මම මේ වීඩියෝ එක ගත්තේ එමලිට උණු ආප්ප අරන් දෙන්න ගිය හවසක. මෙහෙම තාත්තා පේන මානේ හිටියොත් එමලි හයියෙන් කියනවා ” Samsung poco ” කියලා තාත්තට. තාත්තා ඒවා රිපීට් කරන්න ඕනේ. ගෙදරත් එහෙමයි. ඒ වගේම තමයි තාත්තා ගෙදරින් පිට ඉන්නකොට වීඩියෝ කෝල් එකක් ගත්තම එමලි තාත්තා එක්ක වරුවක් හරි කතා කරනවා. ඒ කතා කරනව කියන්නේ මෙන්න මේ විදියට එක එක brand names කියන එකට. මගේ ෆෝන් එකට එන කෝල්ස් මට මිස් උනොත් එමලි ටක් ගාලා ආන්සර් කරනවා. එහා පැත්තෙන් Hello කියන කෙනාට එමලි Logos, Brand names list එක කියනවා. ගොඩක් වෙලාවට මට කතා කරන අය එමලිගේ හැඩය ගැන හොඳටම දන්නවා. එයාලත් ඒ වෙලාවට එමලි කියන එක රිපීට් කරනවා.
දැන් දවස් දෙක තුනකට කලින් මගේ හොඳම යාලුවෙක් මට කෝල් කරලා එමලි තමයි ආන්සර් කරලා තියෙන්නෙ. ඉතිං එයාත් එමලි එක්ක එමලිගේ Brand names ටික ඒ විදියටම රිපීට් කරලා..මේක මට ලොකු සතුටක්.එමලි මේ කරන්නේ සමාජය එක්ක සම්බන්ධ වීමක්. එයාගේ සන්නිවේදන අපහසුතාවය පොඩ්ඩක්වත් අභියෝගයක් කරගන්නේ නැතුව එමලි ඒ වෙනුවට පාලමක් වගේ පාවිච්චි කරන්නේ එයාගේ Special interest එක. දැන් වෙනත් දරුවෙක් කෙනෙක්ට කොහොමද? මම ඔයාට හරි කැමතියි කියලා වාචිකව කියනකොට එමලි කියන්නේ ” Samsung poco” කියලා. ඒකෙන් එමලි අදහස් කරන්නේ මම ඔයාට කැමතියි කියන එකම තමයි.
තාත්තා ආප්ප කඩේ ලග ඉන්නකොට එමලි වාහනේ ඇතුලේ ඉඳන් ජනෙල්ලෙන් එළියට ඔළුව දාලා කෑ ගහන්නේ Samsung poco කියලා. තාත්තා කෝල්ස් වල ඉන්නකොටත් එමලි මෙහෙම කරනවා..ඒත් තාත්තා කෝල් එකේ ඉන්න ගමන් එමලි කියන එක රිපීට් කරනවා. තාත්තගේ යාළුවො බහුතරයක් ඒ කියන්නේ එමලිට කියලත් දන්නවා.
ඉතිං එමලි මේ හරහා කියන්නේ ” ඔයාට මාව ඇහෙනවා. ඔයාට මාව තේරෙනවා සහ අපි දෙන්නා එකම අත්දැකීම බෙදාගන්නවා කියන එක. එමලිගේ මම්මාච්චි , තාත්තා, අක්කා, මම, එමලිගේ පුංචි, මගෙ යාළුවො මේ හැමෝම එමලි Samsung Poco කියනකොට ඒක ආයේ රිපීට් කරනවා. ඉතිං එමලි දන්නවා එයා ඉන්නේ අපි හැමෝගෙම මැද්දේ මිසක් අපිට එයාව නොපෙනෙන මුල්ලක නෙමේ කියන එක.
සාම්ප්‍රදායික ස්නායු හැඩයක් තියන මිනිස්සුන්ට එකිනෙකා අතර සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීම කියන්නේ අයි කන්ටැක්, මුහුණ දිහා බලලා හිනා වීම හෝ කතා කිරීම උනාට ස්නායු විවිධත්වයෙන් පිහිටලා ඇති එමලිට අනෙකා එක්ක සම්බන්ධ වීම කියන්නේ Pattern බෙදා ගැනීම සහ Interest බෙදා ගැනීම.
Synchrony කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ එමලිගේ අනෙකා සමඟ සම්බන්ධ වීමේ හැඩය. ඒ කියන්නේ දෙන්නෙක් එකම වෙලාවක එකම රිද්මයෙන් එකට සම්බන්ධ වීම. උදාහරණයක් විදියට අම්මයි බබයි එකම වෙලාවේ එකට ආ … ආ…ආ කියලා ශබ්ද කිරීම. එතකොට එමලිගේ synchrony හැඩය තමයි samsung poco කියන එකම වචනය එකම රිද්මය එකම වෙලාවේ රිපීට් කිරීම හරහා අනෙකා සමඟ සම්බන්ධ වීම. මෙන්න මේ සම්බන්ධතාවය ඇතුළේ එමලිට ආරක්ෂාව දැනෙනවා. predictability සහ Connection එක දැනෙනවා.
දැන් මේවා අසාමාන්‍ය හැසිරීම් කියලා වෙනස් කරන්න ගියාම වෙන්නේ දරුවට දැනෙනවා එයාව අනෙකාගෙන් / සමාජයෙන් disconnect වෙලා කියලා.එයාව ප්‍රතික්ෂේප කරනවා කියලා. එතකොට එයා එයාගේ ඇතුලාන්තයෙන්ම නිහඬ වෙනවා. තමන්ව වටහා ගන්න අපහසු සමාජයක් හෝ පවුලක් ඇතුළේ නිහඬ වීම හැරෙන්න දරුවාට වෙන කරන්න දෙයක් නෑ .
ඉතිං එමලි තාත්තට ” Samsung poco ” කියලා කෑ ගහනකොට ඒකෙන් කියන්නේ ” මගේ ලෝකයට එන්න කියලා.මගේ අත්දැකීම බෙදාගන්න කියලා. තාත්තා ඒක ආයේ රිපීට් කිරීම හරහා එමලිට කියන්නේ ඔයාගේ භාෂාව මට තේරෙනවා. මම ඔයාගේ ළඟ ඉන්නවා සහ මම ඔයාට ඇහුම්කන් දෙනවා කියන එක.
