්ධිමය හැකියා
  • සන්නිවේදන කුසලතා
  • සමාජීය කුසලතා
  • හැඟීම්/ආවේග ක්‍රියාකාරීත්වය (Emotional functioning)
  • සංවේදන අත්දැකීම් (Sensory experiences)
  • චාලක කුසලතා (Motor/movement skills)
  • ඉගෙනුම් හැකියා (Learning abilities)

පුද්ගල විවිධත්වය ගැන කතා කරනකොට වැදගත් වචන දෙකක් ඉගෙන ගන්න වෙනවා. ඒවට සිංහල වචන හරියටම නැති නිසාත් පරිවර්තනය කරද්දි අර්ථය වෙනස් වෙන්න පුලුවන් නිසාත් ඒවා ඒ විදියටම දැනගන්න එක හොඳයි. මොනවද මේ වචන? Neurotypical සහ Neurodivergent

සියලුම මොළයන් එකිනෙකට වෙනස් වන බව අපි දන්නවා. ඒත් මොළය සංවර්ධනයේ සහ ක්‍රියාකාරිත්වයේ යම් රටාවන් තියෙනවා,ඒවා සමහර ඒවා සුලභයි සමහර ඒවා අඩු සුලභතාවක් තියෙන්නෙ(මිනිස් සමාජය තුළ). Neurotypical කියන්නෙ බහුතරයක් අයගෙ තියෙන විදියෙ පොදු රටාවන් සහිත මොළයක් තියෙන අයට. එයාලා තොරතුරු process කරගන්නේ,තමා වටා ඇති ලෝකය අත්දකින්නෙ සහ හැසිරෙන්නෙ සමාජය විසින් සාමාන්‍ය/දර්ශීය(typical)යැයි සලකනු ලබන ක්‍රම වලින්.

එතකොට ඔය කියපු neurotypical පුද්ගලයන්ගේ මොළය සංවර්ධනය වෙන සහ වැඩකරන විදියට වඩා වෙනස් විදියට නම් මොළය සංවර්ධනය වෙන්නේ සහ වැඩ කරන්නෙ ඒ වගේ පුද්ගලයන් neurodivergent නැතිනම් neurominorities කියලා සලකනවා. එයාලගේ (neurodivergent)මොළයේ ඇති වෙනස්කම් සමහරවිට ඉතා සියුම් සහ අපට ග්‍රහණය නොවෙන මට්ටමේ වෙන්නත් පුලුවන්. ඒ වගේම සමහර විට පැහැදිළිව ප්‍රකට වෙන්නත් පුලුවන්. Neurodivergent පුද්ගලයන්ට එයාලත් එක්ක ඉන්න neurotypical සගයන්ට වඩා වෙනස් ප්‍රභලතා/ ශක්තීන් (strengths) සහ අභියෝග/අරගල (struggles) තියෙනවා.

යම් පුද්ගලයෙකුගේ සමාජීය හැසිරීම හෝ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය සමාජයේ සාමාන්‍ය (typical) යයි සම්මත සීමාවෙන් අපගමනය වුනොත් වෛද්‍යවරු කරන්නේ එම තත්ත්වයට සුවිශේෂී වූ රෝග විනිශ්චයක් (medical diagnosis) දෙන එක. ඒ ඒ තත්ත්වයන් විවිධ නම් වලින් හඳුන් වනවා. හැබැයි “Neurodivergence” කියන වචනය භාවිතා වෙන්නෙ ඒ විවිධ තත්ත්වයන් සහිත ප්‍රජාව විසින් ඔවුන්ව පොදුවේ හඳුනා ගැනීමක් විදියට. Neurodivergent ලෙස තමන්ව හඳුන්වාගන්නා මෙම ප්‍රජාව විසින් පහත දැක්වෙන වෛද්‍යමය විනිශ්චයන් සහිත තත්ත්ව සියල්ල “neurodivergent” යන පොදු කුලකයකට අයත් බව සලකනවා.

මේ තියෙන්නෙ ඒ විවිධ තත්ත්වයන්/සහලක්ෂණයන්

  • Autism spectrum disorder (ASD)
  • Attention deficit hyperactivity disorder (ADHD)
  • Dyscalculia ( difficulty with maths)
  • Dysgraphia (difficulty in writing)
  • Dyslexia (difficulty in reading)
  • Dyspraxia (difficult with coordination)
  • Intellectual disabilities (බුද්ධිමය ආබාධ)
  • Sensory processing disorders (සංවේදන සම්බන්ද තත්ත්වයක්)
  • Tourette’s syndrome (Hitchki film එකේ ඉන්නෙ මේ තත්ත්වය සහිත කෙනෙක්)

මේ තත්ත්වයන් ගැන වෛද්‍යමය කෝණයකින් බලලා තියෙන්නෙ කොහොමද?

