එමලිට සිංහල අළුත් අවුරුද්ද කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් නැති උනාට එයාට යම් සැමරීමක්, වෙනදාට වඩා වෙනස් දවසක් කියන එක ඊයේ තේරුම් ගියා. එමලිට එයාගේ මී ආච්චිවත් මම්මාච්චිගෙ ගෙදරිදි මුණ ගැහුනා. එමලිගේ වයස ආයේ ආයේ අහලා දැනගන්නවා හැරෙන්න මගේ ආච්චි අම්මා අද දක්වා එමලිගේ හැඩය ගැන කිසිම ප්‍රශ්නයක් මගෙන් අහලා නැහැ. එමලි එයා එක්ක සාම්ප්‍රදායික විදියට වාචිකව සන්නිවේදනය කරගන්නේ නැත්තේ ඇයි කියන එක ගැනවත් අහලා නැහැ. ඒකට එකම හේතුව විදියට මම දකින්නේ මගේ ආච්චි අම්මා හැම දරුවෙක්ටම අසීමිතව ආදරය දැක්වීම නිසා කියලා මට හිතෙනවා.

එයා කොයිතරම් වයසට ගියත් මට තාම එයාගෙන් පේන්නේ මම පොඩි කාලේ පොඩි පාට මැටි වළං සෙට් එකක් අරන් මාව බලන්න එන ආච්චි අම්මාම තමයි. පහේ සුවඳ දැනෙන ගොරෝසූ ඇඟිලි වලින් මගේ ඔළුව අත ගාන ආච්චි අම්මාම තමයි. ආදරය එක්ක එයා මට දුන්න ආරක්ෂාකාරී හැඟීම නොවෙනස්ව අද එයා මගේ දරුවාව වැළඳගැනීම මම දකින්නේ ඉතාමත් අව්‍යාජ පිරිසිදු මනුශ්‍යත්වයේ හැඩයක් විදියට. මම හිතනවා එමලිට එයාගේ මම්මාච්චිගෙන් සහ මී ආච්චිගෙන් ලැබෙන මේ අසීමිත ආදරය එමලි ලෝකය දිහා බලන විදිය සහ අනෙකාට දක්වන ආදරය එක්ක තදින්ම සම්බන්ධ වෙලා තියෙයි කියන එක.

ඉතිං අළුත් අවුරුද්ද දවසෙත් එමලි එයාගේ සුපුරුදු කුඩ සෙල්ලම කරා. මම්මාච්චියි මී ආච්චියි දෙන්නාම එමලිට ඕනේ උන විදියටම ගේ ඇතුළේ කුඩ ඉහළන් ඉඳගෙන හිටියා.ඊයේ දවස එමලිට ඇත්තටම හොඳ දවසක් ❤️

මුල් සබැඳිය : සිංහල අළුත් අවුරුද්ද