එමලිගේ මනසේ ” ඉස්කෝලය” ගැන ඇඳිලා තියන චිත්‍රය සම්පූර්ණයෙන් ම හීන ලෝකයක්. එමලිට අදහසක් නෑ ඉගෙන ගන්නවා කියන්නේ මොකක්ද කියලා. ඒත් එමලි ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න එක එයාට Fun වැඩක් විදියට තමයි තේරෙන්නේ. ඒක නිකන් හරියට Puzzle එකක් විසඳනවා වගේ. එතකොට එමලි ඉස්කෝලේ කියලා හිතන් ඉන්නේ ළමයි එකතු වෙලා සෙල්ලන් කරන Teachers ලා ඉන්න ලොකු Play area එකක් වගේ එකකට . ඒත් එක්කම ” Teacher ” කියන නමින් හඳුන්වන ගැහැනිය හෝ පුරුෂයාගේ රැකියා භූමිකාව ගැන එමලිට ලොකු තේරුමක් නෑ. ඒත් Teacher ඉන්නේ ඉස්කෝලේ කියලා එමලි දන්නවා. එයාට ඒක තේරුම් ගැනීම ටිකක් සංකීර්ණයි. ඒත් ඩොක්ටර් ඉන්නේ Hospital එකේ Doctor කරන්නේ බෙහෙත් දෙන එක කියලා එමලි දන්නවා.
දැන් අපි මෙච්චර දවසක් වැඩ කරේ සාලේ බිම. එමලි කැමති එහෙම..ඒත් ඒකෙන් මගෙ වගේම එමලිගෙත් කොන්ද රිදෙනවා කියලා මට තේරුම් ගියේ එමලි සැරින් සැරේ මගෙ ඇඟට හේත්තු වෙලා වැඩ කරන්න ගත්ත නිසා. අක්කට වැඩ කරන්න Table එකක් තිබ්බත් අක්කා පොත් උස්සන් යන්නේ සාලේ සොෆා එකට. එයාට පහසු එහෙම වැඩ කරන්න. ඒ නිසා අක්කගේ Table එක මම සාලෙට ගත්තා. එමලිගේ Activity sheets ටික ඒක උඩින් තිබ්බම එමලි කෙළින්ම ඒ Table එකට ගියා. දැන් අපි සාලේ බිමෙන් මාරු උනා මේසෙ පුටුවට.
ඒත් එක්කම මට එමලි ගැන කියන්න තව අළුත් ආරංචියක් තියනවා. මේක කියන එක Too soon ද කියලා මම දන්නේ නෑ..හේතුව තාම හරියටම මේ වෙන දේ මොකක්ද සහ ඒක දිගටම Continue වෙයිද එහෙම නැත්තන් මට මේක එමලිගේ සන්නිවේදන ක්‍රමයක් විදියට පාවිච්චි කරන්න එමලිට සහය දෙන්න පුලුවන් වෙයිද කියන ප්‍රශ්න ගණනාවක් මට තියෙන නිසා.
ඒ තමයි මම ලගදි ලිව්වා දැන් සතියකට දෙකකට කලින් එමලිව නිදාගන්න අරන් ගියාම නින්ද යනකල් සංඥා හරහා හැඩතල, අකුරු පෙන්නන ගමන් මට ඒවා කියන්න ගත්තා කියලා. දැන් පෙරේදා තමයි මේක හරියටම මොකක්ද කියන එක මට පැහැදිලි උනේ. පෙරේදා රෑ එමලි සංඥා භාෂාවෙන් ” No circle ” කියලා කිව්වා. සාමාන්‍යයෙන් එමලි Verbal stimming එකක් විදියට ” No logos” වගේ වචන කියනවා. ඒ එයාගේ මනස අධිකව උත්තේජනය වෙන එක කළමනාකරණය කරගන්න. ඒ වගේම වාක්‍යක් තමයි මේ ” No circle” කියන්නේ. එතකොට එමලි ” No ” කියන එක කියන ගමන් ඒකට පෙන්නුවේ සංඥා භාශාවේ” Stop” කියලා කියන සංඥාව.ඊට පස්සේ ඇඟිලි එකතු කරලා රවුමක් හදලා පෙන්නලා කිව්ව ” “circle” කියලා. මේවා මට රිපීට් කරන්න කියලා එමලි එයාගේ අංග චලන වලින් පෙන්නුවා. ඒවා මම රිපීට් කරනකල් බලන් හිටියා. සංඥා භාශාවෙන් එහෙම පෙන්නන ගමන් ඒවා වාචිකවත් කිව්වා.