The International Classification of Diseases (ICD-11) කියන එකට අනුව උඩ තියෙන තත්ත්වයන් වර්ගී කරණය කරලා තියෙන්නෙ neurodevelopmental disorders වීදියට “Neurodevelopmental” කිව්වම ඒකෙ තේරුම තමයි මේවා ඇතිවෙන්නේ මොළය සංවර්ධනයක් එක්ක. ඒ කියන්නෙ අවුරුදු 18ට කලින්. (හැබැයි වයසින් වැඩි කෙනෙක්ට වුනත් පසුකාලීනව diagnosis එකක් ලැබෙන්න පුලුවන් පොඩි කාලෙ හඳුනගෙන නැත්නම්) (ICD-11,2023).

Medicine වලදි මේ disorder කියන වචනය යෙදෙන්නෙ ස්වභාවික රටාව අපගමනය වෙලා කියන අදහසින්. එකකොට ඒ වචනයෙන් පණිවිඩයක් දෙනවා සමාජයේ සාමාන්‍ය කියලා සලකන තත්ත්වයෙන් අපගමනය වෙලා කියලා. Medicine වලදී මේ වෙනස නැත්නම් විවිධත්වය ඒ ඒ පුද්ගලයන්ගේ තියෙන ඌනතාවක්, ආබාධයක් ක්‍රියාකාරිත්වයේ දුර්වලතාවයක් විදියට දැකලා ඒක pathologize (රෝගයක් ලෙස සලකනවා) කරනවා.

එතකොට පුද්ගල ආබාධයක් දෝශයක් කියලා හිතන නිසා එයාලගේ ටාගට් එක වෙන්නෙ neurodivegent අයව “සුව කිරීම” හෝ සාමාන්‍ය යයි සම්මත තත්ත්වයට පත්කර ගැනීම සඳහා ප්‍රතිකාර කිරීම. (cure or normalize)

(හැබැයි දැන් ලෝකය ඊට වඩා updated නිසා medical field එකෙත් මේවා රෝග විදියට සැලකෙන්නේ නෑ මේ වෙද්දී. මෙතන කියලා තියෙන්නෙ medical terms වල ඔරිජිනල් තේරුම එක්ක බැලුවම තියෙන විදිය. ලංකාවේ නම් තවම treatment කරලා cure or normalize කරන්න තමයි බලන්නෙ බොහෝ තැන්වල ඉස්සරහට තේරුම් යයි ඒක වැරදියි කියලා)

මේ තත්ත්වය පැහැදිළි කරන්න මේ උඩ කියපු Medical model එකට අමතරව මේ වෙනත් models තියෙනවද?

ඔව්. 1990 දශකයේ අග ඕස්ට්‍රේලියානු සමාජ විද්‍යාඥයෙක් වන Judy Singer විසින් “neurodiversity” කියන වචනය මුලින් යෝජනා කරලා තිබුනා ඔටිසම් ප්‍රජාව මූලිකව සහ තවත් neurominorities එකතුවෙන් ඒ කාලේ නැගී ආව මානව හිමිකම් බලවේගයට ජනතා අවධානය ලබා දීමේ අරමුණෙන්.

Neurodiversity කිව්වම තේරුම් දෙකක් අපිට ගන්න පුලුවන්.

1. පුද්ගලයන් දෙදෙනෙකු කිසිම විටෙක සමාන නොවීමට හේතුවන ලෝකයේ පවතින ජීව විද්‍යාත්මක සත්‍යයක් වෙන මානව ස්නායු පද්ධතියේ අසීමිත වූ විචල්‍යතාව/ විවිධත්වය.

2. ස්නායුමය වෙනස්කම් සහිත අය සඳහා සමාන අවස්ථා සහ සහභාගිත්වය වැඩි කිරීම උදෙසා කරගෙන යනු ලබන සමාජ ව්‍යාපාරයන්/ කතිකාවන් (Neurodiversity Movements) නම් කිරීමට යොදා ගන්නා “advocacy term”. අති පුළුල් විවිධත්වයේම(Neurodiversity එකේ)එක ආකාරයක් පමණයි.(Pellicano & den Houting, 2022). ඒ නිසා Neurodivergence කියන තත්ත්වය අපිට ආබාධයක් හෝ ඌනතාවයක් කියලා ගන්නෙ නැතුව වෙනසක්/විවිධත්වයක් කියන සංකල්පයකට ගන්න පුලුවන් (a difference rather than a deficit).

