රැක බලාගැනීමට සහ සහය අවශ්‍ය පුද්ගලයින් කියන්නේ නිකම්ම නිකන් නාඩි වැඩ කරන ශරීර කූඩු නෙමේ. රටක නිවැරිදි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ කොහොමද මේ සහය අවශ්‍ය ප්‍රජාවට රැකවරණය ලබා දෙන්නේ කියලා.
රැකබලාගන්නවා කියන්නේ බත් ටිකක් බඩට දීලා නොතිමී ඉන්න , නිදාගන්න වහලක් යට තියාගන්නවා කියන එක නෙමේ. ලංකාවේ ” නිවාස” කියන්නේ බහුතරයක් කිසිම නියාමනයකින් තොරව පවත්වාගෙන යන මධ්‍යස්ථාන. මේ ගිනි අරන් පණ පිටින් පිළිස්සිලා ගිය සහය අවශ්‍ය පුද්ගලයින්ගේ ජිවිත වල වටිනාකම ගැන කතා කරනවා වෙනුවට බහුතරයක් කතා කරන්නේ කොහොම හරි කන්න බොන්න දීලා තියාගත්තාය කියන එක.පොඩි ගෙදරක පුද්ගලයින් 72 ක ප්‍රමාණයක් තබා ගෙන හිටියා කියන එකෙන්ම අපිට හිතාගන්න පුළුවන් කොහොමද එතන නියාමනය වෙලා තියෙන්නේ කියන එක.
මෙතන ඉන්න ඇති ස්නායු විවිධත්වය නිසා කුඩා කාලයේ ඉඳන්ම තාඩන පීඩනයට ළක් වුනු, ලස්සන ළමා කාලයක් හිමි වෙලා නැති, කුසගින්නේ හිටපු දවස් වැඩි ප්‍රමාණයක් තියෙන, සමාජයේ පිළිගැනීමට හෝ ගෞරවය හිමි නොවුනු, ආදරණීය වචනයක් පවා නොලැබුනු සහය අවශ්‍ය වැඩිහිටියන්. මුළු ජීවිත කාලයම අවශ්‍ය සහය නොලැබුනු එවැනි පුද්ගලයින්ට නොතිමී ඉන්න වහලක් සහ බඩට කෑම ටික , උණට පැනඩෝල් පෙත්ත පමණක් ප්‍රමාණවත් කියලා බහුතරයක් හිතන් ඉන්න රටක අපිට මින් එහාට කතා කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ. සරලවම කිව්වොත් අපි කොයිතරම් හොඳ හෝ සහකම්පනය තියන මිනිස්සු උනත් අපිට බැහැ ගෙයක් අරන් Care home එකක් පවත්වාගෙන යන්න, අපිට බෑ පාරේ අපි දකින අසරණ වෙලා ඉන්න මනුස්සයෙක්ව අරන් එන්න, අපිට බෑ දෙමව්පියන් අහිමි වුන දරුවෙක් අරන් හදාගන්න. මේවා යම් නියාමනයක් ,පටිපාටියක් යටතේ සිද්ධ වෙන්න ඕනේ දේවල්.
Care Home එකක් පවත්වාගෙන යනවා නම් ,
◉ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය
මේ යටතේ පිරිසිදු සහ ආරක්ෂිත පරිසරයක් තියෙන්න ඕනේ. අපයෝජන, නොසලකා හැරීම් ,මුදල් සූරාගෙන කෑම නැති වෙන්න ඕනේ. ස්වාභාවික ආපදා සැලසුමක් තියෙන්න ඕනේ. හදිස්සි රෝගී තත්ත්වයන් සහ හදිස්සි අනතුරු වලදි ක්‍රියාත්මක වෙන්න ඕනේ විදිය ගැන දැනුවත් කාර්ය මණ්ඩලයක් ඉන්න ඕනේ.ඒ කාර්‍ය මණ්ඩලය සහය අවශ්‍ය පුද්ගලයින්ගේ විවිධත්වය් ගැන ඉතාම හොදින් දැනුවත් වෙන්න ඕනේ.
◉ මානව අයිතිවාසිකම් සහ ගෞරවය.
පුද්ගලිකත්වය සහ ගෞරවය, තම ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය , පුද්ගලික දේපළ තබා ගැනීමේ නිදහස තියෙන්න ඕනේ. අනවශ්‍ය දඩුවම්, බැද තැබීම්, සිර කර තබා ගැනීම් සිද්ධ වෙන්න බැහැ. සමාජය සමඟ සම්බන්ධතා පැවැත්වීමට අවස්ථාව දෙන්න ඕනේ. මේකෙන් කියන්නේ නෑ උපන්දින වලට කේක් බෑයවල් අරන් ගිහින් ඒවා කපලා වීඩියෝ කරලා සමාජ මාධ්‍ය වල දාන එක තමයි සමාජ සම්බන්ධතා කියන්නේ කියලා.
