සමහර වචන තියනවා ඒවා ඇහෙනකොට මුළු ශරීරයටම දැනෙන්නේ අප්‍රසන්නතාවයක්. හේතුව යම් යම් වචන අපිව නිරන්තරයෙන් නොන්වත්වාම දිනපතාම අධික විදියට පීඩාවට පත් කරන නිසා.

මුලින්ම අසනීප හෝ රෝගී දරුවෙක් විදියට එමලිට විනිශ්චය එල්ල වුන දවස මට හොඳටම මතකයි. ඒ තමයි මම එමලිට පෙර පාසලක් හොයන්න උත්සාහ ගත්ත කාලයේ. මම මේ පේජ් එකවත් එතකොට පටන් අරන් තිබ්බේ නෑ.

එක්තරා පෙර පාසලකට මම කෝල් කරලා ළමයි ඇතුළත් කරගන්නා කාලය ගැන සහ ඊට අදාළ විස්තර ඇහුවා. ඒත් එක්කම මම ඒ කාන්තාවව දැනුවත් කරා එමලි ඔටිසම් බබෙක් කියන එක. කුණු මාළු කෑල්ලක් ගෑවුනා වගේ හැඟීමකින් එයා ඉක්මනට ” අපි එහෙම අසනීප ළමයි ගන්නේ නෑ” කියලා ඩොහ් ගාලා කෝල් එක කට් කරා. මට තත්ත්පර ගාණක් යනකල් මොකක්ද ඒ උනේ කියලා ඔළුවට දාගන්න බැරි උනා. ඒක මම එමලි සම්බන්ධයෙන් මූන දුන්න පළමු ප්‍රතික්ෂේප වීම නිසා ඉතා තදින්ම මගේ හිත රිදුනා. මම ඇඩුවා. ඊට පස්සේ අද වෙනකල්ම මම නොයෙක් විදියේ හා නොයෙක් හැඩයේ ප්‍රතික්ෂේප කිරීම් සහ විනිශ්චයයන්ට ලක් වෙනවා. ඒවා මට ඍජුව එල්ල වෙන ඒවා නම් මගේ හිත රිදෙන්නේ නැ.මට දැනේන්නේ නෑ. ඒත් ඒවා කෙළින්ම එමලි හෝ ඔටිසම් ප්‍රජාව එල්ල කරගත් ඒවා නම් අනිවාර්යයෙන් මම ඒවාට උත්තර දෙනවා. මම හිතනවා එමලි වෙනුවෙන් පෙනී හිටීම අම්මා කෙනෙක් විදියට මට තියන වගකීමක් කියන එකට වඩා ඒක ස්වාභාවිකව බහුතරයක් අම්මලා තුළ තියෙන මව් ගුණයක් කියලා. තමන්ගේ දරුවා වෙනුවෙන් පෙනී හිටීම මනුස්ස අම්මා කෙනෙක් වගේම සත්ත්ව ලෝකයේ සතුන් තුළ පවා තියන ස්වාභාවික ගුණයක්.

දැන් සමහර වචන තියනවා ඒවා ඉතා ආදරණීයව මිනිස්සුන් කියන ඒවා උනාට ඒ හරහා ඉතා දරුණු බලපෑමක් ඔටිසම් දරුවාගේ ජීවිතයට කරන්න පුළුවන්. ඉන් එකක් තමයි ” ඉක්මනට සනීප වෙන්න ” කියලා කරන ප්‍රාර්ථනාවන්. ඕක මෙහෙම හිතන්නකො.දැන් අපේ චිනූව හැමෝම වගේ දන්නවා. චිනූ එයාගේ ඔටිසම් විවිධත්වය ඉතා සාමාන්‍ය හැඩයක් කියන පිළිගැනීමත් එක්ක තමයි ලොකු වෙන්නේ. ඒත් චිනූට දැනෙනවා තමාට සමාජයේ නොයෙක් පුද්ගලයින් කරන වෙනස්කම්. තමාව ප්‍රතික්ෂේප කිරීම් ඉතා ගැඹුරුව චිනූට දැනෙනවා. චිනූට නිතරම ” ඉක්මනට සනීප වෙන්න ” කියන ප්‍රාර්ථනය නොයෙක් අය විටින් විට ඔළුව අතගාලා ආදරෙන් කිව්වොත් චිනූට මොන වගේ හැඟීමක් ඇති වෙයිද? අනිවාර්යයෙන් චිනූ ලියයි “,අම්මේ මට මොකක්ද තියන අසනීපය?මම ලෙඩෙක්ද ” කියලා.මේ හැඟීම ඉතා දරුණු මානසික පීඩනයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලැබිය යුතු අධ්‍යාපනයේ සිට රැකියා අවස්ථා දක්වා ඒ වචනය බලපානවා. එතකොට අපිට දෙමාපියන් විදියට නිහඬව ඉන්න පුළුවන්ද? අපිට හිතන්න පුළුවන්ද ඒ මිනිස්සු ආදරෙන් නොදන්න කමට කිව්වේ කියලා. එහෙම නොදන්නා කමට තමයි බහුතරයක් අය ඒ ප්‍රාර්ථනාව කරන්නේ. ඒත් දෙමාපියන් විදියට අපි ඉතා ඉක්මනින් ඒක නිවැරදි කරන්න ඕනේ. දරුවා වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ.ඒක වරදක් නෙමේ.