Neurodiversity යටතේ කතා වෙන තත්ත්ව වලට අමතරව අපේ සමාජයේ ආබාධ සහිත ප්‍රජාවක් ගැන වෙනම කතාවක් තියෙනවනෙ. ඔය “disabled” කියල හඳුනගන්න අය. එයාලා සම්බන්දව ලෝකේ දැන් තියෙන social model එකේ මේ “ආබාධය (disability) කියන එක අර්ථ දැක්වෙන්නේ එම ආබාධය පුද්ගලයාගෙ ආවේණික ලක්ෂන වල ප්‍රතිඵලයක් නොවන අතර එම පුද්ගලයා වටා ඇති භෞතික හා සමාජයීය පරිසරය විසින් එම පුද්ගලයාගේ ආවේණික ලක්ෂන සඳහා අවශ්‍ය ඉඩකඩ , අවස්ථාව නිවැරදිව ලබා දීමට අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් ය කියලා.

ඔන්න ඔය disability වලට තියෙන social model එක neurodivergence සඳහාත් ගැලපෙනවා. (Pellicano & den Houting, 2022).

Medical model එකේදි අහන ප්‍රශ්නය තමයි කොහොමද මේ disability එක අඩු කරගන්නේ? කියන එක.

හැබැයි social model එකේ අහන්නෙ මේ පුද්ගලයා ආබාධිතයිද /disabled (හැකියාව නැති) ද, එහෙම නැත්නම් ඔවුන්ගේ පරිසරය විසින් ඔවුන්ට හැකියාවක් නොමැති අය කරමින් සිටිනවා (disabling) ද ? කියලා.”

Neurodivergent ප්‍රජාව විවිධ අභියෝගයන්ට මුහුණ දෙන්නේ පරිසරය ඔවුන්ගේ ආවේණික ස්වභාවය භාර ගැනීමට / එයට ඉඩ ලබා දීමට ගොඩනැගී නැති නිසා.

උදාහරණ:

පාසල් තුළ පවතින සාම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රම සහ සම්මත තක්සේරු කරන ක්‍රම තුළ neurodivergent දරුවාට මතුවීමට අවස්තාවක් නොලැබීම හෝ ඒ තුළ රැඳී සිටීමට හෝ අපහසු වෙන්න පුලුවන්.

රැකියා ස්ථානයේදී, neurodivergent සේවකයන්ට වැඩ පරිශ්‍රයේ ඇති විවෘත අවකාශීය සැලැස්ම හෝ පවත්වාගත යුතු සමාජීය සම්බන්දතා හේතුවෙන් සංවේදන සම්බන්ද අභියෝග ඇති වී ඒවා සමඟ සටන් කරන්න වෙන්න පුලුවන්.

Neurodiversity කියන සංකල්පය මත ඉහත උදාහරණ දිහා බලද්දී වැඩි අවදානයක් දෙන්නෙ පුද්ගලයා සහ පරිසරය ගලපා ගැනීමට මිස disorder එකකට ප්‍රතිකාර ලබාදීමට නෙවෙයි. Neurodiversity අනන්‍යතාව සමාජය විසින් ගරුත්වය සහ අභිමානය රැකෙන අයුරින් පිළිගත යුතු අතරම එය රෝගයක් ලෙස දැකීම නොකළ යුතු ද වෙනවා.

Flat profile and spiky profiles

සමස්ථ මානව ගහනය දෙස බැලුවොත් බහුතරයක් දෙනා එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන බුද්ධිමය සහ කෘත්‍යමය කුසලතා අතින් සාමාන්‍ය මට්ටමක් පෙන්නනවා. සුළු පිරිසක් පමනක් සියලුම අංශ වලින් ඉහළටම යනවා. ඒ වගේම සුළු පිරිසක් සියලු අංශවලින් පසු බෑමක් පෙන්නනවා. මෙතන වැදගත් කරුණක් තියෙනවා, ඒ තමයි මේ සියලු හැකියා සහ කුසලතා සාමාන්‍ය වුනත්, සාමාන්‍යයට වඩා ඉහළ එහෙම නැත්නම් සාමාන්‍යයට වඩා අඩු වුනත් ඒවා සියල්ල එකට එකතුවෙලා වගේ තියෙන්නෙ. ඒ කියන්නේ එකක් ඉහළම අනිත් එක පහළම වගේ වෙන්නේ නෑ. ඒකට කියනවා flat profile කියලා. මේ සාමාන්‍ය skills වල flat profile pattem එක තමයි අපි neurotypical පුද්ගලයන්ගේ දකින්නේ.