◉ පුහුණු කාර්ය මණ්ඩලය
ඒ කාර්‍ය මණ්ඩලයට ආබාධ සහ විශේෂ අවශ්‍යතා පිළිබඳ දැනුම , සන්නිවේදන සහාය ලබා දිය හැකි හැකියාව, ඔටිසම්, මානසික සෞඛ්‍ය සහ සංවේදන අවශ්‍යතා පිළිබඳ අවබෝධය තියෙන්න ඕනේ. උදාහරණයක් විදියට නැන්දගේ දුවව, අල්ලපු ගෙදර කාන්ති අක්කව , රස්සාවක් නැතුව ගෙදරට වෙලා ඉන්න සුමනට ආ එන්න කියලා Care home එකේ සේවය කරන්න ඉඩ ලැබෙන්න බැහැ. සියලුම දෙනා ආබාධිත ප්‍රජාව ගැන දැනුවත් වෙන්න ඕනේ.
◉ සෞඛ්‍ය සේවා
දන්ත සෞඛ්‍ය සේවා, ඖෂධ කළමනාකරණය, මානසික සෞඛ්‍ය සහාය සහ නිරන්තර සෞඛ්‍ය පරීක්ෂණ වල පහසුකම් ලැබෙන්න ඕනේ.
◉ අර්ථවත් දෛනික ජීවිතයක්,
අධ්‍යාපනික අවස්ථා , රැකියා හෝ වෘත්තීය පුහුණු වැඩසටහන් , ක්‍රීඩා සහ විනෝදාංශ, ව්‍යායාම , ප්‍රජා ක්‍රියාකාරකම් වල පහසුකම් තියෙන්න ඕනේ. එක තැන ඉන්නවා, ආබාධිතයි, මහලුයි කියලා මේ අවස්ථා නොදී ඉන්න බැහැ. පුද්ගලයෙක්‍ට මේ අවස්ථා ලබා ගන්න පුළුවන් පරාසය ඇතුළේ ඒ හැමදේම ලැබෙන්න ඕනේ.
මින් එහාට සන්නිවේදන සහය, උපකරණ වල පහසුකම තියෙන්නම ඕනේ. වාචිකව සන්නිවේදනය නොකරන පුද්ගලයින්ගේ වෙනත් සන්නිවේදන ක්‍රම ගැන සේවක මණ්ඩලය දැනුවත් වෙලා ඉන්නම ඕනේ. ඒ වගේම විශේෂයෙන් මේවාට ලැබෙන ආධාර නියමිත විදියකට කළමනාකරණය වෙන්නම ඕනේ.
පාරේ අසරණව හිටපු නිසා හෝ දරුවන් නොසළකා හැරීම නිසා හෝ දෙමාපියන් නොසළකා හැරීම නිසා දරුවන්ව ඒ Care home එකට ගෙනාවත් අපි ඒ පුද්ගලයට කෑම ටිකයි ඉන්න තැනයි දෙනවා කියන අදහස වෙනස් වෙලා වෙන්න ඕනේ අපි මේ පුද්ගලයාට පහසු විදියට ගෞරවාන්විතව සහ අර්ථවත් විදියට ජීවත් වෙන්න සහය දෙන්නේ කොහොමද කියලා හිතන එක.
අවසාන වශයෙන් Challenging behaviors තියන පුද්ගලයින් එහෙමත් නැත්නම් ආරක්ශාව සම්බන්ධයෙන් ගැටලු මතු වෙන පුද්ගලයින්ව ගැට ගහලා තියන්න ඕනේය කියලා බොහෝ පිරිසක් හිතන් ඉන්නවා.
දම්වැල් දාලා දින ගණන්, සති ගණන් හෝ මාස ගණන් පුද්ගලයන් බැඳ තැබීම හෝ කාමර වල සිරකරලා තැබීම මානව හිමිකම් සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (CRPD) අනුව ඉතා බරපතල අයිතිවාසිකම් උල්ලංඝනයක් විදියට සලකනවා. මේ වගේ අවස්ථාවන් වලදී ඒ පුද්ගලයින්ට ලබා දෙන ආරක්ෂාව සහ ඒ හැසිරීම් පාලනය කරගන්න වෙනම ක්‍රමවේදයන් තියනවා. වෙන රටක යම් care home එකක වැඩිහිටියන්ව මෙහෙම බැදලා දාලා තිබ්බොත් ඒ ආයතනයට විරුද්ධව බරපතළ නීතීමය ප්‍රශ්න මතු වෙන්න පුළුවන්.
ඕනේම ආයතනයක් , මධ්‍යස්ථානයක් නිවැරදිව නියාමනය වෙන්න ඕනේය කියලා අදහස් පළ කරාම එහෙනං ඒ වැඩිහිටියන් ඔයාගේ ගෙදර ගෙනල්ලා තියාගන්න වගේ මෝඩ තකතීරූ ප්‍රශ්න අහන අයත් ඉන්නවා. අපි අපෙන් අහන්න ඕනේ ප්‍රශ්නය තමයි අපිට හෝ අපේ දරුවන්ට, අපේ සමීපතමයින්ට, පවුලේ අයට යම් දිනක මධ්‍යස්ථානයක රැකවරණය සහිතව ජීවත් වෙන්න සිද්ධ වුනොත් අපි කැමති වෙන්නේ මොන වගේ පරිසරයක් සහ ක්‍රමවේදයක්, නියාමනයක් තියන තැනකටද කියලා ?