ඒ නිසා ” ඉක්මනට සනීප වෙන්න ” කියන ප්‍රාර්ථනා පවා මම නිවැරදි කිරිම සහ ආපිට ප්‍රශ්න කිරීම කියන්නේ මම අනිවාර්යයෙන් කළ යුතු දෙයක්. ඔටිසම් කියන්නේ අනන්‍යතාවයක්. ඕනේම ඔටිසම් දරුවෙක්ට හෝ පුද්ගලයෙක්ට ඕනේම අවස්ථාවක තමන්ගේ අනන්‍යතාවය බය නැතුව පැකිළීමකින් තොරව කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඔටිසම් කියන්නේ ලේබල් එකක් නෙමේ. කිසිම වෙලාවක තමන්ගේ විවිධත්වය හෝ ආබාධිතබව කියන්න දෙපාරක් හිතන්න අවශ්‍ය නැහැ.එහෙම නොකියන නිසා තමයි මනුෂ්‍ය විවිධත්වය වටා පිස්සු, මන්ද බුද්ධික, ලූස්, අමුතු, ලෙඩ ළමයි වගේ ලේබල් ගහලා තියෙන්නේ. ඔන්න ඔය ලේබල් වලින් එකක් තමයි ඔටිසම් දරුවන්ව ” අසනීප ළමයි ” කියලා හැඳින්වීම.

තරහින් කිව්වත් හිතාමතාම කිව්වත් ආදරයෙන් කිව්වත් නොදැනුවත්කම නිසා කිව්වත් පුරුද්දට කියවුනත් සමහර වචන වලින් සිද්ධ වෙන හානිය ආයේ රිවර්ස් කරන්න බැහැ. ඒ නිසා කෙනෙක්ට හිතුනට මේවා නිකන් වැඩිය ගණන් ගන්නේ නැතිව ඉන්න ඕනේ වචන කියලා Sorry මම එහෙම ඉන්නේ නැහැ. මම අද ඒවට උත්තර දීමෙන් තමා එමලි අනාගතයේ ඔය වගේ ප්‍රශ්න, ප්‍රාර්ථනා වලට මුහුණ දීම අවම වෙන්නේ.

අපි ඔටිසම් හෝ වෙනත් ස්නායු විවිධත්වයන් සහිත දරුවන්ගේ දෙමාපියන් හැටියට මේ සමාජයේ සත්‍ය සහ යථාර්ථය වටහාගෙන ඉන්නවා. අපි දන්නවා මේ ඉදිරි ගමන කිසිසේත්ම අපේ දරුවන්ට පහසු එකක් නෙමේය කියන එක. මම අම්මා කෙනෙක් විදියට දන්නවා neurotypical බහුතරයට පහසුවෙන් ජීවත් වෙන්න නිර්මාණය වුන ලෝකයක neurodivergent ප්‍රජාවගේ ජීවිතය කොයිතරම් අභියෝගාත්මකද කියන එක. මම මගේ ඉදිරියට එන්න නියමිත ” Inside ඔටිසම් ” පොතේ තැනක මෙහෙම ලිව්වා.

” ඇලඩින්ගේ පහන මට ලැබිය යුතුය. මා පහන පිරිමදින විට නිල් පාට විශාල භූතයා මා ඉදිරියට පැමිණිය යුතුය. මට වරම් තුනක් ඉල්ලීමට අවස්ථාව ලැබෙනුද ඇත. එමලිගේ ස්නායු සාම්ප්‍රදායික හැඩයකට නැවත නිර්මාණය කර දෙන මෙන් පළමු වන වරයත් දෙවන හා තුන්වන වරයත් ලෙස මා ඉල්ලා සිටිමි “.

මේක තමයි යථාර්ථය. ඒ යථාර්ථය එක්ක ජිවත් වෙන ගමන් මම මගේ දරුවා වෙනුවෙන් ලැබෙන ආදරණීය ප්‍රාර්ථනාව පවා නිවැරදි කරනවා. “ඔටිසම් ප්‍රජාව රෝගීන් නෙමේ. ඔටිසම් දරුවන් අසනීප දරුවන් නෙමේ. ඒ නිසා සුව වීමේ ප්‍රාර්ථනා අනවශ්‍යයි.”

මේ  දාලා තියෙන්නේ අපේ Lakmi Vasana නංගිගේ ලිපියක ලින්ක් එක . ලක්මිලා වැනි චරිත වැඩි වැඩියෙන් බිහි වෙනවා නම් අපි අපේ දරුවන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන ලෝකය හුදෙක්ම ෆැන්ටසියක් වෙන්නේ නැති වෙයි. නංගි ඔයා ගැන මට ආඩම්බරයක් සහ අසීමිත ගෞරවයක් තියනවා. Thank you ❤️

මුල් සබැඳිය : ඇලඩින් ගේ පුදුම පහන