එතකොට ඊට සම්පූර්ණ විරුද්ධ pattern එකක් තමයි autism, ADHD, dyslexia and dyspraxia තියෙන අයට තියෙන්නෙ. එයාලගෙ ඔය ඔක්කොම සාමාන්‍ය skills ටික සැලකුවොත් ඉහළින්ම තියෙන ඒවා , සාමාන්‍ය මට්ටමෙන් තියෙන ඒවා වගේම පසු බෑමක් දක්වන ඒවා තියෙනවා.මේ විදියට සමහර අංශ වල ඉතා සුවිශේෂී skills and talents තියෙන, ඒත් සමහර අංශවල පසුබෑමට ලක්වෙන pattern එකක් තියෙනවට කියනවා spiky profile එකක් කියලා.

neurodivergent talents කියන දේවල් අතීතයේදීත් දැනටත් මානව පරිනාමයේදී සුවිශේෂ වාසි ඇති කරන්නට ඇතැයි දැන් විද්‍යාඥයන් සෑහෙන පිරිසක් විශ්වාස කරනවා (Brüne et al., 2012). සමහරවිට neurodivergence කියන එකේ පරිනාමික අරමුණ වෙන්න ඇත්තේ කණ්ඩායමක් තුළ පවතින සාමාන්‍ය/ පොදු චින්තන කුසලතා සමතුලිත කිරීම සඳහා සුවිශේෂ චින්තන කුසලතා පවත්වා ගැනීම වෙන්න පුලුවන් (Doyle, 2020). ජීවය සඳහා ජෛව විවිධත්වය ඉතා වැදගත් වෙනවා . “Neurodiversity කියන එක මානව වර්ගයාට ඉතා වැදගත් වෙනවා ඇති (Armstrong, 2015).

මොනවද ඇත්තටම විද්‍යාත්මකව අධ්‍යනය කරලා තියෙන මේ neurodivergent talents/ Strengths?

  • Creativity (Leather et al., 2011; White & Shah, 2006)
  • Visual-spatial reasoning ability (three-dimensional thinking) (Grant, 2009) (දෘශ්‍ය – අවකාශිය තාර්කික හැකියාව)
  • Attention to detail (Baron-Cohen et al., 2009)
  • Hyper systemizing (the ability to recognize patterns) (Baron-Cohen et al., 2009) (රටාවන් හඳුනාගැනීම)
  • Hyperfocus (Armstrong, 2011)
  • Verbal comprehension වචනයෙන් කියන ලද දේ තේරුම්ගැනීම (Grant, 2009)
  • Outstanding memory (Meilleur et al., 2015)
  • Entrepreneurialism (Logan, 2009), and
  • Specialist individual skills such as reading, drawing and music (Meilleur et al., 2015)

මතකයට වැදගත් සාරාංශය:

  • මොළයන් දෙකක් කිසි විටෙක එකම විදියකට වැඩ කරන්නෙ නැ
  • Neurodiversity කියන වචනයේ තේරුම මිනිස් මොළයන් අතර පෙන්වන අසීමිත වූ විවිධත්වයට. (වඩාත් සුලභ/ neurotypical සහ සුලභතාව අඩු/ neurominorities යන කාණ්ඩ දෙකම ඇතුළත්ව)
  • ඒ වගේම Neurodiversity කියන වචනය/සංකල්පය යොදා ගන්නවා neurominorities වෙනුවෙන් සිදු කරන මානව හිමිකම් ව්‍යාපාර හඳුන්වා ගැනීමටත්.
  • Neurotypical පුද්ගලයන් හිතන්නෙ හැසිරෙන්නෙ සමාජය විසින් සාමාන්‍ය යැයි සම්මත විදියට. එයාලගේ බුද්ධිමය කුසලතා සහ හැකියාවන් සලකලා බැලුවම එයාලට බොහෝ විට flat profile
  • Neurodivergent පුද්ගලයන් හිතන්නෙ සංවේදනය කරන්නෙ සහ හැසිරෙන්නෙ වෙනස් විදියට. එයාලට තියෙන්නෙ spiky profiles. ඒ තුළ විශේෂ දක්ෂතා මෙන්ම බුද්ධිමය හෝ පොදු ජීවන කුසලතා අංශ වල අභියෝගයන් / ගැටලු කියන දෙවර්ගයේම සංකලනයක් දකින්න පුලුවන්.
  • Medical model neurodivergence කියන එක දකින්නෙ සාමාන්‍ය තත්ත්වයට ගත යුතු හෝ ප්‍රතිකාර කළ යුතු ආබාධයක්/ දෝශයක්/ නොහැකියාවක් විදියට (as a disability). ඒ social model එකේදී neurodivergence කියන එක දකින්නෙ ඉඩප්‍රස්තා ලබාදිය යුතු වෙනස්කමක්/ විවිධත්වයක් විදියට (as a difference to be accommodated)

සටහන – කවීන්ද්‍ර සේනානායක ( Teacher & Autism Advocate )