ඊයේ මම එමලිට සංඥා භාෂාවෙන් More , Hungry , Yes , No , Help වගේ සරල වචන තියන Visual sheets දීලා ඒවා එකින් එක වාචිකව කියන ගමන් සංඥා භාෂාවෙනුත් පෙන්නලා දුන්නා. එමලිත් ඒවා හරි කැමැත්තෙන් කරා. ඉතිං බලමු අපි ඉදිරියට එමලිට පීඩාවක් නැතුව හෙමින් හෙමින් එදිනෙදා පාවිච්චි වෙන වචන එමලිට සංඥා භාෂාවෙනුත් හඳුන්වලා දීලා. එමලිට පහසුවෙන් සන්නිවේදනය කරගන්න ක්‍රම කීපයක්ම එමලි ඉගෙන ගත්තොත් එමලිට වාචික සන්නිවේදන අපහසුතාවය ලොකු අභියෝගයක් විදියට ඉදිරි ජීවිත කාලය පුරාවට දැනෙන එකක් නැහැ.
අනික් විශේෂම කාරණය තමයි අපි ටික කාලෙකට කලින් වැඩ කරේ රූප වලින්ම විතරයි. ඒ කියන්නේ එමලි රූපේ බලලා කරන්න ඕනේ දේ තේරුම් අරන් ඒ වැඩේ සම්පූර්ණ කරනවා. දැන් අපි ටිකක් ලොකු පියවරක් ඇවිල්ලා තියනවා. ඒ තමයි වාක්‍ය කියවලා කරන්න ඕනේ වැඩේ ඒ හරහා තේරුම් අරන් ඒ වැඩේ කරන එක. එමලි හෙමින් හෙමින් වචන එකතු කරලා කියවනවා.
එමලිට කියවන්න පුලුවන් උනාට හිතෙන් කියවන එකට වඩා ඇහෙන්න කියවන එක මනසට වෙහෙසක් කියන එක මට හොදටම තේරෙනවා. සමහර චිත්‍ර පාට කරන්න තියනවා ඒ දීලා තියන Instructions අනුව. උදාහරණයක් විදියට ලොකු මාළුවා තැඹිලි පාටයි. පොඩි මාළුවා නිල් පාටයි කියලා. එතකොට එමලිට මම කිව්වම අපි කියවමු කියලා එමලි හෙමින් හෙමින් අකුරු ශබ්ධ එකතු කරලා මාත් එක්කම කියනවා. ඒත් එහෙම නැතුව ගොඩක් වෙලාවට හිතෙන් ක්ෂණිකව කියවලා ඒ චිත්රේ කියලා තියන විදියටම පාට කරනවා. ඉතිං ඒ නිසා අපි එකතු වෙලා කියවන එක ගොඩක් කරන්නේ නෑ. එමලිට වෙහෙසක් නොවෙන්න හරිම පොඩි ප්‍රමාණයකින් තමයි අපි දෙන්නා එක්ක වාචිකව වාක්‍ය කියන්නේ.
මේක බොහොම හෙමින් සහ ඉතාම පරිස්සමින් යන්න ඕනේ ගමනක්. එමලි වැඩ කරනකොට එයාට එයාගේ මනස සන්සුන් කරගන්න Logos බලන්න ඕනේ වෙනවා. සාලේ වටේ දුවලා එන්න ඕනේ වෙනවා. Verbal stimming කරන්න ඕනේ වෙනවා. ඒවා මාත් රිපීට් කරන්න ඕනේ.
දැනට ඔහොම තමයි අපේ දවස් ගෙවිලා යන්නේ. 
